2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

ඉවසමු: වගකීම් ඉටු කරමු

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 70

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන් සංඛ්‍යාව පසුගිය බදාදා (25) වනවිට 102 දක්වා ඉහළ නැග තිබිණි. රෝගීන් සංඛ්‍යාව මෙසේ ඉහළ යාම අද හෙට නවතිනු ඇතැයි වෛද්‍යවරු කියන්නේ නැත. ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධානයට හසු නොවී රට පුරා කරක් ගැසූ පිරිසක් හේතුවෙන් මේ තත්ත්වය වඩාත් සංකීර්ණ වී ඇති බවද ප්‍රකාශ විය. මුලින් පුත්තලම, හලාවත සහ මීගමුව පොලිස් වසම් 19කට ද පසුව සති අන්තයට පසුව රට පුරාම ද ඇඳිරි නීතිය පැනවීමට තරම් තත්ත්වයක් උද්ගත වූයේ එම හේතුවෙනි. තත්ත්වය මේ අන්දමින් ව්‍යාකූල වෙමින් පැවතියත් මේ රටේ ඇතැමුන් තවමත් තමන් සතු වගකීම පිළිබඳ නිසි අවබෝධයකින් ක්‍රියා කරන බවක් පෙනෙන්නට නොතිබීම අවාසනාවකි.

රටේ ජනතාවගේ ආරක්ෂාවට රජය මගින් මේ වනවිට දැඩි තීන්දු තීරණ ගණනාවක්ම ගනු ලැබ තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ හරහා මෙරටට මගීන් පැමිණීම නතර කරනු ලැබ තිබේ. එසේම පුත්තලමේ පවුල් 60කට ආසන්න සංඛ්‍යාවක සාමාජිකයන් මෙම නිවාස අඩස්සියට පත්කරනු ලැබ සිටිති. පිරිස ඉතාලිය ඇතුළු යුරෝපීය රටවලින් ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රදේශය පුරා ඇවිදීම හේතුවෙන් මේ තීරණය ගෙන තිබිණි. මේ වනවිට රටපුරාම ක්‍රියාත්මක වන සේ ඇඳිරි නීතිය පනවා ජනතාව ඒකරාශි වීම වළක්වා තිබේ. එසේම ජනතාවට ආර්ථික වශයෙන් ඇතිවන අසීරුකම් මග හරවා ගැනීමට ජනාධිපතිවරයා විසින් විශේෂ සහන පැකේජයක් හඳුන්වාදීමද පැසසිය යුතුය.
දිසා කිහිපයක රෝගය පැතිරීම වගකීම් විරහිතව ක්‍රියා කළ පුද්ගලයන් පිරිසක් විසින් ඇති කරන ලද තත්ත්වයක ප්‍රතිඵලයකි. ඒ අතර සියලු ජනතාව තමන්ගේ විනෝද ගමන් බිමන්, වන්දනා, ක්‍රීඩා තරග පැවැත්වීමෙන් වැළකිය යුතු බවට රජය මගින් ඉල්ලීම් කර තිබියදී ඒ හඬ තුට්ටුවකට මායිම් නොකර බයිසිකල් තරගයක් පැවැත්වීමට දඹුල්ල නගරාධිපතිවරයා ක්‍රියාකර තිබිණි. ආරක්ෂා වීම පිළිබඳ ඉහළම ආදර්ශය ලබාදිය යුතු පිරිස හැසිරෙන්නේ මෙතරම් වගකීම් විරහිත ආකරයට නම් ජනතාවගෙන් එවැනි හික්මීමක් බලාපොරොත්තු වීමද නිෂ්ඵලය.

මෙහිදී සියලු දෙනා විසින් අවබෝධ කරගත යුතු වැදගත්ම කරුණු නම් කොරෝනා වෛරසයේ පැතිරීම ජාතික ව්‍යසනයක් බවත් එයින් ගැලවීමට නම් සියලු දෙනාම තම තමන්ගේ වගකීම පිළිබඳ හැඟීමකින් යුතුව ක්‍රියා කිරීම අවශ්‍ය වන බවත්ය. විශේෂයෙන්ම කොරෝනා වෛරසය තදින්ම ව්‍යාප්ත වන ඉතාලිය ඇතුළු ඇතැම් යුරෝපීය රටවලින් ද දකුණු කොරියාව සහ ඉරානය ඇතුළු මැදපෙරදිග රටවලින් ද මෙරටට පැමිණි පිරිස මේ ගැන වඩාත්ම කල්පනාකාරී වීම අවශ්‍යය. ඔවුන් එම රටවලදී දැනුවත්ව හෝ නොදැනුවත්ව කොරෝනා හෙවත් කොවිඩ් - 19 වෛරසය ආසාදිත පුද්ගලයන් ඇසුරේ සිටියා විය හැකිය. ඔවුන් වහාම කළ යුත්තේ නිරෝධායනයට ලක්වීම මිස හිතමිතුරන් සමඟ එක්වෙමින් සාජ්ජ දමා සියලු දෙනා අමාරැවේ දැමීම නොවේ. කොරෝනා වෛරසයට එරෙහි සටන බරපතළය. එය සැහැල්ලුවට ගැනීම අමු මෝඩකමකි. මෙය සාජ්ජ දැමීමට අවස්ථාවක් නොවේ.

