2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

වැඩේ කන කපුවෝ

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 188

මේ රජය බලයට පත්වීමෙන් පසුව පිට පිට සිව්වැනි වතාවටත් තවත් මාතෘකාවක් මාධ්‍ය සිරස්තල මගින් උදුරාගෙන තිබේ. ඒ අනුව ශ්‍රීලන්කන් ආයතනයේ ඩොලර් මිලියන් දෙකේ අල්ලස් ගනුදෙනුවේ කතාව ගෙවී ගිය සතියේදී දේශපාලන කරළිය උණුසුම් කළේය. එම කතාව ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් ඇතැමුන්ට නම් රසවත් හෝ උණුසුම් හෝ මාතෘකාවක් නොවීය. හැකිතරම් ඉක්මනට එයාර් බස් කතාව ඉවරවෙනවා දැකීමට මේ දෙපැත්තේම කිහිප දෙනෙකුම කැමැති බවට සැකයක් නැත.

ශ්‍රීලන්කන් ආයතනය කාලයක් තිස්සේ මේ රටේ ප්‍රධාන මාතෘකාවක් විය. ආදායම සහ වියදම පමණක් නොව දේශපාලන කරළිය කැළඹූ කතා බොහොමයක් ඒ වටා ගොඩගැසුණේය. කාලයක් තිස්සේ හොඳින් ආදායම් ඉපිදවූ රාජ්‍ය ආයතනයක් වශයෙන් තිබුණත් රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී එම ආයතනයේ පාලනය පෞද්ගලික අංශයෙන් රජයට පවරා ගැනීමෙන් පසුව විනාශ මුඛයට ගියේය. ලාබ ලැබීම කෙසේ වෙතත් අධික පාඩු ලැබීමකින් තොරව පවත්වාගෙන යමින් රටේ අභිමානය ලොවට ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව අපේ රටින් ගිලිහී ගියේ එම රාජ්‍ය කාලයේ ගත් වැරදි තීන්දු කිහිපයක් හේතුවෙනි. එහි වන්දිය ගෙව්වේ රටේ ආර්ථිකයයි.

රටේ බලය රාජපක්ෂ ආණ්ඩුවෙන් යහපාලනය අතට ලැබුණත්  ඒ ආණ්ඩුව ගෙවී ගිය වසර හතර හමාරක කාලය තුළදීම කළේ ශ්‍රීලන්කන් ආයතනය ගැන නිකම් කතා කර කර සිටීම පමණි. එය ගොඩගැනීමට හැදූ සැලසුම් කාපට් යටට ගියේය. ආයතනය ගැන සෙවීමට කොමිෂන් සභාවක් පත්කොට වාර්තා ගත්තත් එහි තිබූ කරුණුවලට අදාළව කිසිදු පියවරක් ගත්තේ නැත. කෙසේ වුවත් 2016 වසරේදී එයාර්බස් ගනුදෙනුව සම්බන්ධව පැමිණිල්ලක් කර තිබිණි. එහෙත් එහි විමර්ශන කටයුතු සිදුවී ඇත්තේ ඉතා මන්දගාමීව බව සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රීලන්කන් හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේදී නීතිඥවරුන්ගේ ප්‍රකාශයක සඳහන් විය. මේ දෙදෙනා ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ්භාරයට පත්කරනු ලැබූ අතර එදින උසාවියට කැඳවූ විට වැඩිදුර විස්තර අනාවරණය වනු ඇත.

කෙසේ වුවද මේ දෙදෙනාම සී.අයි.ඩී.යට ලබාදුන් ප්‍රකාශවල සඳහන් වූ කරුණක් තත්ත්වය තවත් සංකීර්ණ කරනු ලැබ ඇත. ඔවුන් දෙදෙනා කියා ඇත්තේ මේ බැංකු ගිණුම් පිළිබඳව කිසිවක් තමන් නොදන්නා බවය. ප්‍රියංකා නියෝමාලි විජේනායක නමින් ඇති හෝ කපිල චන්ද්‍රසේන නම යටතේ විවෘත කරන ලද ගිණුමක් ගැන හෝ ඒවා අදාළ කරගනිමින් සිදුකෙරැණු වෙනත් ගිණුම්වලට මුදල් මාරැ කිරීම පිළිබඳව තමන් නොදන්නා බව ඔවුන් කියා තිබිණි. මේ විස්තර උසාවිය හමුවේ ප්‍රකාශ කර තිබුණේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත මුදලිගේය.

