2017 මාර්තු 25 වන සෙනසුරාදා

අද හොඳටම නිදහස තිබෙන්නෙ හොරුන්ට

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 163

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක

ඔබ පක්ෂය සහාය දීලා ගෙනාපු ආණ්ඩුවට දැන් අවුරුදු දෙකයි. දැන් සතුටුද?

ඇත්තටම අපේ මූලික ප්‍රයන්තය බවට පත් වී තිබුණේ පැවති රාජපක්ෂ පාලනය පලවා හැරීම. එම පාලනය අනිවාර්යෙන්ම බිඳ වැටිය යුතු පාලනයක්. ඒ වගේම ජනවාරි මාසේ 08 වැනිදා ජනතාවට කිව්වා ගොඩ නැගෙන පාලනය පිළිබඳ විශ්වාසය තබාගන්න එපා කියලා. එය ඉතා හොඳින් මේ වනවිට තහවුරු වී තිබෙනවා. ඒ නිසා දැන් කළයුතුව තිබෙන්නේ ජනතාව තමන්ගේ අයිතිවාසිකම් සඳහා සංවිධානය වීමයි. විශේෂයෙන්ම මෙම ආණ්ඩුව බලයට පත්වනවිට ජනතාව හමුවේ පැවසූ කරුණු තියෙනවා. වංචාවට එරෙහි දඬුවම්, දේපළ අත්පත් කරගැනීම්, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම ආදිය. ඒ සියල්ලට ප්‍රතිපක්ෂව තමයි වර්තමාන ආණ්ඩුව කටයුතු කරන්නේ.

දැන් ඔබ පැවති පාලනය ගෙදර යවමු කිව්වේ ඊළඟට එන පාලනය මෙහෙම එකක් කියලා දැනගෙන නම් ඇයි ජනතාව කබලෙන් ළිපට දැම්මේ?

මහ මැතිවරණයේදී අපි ඉතා පැහැදිලි ලෙස ජනතාවට කිව්වා මහ මැතිවරණයෙන් පස්සේ මේ රටේ ගොඩ නැගෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් ඒකාබද්ධ වූ ආණ්ඩුවක්, දෙගොල්ලෝ වෙන වෙනම මැතිවරණවලට ඉදිරිපත් වෙලා තිබුණත් ඔවුන්ගේ අපේක්ෂාව බවට පත්වෙන්නේ මැතිවරණයෙන් පස්සේ එකට ආණ්ඩුවක් පිහිටුවන්න කියලා. අගෝස්තු මැතිවරණයේදි අපි කිව්වා විපක්ෂය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ වටා එක්කාසු වෙන්න කියලා. මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයට ප්‍රාණය බලය අද දීලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. 

 හොරු නිදැල්ලෙ ඉන්නවා ශිෂ්‍යයන්ගෙ ඔළුපලනවා 

 

වර්තමාන ආණ්ඩුවට එතැනට එන්න ජනතා විමුක්ති පෙරමුණ උපකාර කළ නිසා මන්ත්‍රීන් පනහකට වඩා ඉන්න ඒකාබද්ධ විපක්ෂයට නැතිව මන්ත්‍රීන් හයදෙනෙක් විතරක් ඉන්න ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ලැබුණා කියලා ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා?

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකධූරය තෝරන්නේ විපක්ෂයෙන්. පාර්ලිමේන්තුව තුළ සිදුවන ක්‍රියාදාමයපිළිබඳ කිසිදු අවබෝධයක් නැති අයෙක් කියාවි විපක්ෂ නායක ධූරයත් විපක්ෂයේ සංවිධායකධූරයත් ආණ්ඩුවෙන් ලබාගත හැකියි කියලා. ආණ්ඩුව පත් කරන්නේ ආණ්ඩුවේ සභානායක හා ආණ්ඩුවේ සංවිධායක ධූරයන්. 

 රාජපක්ෂ කණ්ඩායමේ පැවැත්ම තර්ජනයට ලක්වෙලා 

ඔබව තෝරාගත්තේ විපක්ෂයෙන්ද?

