2020 මාර්තු 07 වන සෙනසුරාදා

දේශපාලනයේ පල්වෙන සුප්

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 255

මැතිවරණයට නාමයෝජනා කැඳවීමට තව දින කිහිපයක් ඇතත් මැතිවරණ උණුසුම දිනෙන් දිනම ඉහළ යමින් තිබේ. උණුසුම වඩාත් දැනෙන්නේ රටේ පැරණිම පක්ෂ දෙකේ ජ්‍යෙෂ්ඨයන්ට බවද පැහැදිලිය. ශ්‍රීලනිපයත් යූ.එන්.පී.යත් දෙකම මෙවර ඡන්දයට යන්නේ තමන්ගේ ලකුණු කපාගෙන වීම එයට හේතුවය.

පොහොට්ටුවත් සමඟ සන්ධාන ගතවීම තමන් දේශපාලන වශයෙන් ලද ජයග්‍රහණයක් යැයි ශ්‍රීලනිපයට යම් අභිමානයක් හෝ තිබුණා නම් එය පසුගියදා බිමටම කඩාගෙන වැටුණි. එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණින් තරගකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 14ක් එකතුව පිහිටුවන ලද ශ්‍රී ලංකා පොදුජන සන්ධාන මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවට නිල වශයෙන් කරන ලද දැනුම්දීමත් සමඟ එය සිදුවිය. ශ්‍රීලනිපයේ අනන්‍යතාවත් රුකගෙන පාක්ෂිකයන්ට සාධාරණයක් ඉටුකරන බව කියමින් දයාසිරි ජයසේකරලා ගෙනගිය සටන අවසන් වී ඇත්තේ එම පක්ෂයට දේශපාලන වශයෙන් දරුණු පරාජයක් අත්කර දෙමින් බව පැහැදිලිය.

හරියට බැලුවොත් මෙතැනින් ඉදිරියට වසර 5ක්ම ශ්‍රීලනිපයක් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයක් හෝ ගැන කතා කිරීමෙන් පවා පලක් නැතිවනු ඇත. රටටම අඬබෙර ගසා පිහිටුවා ගත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නිකම්ම බෝඩ් ලෑල්ලක් වී තිබේ. ඡන්ද පත්‍රිකාවේ සඳහන් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂය සහ පොහොට්ටුව ලකුණ යටතේ ඉහත කී සන්ධානයේ සභාපති වන ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර ඇතුළු නාමයෝජනා ලබන පිරිසට තරග වැදීමට සිදුවනු ඇත.  එහෙම නම් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් සන්ධානයක් පිහිටුවා මෛත්‍රීපාල මහතාට එහි සභාපති තනතුර දුන්නේ ඇයිද යන්න සොයාබැලිය යුතු ගැටලුවකි. එහෙත් ශ්‍රීලනිපයේ කවුරැත් ඒ ගැන උනන්දුවක් දක්වන පාටක් පෙනෙන්නේ නැත.

පොහොට්ටුවේ මහා ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මැතිවරණ කොමිසමට නිල වශයෙන් කර ඇති එම දැනුම්දීම පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ සිදුකළ යුත්තකි. මහ මැතිවරණය ප්‍රකාශ කර දින 07ක් ඇතුළතදී මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ තමන් මැතිවරණයට තරග කරන බව මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම්දිය යුතුය. තමන් අදාළ දැනුම් දීම කළේ ඒ අනුව බව කාරියවසම් මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