චීනයේ වූහාන්වලින් ඇරුඹි කොරෝනා වෛරසයේ ශාපයට ගොදුරු නොවූ ලොව එකම රටක්වත් නොමැති තරමට තත්ත්වය දරුණු වෙමින් තිබේ. යන්තම් හෝ සැනසුම් සුසුමක් හෙලීමට තරම් තත්ත්වයක සිටින එකම රටද චීනයයි. ඔවුන් රට ඒ තත්ත්වයට පත්කර ගත්තේ අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම මගින් පමණක් නොවේ. රටේ අවදානමට මුහුණ දුන් සියලු ප්‍රාන්තවල ජනතාවගේ ද සහයෝගය ලබාගැනීමෙනි. ආණ්ඩුවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා විට ජනතාව ද සහාය ලබාදීම හේතුවෙන් අද චීනය සෙමින් සෙමින් රෝග බිය තුරන් කරගනිමින් සිටී. අප රටද හැකි ඉක්මණින් ළඟ කරගත යුත්තේ එම තත්ත්වයයි. එය අතිශය දුෂ්කර කටයුත්තක් බවත් කොතරම් දුෂ්කර වුවත් ජනතාව තමන්ගේ වගකීම ඉටු කරන්නේනම් එම දුෂ්කරතා ජයගැනීමට අපහසු නොවනු ඇත. ඒ සඳහා චීනය පෙන්වා දී ඇති ආදර්ශය අපද අනුගමනය කිරීම අවශ්‍යය.

අපේ කාලයේ ගෝලීය සෞඛ්‍ය අර්බුදය වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නම්කර ඇති කොරෝනා වසංගතය ලෝකයේ ආර්ථිකයට කර ඇති හානිය කොතරම් බරපතළ දැයි දැන්ම කිව නොහැකිය. එය ගණන් බැලීමත් අපහසු වන ඇති බව ලෝක ආර්ථික විශ්ලේෂකයන්ගේ ද මතයයි. මෙහි බලපෑම්වලින් අපේ රටට ද ගැලවීමක් නැත. යුරෝපීය රටවල රුඳී සිටිමින් මෙරටට විදේශ විනිමය සපයා දුන් පිරිසගේ අනාගතය පවා අවිනිශ්චිත වීම එම බලපෑම් තවත් උග්‍ර කරනු ඇත. එසේනම් අප සියලු දෙනාගේම උත්සාහය විය යුත්තේ හැකිතරම් ඉක්මනින් කොරෝනා රෝගය මේ රටින් තුරන් කර දැමීමට කටයුතු කිරීමයි. ඒ සඳහා ආණ්ඩුවට සියලු ආකාරයෙන් සහාය දැක්වීම සියලු රටවැසියක් අතින් මේ අවස්ථාවේ  ඉටු විය යුතු ප්‍රධානම වගකීමයි.

රටවැසියන්ගේ උපරිම සහාය ලබාගැනීමේදී රජය ද පුළුල් අවබෝධයකින් ක්‍රියා කිරීම අවශ්‍යය. විශේෂයෙන් රටේ ජනතාවගේ සමාජ හැසිරීම් වළක්වා ඔවුන් එකිනෙකා මුණගැසීමෙන් වළක්වා ගැනීම සඳහා රජය මඟින් ගන්නා ඉදිරි පියවර රට හමුවේ පැහැදිලිව ප්‍රකාශ කිරීම මෙහිදී වැදගත් වනු ඇත. රටපුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් කොළඹ, ගම්පහ සහ කළුතර අධි අවදානම් කලාප වශයෙන් නම් කර නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමත් රටේ යහපත සඳහා ගන්නා ලද පියවරක් බව ජනතාව විසින් අවබෝධ කර ගැනීම අවශ්‍යය. උද්ගතව තිබෙන ජාතික ව්‍යසන අවස්ථාවේදී සියලුදෙනාම ඉවසීමෙන් කටයුතු කිරීමත් රජය මගින් ගන්නා සියලු පියවර පිළිබඳව විමසිලිමත්ව සිටීමත් අවශ්‍ය බවද පෙන්වා දෙමු.

 

► රන්ජිත් ආනන්ද ජයසිංහ

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00