2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

මහ ඡන්දය හරි පාරට!

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 78

වත්මන් පාර්ලිමේන්තුවේ ආයුෂ ඉදිරි පැය 48 තුළදී ගෙවීයාමට නියමිතය. ඉන්පසුව ආණ්ඩුව වශයෙන් ක්‍රියා කරන්නේ ජනාධිපතිවරයාත් අගමැති ප්‍රමුඛ ඇමැති මණ්ඩලයත් පමණි. නියෝජ්‍ය ඇමැති පදවි සහ රාජ්‍ය ඇමැති පදවිද අහෝසි වෙයි. ඊළඟට ඉදිරි මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් ඒ සඳහා නාමයෝජනා කැඳවීමත් සිදුකිරීමට මැතිවරණ කොමිසම ක්‍රියාකරනු ඇත. දැනට ප්‍රකාශයට පත් වී ඇති කරැණු අනුව මහ මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී පැවැත්වීමට නියමිතය.

මහ මැතිවරණය පැවැත්වීමෙන් බලයට පත්වන ආණ්ඩුව, ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවේ මෙතෙක් පැවැති අවිනිශ්චිත තත්ත්වය තුරන් කිරීමට සමත්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. පසුගිය මාස තුනක පමණ කාලය තුළදී රටේ පාලනය සිදුවූයේ අන්තර්වාර රජයක් යටතේය. රටට ඉතා වැදගත් මුදල් පනතක් හෝ සම්මත කර ගැනීමට හෝ එම ආණ්ඩුවට හැකියාවක් නොතිබිණි. එය අපේ රටේ පවතින දේශපාලන සංස්කෘතියේම අතුරු ප්‍රතිඵලයකි. රටේ පැවැත්මට වඩා දේශපාලන පක්ෂවල පැවැත්ම වැදගත් වනවිට මෙවැනි විකෘති පාර්ලිමේන්තු බිහිවෙයි. මහ මැතිවරණය හැකි ඉක්මණින් පැවැත්වීමට එයින් ස්ථාවර ආණ්ඩුවක් බිහිකර ගැනීමත් හරහා එවැනි විකෘති, ප්‍රකෘති තත්ත්වයට පත්කර ගත හැකිවනු ඇත.

පාර්ලිමේන්තුව විසුරැවා හැරීමෙන් පසුව ආණ්ඩුවේ හිටපු මන්ත්‍රීවරුන්ටද ලොකු වගකීමක් පැවරෙයි. රටේ දැනට පවතින සාමාකාමී වාතාවරණයට හානි පැමිණෙන සේ ක්‍රියා කිරීමෙන් වැළකීමයි. මැතිවරණය මූලික කොටගත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුනොවීමට වගබලා ගැනීම එහි එක් මූලික වගකීමකි. එසේම ආණ්ඩු බලය අතැතිව ඡන්දය කිරීම වරප්‍රසාදයක් සේ සලකා කටයුතු කිරීමෙන් වැළකී සිටීමද වැදගත්ය. අතීතයේ බොහොමයක් ආරවුල් ඇතිවූයේ ආණ්ඩු බලය ඇති හිටපු මැති ඇමැතිලාගේ උද්දච්ච හැසිරීම්වල ප්‍රතිපල වශයෙනි. ඒ අතර විරුද්ධ පාක්ෂිකයන්ට එරෙහි තර්ජන, ගර්ජන හේතුවෙන් පමණක් නොව මනාප සටන හේතුවෙන් තමන්ගේ පක්ෂවල පිරිස් සමඟ පවා මේ ගැටුම් හටගනී. එවැනි ගැටුම් සීයට සීයක්ම වළක්වා ගත නොහැකි වුවත් ඒවා හැකිතරම් අවම කර ගැනීම මහ මැතිවරණය නිදහස්ව පවත්වා ගැනීමට උපකාරී වෙයි.

