2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

කොරෝනා මැද රත්වෙන තැටිය

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 267

කොරෝනා වයිරසයේ බලපෑම ලොවේ බොහෝ දේ වෙනස් කර තිබේ. එය අපේ රටටද අදාළය. ජාත්‍යන්තරයේ දේශපාලනයට එයින් ලොකු බලපෑමක් සිදුකර නැත. එහෙත් ශ්‍රී ලංකාව සිටින්නේ මහ මැතිවරණයක් සඳහා නාමයෝජනා ලබාගෙන එය පවත්වන දිනය කල්දැමූ තත්ත්වයක් මතය. හරියටම කිව්වොත් පාර්ලිමේන්තුවකින් තොරව මෙරට වැඩිම කාලය ගතවන අවස්ථාව වශයෙන් 2020 වර්ෂය දේශපාලන ඉතිහාසයට එක්වනු ඇත.

කොරෝනා වයිරසයේ බලපෑම අපේ රටට එල්ල වීමට පෙර පාර්ලිමේන්තුව විසුරැවා හරිනු ලැබූ බව ආණ්ඩුව මුලින්ම කිව්වේය. එහෙත් විපක්ෂය චෝදනා කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ මාර්තු 02 වැනිදා වනවිටද කොරෝනා බලපෑම ලෝකයට තදින්ම දැනෙමින් තිබූ බවය. ආණ්ඩුව හැකිතරම් ඉක්මනට මහ මැතිවරණයකට යාමේ අපේක්ෂාව ඇතිව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් රට බැරූරැම් තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවේ පාර්ලිමේන්තුවක් හෝ ආණ්ඩුවක් හෝ නැති තත්ත්වයකට පත්වීමට රටට සිදුව ඇතැයි විපක්ෂය වරින්වර චෝදනා නැගීය. අවශ්‍ය නම් පාර්ලිමේන්තුව යළි කැඳවීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව බලය පැවරී ඇති බවත් එසේ පාර්ලිමේන්තුව යළි කැඳවන්නැයි ඉල්ලා සිටින බවත් කියමින් විපක්ෂය නිවේදන පවා නිකුත් කළේය.

එහෙත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව යළි කැඳවීම එකහෙලා ප්‍රතික්ෂේප කළේය. ජනපති, අගමැති ඇතුළු ආණ්ඩු පක්ෂ හිටපු මැති ඇමැතින් දිගින් දිගටම කියා සිටියේ මෙවැනි හදිසි අවස්ථාවක ජනතාවට සහන ලබාදීම සඳහා හෝ පනතක් සම්මත කර ගැනීමට බැරි පාර්ලිමේන්තුවක් පවත්වා ගැනීමේ තේරුමක් නැති බවය. තමන් රටේ ජනතාවට සහන ලබාදීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කර ගැනීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ යූ.එන්.පී.ය ප්‍රමුඛ විපක්ෂය එය පරාජය කිරීමට කටයුතු කළ බවටද ආණ්ඩුව චෝදනා නැගුවේය. නමුත් යූ.එන්.පී.ය පැවසුවේ ආණ්ඩුව ජනතාවට සහන ලබාදීමට මුවා වී ඡන්දය කිරීම සඳහා විශාල මුදලක් සම්මත කර ගැනීමට රජය කළ සැලසුමක් ව්‍යර්ථ කළ බවය. කෙසේ වුවද පාර්ලිමේන්තුව යළි කැඳවීමට ආණ්ඩුව කිසිලෙසකින්වත් කටයුතු නොකරන බව ඉතා පැහැදිලිය.

ආණ්ඩුවත් විපක්ෂයත් කොතරම් කඹ ඇදිල්ලක සිටියත් රටේ මහජනතාව නම් මේ මොහොතේ සිටින්නේ මහ මැතිවරණ සිහියෙන් නොවේ. ඔවුන්ගේ සිතේ අහලකවත් ඡන්දයක් නැත. නිවෙස්වලටම කොටු වී ජීවත්වන ජනතාවගේ ප්‍රධාන මාතෘකාවත් කටගැස්මත් කොරෝනාම පමණි. ජීවත්වීමේ ආර්ථික ප්‍රශ්න ඊළඟටය. ඊළඟ දවස උදාවන්නේ අලුතින් සොයාගත් කොරෝනා රෝගීන් කී දෙනෙකු සමඟද යන්න ඔවුන්ගේ සිත්සතන් තුළ කැකෑරෙන ප්‍රශ්නයයි. මේ තත්ත්වය මේ රටේ කිසිවකුත් මින් පෙර මුහුණ නුදුන් තත්ත්වයකි. රටේ දේශපාලනඥයන්ද එය නොදන්නවා නොවේ. මැතිවරණයක් කල්දැමිය හැක්කේ මැතිවරණ කොමිසමට පමණක් බව ආණ්ඩුව මුලින් ප්‍රකාශ කළේය. නාමයෝජනා භාර ගැනීමෙන් පසුව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ මහ මැතිවරණය කල්දමන බවය. එම තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර ඔහු බලවත් පුද්ගලයන් කිහිප දෙනකුගේ මතය විමසා බැලූ බවද දැනගන්නට තිබේ.