මෙහෙම කරන්න නම් සන්ධානයක් ගැහැව්වේ මොන කෙංගෙඩියකටදැයි දයාසිරිලා ඇසිය යුතු නමුත් ඔවුන් එහෙම අහන්න ගියේ නැත. ඒ වෙනුවට මෛත්‍රීපාල පොළොන්නරුවේ රොෂාන් සමඟ පැටලී සිටින ගැටුමට වැඩි තැනක් ලැබී තිබෙන බව පෙනේ. එම අරගලය අගමැති මහින්දට අනුව මනාප පොරයකි. මහ මැතිවරණයෙන් පසුව දෙදෙනාම කැඳවා එම ප්‍රශ්නය සමතයකට පත්කරන බවද මහින්ද කියා තිබුණේ පසුගිය සිකුරාදා (06) මාධ්‍යවේදීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවේදීය. හැබැයි පොහොට්ටුව සමඟ ආරම්භයේ සිටම රැඳී සිටින රොෂාන් වැනි ශ්‍රීලනිපයේ හිටපු ජ්‍යෙෂ්ඨයන්ගේ කතාවලින් කියැවෙන්නේ ඊට වඩා දුරදිග යා හැකි ගැටලුවක් පවතින බවය. පොහොට්ටුවෙන් පමණක් ඡන්දය ඉල්ලීමට සිදුවන තත්ත්වයකට මෛත්‍රීපාලලා දයාසිරිලා තල්ලුකර දමා ඉන්පසු ඔවුන්ට දේශපාලන වේදිකාවේදී සිදුකරන පහරගැසීම් වලින් පෙනී යන්නේ එම ගැටුමේ සැබෑ තත්ත්වයයි.

මුලසිටම ශ්‍රීලනිප නායකයන්ට පලා බෙදන කතා කියන ගම්පහ දිස්ත්‍රික්කයේ බලවතකු වන ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා (09) ගම්පහ පැවැති රැස්වීමකදී කිව්වේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට දේශපාලන වශයෙන් සබඳතා ඇති කිසිවකුටත් ඉදිරි මැතිවරණයේදී ඡන්දය නොදිය යුතු බවය. සිරිසේනට සබඳතා ඇති සියලු දෙනා කෙරෙහි තමන්ගේ ස්ථාවරය ඉතාම විවෘත බවද ඔහු කිව්වේ මම දන්නවා ඊළඟ පක්ෂනායක රැස්වීමේදී මට ආපහු ගහනවා කියලා යනුවෙන් ප්‍රකාශයක්ද කරමිනි. තම පක්ෂයට තුනෙන් දෙකක ජයක් ලබාගත හැකි බවද ඔහු ඒ සමඟ පැවසුවේය.

ප්‍රසන්න, රොෂාන් පමණක් නොව මුලසිටම පොහොට්ටුව සමඟ රුඳී සිටි ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙක් දැන් එළිපිටම ශ්‍රීලනිප නායකයන්ට බැටදෙති. මෙහි මතුපිටින් පෙනෙන්නේ මනාප සටනක් බවය. එහෙත් දේශපාලන වශයෙන් එයින් ලැබෙන ප්‍රතිඵලය කුමක් වනු ඇතිදැයි දැන්ම කියන එක අමාරුය. මනාප සටනකටත් වඩා ශ්‍රීලනිපය දේශපාලන වශයෙන් බින්දුවටම ඇද දමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ඉහළටම ඔසවා තැබීමේ උත්සාහයක් එයට යටින් තිබෙන බවත් පෙනී යයි. ඡන්දය දිනාගැනීමෙන් පසුව හොඳ හොඳ ඇමැති පදවි බෙදාහදා ගැනීමේදී ශ්‍රීලනිප නායකයන්ට තිබෙන කේවල් කිරීමේ හැකියාව නැති කිරීමද තවත් යටි අරමුණක් විය හැකිය.

