2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 110

ඒ තමයි ගෝඨාභය

දක්ෂිණ අධිවේගය රාජපක්ෂ පාලනයේ අයිකනයකි. (ප්‍රතිමූර්තියකි.) එහි මුල් අදියර හැදුවේත් විවෘත කළේත් මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළදීය. එහි අලුත්ම අදියර වශයෙන් ගැනෙන මාතර බෙලිඅත්ත සිට බරවාකුඹුක දක්වා වන කිලෝමීටර් 58කින් යුත් කොටසේ වැඩ වැඩි ප්‍රමාණයක් නිමකෙරුණේ පසුගිය පාලන තුළදීය. කෙසේ වුවද එය අවසන් කර විවෘත කිරීමට එම රජයට හැකියාවක් නොතිබිණි. එය එම රජයේ අකාර්යක්ෂම බව හේතුවෙන් සිදුවීදැයි හෝ රජය ඇතුළත තිබූ බරපතළ ගැටුම් හේතුවෙන් සිදුවීදැයි හරි හැටි කිව නොහැකි වුවත් වැඩේ අවසන් නොවීය.

ඒ හේතුවෙන් එහි ඉතිරි වී තිබූ කොටස ඉක්මනින්ම නිමකොට එය විවෘත කිරීමේ අවස්ථාව හිමිවූයේ වත්මන් රාජපක්ෂ පාලනයටයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරැන්ගේ ප්‍රධානත්වයෙන් එහි විවෘත කිරීම 23 වැනි ඉරිදා (අද) දිනයට යෙදී තිබේ.

මෙම විවෘත කිරීමට අදාළව සවිකෙරෙන සමරැ ඵලකය සකස් කෙරැණේ මහාමාර්ග අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් විසිනි. එම ඵලකයේ සඳහන් වන හේතු පාඨයට අනුමැතිය ලබාගැනීම සඳහා පසුගියදා එහි කෙටුම්පත ජනාධිපතිවරයා වෙත රුගෙන ගොස් තිබු‍ණේ අදාළ නිලධාරියකු විසිනි.

එම හේතු පාඨයේ එකී ව්‍යාපෘතියට තමන්ගේ ඇති සම්බන්ධතාව පිළිබඳ ලියා තිබූ කොටසට ජනාධිපතිවරයා කැමැත්තක් දැක්වූයේ නැත. ඔහු එම නිලධාරියාට උපදෙස් දී තිබුණේ තමන්ගේ අනුග්‍රාහකත්වයකින් තොරව ඉදිකෙරැණු එම ව්‍යාපෘතිය සඳහා තමන්ගේ නම යෙදීම සුදුසු නැති බැවින් එය වෙනස් කොට සකස් කළ යුතු බවටය. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දායකත්වයෙන් එම ව්‍යාපෘතිය අවසන් කෙරුණු බවට වූ කොටස ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් විවෘත වූ බවට වශයෙන් වෙනස් කරනු ලැබීය.

ඒ සමඟ ජනාධිපතිවරයා විසින් මෙම විවෘත කිරීමේ උළෙල ප්‍රචාරක වියදම් නැති වියදම් අඩු, චාම් සහ සරල එකක් විය යුතු බවට ද දැඩිව උපදෙස් දී තිබිණි.

ලක්ෂ්මන් යාපා බය වෙච්ච තරමක්

සහශ්‍රයේ අංක විද්‍යාව අනුව සුවිශේෂතම දිනය පසුගිය සතියේ එළඹී තිබිණි. 2020.02.20 ඉතාමත් ඉහළින් සමරන්නට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විශේෂ තැපැල් මුද්දරයක් නිකුත් කිරීමට පියවර ගත්තේ විෂය භාර රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ මඟපෙන්වීම යටතේය.

2020.02.20 දින පැය 20 විනාඩි 20 තත්ත්පර 20ට මෙම තැපැල් මුද්දරය අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් නිකුත් කිරීමට සියල්ල සූදානම් කර තිබිණි. අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද උත්සව සභාවට පැමිණ වේලාව එළඹෙන තෙක් බලා සිටියෝය. එහෙත් රාත්‍රී 8 වන විටත් අග්‍රාමාත්‍යවරයා නොපැමිණීම හේතුවෙන් අමාත්‍යවරුන් දෙදෙනා තරමක් බියට පත්ව සිටියහ.