කෙසේ වුවද මහ මැතිවරණය පැවැත්වීමට හැකිවන පළමු දිනය ලෙස දැනට පෙනෙන්නට තිබෙන්නේ මැයි 30 වැනිදාය. එය සිදුවිය හැක්කේද මීළඟ සති දෙක තුළදී කොරෝනා වයිරස තත්ත්වය පාලනය කිරීමට හැකි වුවොත් පමණි. ඒ පිළිබඳ සහතිකයක් දිය හැකි කිසිවකුත් නැත. කොරෝනා පාලනය කිරීම සම්බන්ධයෙන් විශාල වගකීමක් දරණ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ අප්‍රේල් 07 වැනිදා වනතුරැ වයිරසය පුළුල්ව පැතිර යාමට තිබෙන ඉඩකඩ විශාල බවය. මේ වනවිට තත්ත්වය පාලනය කර ගත හැකි මට්ටමක පැවතුණත් රෝග ව්‍යාප්තිය ඉදිරියේදී වැඩි වුවහොත් එය පාලනය කරගත හැකි මට්ටමෙන් ඉවතට යනු ඇති බවත් එම තත්ත්වයට රට මුහුණ දීමෙන් වළක්වා ගත හැක්කේ රජය මගින් ලබාදෙන උපදෙස් නිසි ලෙස පිළිපැදීමෙන් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබිණි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මතයද  එයමය.

රටපුරා ක්‍රියාත්මක වනුයේ ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කළේ වෛද්‍ය ක්ෂේත්‍රයේ උපදෙස් මත මේ තත්ත්වයට මුහුණදීම සඳහා ජනතාව හසුරුවා ගැනීම සඳහාය. සමාජ දුරස්ථභාවය රෝගය පැතිරයාම වළක්වා ගැනීමට තිබෙන හොඳම ක්‍රියාමාර්ගය වශයෙන් සැලකෙයි. එය කළ හැක්කේ ඇඳිරි නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමෙන් පමණි. රටේ දේශපාලන තත්ත්වය කුමක් වුවත් කොරෝනා මැඩපැවැත්වීමට රජය දැඩි ලෙස ප්‍රමුඛතාව දී තිබෙන බව මේ තදබල තීන්දු ගැනීමෙන් පැහැදිලි වෙයි.

ඇඳිරි නීතිය පවතිද්දීම පසුගිය සෙනසුරාදා (21) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා විසින් පක්ෂ නායක හමුවක් පැවැත්වීමට තීන්දුවක් ගෙන තිබුණේද එහි ප්‍රතිඵලයක් වශයෙනි. කෙසේ වුවද එය පැවැත්වූයේ  අඟහරැවාදා (24) උදෑසනය. එම රැස්වීමේදී පවා අසුන් පනවා තිබුණේ සෞඛ්‍ය සේවා උපදෙස් අනුව ආසන අතර අඩි 03ක නිසි පරතරය පවත්වා ගනිමිනි. මුහුණු ආවරණද සපයනු ලැබ තිබිණි. සහභාගි වූ සියලුම නායකයන් සෞඛ්‍යාරක්ෂක පියවර අනුගමනය කළයුතු වූ අතර අත් සෝදාගෙන සනීපාරක්ෂක දියරවලින්ද පිරිසුදු වීමට පහසුකම් සලස්වා තිබිණි. ඔවුන් සාකච්ඡා කාමරයට ඇතුළු කරගනු ලැබුවේ උණ බැලීමෙන් අනතුරැවය. උදෑසන 10.00ට පමණ රැස්වීමේ කටයුතු ඇරඹුණේ මුඛ ආවරණයක් පැළඳගෙන අසුන්ගත් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

රනිල්, සජිත්, කරුට අමතරව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන,  අතුරුලියේ රතන හිමි, මුස්ලිම් කොංග්‍රස් නායක හකීම්, ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම්.ඒ. සුමන්තිරන්, ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්ද, සමස්ත ලංකා මහජන කොංග්‍රස් නායක රිෂාඩ් බදියුදීන් සහ තවත් නායකයෝ රැසක්ද රැස්වීමට සහභාගී වී සිටියහ. ඒ අතර මනෝ ගනේෂන්, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන සහ විමල් වීරවංශද පැමිණ සිටි බවද සඳහන් විය. පැවති පාර්ලිමේන්තුවෙන් සියලු පක්ෂ නායකයෝ රැස්වීමට ඇරියුම් ලබා සිටියහ.

