2017 මාර්තු 25 වන සෙනසුරාදා

යුද අපරාධ කියන්නෙ බොරුවට හදපු කතාවක්

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 224

- හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක

උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුමේදී විශාල කාර්යභාරයක් සිදුකළ ත්‍රිවිධ හමුදා නිලධාරීහු රැසක් සිටියහ. ඉන් ඉහළින්ම කියැවෙන නමක් ලෙස සඳහන් වන්නේ හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායකයි. මේ දිනවල ජිනීවා මානව හිමිකම් කොමිසමේදී එල්ලවන චෝදනා ගැනත් පවතින රටේ ආරක්ෂක තත්ත්වය ගැනත් ඇතුළුව වත්මන් කරුණු සම්බන්ධයෙන් ඔහු සමඟ සිදුකළ සාකච්ඡාවකි මෙය.

ජිනීවා මානව හිමිකම් කොමිසම පැවැත්වෙනවා මේ දවස්වල. තවමත් රජය උත්තර බඳිනවා යුද්ධය ගැන. මොකක්ද ඔබ ඒ ගැන හිතන්නේ?

ඇත්තටම මේ කරන්නේ බටහිර රටවල් ටික එකතුවෙලා අපිට විරුද්ධව කරන මෙහෙයුමක්. මේක හිතා මතා නිර්මාණය කරපු දෙයක්. එහෙම නැතුව අපෙන් ඔය කියන යුධ අපරාධ සිද්ධ වුණේ නෑ. ඒ නිසා ඒවට උත්තර දෙන්න යනවද, නැත්නම් අපේ තීරණය රජයක් හැටියට ඉදිරිපත් කරනවද කියන එක තීරණය කරන්න ඕන රජය. එහෙම නැතුව කෘත්‍රිමව හදපු දේවල්වලට අපි උත්තර දෙන්න යන්න අවශ්‍ය නෑ. ඒත් වෙලා තියෙන්නේ මේ කෘත්‍රිමව හදපු දෙයට රජයක් හැටියට අනුග්‍රහය ලබාදෙනවා. ඒක තමයි මෙතන තියෙන විශාල ගැටලුව.

ඇත්තටම ඔය කියන යුධ අපරාධ සිද්ධ වුණේ නැද්ද?

ඔය සියලු දේවල් කෘත්‍රිමව ඒ අය විසින් නිෂ්පාදනය කරපුවා. අපි ලෝකයේ සියලු රටවල් දරුණුම ත්‍රස්තවාදියා සහ ත්‍රස්තවාදී කණ්ඩායම ලෙස නම්කරලා තිබ්බ එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කළා. ඒ පරාජය කිරීමේදී අපි සියලුම සිවිල් වැසියෝ ඉතාමත් සූක්ෂම ආරක්ෂක ක්‍රම භාවිත කරලා අපේ ළඟට ගත්තා. පූජකවරු පවා ගත්තා. ත්‍රස්තවාදී නායකයන් සටනේදී මළාට අපි ඒ සංවිධානයේ සාමාජිකයන් ඉතාම ආරක්ෂිත ලෙස බාරගත්තා. ඒ අයව ආරක්ෂා කළා. ඒ නිසා මේවා කෘත්‍රිම දේවල්.  ඒ දේපළවලට රජයක් හැටියට අනුග්‍රහය දක්වනවා නම් එතන ගැටලුවක් තියෙනවා. මේක රටේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.

ඔබ කියනවා මේ චෝදනා කෘත්‍රිමයි කියලා. ඒත් විදේශ කටයුතු අමාත්‍යවරයා කමල් ගුණරත්න මහත්තයගේ පොතේ කොටස් පෙන්වමින් පිළිගන්නවා කොමිසමේ චෝදනා. එහෙම බලද්දි කොමිසමට ඇඟිල්ල දිගුකරන එක වැරදියිනේ?

ඒකයි අපිටත් තියෙන ප්‍රශ්නය. විදේශ කටයුතු අමාත්‍යවරයා ඇමරිකාව වගේ බටහිර රටවල් එක්ක එකතුවෙලා මෙහෙම චෝදනා නගන එකයි අපිට ගැටලුව. විදේශ කටයුතු අමාත්‍යවරයා යුධ අපරාධ කළා කියලා පිළිගන්නවා වැටත් නියරත් ගොයම් කා නම් අපි කාට කියම්දෝ.

