2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

පාස්කු ප්‍රහාරයෙන් කොරෝනා ප්‍රහාරයට

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 61

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසරක් ගෙවී ගොස් අවසන්ය. එහෙත් එහි වේදනාත්මක අත්දැකීම් විසින් උගන්වන ලද අමිහිරි පාඩම් තවමත් රටම වෙලාගෙන පවතී. එයින් සිදු වූ මිනිස් ජීවිත හානිය අන් සියලු මතකයන්ට වඩා අප කාගේත් සිත් තවමත් තදින්ම කම්පනය කරයි. එය වළක්වා ගතහැකිව තිබූ ප්‍රහාරයක් බවත් ලැබුණු බුද්ධි තොරතුරැ ඔස්සේ නිසි පරිදි විමර්ශන සිදු කොට ක්ෂණික පියවර ගත්තේ නම් එම ජීවිත හානියත් එම ප්‍රහාරයේ රුදුරු බව හරහා රටපුරාම ඇඳුණු බියකරු චිත්‍රයත් නවත්වා ගත හැකිව තිබිණි. එය සිදු නොවීය. වසරකට පසුවද අප එහි මතක සටහන් යළි යළිත් සිහියට නංවමු. එසේ කරන්නේ මාරාන්තික කොරෝනා ව්‍යසනයේ අවසානයක් පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක රුඳෙමිනි.

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම එවකට රටේ සිටි නායකයන් මත පැටවෙන නමුත් මාරාන්තික කොරෝනා වෛරස මඟින් ඇති කරන විනාශයේ වගකීමට උර දෙන කිසිදු නායකයෙකු නැත. එය මූලිකවම මේ රටේ ප්‍රශ්නයක් නොවේ. මේ රටේ හිටපු සහ සිටින නායකයන් විසින් ජනතාව මත පටවන ලද්දක්ද නොවේ. කොරෝනාව අද ලෝක ප්‍රශ්නයකි. ලෙඩ වී සිටින්නේ ලංකාව හෝ රටවල් කිහිපයක් හෝ නොවේ. මුළු ලෝකයමය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයන් කිහිප දෙනකුම චීන නායකයන්ට බලවත් ලෙස දෝෂාරෝපණය කළ ද එය ප්‍රශ්නයට විසඳුමක් නොවේ.

මේ වනවිට කොරෝනා වෛරසය ලොවපුරා මිලියන දෙකහමාරකට අධික ජනතාවක් ලෙඩුන් බවට පත් කර ඇති බවත් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවකට මරු කැඳවා ඇති බවත් යන්න කටුක යථාර්ථයයි. නායකයන් බැණගත් පමණින් ලෙඩේ සුව වෙන්නේ නැත. මේ බව ලෝක නායකයන් විසින් අවබෝධ කර ගත යුතුය.

ලෝකය එසේ වුවත් ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ බලපෑම තදින්ම අඩපණ කොට එහි සාර්ථක පාලනයක් ඇති කර ගැනීමට බලධාරීන් සමත් වීම යම්තාක් දුරකට සැනසුම් සුසුමක් හෙළීමට ඉඩකඩ සලසා තිබේ. එම තත්ත්වය උදා කරදීමට ඇප කැපව ක්‍රියාකරන මෙරට සෞඛ්‍ය සේවයේ බලධාරීන්, වෛද්‍යවරුන් සහ සියලු කාර්ය මණ්ඩල වලටත් එම කටයුතු සාර්ථකව ක්‍රියාවට නැංවීමේදී පවතින සියලු බාධක ඉවත්කොට යථාපරිදි සියල්ල ඉටුකිරීමට ක්‍රියාකාරීව සියලු සහාය දක්වන ත්‍රිවිධ හමුදා බලධාරීන්, නිලධාරීන් සහ සොල්දාදුවාගේ පටන් සියලු හමුදා බලඇණි වලටත් රටේ ජනතාවගේ ගෞරවනීය ප්‍රණාමය හිමිවෙයි. ඔවුන් තමන්ට ඇතිවන අවදානම ගැන පවා නොතකා රාජකාරිය ඉටුකිරීම වෙසෙසින් කැපී පෙනෙයි. එය ඉහළම ජාතික මෙහෙවරක අනුස්මරණීය සටහනක් තබා ඇති බව කෘතවේදීව සඳහන් කළ යුතුය.