මෙම පක්ෂ නායක සමුළුවට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ පියවර ගණනාවක් බොහෝ දෙනෙකුගේ ප්‍රසාදය දිනා තිබේ. මෙවැනි රටම මැදිහත්කර ගත යුතු මෙහෙයුමකදී ත්‍රිවිධ හමුදාවට පැවරෙන්නේ විශාල වගකීමකි. මුලසිටම හමුදාව එම කාර්යය සඳහා යොදවාගනු ලැබුවේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදිය. ත්‍රිවිධ හමුදාවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සියලු සෞඛ්‍ය සේවා නිලධාරීන්ද අත්‍යාවශ්‍ය සේවා භාරව කටයුතු කරන නිලධාරීන්ද මනා ලෙස සම්බන්ධීකරණය කරමින් කොරෝනා මර්දන මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග මෙහිදී කැපී පෙනෙයි. එසේම අසීරුවට පත්ව සිටින ජනතාවට සහන රැසක් ලබාදීම සඳහා සහන පැකේජයක්ද ලබාදුන් ජනාධිපතිවරයා ආදායමක්, වැටුපක් නොලබා නිවෙස්වලට වී සිටින ජනතාවගේ ආර්ථික බර අඩුකිරීම සඳහා බිල්පත් ගෙවීමටද ණය වාරික ගෙවීම් සඳහාද දිගු කාලසීමාවක් ලබාදීමට නියෝග කළේය. බැංකු ක්ෂේත්‍රයද ජනාධිපතිවරයාගේ එම සහන මෙහෙයුමට ඇතුළත් විය.

රජය මගින් ගනු ලැබූ ක්‍රියාමාර්ග මුලදී යූ.එන්.පී.යේ රනිල් - සජිත් දෙපාර්ශ්වයේම විවේචනයට ලක්විය. ඉතාලියෙන් පැමිණි පිරිස ගුවන්තොට හරහා රටට පිවිසීමට පෙර නිරෝධායන කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඔවුහු රජයට චෝදනා කළහ. එහෙත් ඒ වනවිට ලෝකයේ කිසිදු රටක් තම ගුවන්තොටුපළ වසා දමා තිබුණේ නැත. රටට පැමිණෙන තම රටේ ජනතාව ආපසු හරවා යැවීමට කිසිම රටක ආණ්ඩුවක් ක්‍රියා කළේ නැත. යූ.එන්.පී. නායකයන් එය විවේචනයකට වඩා ආණ්ඩුවට මේ වෙලාවේ ගතහැකි ක්‍රියාමාර්ගයක් වශයෙන් පෙන්වා දුන්නේ නම් එය වඩාත් ජනතාවට සමීප වීමක් විය හැකිව තිබිණි.

මෙවැනි ජාතික ව්‍යසනයකදී ආණ්ඩුවක් කටයුතු කළයුතු වන්නේ රටටත් ජනතාවටත් උපරිම ආරක්ෂාවක් සැලසෙන අයුරිනි. ඒ සඳහා විශාල පිරිසකගෙන් උපදෙස් ලබාගැනීම සහ නිසා තැනට නිසි පුද්ගලයන් පත් කිරීම සිදුවිය යුතුය. යහපාලන ආණ්ඩුව තිබුණ කාලයේ සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ යළි කල්පනා කරනවා නම් යහපාලන ආණ්ඩු නායකයන් පසුවිය යුතු වන්නේ තමන් අතින් සිදුවූ අතපසු වීම් පිළිබඳව තමන්ටම චෝදනා එල්ල කරගත යුතු තත්ත්වයකය. නිසි තැන නිසි පුද්ගලයන් යොදවා සිටියේ නම් එවැනි බිහිසුණු ප්‍රහාරයක් සිදුවන බවට ඉන්දියාවේ බුද්ධි අංශ මගින් තහවුරු කළ හැකි තොරතුරු සපයා තිබියදීත් එය නොසලකා කටයුතු කිරීමට ඉඩක් නැත. එම සිද්ධියේදී එවකට සිටි ජනාධිපතිවරයා ඇතුළු යහපාලනය කටයුතු කළ ආකාරයත් කොරෝනා ආසාදන ව්‍යසනයේදී වත්මන් ජනාධිපතිවරයා ක්‍රියාකරන ආකාරයත් අතර වෙනස අහසට පොළොව මෙනි. මේ අවස්ථාවේදී රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිටින්නේ බොක්ස් සීට් එකේ බව ඕනෑම පුද්ගලයකුට තේරුම් ගැනීම අපහසු නැත. මේ නිසා වත්මන් අර්බුදයේදී ආණ්ඩුව දෙසට ඇඟිල්ල දිගු කරනවාට වඩා ආණ්ඩුවට අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන්නේ නම් යූ.එන්.පී. දෙපාර්ශ්වයටම එය යහපතක් වනු ඇත.

