2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

පොඩි අයට සහන දෙනකොට ලොකු අයට රිදෙනවා

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 288

- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

අපි ජනතාවට ලබාදෙන දේවල් විපක්ෂයට පේන්නෙ නෑ
රාජිත මහත්තයා ඉතිහාසගත බොරු කියන්නෙක්
ඇමැති පුතාලත් නිරෝධායනයට යැව්වා
නාමයෝජනා දුන්නේ ප්‍රශ්න ඔක්කොම විසඳාගෙන
සජිත් ප්‍රේමදාස කොළඹට පැන්නේ පක්ෂෙත් කඩාගෙන
අපිව තුන්පාරක් හිරේ යවපු අය එක්ක එකතුවෙන්න ලැජ්ජ නැද්ද කියලා අහන අය ඉන්නවා
රාජපක්ෂලා ළඟ කුහක දේශපාලනය නෑ
සමහර නම් හැලෙන එක නවත්වන්න බෑ

මේ වෙනකොට රට දරුණු තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා. ඡන්දයත් කල් ගිහිල්ලා තියෙන්නේ. නමුත් ඔබලා ලෑස්ති වෙලා හිටියේ ඡන්දය තියන්න. ඇයි එහෙම අදහසක හිටියේ?

අපි ඡන්දය කල් දාන එක සම්බන්ධව යම්කිසි සාකච්ඡාවක හිටියා. හැබැයි ඡන්දය අප්‍රේල් මාසයේ තියෙන නිසා අපේ අරමුණ වුණේ ඉදිරි සති දෙක ඇතුළත මේ කොරෝනා ව්‍යසනය මර්දනය කරන එක. ඒ සඳහා අපිට තියෙන බලතල අනුව අපි වැඩකටයුතු සිද්ධ කළා. ඒ අතරතුර තමයි මේකේ යම්කිසි අවදානමක් ජනතාව වෙත එල්ල වෙන්න පුළුවන් කියලා දැනෙමින් තියෙන්නේ. ඒකට හේතුව බොහෝමයක් අය මේ රෝගය සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ නොසැලකිලිමත්කමින්. ඒකෙන් විශාල හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා මැතිවරණ කොමිසම ගත්ත තීරණය සම්බන්ධව පුරවැසියෙක් හැටියට මට සතුටුයි. මොකද ඡන්දයක් කරන්නත් නිරෝගිමත් ජනතාවක් රටේ ඉන්න ඕන. 

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වා ඡන්දයට වියදම් කරන සල්ලි හරි වියදම් කරල කොරෝනා මර්දනය කරන්න කියලා. ඇයි ආණ්ඩුවේ කවුරැත් එහෙම යෝජනාවක හිටියේ නැත්තේ?

ඔය කියන එතුමම තමයි ඡන්දය කල් දාන්න එපා කියලා කිව්වේ. එතුමා කිව්වා ඒ ගැන කිව්වොත් එතුමා පරාජය බාරගත්තා වගේ වෙයි කියලා. එතුමා හැමදාම දෙපැත්ත කැපෙන කතා කිය කිය ඉන්නවා විතරයි. කිසිම පදනමක් ඇතුව ප්‍රකාශ කරන්නේ නෑ. එතුමා දැනගන්න ඕන අපි එක්ක වාද විවාද කර කර ඉන්න එක නෙවෙයි දැන් කරන්න ඕන ජනතාව එක්ක මැදිහත් වෙලා මේ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට සහාය දක්වන එක. හැබැයි එතුමා කරන්නේ මොකද්ද එතුමා රැස්වීම් තියෙනවා දහයක් පහළොවක් වට කරගෙන නාමයෝජනා අත්සන් කරනවා.

මේ වෙනකොට හරිහැටි ආණ්ඩුවකුත් නෑ. පාර්ලිමේන්තුවකුත් නෑ. මෙහෙම ලෝක ඛේදවාචකයක් අභියස මෙවැනි දේශපාලන සංක්‍රාන්ති කාලෙක කොහොමද ඔබලා ඊට මුහුණ දෙන්නේ?

