2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

දැන් කළ යුතුදේ

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 103

මේ වනවිට තහවුරු කරන ලද මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 151 දෙනකු බව සෞඛ්‍ය අංශ වාර්තා හෙළි කරයි. මරණ සංඛ්‍යාව 04ක් බවද රෝහල් අධීක්ෂණය යටතේ රඳවා සිටින ආසාදිත බවට සැකරන පුද්ගලයන් 251 දෙනකු වන බවද සැලවෙයි. සුවය ලබා 21 දෙනකු පිටත්ව ගොස් සිටින අතර රෝහල්වල ප්‍රතිකාර ලබන පිරිස 126කි. මේ සංඛ්‍යාලේඛන සිකුරාදා (03) උදෑසන වනවිට තිබූ තත්ත්වයයි. එය තවදුරටත් සංකීර්ණ වන බවට අනාවැකි පළවෙමින් තිබෙන අතර රෝගය අවසානයක් කරා එළඹෙන මාවතක් තවම පෙනෙන තෙක් මානයක නැත.

යථාර්ථය කොතරම් කටුක වුවද එය පිළිගැනීම හැර වෙනත් විකල්පයක් අප කාටත් නැත. කිසියම් හෝ විකල්පයක් තිබුණානම් ලොව ආර්ථික සහ තාක්ෂණික වශයෙන් බලවත්ම රට වන අමෙරිකාවේ ජනාධිපතිවරයා මේ තරම් අසරණ වන්නේ නැත. අප්‍රේල් මාසය මැද වන විට අමෙරිකානුවන් දෙලක්ෂයකට පමණ ජීවිත අහිමිවනු ඇති බවට උපකල්පනය කරමින් ඔහු අනාවැකි පළ කරන්නේද නැත. සති තුනක් ඇතුළත එරට මිලියන 6කට වඩා රුකියා අහිමි වන්නේ ද නැත. අප හමුවේ ඇත්තේද මේ ආකාරයේම ප්‍රශ්න සමූහයක් බවත් ඒ ප්‍රශ්නවලට පිළිතුරැ සෙවීම මේ අවස්ථාවේ බැරෑරුම් ම කටයුත්ත බවත් අපි සියලු දෙනාම විසින් තේරැම් ගත යුතු වෙයි.

කෙසේ වුවද ශ්‍රී ලංකාව මේ ගැටලුවලට මුහුණ දෙන ආකාරයෙත් අමෙරිකාව සහ යුරෝපය ඇතුළු සෞඛ්‍ය ආරක්ෂාව අතින් කප්ගැසූ ඉතාම දියුණු යැයි සම්මත රට රාජ්‍ය ඊට මුහුණ දෙන ආකාරයේත් පැහැදිලි වෙනසක් හඳුනා ගත හැකිය. මෙරට රජය ඇතුළු බලධාරීන් කොරෝනාවට මුහුණ දීම සඳහා මහජනතාවට පෙළගැස්වීමේදී ඉතාම සැලකිල්ලෙන් දූර්දර්ශී සහ ඇත්ත ඇති සිටියෙන් වටහාගෙන කාර්යක්ෂම කණ්ඩායම් යොදවාගෙන සැලැස්මක් ක්‍රියාත්මක කළ අතර මේ වනවිටද එහි ප්‍රතිඵල රටට දැනෙමින් තිබේ. තවමත් අපේ රට සිටින්නේ නව කොරෝනා රෝගයේ පාලනය තම අණසක යටතේ තබා ගනිමිනි. එය මේ තරම් දුරට හෝ ව්‍යාප්ත වී මරණ කිහිපයක්ද සිදුව තිබෙන්නේ රජය මගින් ලබාදෙන ලද උපදෙස් අනුව කටයුතු නොකරන සීමිත පිරිසක් රටතුළ සිටින බැවිනි.

