2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

එකක් මදිවට දෙකක් අර්බුද

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 224

කොරෝනා වයිරසයේ බලපෑම ලොවේ බොහෝ දේ වෙනස් කර තිබේ. එය අපේ රටටද අදාළය. ජාත්‍යන්තරයේ දේශපාලනයට එයින් ලොකු බලපෑමක් සිදුකර නැත. එහෙත් ශ්‍රී ලංකාව සිටින්නේ මහ මැතිවරණයක් සඳහා නාමයෝජනා ලබාගෙන එය පවත්වන දිනය කල්දැමූ තත්ත්වයකි. හරියටම කිව්වොත් පාර්ලිමේන්තුවකින් තොරව මෙරට වැඩිම කාලය ගතවන අවස්ථාව වශයෙන් 2020 වර්ෂය දේශපාලන ඉතිහාසයට එක්වනු ඇත.

දැන් ආණ්ඩුව කියන්නේ මැතිවරණය පැවැත්වීමේ පූර්ණ වගකීම මැතිවරණ කොමිසම සතුවන බවය. ජූනි 02 වැනිදාට හෝ ඊට පෙර නව පාර්ලිමේන්තුව රැස් කිරීමට හැකිවන පරිදි මැතිවරණය පැවැත්වීම කොමිසමට අයත් කාර්යයක් බවත් තමන් ඊට ඇඟිලි නොගසන බවත් රජය දක්වන ස්ථාවරයයි.

මේ තත්ත්වය ඉදිරියට ඇදෙන විට මැතිවරණ කොමිසම මහ මැතිවරණය සඳහා ජූනි 20 වැනිදාට දින නියම කළේය. ඒ සඳහා තැපැල් ඡන්ද ඉල්ලුම් පත් මැයි මස 04 වැනිදාට පෙර ඉදිරිපත් කළ යුතු බවටද ප්‍රකාශ විය. ඊළඟට තිබෙන ගැටලුව මේ දින වකවානු අනුව මහ මැතිවරණය පැවැත්විය හැකිද නැද්ද යන්නයි.

ආණ්ඩුව තදින්ම දරණ ස්ථාවරය වන්නේ ජූනි 02 වැනිදා පසුවුවත් පරණ පාර්ලිමේන්තුව කිසිසේත් කැඳවන්නේ නැති බවය. මේ බව ජනාධිපතිවරයා ඉතාම පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. රජයේ සෙසු ජ්‍යෙෂ්ඨ නායකයන් ප්‍රකාශ කරන්නේද එයමය. ඒ අනුව ජූනි 02 වැනිදායින් පසුව රට තුළ ව්‍යවස්ථාමය අර්බුදයක් පැන නැගීමට වාතාවරණය සැකසෙමින් පවතී. ඒ සඳහා ආණ්ඩුවත් විපක්ෂයත් දැන් සිටම පිටපොට ගසමින් සිටී.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව යළි කැඳවීම එකහෙලා ප්‍රතික්ෂේප කළා පමණක් නොව ජනපති, අගමැති ඇතුළු ආණ්ඩු පක්ෂ හිටපු මැති ඇමැතින් දිගින් දිගටම කියා සිටින්නේ මෙවැනි හදිසි අවස්ථාවක ජනතාවට සහන ලබාදීම සඳහා හෝ පනතක් සම්මත කර ගැනීමට බැරි පාර්ලිමේන්තුවක් යළි කැඳවීමේ තේරුමක් නැති බවය. තමන් රටේ ජනතාවට සහන ලබාදීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කර ගැනීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ යූ.එන්.පී.ය ප්‍රමුඛ විපක්ෂය එය පරාජය කිරීමට කටයුතු කළ බවටද ආණ්ඩුව චෝදනා නැගුවේය.

