2020 මාර්තු 07 වන සෙනසුරාදා

ඡන්ද කාලේ කාන්තා දිනය

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 73

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන අද (මාර්තු 08) අපේ රටේ කාන්තාවන්ට විශේෂ වටිනාකමක් ලබා දෙමින් බොහෝ ලිපි ලේඛන පළවෙයි. වැඩසටහන් දියත් වෙයි. ඇතැම් ඒවාට රාජ්‍ය අනුග්‍රාහකත්වය ද ලැබෙයි. ඒ අතර කාන්තා කටයුතු භාරව රජය නියෝජනය කරන අමාත්‍යවරියෝ ද ජගත් කාන්තා දිනයට සමගාමීව වැඩසටහන්වලට සහභාගි වෙති. ප්‍රකාශ නිකුත් කරති. ඊළඟ දවස එළඹෙන විට මේ බොහොමයක් ඇගයීම්, උපහාර පිදීම්, වැඩසටහන් අතීත ස්මරණ බවට පත්වෙයි. යථාර්ථය එයයි.

එසේ වුවද මේ රටේ ජනගහණයෙන් අඩකට වඩා කාන්තාවෝ වෙති. සංඛ්‍යාත්මකව එය 52% ක් පමණ වන බව සඳහන්ය. එසේම රටේ අංක එකේ විදේශ විනිමය උපයන රට රැකියා ශ්‍රමිකයන්ගේ බහුතරය ද කාන්තාවෝය. සංඛ්‍යාලේඛන කෙසේ වුවත් බොහොමයක් රාජකාරි ස්ථානවලට ගිය විට බැලූ බැල්මට පෙනෙන්නේ සේවය කරන වැඩි පිරිස කාන්තාවන් බවය. බැංකුවකට ගියත්, රාජ්‍ය ආයතනයකට ගියත් බොහොමයක් පෞද්ගලික ආයතනවලට ගියත් මේ තත්ත්වය දැකිය හැක. ගුරැ වෘත්තියට එය වඩාත් අදාළය. ගුරුවරුන්ට වඩා සිටින්නේ ගුරැවරියන්ය. ඒ නිසාම විදුහල්පතිනියෝ ද ක්‍රමානුකූලව වැඩිවෙමින් සිටිති. මේ තත්ත්වය පෙන්නුම් කරන්නේ රටේ සංවර්ධන ක්‍රියාදාමයේ වගකීම්වලින් විශාල ප්‍රමාණයකට දායකත්වය ලබා දෙන්නේ කාන්තාවන් බවය.

කාන්තාවන් සිදු කරන්නේ රටේ සංවර්ධනයට වැඩි දායකත්වයක් ලබාදීම පමණක් නොවේ. වෘත්තීමය ක්ෂේත්‍රවල ඉහළම තනතුරැ දැරීම දක්වා කාන්තාවන්ගේ දායකත්වය ව්‍යාප්ත වී තිබේ. වර්තමානයේ වුවද මේ තත්ත්වයට උදාහරණ විශාල වශයෙන් පෙන්වා දිය හැකිය. දිසාපති මට්ටමේ සිට රේගු අධ්‍යක්ෂ ජනරාල්, විශ්වවිද්‍යාල උපකුලපති, පෞද්ගලික අංශයේ ප්‍රධාන විධායක සහ සභාපති වැනි උසස් පදවි රාශියකට දැන් කාන්තාවෝ දායක වී සිටිති. එය සමස්තයක් වශයෙන් කාන්තාවන්ටත් පොදුවේ රටටත් යහපතක් බව පෙන්වා දිය යුතුය.

එසේම මේ රටේ පමණක් නොව වෙනත් රටවල පවා කාන්තාවෝ ඉහළම තනතුරු හොබවමින් වෘත්තීමය වශයෙන් පමණක් නොව දේශපාලන වශයෙන් ද කැපී පෙනෙති. වත්මන් කාලයේ ප්‍රබල රටවල් ගණනාවක රාජ්‍ය නායක පදවි උසුලන්නේ කාන්තාවන් විසිනි. එසේ වුවද අපේ රටේ දේශපාලනය තුළ කාන්තාවන්ට නිසි තැනක් නොලැබෙන බවට චෝදනා හැමවිටම අසන්නට ලැබෙයි. එය චෝදනාවක් පමණක් නොව සත්‍යයක් බවද සඳහන් කළ යුතුය.