පොඩ්ඩක් ඉන්න කියනකම්. පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදිලා තිබුණේ පක්ෂ හයයි. එක්සත් ජනතා නිදහස් සංධානයත්, එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත්, දෙමළ ජාතික සංධානයත්, මුස්ලිම් කොංග්‍රසයත් හා ඊපීඩීපී සංවිධානයත්. එක්සත් ජනතා නිදහස් සංධානයත් එක්සත් ජාතික පක්ෂයත් එක්ව ආණ්ඩුවක් පිහිටුවනවා. ඔවුන් පැහැදිලි එකඟතාවයන්වලට ඇවිල්ලා ආණ්ඩුවක් පිහිටුවනවා. විපක්ෂය නියෝජනය කරන්නේ පක්ෂ තුනයි. දෙමළ ජාතික සංධානයත් ජනතා විමුක්ති පෙරමුණත් හා ඊපීඩීපී සංවිධානයත්. අදත් දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායමක් ලෙස තමයි පාර්ලිමේන්තුවේ පිළිගන්නේ. පාර්ලිමේන්තුවේ ඔවුන්ට කතා කරන්නට කාලය ලැබෙන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයට වෙන් කරන කාලයෙන්. දිනේෂ් ගුණවර්ධන මහතාට පක්ෂ නායකයකුට හිමි වරප්‍රසාද ලැබෙන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයේ පක්ෂ නායක නිමල් සිරිපාල මහත්මයා ඔහුට පැවැරී ඇති බලය දිනේෂ් ගුණවර්ධනට පවරපු නිසා. මේ සියලු කාරණා එක්ක ගත්තාම විපක්ෂය නියෝජනය කරන පක්ෂ තුනෙන් වැඩි මන්ත්‍රීධූර සංඛ්‍යාවක් හිමි දෙමළ සංධානයට විපක්ෂ නායක ධුරය හිමි වුණා. ඔවුන්ට පාර්ලිමේන්තුවේ වැඩි මන්ත්‍රීධූර සංඛ්‍යාවක් තිබුණාට රටේ වැඩි ඡන්ද සංඛ්‍යාවක් හිමිවෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට. ඒ නිසා අපිට විපක්ෂයේ සංවිධායකධූරය ලැබුණා.

 ඡන්දෙන් පස්සේ එ.ජා.පයට හයිය දුන්නෙ ශ්‍රීලනිපයයි 

ජනතා විමුක්ති පෙරමුණේ කෝණයෙන් බැලුවාට පස්සේ මේ වර්තමාන ආණ්ඩුවේ හොඳක් ඇත්තෙම නැද්ද?

කාටහරි කියන්න පුළුවන් පාරට තාර දාපුවාම ඒ පාර හොඳයි කියලා. ඇළක් කැපුවාම ඒ ඇළ කපපු එකහොඳයි කියලා. එහෙම බැලුවාම හැම ආණ්ඩුවක්ම හොඳයි කියන්න පුළුවන්. හැබැයි ආණ්ඩුවක් මැනිය යුතු වන්නේ එවැනි සිදුවීම්වලින් නෙවෙයි. සමස්තයක් ලෙස ඔවුන්ගෙ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද, විශේෂයෙන්ම ඔබට මතක ඇති මේ හැම පාලකයාම, චන්ද්‍රිකා කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ අපිට කිව්වේ ලෝකයෙන් ණයක් ලැබුණාම ණය අරගෙන රට හදන්න පුළුවන් කියලා. ඔවුන් ණය ලබාගැනීම ජයග්‍රහණයක් ලෙස අර්ථ කථනය කරනවා. එදා ණය ජයග්‍රහණයක් ලෙස නම් කළ පාලකයාම අද ණය අර්බුදයක් කියලා කියනවා. අද අග්‍රාමාත්‍යවරයාත්, මුදල් අමාත්‍යවරයාත්, ආණ්ඩුවේ ඕනෑම ඇමැතිවරයකුත් විශාල ණය කන්දක් ගැන කතා කරනවා. හැබැයි ණය ආශිර්වාදයක් ලෙස කතා කළ නායකයෝ අද ණය කන්දක් ගැන කතා කරනවා. ඔවුන් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය අපේ රටේ ඉදිරිගමනක් යෑම සඳහා හැකියාව තිබෙන ආර්ථික ප්‍රතිපත්තියක් නෙවෙයි. ඔවුන් අනුගමනය කරමින් සිටින සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් අතර ජාතික ප්‍රතිපත්තියක් ගොඩ නැගීමට දරන ක්‍රමවේදය කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. අපේ රටේ නීතිය හා විධානය තහවුරු කිරීමට ඔවුන් අනුගමනය කරමින් සිටින ප්‍රතිත්තිය කිසිසේත්ම නීතිය හා විධානය තහවුරු කිරීමට සහාය වී නැහැ. ඕනෑම රටක ආණ්ඩුවට පැවරෙන ප්‍රධාන කාර්යක් තමයි ජනතාවට විවිධ බදු ගහලා ඒ බදු භාණ්ඩාගාරයට එක්රැස් කරගන්නවා. ඒ භාණ්ඩාගාරයේ මුදල් පාලනය කිරීමේ බලය තමයි ආණ්ඩුවට ලැබෙන්නේ. මේ ආණ්ඩුව ඒ මුදල් ක්‍රමවත්ව භාවිත නොකර දූෂණ අක්‍රමිකතාවල යෙදිලා ඉන්නවා. ඒ නිසා මෙතෙක් පැවති හැම ආණ්ඩුවක් වගේම සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති මුළුමනින්ම වැරැදියි. 