ආණ්ඩුවේ සමීපතමයකු වන ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පසුගිය දිනවලදී මාධ්‍ය ඔස්සේ රජය දරණ මතය වෙනුවෙන් ප්‍රබලව පෙනී සිටියේය. ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ගණනාවක් උපුටා දක්වමින් ප්‍රකාශ කළේ මහා මැතිවරණය පවත්වන දිනය හෝ එය පැවැත්වීම පිළිබඳව ජනාධිපතිවරයාට කළ හැකි කාර්යයක් නොමැති බවය. මැතිවරණයට දින නියම කිරීමත් එය යථා පරිදි පැවැත්වීමට කටයුතු යෙදීමත් මැතිවරණ කොමිසම සතු වගකීමක් බවද ඔහු සඳහන් කළේය. ජූනි 02 වැනිදා වනවිට නව පාර්ලිමේන්තුව රුස්වීමට අවස්ථාවක් නොමැති තත්ත්වය තුළදී වුවද යළි පරණ පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය නොවන බවද එය ව්‍යවස්ථාමය අර්බුදයක් පැන නැගීමට හේතු නොවන බවද ඔහුගේ අදහස විය. එය ආණ්ඩුවේ නීතිමය පදනමයි.

දේශපාලන මට්ටමින්ද මේ පිළිබඳව පසුගියදා අදහස් පළවිය. බත්තරමුල්ල නෙළුම් මාවතේ පොහොට්ටු ප්‍රධාන කාර්යාලයේදී පසුගිය බදාදා (22) පැවැති මාධ්‍ය හමුවකදී එහි ජ්‍යෙෂ්ඨයකු වන හිටපු රාජ්‍ය ඇමැති ගාමිණී ලොකුගේ මහතා කිව්වේ ඉකුත් රජය මෙන් වත්මන් රජය මැතිවරණ කල්දැමීමට ක්‍රියා නොකරන බවය. මැතිවරණ කොමිසම නියම කරන දිනයේදී මැතිවරණය පවත්වන බවද ඔහු කීය. විපක්ෂයටද පහර ගසමින් ඔහු සඳහන් කළේ විපක්ෂයට මැතිවරණ බිය නමැති රෝගය වැළඳී තිබෙන බවය.

මේ අතර තංගල්ල කාල්ටන් නිවෙසේදී මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවක නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා කියා තිබුණේ කොරෝනා වසංගතය තදින් බලපෑ කොරියාව වැනි රටවලද මැතිවරණ තැබූ බවය. විපක්ෂයට ඇත්තේ මැතිවරණ බිය යැයිද ඔහු කීය.

කෙසේ වුවද ආණ්ඩුව සූදානම් වන්නේ කොරෝනා අස්සේ මැතිවරණ පවත්වා අයුතු වාසි ලබාගැනීමට බවත් මහජනතාවට කොරෝනා රෝගය හේතුවෙන් සිදුවන බලපෑම ආණ්ඩුව අමතක කර ඇති බවත් විපක්ෂය කියයි. එසේම ඔවුන් තදින්ම ප්‍රකාශ කරන්නේ ජූනි 02 වැනිදාට පෙර නව පාර්ලිමේන්තුව කැඳවීමට දැන් හැකියාවක් නොමැති නිසා වහාම ආණ්ඩුව පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බවය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල පසුගිය බදාදා මහනුවරදී ප්‍රකාශ කර තිබුණේ මහ මැතිවරණය පැවැත්වෙන දිනය ජූනි 20 වැනිදා බවට මැතිවණ කොමිසම මගින් කර ඇති ප්‍රකාශය සමඟ පාර්ලිමේන්තුව විසුරැවා හැරීමේ ප්‍රකාශනය දැන් බලරහිත වී ඇති බවය. මේ නිසා හිටපු කතානායක කරු ජයසූරිය මහතාට පාර්ලිමේන්තුව රුස්කිරීමට බලය ලැබී ඇති බවටද ඔහු ප්‍රකාශ කර තිබිණි.