එසේම ප්‍රංශ එයාර් බස් ආයතනයෙන් ප්‍රියංකා නියෝමාලි විජේනායකට ලැබී තිබූ අමෙරිකානු ඩොලර් මිලියන් දෙකෙන් කොටසක් ශ්‍රී ලංකාවේ පදිංචි පුද්ගලයකුගේ හෝ දෙදෙනකුගේ බැංකු ගිණුම්වලට මාරුකර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා තිබිණි. ඊට අමතරව විජේනායකට ලැබී තිබූ මුදල්වලින් කොටසක් එතෙර බැංකු ගිණුම් ගණනාවකට යවනු ලැබ තිබූ බවද සඳහන් විය.

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ ඉදිරි විමර්ශනවලදී මේ මුදල් ලබාගෙන ඇත්තේ කව්දැයි හෙළිදරව් වීම වැළැක්විය නොහැක. ජාත්‍යන්තරයේ සිදුවන කළු මුදල් හුවමාරුවට එරෙහි නීති රීති ඉතා දැඩිය. නීත්‍යානුකූල නොවන ආකාරයට මේ මුදල් සංසරණය සිදුවී ඇත්නම් ඊට ආධාර සහ අනුබල දුන් සියලුදෙනාටම එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය. තවමත් විමර්ශන පවතින්නේ ආරම්භක අවදියේය. එසේ වුවත් මේ රටේ බොහොමයක් මහා පරිමාණයෙන් සිදුවූ වංචා සහ දූෂණවල විමර්ශන වාර්තා උඩ ආවාට වඩා යටගිය බවද ඒවායින් දඬුවම් ලැබූ බලවතකු නොසිටි බවද සඳහන් කළ යුතුය.

මේ අතර වාරයේ යූ.එන්.පී.ය ඇතුළේ බල අරගලයද පොහොට්ටුව සහ ශ්‍රීලනිපය අතර ඇතිවෙමින් තිබෙන මත ගැටුම්ද දලු දමමින් තිබේ. යූ.එන්.පී.ය මේ වනවිට පැහැදිලිවම දෙකඩ වෙමින් ඇති බවත් රනිල් නායකත්වය තමන් අතේම තබා ගනිමින් සජිත්ට යන්න පාර පෙන්නුවොත් එය සිදුවීමට බොහෝදුරට ඉඩ තිබෙන බවත් පෙනී යයි. ජනාධිපතිවරණයේ පරාජයෙන් බැට කා සිටින යූ.එන්.පී.ය මහමැතිවරණය ළඟ ළඟ එනවිටද එයට මුහුණ දෙනවා වෙනුවට පක්ෂයේ බලයට අරගල කිරීම පාක්ෂිකයන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී තිබේ. කිසිම ප්‍රධාන පක්ෂයක් පරදින්න බලාගෙන ඡන්දයකට ඉදිරිපත් වන්නේ නැත. එහෙත් යූ.එන්.පී.යේ කල්ක්‍රියාවෙන් පෙනෙන්නේ කලින්ම පරාජය හිමිකරගෙන පක්ෂය ඇතුළේ සටනින් ජය ගැනීමට දෙපාර්ශ්වයම සටන් කරන බවයි. එය පාක්ෂිකයා සම්පූර්ණයෙන් අනාථ කිරීමකි. එවැනි තත්ත්වයක් යටතේ ඡන්දයට ඉදිරිපත් වීමද මහත් අනුවණ ක්‍රියාවක් වනු ඇත.

