2020 මාර්තු 14 වන සෙනසුරාදා

රට විරුවන්ගේ බාල හැසිරීම

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 150

කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළදී වැළඳුණු දෙවැනි රෝගියා හමුවීමත් සමඟ රෝගයේ බලපෑම පිළිබඳ දැඩි අවධානයක් රට පුරා පැතිරෙයි. අවධානය පමණක් නොව ව්‍යාප්ත වීමේ අවදානම ද ඒ හා සමඟම අත්වැල් බැඳගෙන ඉදිරියට එමින් පවතී. ඒ එක්කම අප්‍රේල් මාසයේ ලැබිය යුතු පාසල් නිවාඩුව වහාම ක්‍රියාත්මක වන පරිදි ලබා දීමත් හේතුවෙන් කොරෝනා වයිරසය පිළිබඳව රට තුළ අනියත බියක් හටගෙන තිබෙන බව ද පෙනී යයි. එය බලාපොරොත්තු විය යුතුය. සියලු දෙනා පෘථග්ජනයන් බැවිනි.

වයිරසයේ තර්ජනය කොතරම් බලවත් වුවද අවදානම කොතරම් ඉහළම මට්ටමකට පැමිණ තිබුණද ඒ පිළිබඳ ඕනෑවට වඩා බිය වීම, තැති ගැනීම ගැටලුවට විසඳුමක් නොවේ. අවශ්‍ය වන්නේ උද්ගතව තිබෙන තත්ත්වයේ බැරූරැම්කම පිළිබඳව සැබෑ අවබෝධයක් ලබාගෙන වයිරසය පැතිර යාමට තිබෙන සියලු ඉඩ ප්‍රස්ථා හැකි තරම් දුරකට නැතිකර දැමීමට කටයුතු කිරීමය. එය රජයකට පමණක් තනිවම කළ හැක්කක් නොවන බව සියලු දෙනා විසින්ම අවබෝධ කර ගැනීම එම වැඩපිළිවෙළේ පළමු පියවරයි. රජය මගින් ජනතාවගෙන් කර ඇති ඉල්ලීමෙන් මේ බව හොඳින් තහවුරැ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කර තිබූ රජයේ නිවේදනයේ ජනතාවගෙන් ඉල්ලා තිබුණේ කොරෝනා හෙවත් කොවිඩ්-19 වයිරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් ඉන් වැළකීම සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහාය දක්වන ලෙසටය. ඒ සඳහා රජය විධිමත් සැලැස්මක් සහිතව පුළුල් වැඩසටහනක් ආරම්භ කර ඇතැයි ද විදේශගතව සිට පැමිණෙන අයගේ සහ ජනතාවගේ පූර්ණ සහාය ඒ සඳහා ලබා දෙන්නැයි ද එම නිවේදනයෙන් දැක්වෙයි.

රජය කොරෝනා වයිරසය රට තුළ ව්‍යාප්ත වීමෙන් ගලවා ගැනීමට මෙවැනි පුළුල් වැඩපිළිවෙළක් අරඹා ඇත්තේ පවතින තත්ත්වයේ බැරූරැම්කම පිළිබඳ අවබෝධයකින් බව පැහැදිලිය. එසේම රටවල් 110කට වැඩි ප්‍රමාණයකට ව්‍යාප්ත වී තිබෙන කොවිඩ්-19 වශයෙන් හඳුන්වනු ලබන නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ඒ සඳහා හේතු වශයෙන් දක්වා ඇත්තේ කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් එහි බරපතළකමත් වයිරසය මර්දනය කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොමැති වීමත්ය. ඉදිරි දින හා සති කිහිපයේ දී කොරෝනා මරණ හා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යා හැකි බවද ඔවුන් අනතුරැ අඟවා තිබේ. 

අපේ රටට ද දැන් මේ සියලු කාරණා එක සේ අදාළය. මීට කලින් වෙනත් රටවල වයිරසය පැතිර යද්දී අපේ රටේ එවැනි තත්ත්වයක් නොතිබිණි. එහෙත් මෙරට දී ලෙඩේ හැදුණු රෝගීන් සොයා ගැනීමත් සමඟ තත්ත්වය උඩු යටිකුරැ වී තිබේ. සියලු දෙනා එක්වී කොරෝනා තර්ජනයට මුහුණ දීමට ක්‍රියා නොකළොත් ගැලවීමක් නැති බව යථාර්ථයයි.