එසේම තුනෙන් දෙකක ජයක් ලබාගැනීම සඳහා තමන් සහාය දෙන බවට මෛත්‍රීපාල කරන ලද ප්‍රකාශය හෑල්ලු කිරීමද තවත් අරමුණක් විය හැක. ප්‍රසන්නලා, රොෂාන්ලා නොකියා කියන්නේ ශ්‍රීලනිපයේ සහායක් නැතුවට තම පක්ෂය වන පොහොට්ටුවට තුනෙන් දෙක ලබාගැනීමට හැකියාවක් තිබෙන බවය. එය කොතරම් දුරකට ළඟා කරගත හැකි ඉලක්කයක් වනු ඇතිදැයි හරියටම බලාගත හැකි වන්නේ මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමෙන් පසුවය. හැබැයි එකක් නම් පැහැදිලිය. ඡන්දයෙන් පස්සේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට පොහොට්ටුවට හැකිවුණොත් තේරී පත්වන ශ්‍රීලනිප මන්ත්‍රීන්ට කැබිනට් එකට පැමිණීමට පවා අසීරැ වන බවය. මේ ගැටුම ඡන්දය පැවැත්වෙන කාලසීමාවේදී කොයි අතට පෙරළෙයිදැයි බලා සිටිය යුතුය. දැනට පෙනෙන්න තිබෙන්නේ ශ්‍රීලනිපය පොහොට්ටුව හමුවේ තැලී පොඩිවී මිරිකී ගොස් තිබෙන බවය.

මේ සමඟ යූ.එන්.පී.යද මහ මැතිවරණ කටේ විසඳාගත නොහැකි උග්‍ර අර්බුදයක ගිලී සිටින බව රනිල් - සජිත් දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨයන්ගේ කතාවලින් පෙනී යයි. මේ තත්ත්වය යූ.එන්.පී.ය මුහුණදුන් පළමු අවස්ථාව මෙය නොවේ. 2014 නොවැම්බරය වනවිට ජනාධිපතිවරණයකට යාමට සියලු කටයුතු සූදානම් වෙමින් තිබුණත් යූ.එන්.පී.යේ කිසිදු සූදානමක් තිබුණේ නැත. එසේම පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් තිබුණේද නැත. නමුත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ තත්ත්වය වෙනස් විය. යූ.එන්.පී. පූර්ණ අනුග්‍රාහකත්වයෙන් පැමිණි පොදු අපේක්ෂකයා වූ සිරිසේන මහතා ජනාධිපතිවරණය ජය ගත්තේය. යූ.එන්.පී.යට අහිමි වූයේ එවකට සිටි පක්ෂයේ මහා ලේකම් තිස්ස අත්තනායක මහතා පමණි. ඒ වෙනුවට ආණ්ඩුවක් ලැබුණි.

එහෙත් 2019 නොවැම්බර් පැවැති ජනාධිපතිවරණයේදී යූ.එන්.පී. නායකත්වය අභියෝගයට ලක්වෙමින් තිබුණි. ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් පක්ෂයේ වැඩි පිරිසකගේ කැමැත්ත තිබුණේ සජිත් ප්‍රේමදාසට වුවද ඔහු පක්ෂ නායකත්වය නොමැතිව තරග කිරීමට අකැමැති විය. අවසානයේ සජිත් අඩියක් පස්සට ගනිමින් නායකත්වය නොමැතිව තරග කිරීමට ඉදිරිපත් විය. නමුත් අවසන් මොහොත දක්වාම ඇදෙමින් තිබූ නායකත්ව සහ අපේක්ෂක අර්බුදය යූ.එන්.පී.යේ මැතිවරණ ක්‍රියාදාමයට දැඩි බලපෑමක් කළේය. ප්‍රචාරක වැඩසටහන තුළද තිබිය යුතු ජවය තිබුණේ නැත. රනිල්ට සහාය දැක්වූ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයට කකුල් මාට්ටු දැමූ බවට චෝදනා ගණනාවක්ද එල්ල විය. අවසානයේ සජිත් පැරදුණේ පක්ෂයේ නායකත්ව සටනට කිසිදු නිමාවක් ලබා නොදෙමිනි.