යූ.එන්.පී.ය මුහුණ දී සිටින වත්මන් තත්ත්වය මහින්දලාට නම් මහත් සහනයක් බව පැහැදිලිය. ආණ්ඩුව අතේ තබාගෙන ඡන්ද කිරීමේ කලාව මහින්ද තරම් හොඳින් දන්නා වෙන කිසිවකුත් නැත. යූ.එන්.පී.යට මුහුණදීමට සිදුවන්නේ හැම අතින්ම සන්නද්ධව සිටින &හමුදාවක්* සමඟ බව එහි තේරැමයි. හෙට (10) පැවැත්වීමට නියමිත තීරණාත්මක කෘත්‍යාධිකාරී කමිටුවේදී හෝ අවසන් තීන්දුවක් නොගෙන තවත් සතියකින් කල් දැම්මොත් ඊළඟට ඉතුරු වන්නේ තව සති දෙකක් පමණි. ඉන්පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරැවා හැරීමට ක්‍රියාකරනු ඇත.

එසේ වුවත් පොහොට්ටුවද අභ්‍යන්තර සහ බාහිර ගැටලු ගණනාවකට මුහුණ දෙමින් සිටී. බාහිර වශයෙන් ඔවුන් රටේ ජනතාව තුළ තැබූ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවීදැයි සැලකිලිමත් විය යුතු වෙයි. බදු සහන ලබාදීමත් රාජ්‍ය ආයතන පාලනය විධිමත් කිරීමත් සුදුසු පුද්ගලයන්ට ඉහළ තනතුරැ ලබාදීමත් ජනතාවගේ සිත් දිනාගෙන තිබේ. එසේම ජනාධිපතිවරයා විසින් දිගින් දිගටම පෙන්නුම් කරන සරල සහ චාම් පාලන ක්‍රමයද ජනතාවගේ පැසසුමට ලක්වී ඇත. නිදහස සැමරීම අභිමානවත් ලෙස සිදුකෙරැණත් එහි අනවශ්‍ය වියදම් කපාහැර තිබිණි. උළෙලද චාම් බවකින් වෙලී තිබිණි. මේ සියල්ල යහපත්ය.

එහෙත් බදු සහන ලබාදීමේ වාසිය තවමත් ජනතාවට ලැබී ඇත්තේ මඳ වශයෙනි. ආහාරපාන, සහල්, එළවළු මිල ගණන් තවම සැලකිය යුතු තරමින් අඩු වී නැත. විශේෂයෙන් සහල් මිල පහත දැමීමට තවමත් රජයට හැකි වී නැත. රාජ්‍ය සේවය තුළද යම් යම් කලකිරීම් මතුවන බවද පෙනෙන්නට තිබේ. කෘෂිකර්මාන්තය පැත්තෙන්ද විශාල පිබිදීමක් දක්නට නැත. විශේෂයෙන් ගොයම් කැපෙන පළාත්වල වී මිලදී ගැනීම් සඳහා රජය මගින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ පිළිබඳව පැහැදිලි පසු විපරමක් සිදුකිරීම අවශ්‍යය. මහමැතිවරණ කාලය වනවිට නම් බොහෝදුරට වී ගොවීන් අතේ මුදල් ගැවසීමට ඉඩ තිබෙන බව නම් පෙනෙන්නට තිබේ.

ඒ සමඟ රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමද යම් යම් ගැටලුවලට මුහුණ පා තිබේ. ඇතැම් ආයතන බාර ගැනීමට සුදුසුකම් නැති කිසිවකු ඉදිරිපත් වන්නේ නැත. ඒවාට දේශපාලනික පත් කිරීම් සිදුකිරීම ජනතාව කෙසේ පිළිගනීදැයි කීමත් අමාරුය. තවත් සමහර දේශපාලන විචාරකයන්ගේ අදහස වී ඇත්තේ රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේදී උගත්කම ඇතුළු සුදුසුකම් පමණක් බැලීම ප්‍රායෝගික නොවන බවයි. මේ ඇතැම් උගතුන්ට ව්‍යාපාර පිළිබඳ න්‍යායාත්මක දැනුමක් තිබුණත් එළියට බැස කටයුතු කිරීමේදී එතැනින් එහාට ගිය උපාය මාර්ග, සටකපටකම් සහ විවිධ සම්බන්ධතාද අවශ්‍ය බව ඔවුන්ගේ මතයයි. කොතරම් දැනුමක් තිබුණත් සිල්ලර කඩයක් හරිහැටි පාලනය කිරීමට පවා මේ බොහෝ දෙනෙකුට නොහැකි බව ඔවුන් පෙන්වා දෙන තවත් කරුණකි.