කිරිඇල්ල මහතා එසේ කිව්වත් දේශය පුවත්පත මගින් මේ සම්බන්ධව හිටපු කතානායකවරයාගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ අදාළ කාරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලැබෙනතුරු තමන් ඊට මැදිහත් නොව බවය.
යූ.එන්.පී. මහා ලේකම් හිටපු ඇමැති අකිල විරාජ් ප්‍රකාශ කර ඇත්තේ මහ මැතිවරණය ජූනි 02 වැනිදාට පෙර පැවැත්වීමට නොහැකි වීමෙන් පැවැති පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යළි බලාත්මක වන බවය. ඔහු ප්‍රකාශ කරන්නේ ඒ අනුව පාර්ලිමේන්තුව ඉබේම කැඳවෙනු ඇති බවයි. එජාපය බිය වන්නේ මැතිවරණවලට නොව මහජනතාවගේ ජීවිත සම්බන්ධව බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය.

සමගි ජන බලවේගයද නිවේදනයක් නිකුත් කරමින් වසංගතය පැතිරෙන අවිනිශ්චිත වටපිටාවක මහ මැතිවරණයට දින නියම කිරීම පිළිබඳව තම බලවත් විරෝධය සහ නොසතුට පළකර තිබිණි. එම පක්ෂයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාරගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයේද ජූනි 02 වැනිදාට පෙර මැතිවරණය නොපැවැත්වීමට තමන් නැගූ හඬට සවන්දීම පිළිබඳව මැතිවරණ කොමිසමට ස්තූතියද පළකර තිබිණි. ටී.එන්.ඒ. ජ්‍යෙෂ්ඨ නායකයකු වන එම්.ඒ. සුමන්තිරන්ද මහමැතිවරණය කොරෝනා අවසන් වනතුරු නොපැවැත්විය යුතු බවට දැඩි මතයක් දරයි.

මේ පසුබිමේ පැහැදිලිව පෙනෙන්නේ මාරාන්තික කොරෝනා වයිරසය මගින් අපේ රටේ දේශපාලනයටද බරපතළ බලපෑමක් එල්ලකර තිබෙන බවය. මහ මැතිවරණය හැකි ඉක්මනින් පවත්වා ගැනීමට රජය දරණ බලවත් වෑයමද කෙසේ හෝ මහමැතිවරණය පැවැත්වීම කල්දමා පරණ පාර්ලිමේන්තුව යළි කැඳවා ගැනීමට විපක්ෂය දරණ උත්සාහයද පැහැදිලිය. මේ ඇතිවී තිබෙන තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව සම්බන්ධ ගැටලුව නිරාකරණය කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට පාර කැපී තිබෙන බවත් පැහැදිලිය. දැනගන්නට තිබෙන්නේ ඉදිරි සති දෙක තුළදී පාර්ශ්ව ගණනාවක් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යනු ඇති බවය. ලබන සදුදා (27) උසාවි වැඩ යළි ආරම්භ වීමත් සමඟ මේ කටයුතු සක්‍රීය වනු ඇත.
ආණ්ඩුවත් විපක්ෂයත් කොතරම් කඹ ඇදිල්ලක සිටියත් රටේ මහජනතාව නම් මේ මොහොතේ සිටින්නේ මහ මැතිවරණ සිහියෙන් නොවේ. ඔවුන්ගේ සිතේ අහලකවත් ඡන්දයක් නැත. නිවෙස්වලටම කොටු වී ජීවත්වන ජනතාවගේ ප්‍රධාන මාතෘකාවත් කටගැස්මත් කොරෝනාම පමණි. ජීවත්වීමේ ආර්ථික ප්‍රශ්න ඊළඟටය. ඊළඟ දවස උදාවන්නේ අලුතින් සොයාගත් කොරෝනා රෝගීන් කී දෙනෙකු සමඟද යන්න ඔවුන්ගේ සිත්සතන් තුළ කැකෑරෙන ප්‍රශ්නයයි. මේ තත්ත්වය මේ රටේ කිසිවකුත් මින් පෙර මුහුණ නුදුන් තත්ත්වයකි. රටේ දේශපාලනඥයන්ද එය නොදන්නවා නොවේ.