මේ යථාර්ථයට මුහුණදිය හැකි වන්නේ කලබල වී කටයුතු කිරීමෙන් හෝ තමන්ගේ සහායට එන මිනිසුන්ගේ බෙල්ල මිරිකීමෙන් හෝ නොවේ. විශේෂයෙන් එතෙර සිට මෙරටට එන අපේ මිනිසුන් විසින් මේ බව තේරුම් ගත යුතුය. සමහරැන් මෙරට ගුවන්තොටට අඩිය තබන්නේ මේ රටේ සියලු පහසුකම් තමන් වෙනුවෙන් විවෘතව තැබිය යුතු බවට හැඟීමක් ඇතිවය. වයිරස තර්ජනයෙන් බැටකන රටවල්වල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් මේ තත්ත්වය වඩාත් තේරුම් ගත යුතු වෙයි. ඔවුන් මෙරට දී සම්පූර්ණ නිරෝධායනයකට ලක්විය යුතු බවට රජය මගින් පනවා තිබෙන නියෝගවලට අනුව ක්‍රියා කිරීම ඔවුන්ගේ වගකීමය.

රජය මේ නීතිය පනවා ඇත්තේ ඔවුන් කෙරේ පවතින කොක්කක් හේතුවෙන් නොව රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනි. ගුවන්තොටට පැමිණ කලහකරැවන් සේ හැසිරීමත්, නිරෝධායන කටයුතුවලට ලක්විය යුතු බවට වන නියෝග උල්ලංඝනය කිරීමට උත්සාහ දැරීමත් මුළු රටම විශාල අවදානමකට ඇද දැමීමකි. ඒ බව තේරැම් නොගෙන කටයුතු කරමින් කලබල කිරීම රටේ ජනතාව පවා නොඉවසන කාරණයක් බවද පෙන්වා දිය යුතුය. හැකියාවක් තිබෙන රටවල් පවා වයිරසය පැතිරීම මැඩපවත්වා ගැනීමට අපොහොසත්ව සිටින තත්ත්වයක් තුළ මෙරට රජය සහ හමුදාව එක්වී නිරෝධායන කටයුතු මේ ආකාරයෙන් හෝ සිදුකිරීම පිළිබඳව ඔවුන් සතුටු විය යුතුය. පවතින පහසුකම් මදි නම් ඒ ගැන විස්සෝප නොවී සන්සුන්ව ක්‍රියා කිරීම අවශ්‍යය.

නිරෝධායන කටයුතුවලට ගොඩනැගිලි වෙන්කර ගැනීම පවා ඉතාම අපහසු කටයුත්තක් වී තිබීම ද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. එසේ වුවත් හමුදාව මගින් මඩකලපුව ප්‍රදේශයේ තාවකාලික නිවාස ඉදිකොට හැකි තරම් පහසුකම් සලස්වා දීමටත් ආහාරපාන සැපයීමටත් කටයුතු කර තිබේ. එසේ තිබියදී ප්‍රදේශවල ජනතාව ඒ ගැන විරෝධය දැක්වීම ද ගැටලුවකි. හැඳල ලාදුරැ රෝහල කොරෝනා ආසාදිත යැයි සැක කරන අය වෙනුවෙන් ලබාගැනීමට ගිය අවස්ථාවේ ද එවැනිම විරෝධතා දැකිය හැකි විය. එහෙත් රෝගය ව්‍යාප්ත වීමේ අවදානම ඇත්තේ රටේ සියලු දෙනාටම බව තේරැම් ගත යුතුය. නිරෝධායන කටයුතුවලට විරෝධය දක්වනවාට වඩා එයට සහයෝගය දැක්වීම මේ අවස්ථාවේ දී ඉටුවිය යුතු යුතුකමය. එය අමතක කොට කටයුතු කිරීමෙන් අමාරැවේ වැටෙන්නේ මුළු රටමය.