හැබැයි ජනාධිපතිවරයා අගමැතිවරයා කියන්නේ නම් කිසිම රණවිරුවෙක් දං ගෙඩියට ගෙනියන්න ඉඩදෙන්නේ නෑ කියලා.

කොහොමත් අපි අරගෙන ගියත් කියන්න දෙයක් නෑ. අපි රජයවත්, රජයේ නායකයන්වත් කියන දේ අහලා තීරණය ගන්න ඕනේ නෑනේ. අනික ලෝකයා කෙනෙක් ගැන තීරණය කරන්නේ ඒ අය කරන දේ දිහා බලලා මිසක් කියන දේ දිහා බලලා නෙමෙයි. කොච්චර දේශපාලනඥයෝ වේදිකාවල්වල දේවල් කියනවද? ඒ කිව්ව දේවල් කරා නම් අද අපේ රට උසස් තැනක තියෙන්නේ. ඒ නිසා දේශපාලනඥයෝ කියන දේවල් විශ්වාස කරන්න බෑ. හැබැයි ජනාධිපතිවරයා ගැන අපිට විශ්වාසයක් තියෙනවා රණවිරුවෝ බේරා ගනී කියලා. කොහොම වුණත් මොනදේ කිව්වත් දැනට වෙලා තියෙන දේ විතරයි අපිට පේන්න තියෙන්නේ.

 විදේශ ඇමැතිගෙ කතා අපටත් ප්‍රශ්නයක් 

හරි ඔබ දැන් කියන්න රජය මොකක්ද ගන්න ඕන පියවර?

රජය කරන්න ඕන අපට කෘත්‍රිමව හදලා තියෙන මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන්න ඕන. ඊට පස්සේ අපි කරපු දේ ලෝකයට කියන්න ඕන. අපේ දේ හරහා ලෝකයට ආදර්ශයක් දෙන්න ඕන. ඒක තමයි රජයෙන් විය යුත්තේ. මොකද පහුගිය රජයට වඩා මේ රජයට ලෝකයේ විශාල තැනක් තියෙනවා. අන්න ඒ සහයෝගය අරගෙන අපි කරපු දේ ලෝකයට පෙන්නන්න ඕන. මොකද 21 වන සියවසේ ත්‍රස්තවාදය නැති කළ එකම රට අපි.

ඔබ හිතන්නේ නැද්ද ඉස්සෙල්ලා රජය වැඩේ අනාගත්තා කියලා. අතුරුදන් වූ කොමිෂන් දැම්මට කරපු දෙයක් නෑ. මේ රැවැටීම් නිසා නෙවෙයිද මේක දුරදිග ගියේ?

නෑ... නෑ... අතුරුදන් වූවන් ගැන යුද්ධයකින් පස්සේ හොයන්න ඕන. කණ්ඩායම් දෙකේම කට්ටියට මොකද වුණේ කියලා. ඒක වගකිව යුතු රජයක වගකීමක්. ඒ දේවල් වෙන්න ඕන. ඒ වගේමයි මේ යුද්ධයේදී වරදක් වෙලා තියෙනවා නම් ඒ ගැන පරීක්ෂණ කරලා දඬුවම් දිය යුතුයි වැරදිකරුවන්ට. ඒව ගැන කිසිම අවුලක් නෑ. හැබැයි ජාත්‍යන්තර වශයෙන් එල්ල කරලා තියෙන චෝදනා අපට පිළිගන්න බෑ.

මේ ප්‍රශ්නවලට දේශීය අධිකරණයක් පිහිටෙව්වොත් නරකද?

වැරැද්දක් වෙලා තියෙනව නම් කරන්න ඕන මොකක්ද අපි කරපු වැරැද්ද, කවුද කියන්නේ, කවුද හොයාගෙන තියෙන්නේ. අපි අහිංසක මිනිස්සු මැරුවේ නෑ. අපි නම් විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා කල්පිත ලෝකවල ඉඳලා වැඩ කරන්න අවශ්‍ය නෑ. අපි ලක්ෂ හතරක ජනතාවක් බේරාගත්තා. ඒ අවස්ථාවේදී ඔය සංවිධානවල සාමාජිකයෝ හිටියා. ඒවා දැක්කා. එහෙම තියෙද්දිත් ඇයි අපි මේ වෙන දෙයකට උත්තර බඳින්න හදන්නේ?

නමුත් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහත්තය කියලා තියෙනවා ඔහුට නොදැනිම යුද හමුදාවේ විවිධ කණ්ඩායම් ක්‍රියාකළා කියලා?