කෙසේ වුවද මහ මැතිවරණයෙන් පසුව දැනට සිදුකර ඇති පත්කිරීම් පවා වෙනස්වීමට ඉඩ තිබේ. ඒ කුමක් වුවද ආණ්ඩුවේ ප්‍රධානියා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන ක්‍රමය පවත්වාගෙන යාමට ඉඩකඩ සැලසීම බලයට පත්වෙන ආණ්ඩුවේ වගකීමය. යළිත් පරණ ක්‍රමයට යාමට රටේ ජනතාව කැමැති නොවනු ඇත. එසේ පරණ ක්‍රම සහ විධි භාවිත කරමින් රට ඉදිරියට ගෙන යාමටද නොහැකිය. ජනතාව ගෝඨාභය ජනාධිපති වශයෙන් පත්කරගනු ලැබීමට ප්‍රධානම හේතුවක් වූයේ ඔහු අලුත් දැක්මක් ඇති වැඩකළ හැකි ක්‍රියාශීලී පුද්ගලයකු බවට ජනතාව තුළ ඇතිකළ නැවුම් බලාපොරොත්තුවයි. එම බලාපොරොත්තු බිඳ දැමීමට පාර්ලිමේන්තුවේ ආණ්ඩුව ක්‍රියා කළොත් එය බරපතළ ප්‍රශ්නයකට මුල පිරීමක් වනු ඇත.

පොහොට්ටුව හැකි තරම් ඉක්මණින් ශ්‍රීලනිපය සමඟ එකඟතා ඇතිකර ගැනීමද වැදගත් වෙයි. ලකුණු, සම නායකත්වය සහ ලැබෙන මන්ත්‍රී කෝටාව පිළිබඳ ගැටලු තවම විසඳී නැත. මේ වෙලාවේ පොහොට්ටුව සිටින්නේ ඉහළම තලයක වීම එකඟතා ඇතිකර ගැනීමට බාධාවක් වී ඇති බවද පෙනේ. ලබාදෙන කුමන විසඳුමකට වුවද එකඟවීම හැර ශ්‍රීලනිපයට යා හැකි වෙනත් මගක් ඉතිරිව නැත.

පොහොට්ටුව තවත් ගැටලුවකට මුහුණ දෙන්නේ වියත් මග සාමාජිකයන්ට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙනි. පිටින් පෙනෙන මත ගැටුමක් නොතිබුණද කොළඹ, ගම්පහ වැනි දිස්ත්‍රික්කවල වියත්මග සාමාජිකයන් පැමිණීම ගැන පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ගේ කැමැත්තක් නැත. එහෙත් අමතක නොකළ යුත්තේ වියත් මග යනු ගෝඨාභය ජනාධිපති කරවීමට රටපුරාම විශාල ජනමතයක් ඇති කිරීමට මූලික වූ සංවිධානය වූ බවය. රාජපක්ෂ පාලනයේ තිබූ කළු පැල්ලම් ඉවත් කරදීමට සමත්වූයේ වියත් මග හරහා ඇතිවූ පිබිදීමය. ඒ බව අමතක කිරීමට පොහොට්ටුවේ කාටත් හැකියාවක් නැත. ගෝඨාභය නොසිටියා නම් පොහොට්ටුවට මේ තරම් ඉහළ තලයකට දේශපාලන වශයෙන් නැග ගැනීමට වෙනත් මගක් නොතිබූ බැවිනි.

- ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00