රටපුරා ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කළේ වෛද්‍ය ක්ෂේත්‍රයේ උපදෙස් මත කොරෝනා තත්ත්වයට මුහුණදීම සඳහා ජනතාව හසුරුවා ගැනීම සඳහාය. සමාජ දුරස්ථභාවය රෝගය පැතිරයාම වළක්වා ගැනීමට තිබෙන හොඳම ක්‍රියාමාර්ගය වශයෙන් සැලකෙයි. එය කළ හැක්කේ ඇඳිරි නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමෙන් පමණි. මහ මැතිවරණයක් පැවැත්වෙන තත්ත්වයක් තුළ ඇඳිරි නීතිය කෙසේ ක්‍රියාකරනු ඇත්දැයි පැහැදිලි නැත.

මෙවැනි ජාතික ව්‍යසනයකදී ආණ්ඩුවක් කටයුතු කළයුතු වන්නේ රටටත් ජනතාවටත් උපරිම ආරක්ෂාවක් සැලසෙන අයුරිනි. ඒ සඳහා විශාල පිරිසකගෙන් උපදෙස් ලබාගැනීම සහ නිසා තැනට නිසි පුද්ගලයන් පත් කිරීම සිදුවිය යුතුය. යහපාලන ආණ්ඩුව තිබුණ කාලයේ සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ යළි කල්පනා කරනවා නම් යහපාලන ආණ්ඩු නායකයන් පසුවිය යුතු වන්නේ තමන් අතින් සිදුවූ අතපසු වීම් පිළිබඳව තමන්ටම චෝදනා එල්ල කරගත යුතු තත්ත්වයකය. නිසි තැන නිසි පුද්ගලයන් යොදවා සිටියේ නම් එවැනි බිහිසුණු ප්‍රහාරයක් සිදුවන බවට ඉන්දියාවේ බුද්ධි අංශ මගින් තහවුරු කළ හැකි තොරතුරු සපයා තිබියදීත් එය නොසලකා කටයුතු කිරීමට ඉඩක් නැත. එම සිද්ධියේදී එවකට සිටි ජනාධිපතිවරයා ඇතුළු යහපාලනය කටයුතු කළ ආකාරයත් කොරෝනා ආසාදන ව්‍යසනයේදී වත්මන් ජනාධිපතිවරයා ක්‍රියාකරන ආකාරයත් අතර වෙනස අහසට පොළොව මෙනි. මේ අවස්ථාවේදී රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිටින්නේ බොක්ස් සීට් එකේ බව ඕනෑම පුද්ගලයකුට තේරුම් ගැනීම අපහසු නැත.

එසේ වුවද කොරෝනා ව්‍යාප්ත වීම පිළිබඳ ලෝක තත්ත්වය මාර්තු මාසයේ මුලදී සිටම භයානක තත්ත්වයට හැරෙමින් තිබිණි. ඒ අවස්ථාවේදී ආණ්ඩුව ඉක්මන් වී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කිරීම වෙනුවට කොරෝනා කෙරෙහි අවධානය යොමුකර මහ මැතිවරණයට වඩා එය වළක්වා ගැනීමට කටයුතු කරන බවට රටට පණිවුඩයක් දුන්නේ නම් ආණ්ඩුව මීට වඩා ජනතාවගේ පැසසුමට ලක්වීමට ඉඩ තිබිණි.

දැන් සිදු වී තිබෙන්නේ කොරෝනා අර්බුදය මැද  පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවීමටද ඉඩක් ඇතිවීමය. හැකි ඉක්මණින් මේ අර්බුද දෙකම විසඳෙනවා දැකීම ජනතාවගේ අරමුණ බවට කතා දෙකක් නැත. රටකට එකවර අර්බුද දෙකක් කිසිසේත්ම අවශ්‍ය නැත.

   ශශීන්ද්‍ර