2017 මාර්තු 25 වන සෙනසුරාදා

පුංචි ඡන්දෙට දාන කැපිලි

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

පළාත් පාලන මැතිවරණය ඇතුළු සියලු මැතිවරණ කල්යාම ඇතැම් දේශපාලනඥයන්ට හැර අන් සියලු දෙනාටම මහත් කනස්සල්ලක් බවට පත්වෙමින් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවුන් සේ පෙනී සිටි සමහරු දැන් පුංචි ඡන්දය මතක් කරන විට හිස පහත් කරගනිති. ඉවත බලති. තවත් පිරිසක් නවගුණවැල ගණන් කරති.

මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් උනන්දුවිය යුත්තේ දේශපාලනඥයන් බව රහසක් නොවේ. එහෙත් කලට වේලාවට මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට තිබෙන උනන්දුවෙන් දශමයක්වත් ඇතැම් දේශපාලනඥයන්ට තිබෙන බවක් පෙනෙන්නට නැත. මේ හේතුව නිසාමදෝ දවසින් දවස මැතිවරණ කල්යාම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමක් කැඳවීමට මැකො සභාපතිවරයා විසින් පියවර ගෙන ඇතැයි අපගේ පුවත්පතේ ප්‍රවෘත්තියකින් ප්‍රකාශ වෙයි. එසේම මැතිවරණ කල්යාම පිළිබඳව සභාපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇතැයිද එය ලබන 31 වැනිදාට පෙර සිදුවනු ඇතැයිද තවත් පුවතකින් කියැවෙයි. 

පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමක් කැඳවීමත් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමත් සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ තිබෙන සූදානම පුංචි ඡන්දය ඉදිරියේ හොරගල් අහුලන ඇතැම් දේශපාලන බලධාරීන්ට දැල්වෙන රතු එළි වශයෙන් හැඳින්විය හැකිය. අප දැන සිටින මැකො සභාපතිවරයා කෙළින් කතා කරන, මැතිවරණ නීති රීති පිළිබඳ විශාරද දැනුමැති කෙළින් වැඩ කරන, අව්‍යාජ නිලධාරියෙකි. ඔහුට පුංචි ඡන්දය කල් දැමීම සම්බන්ධයෙන් සැඟවිය යුතු කාරණා කිසිවක් නැත. ඡන්දෙ කෝ කියා ජනතාව දේශපාලන නායකයන්ගෙන් අසන්නේ නැති වුවද මැකො සභාපතිගෙන් නම් අසන අවස්ථා බොහෝය. නමුත් ඡන්දය පැවැත්වීමේ වගකීම ඔහු සතු වුවද ඒ සඳහා නියෝගය පැමිණිය යුත්තේ රජයෙනි. මේ නිසා දේශපාලන නායකයන්ට යොමුකළ යුතු එම ප්‍රශ්නය මැකොගෙන් අසා පළක් නැත.

අපට නම් පෙනෙන්නේ පුංචි ඡන්දය තවදුරටත් කල් දැමීම සාධාරණීකරණය කිරීමට ආණ්ඩුවේ බලධාරීන්ට හැකියාවක් නැති බවය. විෂයභාර අමාත්‍යවරයා වන පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කොමිසමේ වාර්තාව පිළිගෙන ඡන්දයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන දිනය පිළිබඳව පවා ප්‍රකාශයක් කළේය. ඒ අනුව නම් මේ වනවිට අදාළ ගැසට් නිවේදනය නිකුත් වී තිබිය යුතුය. එහෙත් අද දන්නා තරමින් එය තවම නිකුත් වී නැත. එය නිකුත් කරන දිනයක් නිශ්චිතව සඳහන් වන්නේද නැත. මේ තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදය අගයන, ඒ කෙරෙහි අප්‍රමාණ වූ විශ්වාසයක් රඳවාගෙන සිටින ජනතාවට කොකා පෙන්වීමකි. ඔවුන්ගේ අයිතිය පැහැර ගැනීමකි.