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ආකල්ප සපුරපු ආණ්ඩුවක් මේ ලෝකේ කොහේ හරි තියෙනවාද?

අපේ පක්ෂය සතුටු කිරීමේ අරමුණක් නෙවෙයි මෙතන තියෙන්නේ. ජනතාව සතුටු කිරීමේ අරමුණක්. ඔබ හිතන්නේ මේ රටේ ගොවි ජනතාව සතුටුවෙලා තියෙනවාද. ධීවර ජනතාව සතුටුවෙලා තියෙනවාද. පෞද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ සේවක සේවිකාවන් සතුටුවෙලා තියෙනවාද. මාධ්‍යවේදියෙක් හැටියට ඔබ සතුටුද. නෑ. ජනතාව සතුටු කරන්න බැරි හැම ආණ්ඩුවකටම ජනතා විමුක්ති පෙරමුණ සතුටු කරන්නත් බෑ.

 ජවිපෙ යූ.එන්.පී.යට සම්බන්ධයි කියන කතාව රාජපක්ෂලා හදපු කතාවක් 

පැවති ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය හා භාෂණයේ නිදහස තිබෙනවා කියලා ආණ්ඩුව කියනවා?

ඕනෑම ආණ්ඩුවක හිරිමල් අවධිය මෙහෙම තමයි. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවත් පළවෙනි අවුරුදු දෙක සන්සන්දනය කරලා බලන්න මේ ආකාරයේම ස්වභාවයක් තිබුණා. චන්ද්‍රිකා කුමාරණතුංගගේ ආණ්ඩුව බලන්න. 1994 ඉඳලා ඇවිල්ලා 1998දි තමයි එයගේ අපගමනය පටන් ගත්තේ. ඕනෑම ආණ්ඩුවක හිරිමල් අවධියේ මේ ආකාරයේ වුණාට ඒ ආණ්ඩුව අර්බුදයට යද්දී ඒ නිදහස අකුලනවා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේත්, මේ රටේ ප්‍රජාත්නත්‍රවාදී බලවේගයන්ගේත් අරමුණ වී තිබෙන්නේ මේ යම් ප්‍රමාණයකට විවෘත වී තිබෙන නිදහස හා වටපිටාව ශක්තිමත් කරගැනීම. මේ නිදහස කාටද තිබෙන්නේ. මේ නිදහස හොරුන්ට හොරකම් කරන්න තිබෙනවා. හොරුන්ට නිදැල්ලේ ඉන්න නිදහස තිබෙනවා. අපරාධකරුවන්ට නිදැල්ලේ ඉන්න නිදහස තිබෙනවා. අපරාධකරුවන්ට අපරාධවලට නිදහස තිබෙනවා. හැබැයි ජනතාවට තමන්ගේ අයිතිවාසිකම් ගැන නිදහසක් නෑ. ශිෂ්‍යයන් පාරට බහිනකොට ඔළු පලනවා. ගොවි ජනතාවගේ නියගයෙන් විනාශවෙලා ඔවුන්ට සහනයක් නෑ.

