2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

දූෂණ හමුවේ අසමත් නොවීම

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 49

රටක මහා පරිමාණයෙන් සිදුවන දූෂණ සහ වංචා පිළිබඳව අසන්නට ලැබීමත් මහා කරුමයකි. අල්ලසින් සහ දූෂණ ක්‍රියාවලින් තොර රාජ්‍ය සේවයක් පිළිබඳ කොතරම් කතා කළත් ඊට ඉහළ මට්ටමින් සිදුවන මහා පරිමාණ අල්ලස්, දූෂණ, කොමිස් ගැසීම් වළක්වා ගැනීම්වලින් තොරව එවැනි රාජ්‍ය සේවයක් ගැන බලාපොරොත්තු තබා ගැනීමත් නිෂ්ඵලය. පසුගියදා හෙළි වූ ශ්‍රීලන්කන් ආයතනයේ ඩොලර් මිලියන දෙකේ අල්ලස් චෝදනාව පෙන්නුම් කරන්නේ රාජ්‍ය තන්ත්‍රයේ ඉහළම පුටු හොබවන ඇතැම් අය ගජරාමෙට අල්ලස් වැනි දූෂණ මගින් විශාල ධනවතුන් වී සිටින බවය. එය ආණ්ඩුවකට පමණක් නොව සමස්තයක් වශයෙන් රටටම බලවත් අපකීර්තියක් ලබාදී ඇති බව සැඟවිය නොහැක.

ඩොලර් මිලියන 02ක් යනු සුළුපටු මුදලක් නොවේ. එය දැනට හෙළිවී තිබෙන එකී මහා දූෂණයේ කොටසක් පමණක් බව බැලූ බැල්මට පෙනේ. මෙය මෙරට කාලයක් තිස්සේ වසාගෙන පවතින දූෂිත කඩතුරාවේ එක් කෙළවරක් පමණි. එය මුහුදේ පාවෙන අයිස් කුට්ටියක් වැනි කොටසකි. අපට පෙනෙන්නේ හතරෙන් එකක් පමණි. ඉතිරි හතරෙන් තුනම පවතින්නේ ජලයට යටිනි. ශ්‍රීලන්කන් වැනි රාජ්‍ය ව්‍යවසාය මේ දූෂණ රැල්ලේ පහසු ගොදුරක් බවට පත්ව තිබෙන බවට එයාර් බස් ගනුදෙනුව හොඳම උදාහරණයකි. රාජ්‍ය ව්‍යවසාය පාලනය කිරීමේදී දැනට වඩා විනිවිදභාවයක් තිබිය යුතු බවට මේ මගින් ප්‍රබල සංඥාවක් ලබාදී තිබේ. එම විනිවිදභාවය කතාවට පමණක් සීමා වීමෙන් පලක් නැත. ක්‍රියාවෙන්ද සිදුවිය යුතුය.

එයාර් බස් දූෂිත ගනුදෙනුව සම්බන්ධයෙන් වහාම විමර්ශනය කොට වැරදිකරුවන් නීතිය හමුවට පැමිණ විය යුතු බවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මගින් අප්‍රමාදව පියවර ගැනීම යහපත් පියවරක් වශයෙන් අපි දකිමු. මීට පෙර බොහෝ අවස්ථාවලදී අප දැක ඇත්තේ දූෂණය, වංචාව කොතරම් ඉහළ මට්ටමින් සිදුවුවද ඒවා ගැන සොයාබැලීම වෙනුවට සියලු කේස් වසා දැමීමට උනන්දු වන බවය. යහපාලනය ගැන බණ දේශනා කරමින් බලයට පැමිණි පසුගිය රජය එකී මැතිවරණ ජයග්‍රහණයේ උණුසුම යාමටත් පෙර මහ දවාලේ මහ බැංකුව හරහා මහා වංචාවක් සිදු කළ බවට චෝදනා නැගිණි. එහෙත් එහි සියලු තොරතුරු එළියට පැමිණියද එහි වැරදිකරුවන් අල්ලා ගැනීමට ආණ්ඩුව පියවර ගත්තේ නැත. ඒ වෙනුවට සිදුවූයේ වංචාවේ ප්‍රධාන චූදිතයා රටින් පිට කිරීමට කටයුතු කිරීමය. ඔහු අදටත් රටේ නැත. එය සිදු නොවිය යුතුය. වැරැද්දක් පිළිබඳ චෝදනා එල්ල වූ විට ඒ ගැන විමර්ශනය කොට වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීම ආණ්ඩුව සතු වගකීමකි. එසේ නොවීම තවත් එවැනි දූෂණ රාශියකට දොරහැර දීමකි.