රටේ ජනගහණයට අනුව සැලකුවොත් සියයට 50කට වඩා නියෝජනයක් රටේ දේශපාලනය තුළ තිබිය යුතුය. එහෙත් එය එසේ විය යුතු නැත. වෙනත් රටවලද ඒ තරම් සම තත්ත්වයක් දේශපාලනය තුළ දැකිය නොහැක. නමුත් අපේ රට තුළ කාන්තාවන්ට දැනට වඩා දේශපාලන භූමිකාවක් ලැබිය යුතු බවට විවාදයක් නැත. අඩුම තරමින් 25%ක කාන්තා නියෝජනයක් තිබිය යුතු බවට වන මැතිවරණය නීති රීති හෝ සපුරන තරමට කටයුතු සිදුවිය යුතුය. නමුත් පළාත් පාලන හෝ පළාත් සභා මට්ටමේ හෝ මේ 25% ප්‍රතිශතය රැකෙන්නේ නැති බව පැහැදිලිය. පවතින දේශපාලන සංස්කෘතිය තුළ කාන්තාවන්ට ප්‍රමාණවත් තරම් දායකත්වයක් ලබා දීමට තිබෙන අවහිර සහ බාධා කිරීම් විශාල බවද වටහා ගැනීම අසීරු නැත. නමුත් හැකි තරමින් ඉදිරියට පැමිණ දේශපාලනය තුළ තමන්ට හිමි ස්ථානය ලබාගැනීමට කාන්තාවන් පසුබට විය යුතු නැත. ජාත්‍යන්තර කාන්තා දිනයේ දී සම තැන ඉල්ලා රට පුරා පෙළපාළි සහ රැස්වීම් පවත්වනවාට වඩා තමන්ට අයිතිය තිබෙන 25% දේශපාලන බලය ලබාගෙන සංවිධානය වීම වඩාත් ප්‍රතිඵලදායක වනු ඇතැයි පෙන්වා දීමට කැමැත්තෙමු.

අනෙක් අතට අපේ රටේ දේශපාලන කරළිය වසා පැතිරී තිබෙන දූෂණ සහ වංචා ගැටලුවලට ද කාන්තාවන් වැඩියෙන් දේශපාලනයට පැමිණීම මගින් ඵලදායී විසඳුමක් ලබාගත හැකිවනු ඇත. සාමාන්‍යයෙන් කාන්තාවන් මුල් තැන් හොබවන විට එම ආයතනවල දූෂණ සහ අක්‍රමිකතා සීමාවන බවට ද විනය සහ නීතිය රුකීම ඉහළින්ම සිදුවන බවට ද විශ්වාසයක් රටේ පැවතීම ඊට හේතුවයි. දේශපාලනයට ද එය අදාළ කරගත හැකි නම් එහි වාසිය ලැබෙනු ඇත්තේ රටටය. ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන අද දවසේ එවැනි වැඩපිළිවෙළකට ප්‍රවේශයක් ගත හැකි නම් වටිනා බව සඳහන් කරනු කැමැත්තෙමු.

ඒ සමඟ පෙන්වා දිය යුතු තවත් කාරණාවක් වන්නේ මේ රටේ ජීවය පවත්වාගෙන යාමට විශාල දායකත්වයක් ලබාදෙමින් තම දහඩිය, කඳුළු වගුරැවමින් මුදල් උපයන වරප්‍රසාද නොලත් දිළිඳු මට්ටමේ කාන්තාවන්ගේ සුබසාධනය සැලසීම සඳහා දැනට වඩා ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවය. තේ වතුවලත්, මහපාරවලත් ඇඟලුම් කම්හල් ඇතුළු විවිධ පෞද්ගලික ආයතනවලත් දහසක් කම්කටොලු මැද මහන්සියෙන් හරිහම්බ කරගෙන දිවිගෙවන දිළිඳු මට්ටමේ එවැනි කාන්තාවන් වෙනුවෙන් අද දවසේ වඩාත් අවධානය යොමුකිරීම අවශ්‍යය. එය කළ හැකි වන්නේ රජයේ වැඩපිළිවෙළක් හරහා පමණි. ඒ සඳහා රජය දිරිගැන්වීමට මේ එළඹ තිබෙන මැතිවරණ සමය තරම් හොඳ වෙනත් කාලසීමාවක් නැත.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00