මේ වෙලාවේ පාර්ලිමේන්තුව විසුරුවලා නැතුව තිබ්බත් මේ තත්ත්වයට මුහුණ දෙන්න අමාරුයි. හේතුව තමයි අපි බෙහෙත් ගන්න කියලා පාර්ලිමේන්තුවට යොමු කරපු මුදල් පනතට ඒ අය විරැද්ධ වුණා. ඒ නිසා පාර්ලිමේන්තුව විසිරෙව්වා කියලා එකක් නෑ. හැබැයි එක දෙයක් තියෙනවා. අපි ආණ්ඩුවක් හැටියට සීමාවෙන් එහා ගිහිල්ලා ජනතාවගේ ජීවිත රැකගන්න මැදිහත් වෙනවා. ඒක ලෝකයම අගේ කරලා තියෙනවා. ගොඩක් අය ෆේස්බුක් එකේ ලොක්ඩවුන් කියලා දාලා හවස ට්‍රිප් යනවා. ඉතින් කොහොමද කොරෝනා මර්දනය කරන්නේ? ඒ නිසා ආණ්ඩුවට වගේම ජනතාවටත් වගකීමක් තියෙනවා ඉතාමත් වගකීමෙන් වැඩ කරන්න. හැබැයි අපි මේ වෙනකොට විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකායක් හරහා මේකට ගතයුතු ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා.

විපක්ෂයෙන් නම් කියන්නේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ ඉතාම දුර්වලයි කියලා.

විශේෂයෙන් කියන්න ඕන එහෙම කියන කට්ටියට ගිහිල්ලා බලන්න වෛද්‍යවරු, යුද හමුදාව ඒ වගේම ජනතාව ඒ වෙනුවෙන් වැඩකටයුතු කරන ආකාරය. ඒ හැමදෙනාම අගය කරන්න ඕන. අපිට දේශපාලන වශයෙන් මඩ ගැහුවට කමක් නෑ. අපි කියන්නේ ජනතාව වෙනුවෙන් වැඩ කරන මිනිස්සුන්ට ඒ චෝදනාව දාන්න එපා. මොකද ඒ අය නැත්නම් මීට වඩා බරපතළ වෙනවා. පොලීසිය හැම මොහොතෙම අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා.

මෙච්චර ව්‍යසනයක් තියෙද්දි ජනාධිපතිවරයා ජනතාවට සැමනුයි පරිප්පුයි අඩු කරලා දේශපාලන වාසියක් ගන්න කටයුතු කළා කියලා චෝදනාවක් තියෙනවා. 

ඔය විපක්ෂයේ අයට පෙනුණේ සැමනුයි පරිප්පුයි විතරයි. ඇත්තටම ඊටවඩා දේවල් ඒ කතාවේ කියවුණා. නිරෝධායනය කරන ආකාරය, අවශ්‍ය ක්‍රියාමාර්ග ඒ හැමදෙයක්ම කිව්වා. හැබැයි අර පොඩි මිනිහට ලබාදුන්න සහනය තමයි ඔය ලොකු පන්තියේ අයට වැදුණේ. හැබැයි සාරංශය ගත්තොත් ලබාගත්ත ලීසිං ණය මාස හයක් කල් දැම්මා. ඉතින් ඒවා කාටවත් පෙනුණේ නෑ නේද? මේක මැතිවරණයක් ඉලක්ක කරගත්ත කතාවක් නෙවෙයි. හැබැයි ඔය චෝදනා කරන කට්ටිය තමන්ගේ පාක්ෂිකයන්ටවත් කියලා තියෙනවද එළියට යන්න එපා, එකතු වෙන්න එපා කියලා? එහෙම නෑ. අපි කරන දේ තමයි ඒගොල්ලන්ට ප්‍රශ්නේ.

අපි දැක්කා සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රකාශ කරපු අය අත්අඩංගුවට ගත්තා. හැබැයි එළිපිට අසත්‍ය ප්‍රකාශ කළා කියන සරත් ෆොන්සේකා සහ රාජිත සේනාරත්නට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීමක් නෑ. ඇයි මේ නීතිය දෙවිදිහක්?