එසේම ඇමැතිවරැන්ගේ බලතල සහ වරප්‍රසාද රාජ්‍ය පාලන කටයුතු සඳහා අවශ්‍ය පරිදි පමණක් යොදා ගැනීමද අවශ්‍යය. එසේ නොකර ඇමැතිවරැන් තමන්ගේ අමාත්‍යංශවල වාහන ඇතුළු සම්පත් ඡන්ද වැඩට යොදාගැනීම විශාල ඡන්ද දූෂණ ක්‍රියාවකි. තනතුරැ අහිමි වන නියෝජ්‍ය ඇමැතිවරැන් සහ රාජ්‍ය ඇමැතිවරැන්ද තමන්ගේ යාන වාහන ඇතුළු සෙසු සම්පත් සියල්ල ආපසු බාරදීම පමාකළ යුතු නැත. මැතිවරණ කොමිසමේ බලතල සහ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානවල කටයුතු හේතුවෙන් රාජ්‍ය සම්පත් මැතිවරණ කටයුතු සඳහා යොදවා ගැනීම පසුගිය කාලය තුළදී බොහෝදුරට අඩු වී තිබිණි. එහෙත් එවැනි ක්‍රියා ආරම්භ කිරීමට කැසකවන දේශපාලනඥයන්ද සිටින බවත් අමතක නොකළ යුතුය. මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය සම්පත් යොදවා ගැනීම වැළැක්වීමට ආණ්ඩු පක්ෂ හිටපු මැති ඇමැතිවරැන්ගේ වුවමනාව තිබීමද අවශ්‍යය. එය නීති පැනවීමෙන් පමණක් සිදුකළ නොහැක.

මහ මැතිවරණය නිදහස්ව සහ සාධාරණව පවත්වන තරමට මහජනතාවගේ අයිතිය රුකෙන බව පෙන්වාදීමද අවශ්‍යය. ආණ්ඩුවක් බලයට පත්විය යුත්තේ ප්‍රචණ්ඩකාරී මැතිවරණයක ප්‍රතිඵලයක් වශයෙන් නොව නිදහස් සහ සාධාරණ මැතිවරණයක ප්‍රතිඵලයක් වශයෙනි. පසුගිය යහපාලන ආණ්ඩුවේ කොතරම් වැරදි සහ දුර්වලතා තිබුණත් ජනාධිපතිවරණය පැවැත්වීමේදී එය කිසිදු බරපතළ සිද්ධියකින් තොරව පවත්වා අවසන් කිරීමට අවශ්‍ය පසුබිම සකස්කර තිබිණි. විශේෂයෙන් මැතිවරණ කොමිසමට සහ පොලිස් කොමිසමට අවශ්‍ය බලය ලබාදීම හරහා ඡන්ද දූෂණ හැකිතාක් දුරට අවම කිරීමට හැකිවූ බව පැහැදිලිව පෙනිණි. මහමැතිවරණයේදීද එම තත්ත්වය පවතිනු දැකීම රටේ ඡන්දදායකයන්ගේ අපේක්ෂාව වන බව දේශපාලන බලවතුන් විසින් තේරැම් ගැනීම අවශ්‍යය. ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර වූ නිදහස් සහ සාධාරණ මැතිවරණයකින් බලයට පත්වන ආණ්ඩුවකට රටේ පාලනය ගෙනයාමද පහසු වෙයි.

එසේම මහජනතාවටද මෙහිදී විශේෂ වගකීමක් පැවරෙයි. ඒ වගකීම පාර්ලිමේන්තුවට යවන මන්ත්‍රීවරැන් තෝරාගැනීම සම්බන්ධයෙනි. අද රටේ ඉදිරි ගමනට අවශ්‍ය වන නායකත්වය ආසන මට්ටමින් ලබාදිය හැකි සුදුසු, දක්ෂ මන්ත්‍රිවරැන් තෝරා ගැනීමෙන් ඒ වගකීම ඉටුකළ හැකිය. දක්ෂ මන්ත්‍රීවරයකු වීමට උගත්කම එකම මිනුම් දණ්ඩ නොවන බවද සැලකිය යුතුය. ලොකු උගත්කමක් නොතිබුණද ප්‍රායෝගික දැනුමැති මහජනතාවගේ සිතුම් පැතුම් හඳුනන මන්ත්‍රීවරැන්ද පාර්ලිමේන්තුවේ සෙසු උගත් මන්ත්‍රිවරැන් අතර සිටිය යුතුය. එහෙත් අනිවාර්යයෙන්ම හොරැන්, තක්කඩින් වශයෙන් හංවඩු ගැසී සිටින දේශපාලනඥයන් තමන්ගේ නියෝජිතයා වශයෙන් තෝරා නොගැනීමට තරම් බුද්ධියක් ඡන්දදායකයාට තිබීම අවශ්‍යමය. පාර්ලිමේන්තුව රටට එපා කරවන්නේ එවැනි කම්බා හොරැන්, ජාවාරම්කාරයන්, ඩීල්කාරයන් සහ නාස්තිකාරයන් විසිනි. තමන්ගේ හත්මුතු පරම්පරාවම ගොඩ දා ගැනීමේ චේතනාවෙන් පාර්ලිමේන්තු යාමට බලාපොරොත්තු වන පුද්ගලයන් මුලසිටම හඳුනා ගැනීමට ඡන්දදායකයා සමත්වෙයි නම් එයම රටේ ලොකු ජයග්‍රහණයක් වන බව කිවයුතුය.