ඔබ පහුගිය ආණ්ඩුව හා රාජපක්ෂ පවුල දැඩි සේ විවේචනය කළා. ඒ එදා එල්ල කළ චෝදනා කීයෙන් කීයක් අද වෙනකොට ඔප්පු කරගෙන තියෙනවාද?

මා විසින් පැවති පාලනය පිළිබඳවත්, පවතින පාලනය පිළිබදවත් කියන ලද සෑම කරුණක්ම සත්‍ය කරුණු. කවර කරුණක් පිළිබඳ හෝ යම් හෝ දෙගෙඩියාවක් තිබෙනවා නම් මා එවැනි කරුණක් සමාජයට ප්‍රකාශ කරන්නේ නැහැ. මේ තියෙන්නේ එක්තරා පන්තියක වුවමනාවන් ඉෂ්ඨ කරන ආර්ථික ප්‍රතිපත්ති. ඔබ බලන්න ගිහින් වැලිකඩ බන්ධනාගාරයට ඒ සිරකරැවන් අතර මේ පක්ෂ දෙකේ පන්තිය නියෝජනය කරන පිරිස් ඉන්නවාද.

 මාව මනින්න ඕන නැහැ 

ඔබ ගිහින් තියෙනවාද වැලිකඩ බන්ධනාගාරයට?

අනිවාර්යෙන්ම. අපේ පන්තියේ මිනිස්සු බලන්න අපි ඕන තරම් ගිහින් තියෙනවා. 

ජනතා විමුක්ති පෙරමුණ හිතනවාද ඔය කියන ප්‍රධාන පක්ෂ දෙක හැරුණාම ඔබ ඔය කියන පන්තිය එක්ක ජනතා විමුක්ති පෙරමුණට මේ රටේ ආණ්ඩුවක් ගන්න පුළුවන් වේවි කියලා?

ගන්න ඕන නැද්ද ඔබ කියන්නේ 

ගන්න පුළුවන්ද කියලා අහන්නේ?

ගත යුතුයි. ඒ තමයි අපේ අභිප්‍රාය.

හැබැයි සමාජයෙන් චෝදනාවක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් හදන කතාවක් නෑ. මාරුවෙන පක්ෂ දෙකේ මැදට වෙලා දෙගොල්ලන්ගේ වැරැදි කිය කියා ඉන්නවා කියලා?

මෙතන තියෙන්නේ සරල පක්ෂ දේශපාලනයක් නෙවෙයි. ඔබ තරමක් අධ්‍යයනය කළ යුතුයි කියලා මම හිතනවා දේශපාලනය ගැන. රටක සමාජ පරිවර්තන අවධීන් තිබෙනවා. සමාජ පරිවර්තනයන් සිද්ධ වෙන්නේ එක, දෙක, තුන, හතර කියලා අනුක්‍රමික පිළිවෙළට නෙවෙයි. සමාජ පරිවර්තනයන් වෙන්නේ පිමි ලෙස. දේශපාලනයේ අවස්ථා එනවා පිමි ලෙස පරිවර්තනය වෙන. 

ජනතා විමුක්ති පෙරමුණ ඔය කියවන ගැඹුරු දේශපාලනයෙන් තේරෙනවා සාමාන්‍ය පන්තියේ කෙනෙක් කිව්වොත් එහෙම අපි මේ දුවන්නේ මිරිඟුවක් පස්සේ කියලා?

නෑ. ඔබ හිතන්න එපා ජනතාව මෝඩයි කියලා. ජනතාව දන්නවා. මේ ආණ්ඩුව හොරකම් කරනවා කියලා ජනතාව දන්නවා. මේ ආණ්ඩුව බලයට පත්වෙලා තමන් වටා ඉන්න මැර පිරිසට පමණක් සළකනවා කියලා ජනතාව දන්නවා. ජනතාවට අසීමිත බදුබර පටවලා කියලා ජනතාව දන්නවා. අවුරුදු හැත්තෑවක් මේ රට පාලනය කළ පාලකයෝ මහා ණය කන්දක රට හිර කළා කියලා ජනතාව දන්නවා. හැබැයි ජනතාවට ප්‍රශ්ණයක් තියෙනවා. මොකද්ද, අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට බලය ගන්න සමත්වෙලා නෑ. ඒ නිසා ඔවුන් මැතිවරණයකදී කල්පනා කරනවා ජනතා විමුක්ති පෙරමුණට බලය ගන්න තියෙන ඉඩ අඩු නිසා වඩා සාපේක්ෂ ලෙස ඒ පක්ෂ දෙක දෙස බලන්න කටයුතු කරනවා. ඒ නිසා අපි උත්සාහ කරනවා එළැඹෙන මහ මැතිවරණයේදී බලය අත්පත් කරගත හැකි පන්නයේ මහජන ව්‍යාපාරයක් වටා ජනතාව පෙළගස්වන්න.