මෙහෙමයි. රාජිත සේනාරත්න මහත්මයා ඉතිහාසයේ ඉඳන්ම කිව්ව බොහෝ කතා බොරු. හැබැයි මෙතන තියන ප්‍රශ්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ ආයතනවල තනතුරු දරලා හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා හැටියට ජනතාව රවට්ටන්න බොරු කියන එක. දේශපාලන මඩ ගැසීම් වෙනයි. ඒත් ජනතාවට මේ කරන හානිය ඉතාම දරුණුයි. මොකද රට පිළිබඳව වැරදි ප්‍රතිරූපයක් ජාත්‍යන්තරයට යන්න පුළුවන්. සරත් ෆොන්සේකා මහත්මයත් එහෙමයි. එතුමා නම් යම් නිවැරැදිකිරීමක් කරලා තිබුණා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නෙ කියපු දේවල් නැවත ගන්න බෑ. මගේනම් අදහස ඒ සියලුදෙනාට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන.

මේ ප්‍රශ්න මැද්දේ ගුවන් තොටුපොළ සීමා පනවද්දි එංගලන්තයේ ඉඳාලා ගුවන් යානයක් ප්‍රභූ දරුවන් රැගෙන ලංකාවට ආවා කියලා චෝදනාවක් තියෙනවා. ඇත්තටම මොකද්ද ඒ සිද්ධිය?

එහෙම ප්‍රභූ දරුවන් ආවද නැද්ද කියලා අපි දන්නෙ නෑ. ඕන කෙනෙක්ට ගුවන් යානයක එන්න පුළුවන්. හැබැයි ඒ ආපු හැමදෙනාම නිරෝධායන වැඩපිළිවෙළකට අපි යටත් කරනවා. කාටවත් විශේෂ සැලකිලි නෑ. ඒ අය කම්කරුවෙක්ගේ පුතෙක්ද ඇමැති කෙනෙකුගේ පුතෙක්ද කියලා අදාළ නෑ. සුපුරුදු පරිදි නිරෝධායන වැඩකටයුතුවලට යටත් කරලා තියෙනවා. හැබැයි මේ හැමදේම කරද්දි සමහර අය බොන්න දුන්න තේ වතුර එක පෙන්නලා හෙණ ඉල්ලුවා. අන්න ඒ අය නිසා තමයි අද මේ වගේ තත්ත්වයක් උදා වුණේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාමයෝජනා ලබාදීමේදී අසාධාරණකම් වුණා කියලා චෝදනාවක් තියෙනවා. ඇයි මේ පොහොට්ටුව මෙවැනි කැපිල්ලක් දැම්මේ?

එහෙම කිසිම දෙයක් කළේ නෑ. ඒ සියලු ප්‍රශ්න විසඳලා ඒ හැමදෙයක්ම නිරාකරණය කරලා ඉවරයි. අපි සියලු නාමයෝජනා බාරදුන්නේ සියලු ප්‍රශ්න විසඳලා. මෙතන තියෙන්නේ විශාල පිරිසක් ඡන්දය ඉල්ලන්න බලාපොරොත්තු වෙන එක. එතකොට තමයි මේ ප්‍රශ්න ඇතිවෙන්නේ. මොකද සමහර නම් දාගන්න බැරි වෙනවා. මගේ දිස්ත්‍රික්කය ගත්තොත් දාන්න පුළුවන් දහදෙනයි. පාර්ලිමේන්තුවේ හිටිය අය තුන්දෙනෙක් ඉන්නවා පොහොට්ටුවේ. එතකොට පේනවනේ ප්‍රශ්නේ. දැන් කොළඹ බලන්න විමල් වීරවංශ මහත්මයාගේ ඉන්නවා, ගම්මන්පිල මහත්මයගේ ඉන්නවා, දිනේෂ් මහත්මයගේ ඉන්නවා ඒ හැමදෙනාම නියෝජනය වෙන්න ඕන. ඉතින් ගැටලු ඇතිවෙනවා. මොකද වෘත්තීයවේදීන් දාන්නත් එපැයි.