පළාත් පාලන ඡන්දය පවත්වා එම ආයතන පිහිටුවා ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් ගමේ. නගරයේ බොහෝ කටයුතු එක්කෝ ඇණහිට තිබේ. නැතහොත් සිදුවන්නේ ඉතා මන්දගාමීය. නාගරික සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විසින් ඉටුකරනු ලබන සේවාවන් අද කිරීමට සිදුවී තිබෙන්නේ ඒ සඳහා පත්කර ඇති විශේෂ කොමසාරිස්වරුන්ටය. ඔවුහු රජයේ නිලධාරීහු වෙති. රාජකාරි කරන්නේ කාර්යාල තුළට වී වෙනත් රාජකාරිද සිදුකරන අතරේය. එහෙත් පළාත් පාලන ආයතන ක්‍රියාත්මක නම් ඒවායේ මන්ත්‍රීවරුන් සිටින්නේ මහජනතාව අතරය. ප්‍රදේශයේ යටිතලයේ ගැටලු පිළිබඳව ඔවුන්ට දැනුමක් තිබේ. මේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ගසාකෑම්, බලහත්කාරී බලපෑම්, චණ්ඩිකම් පිළිබඳ චෝදනා බොහොමයක් තිබෙන බවද රහසක් නොවේ. ඒවා ගැන වෙනම කතා කළ යුතුය. මේ කුමන අඩුපාඩුවක් තිබුණද නගර සභා සහ ප්‍රාදේශීය සභා පාලනය මන්ත්‍රීවරුන් අතේ තිබීම අවශ්‍යය. එම පළාත්වල මහජන නියෝජිතයන් වන්නේ ඔවුන් බැවිනි. 

තාක්ෂණික හේතු උපුටා දක්වමින් පුංචි ඡන්දය කල් යාමට ඉඩ සලසා ඇත්තේ ආණ්ඩුව බවට ප්‍රබල ජනමතයක් දැන් ගොඩනැගෙමින් පවතී. ඒ සමඟ ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්ව දෙක අතරද එක මතයක් නොපවතින බවත් පරස්පර අදහස් ප්‍රකාශ වන බවත් පෙනෙන්නට තිබේ. ආණ්ඩුවේම ප්‍රබල ඇමැතිවරයකු වන චම්පික රණවක මහතා පුංචි ඡන්දය කල් නොයවා පැවැත්විය යුතු බව කියද්දී ශ්‍රීලනිප ඇතැම් මැති ඇමැතිවරුන් ප්‍රකාශ කරන්නේ ඡන්දය පැවැත්වීමට පෙර මූලික අවශ්‍යතා කීපයක් සම්පූර්ණ විය යුතු බවය. විෂයභාර ෆයිසර් මුස්තාපා ඇමැතිවරයා එම මතයේ සිටින බව පැහැදිලිය. 

මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය ගැටලු විසඳාගැනීමට පමණක් නොව මැතිවරණය පැවැත්විය යුත්තේ පැරැණි ක්‍රමයටද නව ක්‍රමයටද වැනි කෝටියක් ප්‍රශ්නද දැන්මේ සමඟ පටලැවෙමින් තිබේ. විපක්ෂයේ තත්ත්වයද ඊට දෙවැනි නැත. ජවිපෙ ප්‍රකාශ කරන්නේ ඡන්දය පැවැත්විය යුතු වෙන්නේ නව ක්‍රමයට නොව පැරැණි ක්‍රමයට බවය. නමුත් එසේ පැරැණි ක්‍රමයට යායුතු නම් යළිත් පාර්ලිමේන්තුවෙන් ඒ සඳහා පනතක් සම්මත කළ යුතු බවද සඳහන් වේ. මෙය දැන් නම් නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකටත් එහා සෙවීමක් බව තේරුම් ගැනීම අපහසු නැත. 
ඡන්දය කෝ කියා මැකො සභාපතිවරයා පමණක් නොව මහජනතාව විමසන තුරු බලාසිටීම ඇඟට ගුණදායක නැති බව මේ වනතුරුත් අවබෝධ වී නැති දේශපාලනඥයන් සිටී නම් ඔවුන් හැකි තරම් ඉක්මණින් තමන්ගේ හෘද සාක්ෂියට තට්ටු කර බැලීම අවශ්‍ය යැයි අපි සිතමු. 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00