එය එසේ වුවද කොරෝනා ව්‍යාප්ත වීම පිළිබඳ ලෝක තත්ත්වය මාර්තු මාසයේ මුලදී සිටම භයානක තත්ත්වයට හැරෙමින් තිබිණි. ඒ අවස්ථාවේදී ආණ්ඩුව ඉක්මන් වී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කිරීම වෙනුවට කොරෝනා කෙරෙහි අවධානය යොමුකර මහ මැතිවරණයට වඩා එය වළක්වා ගැනීමට කටයුතු කරන බවට රටට පණිවුඩයක් දුන්නේ නම් ආණ්ඩුව මීට වඩා ජනතාවගේ පැසසුමට ලක්වීමට ඉඩ තිබිණි. සාක් රටවල නායකයන් සමඟ මෝදි පැවැත්වූ සාකච්ඡාවේදී පවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය සැලසුම් කරගත් පරිදිම පැවැත්වෙනු ඇති බව ප්‍රකාශ කළේය. එය රටේ තත්ත්වය සාමාන්‍ය බවට වන හැඟීමක් සෙසු රටවල් තුළ ඇති කිරීම සඳහා කළ ප්‍රකාශයක් වශයෙන් සැලකිය හැකි වුවත් ඒ වනවිටද ලෝකය පුරා කොරෝනා වෛරසයේ බලපෑම දැඩිව ව්‍යාප්ත වෙමින් තිබිණි. එවැනි තත්ත්වයක් තුළ රටේ දේශපාලනයට වඩා තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතුව තිබිණි. එය එසේ නොවීම රජය පැත්තෙන් සිදුවූ අඩුපාඩුවකි.

ඒ සමඟ මුල් දිනවලදී ඉතාලිය ඇතුළු යුරෝපීය රටවලින්ද චීනයෙන්ද පැමිණෙමින් සිටි ජනතාව නිරෝධායනයකින් තොරව උණ බැලීමෙන් පමණක් රටට ඇතුළු කර ගැනීමට ක්‍රියා කිරීමද රටේ ජනතාවගේ විවේචනයට ලක්විය. ඔවුන් කිසිවකුත් නිරෝධායන වලට හසු නොවී රටට ඇතුළුවීම හේතුවෙන් මුලදී රෝගය පැතිර ගිය බවට ජනතාවගෙන් චෝදනා එල්ල වූයේ ඒ හේතුවෙනි. එසේම ප්‍රභූවරුන්ගේ පවුල්වලට අයත් සාමාජිකයන් එම රටවලින් ගෙන්වා ගන්නා තුරු ගුවන් යානා පැමිණීමට ඉඩදුන් බවට චෝදනාවක්ද ජනතාවගෙන් එල්ල විය. මුලසිටම ආණ්ඩුව ඡන්දය ගැන නොසිතා දැඩිව තීරණ ගෙන කටයුතු කළේ නම් එම චෝදනාවලින් ගැලවීමට ආණ්ඩුවට හැකියාව තිබිණි.

එය එසේ වුවද ආණ්ඩුව ඊළඟ පියවරේදී ගත් සියලු පියවර අගය කළ යුතුය. ජනතාවට තාවකාලිකව අසීරැකම්වලට මුහුණදීමට සිදුවුවද රෝගය පාලනය කිරීම සඳහා දැඩි තීන්දු තීරණ ගැනීමට රජය ක්‍රියා කිරීම යහපත් ප්‍රතිඵල ලබාගැනීමට උපකාරී වූ බව පැහැදිලිය. කිසිදු කොරෝනා ආසාදිතයකු මෙරටින් වාර්තා නොවූ පැය 24ක කාලයක් ගතවුණේ මේ පසුබිමේය. ඒ තත්ත්වය ඉදිරියටද පවත්වාගෙන යාම ආණ්ඩුවේ වගකීමය. කොරෝනා රෝගය පාලනය කිරීමේදී රටේ සෑම ක්ෂේත්‍රයකම, දේශපාලන නායකයන්ගේද ඇතුළුව සියලු දෙනාගේම සහාය ලබාගැනීම රජයේ වගකීමය.

 ශශීන්ද්‍ර

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00