හැබැයි ශ්‍රිලනිපයේ අය කියන්නේ හිතාමතාම නම් කැපුවා කියලා.

කිසිසේත්ම එවැනි කැපීමක් හෝ වංචාවක් සිදු කළේ නෑ. මොකද නාමයෝජනා හදද්දි පුද්ගලයන් පදනම් කරගෙන ලබාදීම් කළේ නෑ. අපි කළේ සියලුම ජනතාව නියෝජනය කරන්න පුළුවන් සංකලනයක් ලබාදෙන එක.

ශ්‍රීලනිප පිරිසක් මේ වෙනකොට වෙන වෙන පක්ෂවලට ගිහින් තියෙනවා. ඒක අවාසියක් නෙවෙයිද?

අනේ එහෙම කිසිම අවාසියක් නෑ. ඔය වගේ දේවල් අනන්තවත් වෙනවා. හැබැයි එහෙම කියලා දිනපු කෙනෙක් නෑ. ඒ නිසා ඒ ගැන හිතන එක තේරැමක් නෑ. දැන් ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ස්වාධීනව ඉල්ලපු අය හිටියා. ඒකෙන් පොහොට්ටුවට අවාසියක් වුණේ නැහැනේ.

වෙන පක්ෂ නෙවෙයි, අඩුම තරමේ පොහොට්ටුවේවත් හොඳ අයට නාමයෝජනා ලැබුණේ නෑ කියලා චෝදනාවක් තියෙනවා.

නාමයෝජනා කමිටුවක් තියෙනවා. ඒකට මම සම්බන්ධ නෑ. ඒකෙන් තෝරලා තමයි තීන්දු ගන්නේ. ඒ කමිටුව තුළින් විවිධ මිනුම් අනුව තමයි නාමයෝජනා ලබාදෙන්නේ. ඒ නිසා යම් යම් නම් ගම් හැලෙන්න පුළුවන්. මොකද ප්‍රජාතන්ත්‍රවාදය අනුව හැමෝම නියෝජනය කරන්න ඕන.

බැසිල් රාජපක්ෂ මහත්මයා කිව්වා අපි අතර ගැටුම් නෑ, හැබැයි අතීතය අමතක නෑ කියලා. මේ කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නේද?

එහෙම කිසිම ගැටුමක් නෑ. පලිගැනීමකුත් නෑ. අපි පලිගන්නෙත් නෑ. හැබැයි පාක්ෂිකයෝ අහනවා ඔබතුමාලව තුන්පාරක් හිරේ යවපු අය එක්ක එකතු වෙන්න ලැජ්ජා නැද්ද කියලා. හැබැයි රාජපක්ෂලා ළඟ දේශපාලන කුහකත්වය නෑ. අපි දේශපාලනය කරන්නේ. එතැනදී හොඳ හොඳ සන්ධාන හදනවා. එතනින් බැසිල් මහත්මයා අදහස් කළේ අපිට අතීතයේ උදව් කරපු මිනිස්සු අතීතයේ අපිත් එක්ක හිටපු මිනිස්සු අමතක කරන්නේ නෑ කියලා. රාජපක්ෂවරුන්ගේ සාර්ථකත්වයත් ඒක. 

මෛත්‍රීපාල සිරිසේන මහත්මයට හෝ ඔහුට ගෑවුණ කෙනෙක්ටවත් ඡන්දය දෙන්න එපා කියලා ඔබලගේ පක්ෂයේ අය කියනවා. කොහොමද එහෙම ඡන්ද කරන්නේ?

එක එක මන්ත්‍රීවරුන්ගේ හිත්වල එක එක දේවල් තියෙනවා. ඒවාවලට සාධාරණ හේතු තියෙනවා. මොකද තමන්ගේ පවුල්වල අයගෙනුත් පලිගත්තා පසුගිය ආණ්ඩු කාලේ. එවැනි හිත් වේදනා තියෙන අය එවැනි ප්‍රකාශ කරනවා. මොන දේ කළත්, ඡන්දදායකයන්ගේ අතේ තමයි කවුද දිනවන්නේ කියලා තීරණය තියෙන්නේ. ඕක තමයි මනාප දේශපාලනයේ හැටි.