කෙසේ හෝ සියල්ලන්ගේ අපේක්ෂාවන් ඉෂ්ඨ කරමින් 8.16ට අග්‍රාමාත්‍යවරයා පැමිණියේය. රථයෙන් බිමට බසිනවාත් සමඟ මම පරක්කු වෙයි කියලා බය වුණා නේද?* යැයි අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් විමසීය. &මට වඩා බය වුණේ මේ ලක්ෂ්මන්* යැයි බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ලක්ෂ්මන් යාපා පෙන්වීය. එවිට අග්‍රාමාත්‍යතුමා නෑ එහෙම වෙන්නේ නෑ. ලක්ෂ්මන් හොඳට දන්නවා මගේ හැටි. මම එනවා කිව්වොත් වෙලාවට එනවා* යැයි කියමින් ලක්ෂ්මන් යාපාගේ අතින් අල්ලා ගත්තේය. එවිට ලක්ෂ්මන් යාපා කීවේ හැබැයි මේ සැරේ නම් හොඳටම බය වුණා යනුවෙනි.

කෙසේ නමුත් ඉතිහාසයට ස්මරණයක් එක් කරමින් 2020.02.20 දින රාත්‍රී 20 පසුවී විනාඩි 20 තත්ත්පර 20ට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල් දින කවරයක් හා සමරැ මුද්දරයක් නිකුත් විය. මුද්දර ලෝලීන්ට විශේෂිතම මුද්දරය හා මුල් දින කවරය මෙය විය හැක.

රහස් පරීක්ෂක නිලධාරීන් කොළඹට ගෙන ආ උදයංග වීරතුංග

රැසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයකු වූ උදයංග වීරතුංග පසුගිය සතියේ සිකුරාදා (14) අලුයම ඩුබායි හි සිට කොළඹට සී.අයි.ඩියේ නිලධාරීන් පිරිසක් විසින් රැගෙන එනු ලැබීය. රටින් පලා ගොස් සිටි ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන පුද්ගලයකු වූ උදයංග වීරතුංග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කෙළින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (සී.අයි.ඩී.) මූලස්ථානය වෙත වාහනයකින් කැඳවාගෙන යන ලදුව එහිදී පැය 05කට අධික කාලයක් තිස්සේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පියවර ගැනිණි.

එම ප්‍රකාශයට අදාළ වූයේ 2006 වසරේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග්-27 ප්‍රහාරක ගුවන්යානා මිලදී ගැනීමයි. සී.අයි.ඩී. නිලධාරීන් පැවසුවේ ඔහුගෙන් තවදුරටත් ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කරන බවයි. ඉන්පසුව ඔහු කොළඹ කොටුවේ මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියට පමුණුවන ලදුව රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබීය.

වීරතුංග මහතාට එරෙහිව වරෙන්තුවක් පවතින අතර පසුගිය මාස කිහිපය මුළුල්ලේ ඔහු ඩුබායි පොලීසිය මගින් රඳවාගනු ලැබ සිටියේය. පසුගිය වසරේ නොවැම්බර් ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා පොලීසියට උපදෙස් ලැබී තිබු‍ණේ එමිරේට්වලට ගොස් උදයංග මහතා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ යුතු බවය. කෙසේ වුවද ජනාධිපතිවරණය සඳහා රාජකාරි පැවරීම හේතුවෙන් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ට ඒ සඳහා අවස්ථාවක් නොලැබිණි.

ඉකුත් සතියේ දී සී.අයි.ඩී. සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසිංහ මේ සඳහා ඩුබායි බලා ගියහ. ඔවුන් වීරතුංග මහතා ද කැටුව ශ්‍රී ලංකන් යූ.එල් 208 දරණ ගුවන් යානයෙන් අබුඩාබි - එමිරේට් හි අගනගරයේ සිට 14 වැනිදා අලුයම 4.52ට කොළඹට පැමිණ තිබිණි.

කෙසේ වුවද කොළඹ පොලිස් ආරංචි මාර්ග පැවසුවේ වීරතුංග මහතා ඩුබායි සිට පැමිණියේ තමන් විසින්ම බවත් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක ගුවන් තොටුපොළේ දී බවත්ය. තමන් කිසිම වැරදි වැඩකට හවුල් නොවූ බවත් දේශපාලන පළිගැනීම්වලට ලක්වන බවත් ඔහු කියන බවද එම පොලිස් ආරංචි මාර්ග කියයි.

සන්ඩේ ටයිම්ස්