ඔය එක එක අය කියන දේවල්වලට මම උත්තර දෙන්න යන්නේ නෑ. ඒ අය එදා එකක් කියනවා. අද තව එකක් කියනවා. මේවා තමයි අපේ රටේ ප්‍රශ්න. එක එක්කෙනාගේ පුද්ගලික ප්‍රශ්නවලට ගාවගන්නව. මේවා තමයි අපේ රටේ කරුමේ. ඒ කරුමක්කාර දේවල්වලට උත්තර දෙන්නේ නෑ මම. ඒත් යථාර්ථය මොකක්ද කියල සමස්ත ලෝකයට පේනවා. අපි දැකලා තියෙනවා. කිසිම අවස්ථාවක මානුෂික අයිතිවාසිකම් කඩවන විදිහට කටයුතු කරලා නෑ. අපි විනයගරුක හමුදාවක්.

 හමුදාව ඇතුළේ වෙනත් කණ්ඩායම් කවදාවත් තිබුණෙ නෑ 

ඔබ රාජපක්ෂ ආණ්ඩුව සමයේ පත්වූ යුද හමුදාපතිවරයෙක්. මට පැහැදිලි ලෙස කියන්න යුද හමුදාපතිවරයා නොදැනුවත්ව හමුදාව තුළ වෙනම කල්ලි හිටියද?

යුද හමුදාපතිවරයා දන්නේ නැත්තන් කොහොමද පාලනය කරන්නේ? සියලු දේ යුද හමුදාපතිවරයා දැනගත යුතුයි. අනෙක් කාරණය යුද හමුදාවේ ඒ වගේ එක එක කෑලි කඩලා සංවිධාන හදාගන්න බෑ. බොහෝම විනයගරුක හමුදාවක් ඉන්නේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න පුළුවන් හමුදාවක් අපට ඉන්නෙ. ඔවුන් රටේ භෞමික අඛණ්ඩතාවය රැක්කා. ජීවිත 30,000ක් පූජා කරලා. අන්න එවැනි හමුදාවක් ඔවැනි දේවල් කරන්නේ නෑ. ඒ හමුදාවට අරහේ කෑලි තිබ්බා මෙහෙ කෑලි තිබ්බා කියලා. යුද හමුදාපතිවරයෙක් කියනවා නම් ඒක ඒක ප්‍රශ්නයක්. අපි ඉතාම කලකිරීමට පත්වෙනවා. මේවා නිසා.

ඔබ මාධ්‍ය එක්ක ඉතා සමීපව වැඩකළ කෙනෙක්. ඇයි මේ මාධ්‍යයට ගහන්න කල්ලි යුද හමුදාවේ තියන් හිටියා කියන්නේ?

මම නම් විශ්වාස කරන්නේ නෑ එවැනි දෙයක්. මාධ්‍යයත් එක්ක ඉතාම කුළුපගව කටයුතු කරපු හමුදාවක් තමයි අපිට ඉන්නේ. අපේ රටේ ගෙදර සිද්ධවෙන ප්‍රශ්නත් දන්න තත්ත්වයක් තියෙන්නේ. ඉතිං එවැනි තත්ත්වයක් මත කොහොමද විශේෂයෙන් මාධ්‍යයට ගහන්න කියලා කණ්ඩායමක් තියාගන්නේ. එවැනි කණ්ඩායමක් තියාගත්තා නම් ඔබ දන්නේ නැද්ද? ඔබේ වගකීමක් එවැනි දේ හොයාගන්න එක. එහෙම හංගන් කරන්න පුළුවන්ද එවැනි දේ. කොච්චර මාධ්‍ය කට්ටිය හමුදාවේ අය සමඟ සමීපද?

මෑතකදී රජයට විදෙස් රටවල් බොහොමයක් පොරොන්දු වුණා අපේ හමුදාව ප්‍රතිසංධාන ගත කරන්න සහය වෙනවා කියලා. ඒ සඳහා මුදලුත් දෙනවා. ඔබ හිතන්නේ මොකක්ද මේ ගැන?