2015 ජනවාරි 08ට කලින් අනුර කුමාර දිසානායකට තිබුණු ජනතා කැමැත්ත අද වෙද්දී විශාල වශයෙන් හීන වෙලා වගේ නේද?

මා මැනිය යුතු නෑ. 

ඔබට පහුගිය කාලේ විශාල චෝදනා රාශියක් එල්ල වුණා?

ඔව්. රාජපක්ෂ කණ්ඩායම එසේ කළාට අපි පුදුම විය යුතු නෑ.

හැබැයි මන්ත්‍රීතුමා ඔය චෝදනා එල්ල කළේ රාජපක්ෂ කණ්ඩායමෙන් නෙවෙයි. ඔබත් එක්ක ආණ්ඩුව හදපු කණ්ඩායමමයි?

පොඩ්ඩක් ඉන්න. ඔබ කලබල වෙන්න එපා. උත්තර දීලා ඉන්නම්. රාජපක්ෂ කණ්ඩායමේ පැවැත්ම තර්ජනයට ලක්වෙලා තිබෙනවා. ඔවුන්ට වංචා ගැන කතා කරන්න බෑ. ඊට වඩා වංචනිකයෝ ඔවුන් නිසා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න බෑ. ඔවුන් ජනතා ඝාතකයෝ නිසා. ඔවුන්ට රටේ ජාතික සමඟිය ගැන කතා කරන්න බෑ. ඔවුන් ජනතාව භේද කරපු නිසා. ඔවුනට යහපාලනය ගැන කතා කරන්න බෑ. ඔවුන් රාජ්‍ය මුළුමනින්ම ඒකාධිපතිත්වයකට යොමුකළ නිසා. ඒ නිසා රාජපක්ෂ පාලනයට විශාල අභියෝගයක් වෙලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ කාර්භාරය ඉටු කිරීම. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය අතර තිබෙන සබඳතාවයක් මා හරහා ප්‍රකාශයට ලක්වෙනවායැයි යන්න චෝදනාවට නැගීම. 

ඔබ පක්ෂය හරහා විවිධ පාර්ශවලින් මුදල් ගත්තා යන චෝදනාව පවා ඔබට එල්ල වුණා?

අපි රාජපක්ෂ පාලනය බිඳවැට්ටුවා. අගෝස්තු මාසයේ අපි වෙනම පාලනයක් ගොඩ නැගීම සඳහා ඡන්දේ ඉල්ලුවා.
ඔබේ දේශපාලන ක්‍රමය හරියට ඔන්න පින්වත් ඉබ්බා, මෙන්න මෙතන පොරොව. මම සිල්වත් කියන ජාතියේ එකක්ද?
නෑ. දේශපාලන උපක්‍රම තිබෙනවා. දේශපාලනයේ අත දරුවන්ට දේශපාලන උපක්‍රම තේරෙන්නේ නෑ. දේශපාලනයේදි විවිධ කඩඉම් අතික්‍රමණය කරන්න වෙනවා. එවැනි කඩඉම් අතික්‍රමණය කිරීමකින් තොරව අනාගත තත්ත්වයක් නිර්මාණය කරගන්න බැහැ. අපිට ජනවාරි මාසේ 08 වැනිදා ඉක්මවියයුතු දේශපාලන කඩඉමක් තිබුණා. අපි ඒක ඉතාමත්ම ජයග්‍රාහී ලෙස ඉක්මවලා තියෙනවා. අගෝස්තු මාසේ 16 වැනිදා වෙනකොට ඉතාමත්ම පැහැදිලි ලෙස අපි ඛණ්ඩනය පෙන්නුම් කරලා තියෙනවා.

♦ විමුක්ති රත්නමලල
සේයාරුව I සුමුදු හේවාපතිරණ