ඔබ මැදිහත් වෙලාද පොළොන්නරුවේ මෛත්‍රී - රොෂාන් ගැටුම විසඳුවේ?

(සිනාසෙයි) එහෙම ප්‍රශ්නයක් තිබුණෙ නෑ. ඒ දෙන්නා අතර මතබේදයක් තිබුණේ. අපි පක්ෂයක් හැටියට ඒ දෙන්නව එක තැනකට ගෙනල්ලා ඒ ප්‍රශ්නය විසඳුවා. මෛත්‍රීපාල මහත්මයා කියන්නේ මොන ගැටලුව තිබුණත් හිටපු ජනාධිපතිවරයෙක්.
අපිට ආරංචියි රොෂාන් රණසිංහට කණ්ඩායම් නායකත්වය අරන් දුන්නේ ඔබ කියලා.

(සිනාසෙයි) ආරංචි නම් ගොඩක් තියෙනවා. 2015 ඉඳලා හැම අවුරුද්දෙම මම පොළොන්නරුවේ ගියා. රැස්වීම් 100කට, 150කට මම සහභාගී වුණා. ඒ නිසා රොෂාන් රණසිංහ මහත්මයා එක්ක මට මිත්‍රකමක් තියෙනවා. හැබැයි ප්‍රශ්නය විසඳන්න පුළුවන් පක්ෂයක් හැටියට විතරයි.

හම්බන්තොට ඔබත් එක්ක තරග කරන්න හිටිය විරුද්ධ අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මේ වෙනකොට කොළඹට ඇවිල්ලා තිබෙනවා. මොකද ඔබ හිතන්නේ?

මම හිතුවේ එතුමා හම්බන්තොටින් ඡන්දේ ඉල්ලයි කියලා. එතුමා අන්තිමට තමන්ට ඡන්දේ දුන්න 23% අමතක කරලා දාලා පක්ෂෙත් කඩාගෙන වෙනම පක්ෂයක් හදාගෙන කොළඹට ගියා. හැබැයි එක පැත්තකින් මම සතුටු වෙනවා. මොකද ප්‍රේමදාසලාට අයිති භූමියට එතුමා නැවත ගිහිල්ලා තිබෙනවා. ප්‍රේමදාසලාගේ දේශපාලන ආරම්භය කෙසෙල්වත්ත. එනිසා එතුමාට අපිත් කීප වතාවක් කිව්වා කොළඹ තමයි හොඳම තැන කියලා. නමුත් එතුමා හිතුවේ එතුමාට නරකට කියනවා කියලා. හැබැයි මම දන්න මතයක් තිබෙනවා. ඒ තමයි අපි මුල අමතක කරන්න හොඳ නෑ කියන එක. මම පෞද්ගලිකව හිතනවා එතුමා හරි තීන්දුවක් අරන් තිබුණා කියලා. දේශපාලන වශයෙන් බැලුවොත් එතුමාට ඡන්දය ලබාදුන් හම්බන්තොට ජනතාවට කළේ විශාල හානියක්.

සමාජයේ කතාබහක් තිබෙනවා මේ පාර නාමයෝජනාවලට රාජපක්ෂ පවුලේ නම් විශාල ප්‍රමාණයක් ඇතුළත් කරලා තිබෙනවා කියලා?

නෑ. එහෙම නෑ... හැමෝම දේශපාලනය කරපු අය ඉන්නේ. මොන දේ කළත් ජනතාව තමයි පිළිගන්නේ අපිව ගන්නවාද නැද්ද කියලා. දැන් මම ගත්තහම අවුරුදු 10ක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. දෙවතාවක් හම්බන්තොට වැඩිම ඡන්ද ගත්තේ මම. හම්බන්තොට ජනතාව මම කෙරෙහි විශාල විශ්වාසයක් තිබෙනවා. ඒ විශ්වාසය මම හැමදාම රකිනවා.

ගයාන් ගාල්ලගේ