මහ මැතිවරණය එළඹෙන්නේ යූ.එන්.පී.යේ එම අර්බුදය එසේම තිබියදීය. අර්බුදය දිනෙන් දින ඔඩු දිව්වා මිස නවතින පාටක් තිබුණේ නැත. මාර්තු මාසේ 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් මාසේ අගදි මහ මැතිවරණය පැවැත්වෙන බව යූ.එන්.පී. නායකයන් විශේෂයෙන් රනිල්ගේ සමීපතම ජ්‍යෙෂ්ඨයන් නොදැන සිටීමට හේතුවක් නැත. හරිනම් සිදුවිය යුතුව තිබුණේ ජනාධිපතිවරණයේදී ලද දරුණු පරාජය පිළිබඳව සියලු පාර්ශ්ව එකතු වී විශ්ලේෂණයක් සිදුකොට අඩුපාඩු සකසාගෙන මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවා ගත හැකි තරම් ජයග්‍රහණයක් ලබා ගැනීමට සැලසුම් කිරීමය. එහෙත් සිදු නොවුණේද ඒ ටිකමය.

රනිල් - සජිත් පාර්ශ්ව දෙකම එකිනෙකාට චෝදනා කර ගනිමින් කාලය කා දමන විට පොහොට්ටුව ශ්‍රීලනිපයද යට කරගෙන ශක්තිමත් ලෙස සංවිධානය විය. ඡන්ද ව්‍යාපාරයේත් නාමයෝජනා ලබාදීමේත් කිසියම් හෝ අර්බුදයක් මතුවීමට ඉඩ තිබුණා නම් එය එසේ නොවන බවට පොහොට්ටු නායකයන් වග බලාගෙන තිබෙන බව පැහැදිලිය. ශ්‍රීලනිපයට ඉතිරිව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු යටතේ පොහොට්ටුව ලකුණු ඡන්දයට ඉදිරිපත් වීම පමණි. එහෙත් යූ.එන්.පී.යේ තත්ත්වය එසේ නොවේ.

රනිල්ගේ පිල සජිත්ගේ පිලට දැඩි පීඩනයක් එල්ල කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වීමේ වැඩපිළිවෙළ අවුල් කර දැමීමේ වෑයමක නිරතව සිටියේය. මෙහිදී සජිත් පිල කිසියම් ප්‍රමාණයකට රනිල් පිල විවේචන කිරීම් පාලනය කර ගනිමින් ක්‍රමානුකූල වැඩපිළිවෙළකට අනුගත වෙමින් සිටියේය. රනිල් පිල දිගටම සිදුකළේ සතියෙන් සතිය සාකච්ඡා කරමින් කාලය ගත කිරීමය. එය සිදුකළේ සජිත්ලා දණගස්වා යළි තමන්ගේ අණසකට යටත් කර ගැනීමට නම් එම උත්සාහය මේ වනවිට වැරදී ගොස් තිබේ. රනිල්ගේ පාර්ශ්වය අලියාත් පක්ෂ නායකත්වයත් ව්‍යවස්ථාවත් අතේ තබාගෙන නාමයෝජනා ලබාගන්නැයි සජිත්ලාට අත වනමින් සිටියි. සජිත්ලා වෙනම සන්ධානයක් හදාගෙන එයින් තරග කිරීමට සියලු කටයුතු සූදානම් කර අවසානය. දැන් පෙනෙන්න තිබෙන්නේ රනිල්ගේ පාර්ශ්වය සජිත්ලා සමඟ කොන්දේසි විරහිතව එක් නොවුණොත් යූ.එන්.පී.ය ස්ථීරවම දෙකඩ වන බවය.

බැසිල් ඇමෙරිකාවේ නිවාඩුවක් ගත කොට ලංකාවට පැමිණ දින කිහිපයකදී කිව්වේ &දෑවැදි ප්‍රශ්නයක් නිසා දික්කසාද වීම අවශ්‍ය නැති* බවය. ඒ කියූ දීගය පොහොට්ටු - ශ්‍රිලනිප දීගයයි. දෑවැදි ප්‍රශ්නය සන්ධානයේ තනතුරැ බෙදාගැනීමයි. හැබැයි දැන් ශ්‍රීලනිපයට සිදුවී තිබෙන්නේ දෑවැද්දයි කසාදෙයි දෙකම නැතිවීමය. යූ.එන්.පී.යට නම් දික්කසාදයකින් තොරව විසඳුමක් නම් පේනතෙක් මානයක නැත.

 ශශීන්ද්‍ර