මෙහිදී තවත් දෙපිරිසක් පිළිබඳ සඳහන් විය යුතුමය. මේ සියලු මෙහෙවරට සෘජු නායකත්වයක් ලබාදෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රජයත් නිලධාරී මණ්ඩලයත් මෙහිදී ඉහළින් කැපීපෙනෙයි. අනෙක් පිරිස රටේ ජනතාවය.
ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මාරාන්තික කොරෝනා වෛරසයට එරෙහිව පැති කිහිපයකින් සිදු කරන ලද මෙහෙයුම පසුගිය මාසයක පමණ කාලය පුරාවටම සාර්ථක ප්‍රතිඵල අත්කර දී තිබිණි. නිරන්තරව අදාළ සියලු අංශ සමඟ සාකච්ඡා කිරීමත් වෛද්‍ය විශේෂඥයන් ඇතුළු විද්වතුන් විසින් ලබා දෙන අදහස් කෙරෙහි සැලකිලිමත් වෙමින් නිශ්චිත තීන්දු ගැනීමත් මෙහිදී කැපී පෙනිණි. එහෙත් ඇතැම් අවස්ථා වලදී දේශපාලන කාරණා ඉස්මතු කරමින් වෛද්‍ය මතයට තරමක් පටහැනිව යාමට ආණ්ඩුවේම ඇතැම් පිරිසක් උත්සාහ දරණ බවද පෙනෙන්නට තිබේ. එම තත්ත්වය වළක්වාගෙන ලබාගත් සාර්ථකත්වය ඉදිරියට ගෙනයාම ජනාධිපති, අගමැති ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨයන්ගේ වගකීම වෙයි. දේශපාලන හෝ වෙනත් හේතූන් මත හෝ පසුගිය රජය මඟින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය තම දෑස් ඉදිරිපිට සිදුවනු බලා සිටීමෙන් සිදු වූ විපාක වල තරම හඳුනාගත නොහැකි නම් මේ රජය ඇතුළු දේශපාලන පක්ෂ විසින් සිදුකරමින් සිටින්නේද එම වැරැද්දම බව සඳහන් කළ යුතුය. එයට ඉඩ නොදී සෘජු ලෙස කොරෝනාවට එරෙහි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමය.

එසේම රටේ ජනතාවද තමන්ගේ වගකීම පිළිබඳ මනා අවබෝධයකින් තවදුරටත් ක්‍රියා කිරීම අවශ්‍ය බවද පෙන්වා දෙනු කැමැත්තෙමු. මුල සිටම රජය මඟින් කොරෝනාවට එරෙහිව ගනු ලැබූ පියවර සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණේ ඒ සඳහා රටේ බහුතර මහජනතාවගෙන් පෙරළා ලැබුණු සහයෝගය හේතුවෙනි. ඒ බව අමතක කොට මේ සියලු සාර්ථකත්වය පසුපස සිටින්නේ තමන් බවට මතයක් ගෙනයාමට රජයේ ඇතැම් පිරිස් උත්සහ ගැනීම විහිළුවකි.
මෙය විහිළු සැපයීමට කාලයක් නොවේ. රජය ලබාදෙන සහනාධාර බෙදීමේ පෝර්ම වල තමන්ගේ පක්ෂ ලාංඡනය ගැසීමට තරම් පහළ මට්ටමේ සිටින දේශපාලඥයන් සිදුකරන්නේ එම විහිළු සැපයීමය. ඒවා වළක්වාගත යුතුය. එසේම ජනතාව අතුරින් සුළු පිරිසක් විසින් දක්වන නොසැලකිලිමත් බව හේතුවෙන් කොරෝනා මර්දන කටයුතු වලදී සියලුදෙනා රටක් වශයෙන් ලබාගත් සාර්ථකත්වය ආපසු හැරවීමටද ඉඩ දිය යුතු නැත.

 

► රන්ජිත් ආනන්ද ජයසිංහ