2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 99

රාජ්‍ය අංශ ඉහළ තනතුරු: අගමැති කාර්යාල යෝජනා ජනාධිපති කාර්යාලය ඉවත දමයි

ප්‍රධාන පෙළේ රාජ්‍ය දෙපාර්තමේන්තු ගණනාවකම මුල් පුටු තවමත් පවතින්නේ පුරප්පාඩුවය. විවිධ කණ්ඩායම් විසින් තම තමන්ගේ රැචිකත්වය හිමිකරගත් පුද්ගලයන් එම තනතුරැවලට දමා ගැනීමට දරණ උත්සාහය එයට හේතු වී තිබේ.

මෝටර් රථවාහන කොමසාරිස් ජනරාල් ධූරයට යෝජනා වූ නම් 04ක් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. එම නම් හතරම එවා තිබුණේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉහළ නිලධාරියකු විසිනි.

මෝටර් රථවාහන කොමසාරිස් ජනරාල් ධූරය මාසයක් තිස්සේ පවතින්නේ හිස්වය. එම දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතු සොයා බැලීම වැඩබලන කොමසාරිස් ජනරාල්වරයකු අතින් සිදුවෙයි.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ එකී ජ්‍යෙෂ්ඨ නිලධාරියා විසින් අවස්ථා ගණනාවක දී ඉහත ධූරය සඳහා නම් ගණනාවක් නිර්දේශ කර තිබුණද එම පුද්ගලයන් අදාළ තනතුර දැරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා නැතැයි සඳහන් කරමින් ඒවා ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පියවර ගෙන තිබිණි.

පසුගිය දෙසැම්බරයේ දී හදිසියේම කිසිවකුටත් නොදන්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආර්.එම්.වී. ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණි. එම ආයතනයේ සිදුවන විශාල දූෂණ, වංචා සහ අකාර්යක්ෂමතාව පිළිබඳ විවිධ පැමිණිලි ලැබීම හේතුවෙන් ජනාධිපතිවරයාගේ අවධානය ඒ කෙරෙහි යොමුවිය.

මේ අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධූරයට ද පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණනාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ සිටියදී පිටස්තරයකු පත් කිරීමට තිබෙන ඉඩකඩ පිළිබඳ බන්ධනාගාර නිලධාරීහු කැළඹීමට පත්ව සිටිති. මේක වෙන දෙපාර්තමේන්තුවක් වගේ නොවෙයි. ඇතුළෙ ඉන්න අයට හුරුවෙන්න මට අවුරුදු පහක් ගත කරන්න වුණා. ඇතුළෙන්ම එක්කෙනෙක් පත් කරන එක තමයි වඩාත් හොඳ යැයි එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

මේ දක්වා පුරප්පාඩු වී පවතින තවත් එක් එවැනිම වැදගත් තනතුරක් වනුයේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයයි. අවසන් වරට එම ධූරය දැරෑ පී.එම්.එම්. චාල්ස් මහත්මිය උතුරැ පළාත් ආණ්ඩුකාරවරිය වශයෙන් පත් කරනු ලැබීමෙන් පසුව තනතුර පවතින්නේ පුරප්පාඩුවය.

ඉරාජ්ගේ තනතුරත් අබිරහසක්

මේ අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයකු වශයෙන් ජනප්‍රිය සංගීතඥයකු වන ඉරාජ් වීරරත්න මෑතකදී පත් කරනු ලැබීම ද බොහෝ දෙනාගේ විශ්මයට හේතු වී තිබේ. මේ ගැන කතා ඇවිස්සෙද්දී ඉරාජ් ප්‍රකාශ කළේ තමන්ගේ සේවාව වෙනුවෙන් කිසිදු වැටුපක් ලබා නොගන්නා බවයි.

ඉරාජ්ගේ පත්වීම පිළිබඳ කැබිනට් පත්‍රිකාවේ විෂය භාර අමාත්‍යවරයා වන සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර ඇත්තේ ද ජනප්‍රිය සංගීතඥ ඉරාජ් වීරරත්න තම සේවා සපයනු ඇත්තේ ගාස්තු අය කිරීමකින් තොරව බවය. වීරරත්න මහතා සාර්ථක සමාජ මාධ්‍ය ජාල ප්‍රවර්ධනකරැවකු බවට ඇමැතිවරයා මහත් සේ සිදු කරන වර්ණනාවක් ද එම පත්‍රිකාවට ඇතුළු කර ඇත්තේ ඔහු විශාලම අනුගාමිකයන් පිරිසක් සිටින බව හුවා දක්වමිනි.

කෙසේ වුවද අවසාන වශයෙන් ඇමැතිවරයා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වෙනුවෙන් ඩිජිටල් මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් පවත්වාගෙන යාමට වීරරත්න මහතාට අනුමැතිය ලබා දෙන්නැයි ද ඒ සඳහා ගෙවීම් සිදු කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයට බලය පවරන්නැයි ද ඉල්ලා තිබේ.

සන්ඩේ ටයිම්ස්

ආර්ථිකය ගැන මංගලගෙන් අනතුරු ඇඟවීමක්

නව රජය මගින් නව ආදායම් මාර්ග සොයාගැනීමකින් තොරව සිදුකර ඇති විශාල බදු කැපීම් හේතුවෙන් ඉදිරි කාලයේ දී රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දෙනු ඇති බවට හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා පසුගිය බ්‍රහස්පතින්දා (06) පාර්ලිමේන්තුවේ දී අනතුරැ ඇඟවීය. ආණ්ඩුව මගින් ලබාදී ඇති බදු සහන හේතුවෙන් වාර්ෂිකව රටට අහිමිවන ආදායම රුපියල් බිලියන 500ත් 600ත් අතර වනු ඇති බවට ඇස්තමේන්තු කර තිබෙනවා. එය වාර්ෂික රාජ්‍ය ආදායමෙන් 25% ක්. එසේම දළ දේශීය නිෂ්පාදිතයෙන් 3 – 4%ක ප්‍රමාණයක්. වැට් අඩුකිරීම හේතුවෙන් පමණක් අහිමිවන ආදායම බිලියන 143 ක්. ජනතාවට සහන ලබාදීම පිළිබඳව අප සතුටු වුණත් එයින් අහිමිවන ආදායම සොයාගන්නා ආකාරය පිළිබඳ පාර්ලිමේන්තුව දැනුම්වත් කර නැහැ.* යැයි හිටපු ඇමැති මංගල සඳහන් කර තිබිණි.

මූල්‍ය විනය අතහැර දැමීම පිළිබඳ රජයට අනතුරැ අඟවන මංගල, ආදායම් උපදවන අලුත් මාර්ග නැති බවත් ජනතා හිතවාදී අයවැයක් ඉදිරිපත් කළොත් ඊට විපක්ෂය සහාය දක්වන බවත් සඳහන් කරයි.

වියත් මගට ද පහරක් එල්ල කරමින් ඔහු ප්‍රකාශ කළේ සාමාන්‍ය ගැමියන් වියත් මග බුද්ධිමතුන්ට වඩා හොඳින් දැනුම්වත් බවය.

ඩේලි එෆ්.ටී.