මේවා තමයි අපේ රටවල කනගාටුදායක කරුණ. අපි ගොඩක් දේවල් බටහිර රටවලින් ඉගෙන ගත්තා. ඒ යුද්ධයක් ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා. එහෙම ඉගෙන ගත්තත් කිසිම ක්‍රමයකින් මේ යුද්ධය නවත්වන්න බැරුව ගියා. අවසානයේ අපි විසින්ම නිර්මාණය කරගන්නවා. මේ ප්‍රශ්නය විසඳගන්න ක්‍රමවේදය. අපි ඒ සඳහා හමුදාව සකසනවා. ඒ වගේම ලෝකයේ බටහිර රටවල් පිළිගන්නවා ඔවුන්ට කුඩා යුද්ධ දිනන්න බෑ කියලා. ඉතින් එහෙම අය ගෙනැල්ලා වැඩ ගන්න යනවා නම් ඒක ඇත්තටම අමුතු වැඩක්. ඇත්තටම දැන් අපිට සමස්ත ලෝකයටම කියාදෙන්න පුළුවන් යුද්ධයක් දිනන හැටි, කොහොමද හමුදාව සකසන්නේ, කොහොමද පුහුණුවීම් කරන්නේ කියලා කියාදෙන්න පුළුවන් රටක් අපි. එවැනි දේවල් ගැන අවබෝධයක් නැති උදවිය රටක ඉන්නකොට මෙවැනි දේවල් සිදුවීම සාමාන්‍ය දෙයක් හැටියටයි මට පේන්නේ.

ඔබ කියන්නේ මෙවැනි ප්‍රතිසංධාන කටයුතු නොකළ යුතුයි කියලද?

අපි යුද්ධය ඉවරවෙලා වසර 05ක් ඇතුළත යුද හමුදා සාමාජිකයන් ඉතාමත් ප්‍රායෝගික ලෙස සාමාන්‍ය තත්ත්වයට සැකසුවා. වෙනත් රටවල මෙවැනි යුද්ධයක් ඉවර වුණා නම් මොකක් හරි යුද්ධයක් ඇතිවෙනවා ඊට පස්සේ. එක්කෝ හමුදාව බලය අල්ලනවා වගේ දේවල්. මේ නිසා සමහර අවස්ථාවල ඒ හමුදාව රටට බරක් වෙනවා. ඒක ලෝකයේ මතයක්. හැබැයි අපි ඒ මතය වෙනස් කරලා ලංකාවේ හමුදාව ලෝකයේ ඉන්න විනයගරැකම හමුදාව බවට පත්කළා. ඒ වගේම සොල්දාදුවා තමයි මේ රටේ විනයගරුකම පුද්ගලයා බවට පිළිගත් අදහසක් තවමත් රටේ තියෙනවා. ඒ නිසා මෙවැනි තත්ත්වයක් ලෝකයේ කිසිම හමුදාවකට ලැබිලා නෑ. ඒ නිසා අමුතුවෙන් දේවල් කරන්න අවශ්‍ය නෑ.

හැබැයි ඔබ එහෙම කිව්වට පහුගිය කාලයේ සිදුවෙච්ච ඇතැම් දේවල්වලට යුද හමුදාවට චෝදනා එල්ල වෙලා තියෙනවා. විශේෂයෙන්ම රටේ හදවත වගේ වන බුද්ධි අංශයට?

මේවා අමුතු විදිහට සිදුවෙන ක්‍රියාදාමයක්. අපේ රටේ හමුදාව බුද්ධි අංශ වෙන්නෙ මේ දේවල්  අඩපණ වෙන්නෙ මේ දේවල් නිසයි. ආර්ථික ස්ථාවරභාවය, දේශපාලන ස්ථාවරභාවය, වගේ දේවල් ගොඩනැගීමේ ක්‍රියාදාමය තුළ ඉදිරියෙන්ම ඉන්නේ මේ බුද්ධි අංශය. විශේෂයෙන්ම මේ බුද්ධි අංශ යුද්ධයේදී වෘත්තීමය වශයෙන් විශාල කාර්යභාරයක් සිදුකලා. එවැනි කාර්යභාරයක් සිදුකළ බුද්ධි අංශයක් මේ ආකාරයෙන් පීඩාවට ලක් වීමක් ලෝකයේ කොහේවත් රටක සිදුවෙන්නේ නෑ. ඒ නිසා බටහිර රටවල් පසුපස යන අය මතක තියාගන්න ඕන එක දෙයක්. ඒ අලුතින් පත්වුණු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය කිව්ව දේ. ඇය කිව්වා කිසිම දවසක මගේ හමුදාවට විරුද්ධව පරීක්ෂණයක් සිදු කරන්නේ නෑ කියලා.

♦ ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00