එහෙත් අමෙරිකාව සහ යුරෝපීය රටවල් අනුගමනය කළේ එයට හාත්පසින්ම වෙනස් ක්‍රියාමාර්ගයකි. ඔවුන් මුල සිටම රෝගය ගණන් ගත්තේ නැත. එහි භයානක ව්‍යාප්තිය පිළිබඳව කිසිදු සැලකිල්ලක් දැක්වූයේ නැත. වෛරසය පැතිර යාම මුල සිටම වළක්වා ගැනීම සඳහා ගත හැකිව තිබූ හොඳම පියවර සමාජ දුරස්ථභාවය ඇති කිරීම වුවද එය සිදුකිරීම සඳහා සියලු පහසුකම් තිබුණ එම රටවල් එම වැදගත්ම පියවර අනුගමය කළේ නැත. තම රටවල් ලොක් ඩවුන් කිරීම රටේ ජනතාවගේ ජන ජීවිතයට බාධාවක් වනු ඇති බවත් තම රටවල අභිමානයට එය කැළලක් වනු ඇති බවට පැවති පුහු ආඩම්බරයත් විසින් ඒ රටවල් බලවත් අනතුරකට ඇද දමාතිබේ. අද ඒ රටවල කොරෝනා මරණ සිදු වන්නේ සියගණනිනි. දැන් සමස්ත ලෝකයේ මරණ සංඛ්‍යාව පනස්දහස ඉක්මවා තිබෙන අතර ආසාදිතයන් සංඛ්‍යාව දස ලක්ෂයේ සීමාව පැන තිබේ. මේ වේලාවේදී එම රටවල් සමාජ දුරස්ථභාවය ඇති කිරීම සඳහා පියවර ගැනීම නිසැකවම අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීමක් බව එකී සංඛ්‍යා ලේඛන පැහැදිලිව පෙන්වා දී තිබේ. 

බලවත් රටවලට පවා නොහැකි වූ සෞඛ්‍යරක්ෂාව පිළිබඳ තීන්දු තීරණ ගැනීමට අපේ රටේ ජනාධිපති - අගමැති ඇතුළු සියලු බලධාරීන් ඉදිරිපත් වීම මේ වන තුරු කිසියම් අස්වැසිල්ලක් වී තිබුණද ජනතාව අතුරින් කිසියම් පිරිසක් අමන මෝඩයන් සේ හැසිරීම එම තත්ත්වය ව්‍යාකූල කරමින් තිබේ. තමන් තුළ කිසියම් හෝ ආකාරයක රෝග ලක්ෂණ පහළ වී ඇත්නම් ඒ බව නොසඟවා සෞඛ්‍ය බලධාරීන්ට හෙළි කරන්නැයි පැය විසිහතර පුරාම දැනුම් දීම් කළත් ඒ අනුව කටයුතු කිරීමට සමහරැ පෙළඹෙන්නේ නැත. එසේම තමා පසුගිය සති කිහිපය තුළදී විදෙස් ගමනක් යෙදී ආපසු පැමිණියේනම් නොසඟවා හෙළි කරන ලෙසට සිදු කෙරෙන ඉල්ලීම්ද සමහරුන් නොසලකා හරින බවද පෙනෙන්නට තිබේ. 

රෝගය පාලනය කර ගැනීමට රජය දක්වන සැලකිල්ල සුළු පිරිසක් තුළ නැති වීමේ භයානක ප්‍රතිඵල විඳින්නට සිදු වී ඇත්තේද එම පිරිසටය. පසුගිය දින කිහිපය තුළ සිදු වූ මරණත් රෝගය වැළදුණු අය රටේ තැනින් තැන මතුවීමත් එසේ මතු වූ අයගේ දරුපවුල් වලට පවා මේ රෝගය වැළඳීමත් එම දරුණු ප්‍රතිඵල වී තිබේ. එසේම වටපිටාවේ සියලු දෙනාටද ඔවුන්ගේ හැසිරීම භයානක ප්‍රතිඵල ලබාදෙමින් තිබේ තවම යථා තත්ත්වය අවබෝධ කරගැනීමට නොහැකි පුද්ගලයන් විසින් සිදුකරන විනාශය සුළුපටු නැත.

මේ වේලාවේ අවශ්‍ය වන්නේ රජය විසින් හමුදාව සහ පොලීසියේ සහාය ඇති සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට තමන්ගේ සහාය දැක්වීම පමණක් බව සියලු දෙනා විසින් අවබෝධ කරගැනීම අවශ්‍යය. රෝගය පරාජය කළ හැක්කේ එම මාර්ගයේ ගමන් කිරීමෙන් පමණි.

 

► රන්ජිත් ආනන්ද ජයසිංහ

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00