එයාර් බස් ගනුදෙනුව සිදු වී ඇත්තේ 2012-13 කාලය තුළදී රාජපක්ෂ පාලනය යටතේය. දූෂණය හෙළි වූයේ මෙරට දූෂණ වැළැක්වීමේ ක්‍රියාවලිය හරහා නොවන බවත් එංගලන්තයේ අධිකරණය ඉදිරියේ විභාග වූ අපකීර්තිමත් වංචනික ක්‍රියාවක් සම්බන්ධ නඩු විභාගයක ප්‍රතිඵලයක් වශයෙන් බවත් සඳහන් කිරීම අවශ්‍යය. එසේ නොවුණා නම් මේ ආකාරයේ දූෂණ ක්‍රියාවක් එළියට එනු ඇතැයි සිතීම පවා අමාරුය.

වෙනත් රාජ්‍ය ආයතනවලට වඩා ශ්‍රීලන්කන් මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂත්වයක් දරයි. ඒ වෙන කිසිවක් නිසා නොව එම ආයතනය අධික ලෙස පාඩු ලබන ආයතනයක් වීම හේතුවෙනි. 2009 වසරේදී මහින්ද රාජපක්ෂ පාලනය යටතේ රජයට පවරාගත් ශ්‍රීලන්කන් මේ වනවිට රැපියල් බිලියන 169ක් (කෝටි 16900ක්) පාඩු ලබා ඇති බවට ගණන් බලා තිබේ. 2018 වසරේදී පමණක් ලබා ඇති පාඩුව රැපියල් බිලියන 17.2කි. මේ පාඩු ලැබීම් පිළිබඳව සොයාබැලීමට විමර්ශන කොමිෂන් සභා පත්කොට වාර්තා ලබාගත්තත් ඒවාට සිදුවූ දෙයක් නැත. වැරුද්දට දඬුවම් ලැබූ කෙනෙක්ද නැත. ආණ්ඩු විසින් කරන්නේ රටේ පොදු මහජනතාව හැකි තරම් පටි තදකරගෙන ගෙවන බදුවලින් මහා පරිමාණයේ පාඩු ලබන ශ්‍රිලන්කන් වැනි ආයතන පවත්වාගෙන යාමට කටයුතු කිරීමය. සෑම රජයක් යටතේම මෙය සිදුවෙමින් පවතී. මේ මොන කරුමයක් පලදීමක් දැයි සිතනු හැර වෙන යමක් කිරීමට ජනතාවට හැකියාවක් නැත.

එයාර් බස් දූෂණයේ පිටතින් පෙනෙන චූදිතයන් වී සිටින්නේ එවකට හිටපු ප්‍රධාන විධායක නිලධරයා වුවද ඔවුන්ට ඉහළින් තව බලවතුන් පිරිසක් සිටිය හැකිය. මොනම රජයක් යටතේවත් බලවතුන්ගේ සහායක් නැතිව මහා පරිමාණ දූෂණ සහ වංචා තනිවම නිලධාරීන්ට පමණක් සිදුකළ නොහැක. වංචාවක් දූෂණයක් සිදුවීමට හේතු වූ එයාර්බස් සමාගමෙන් ගුවන් යානා 10ක් මිලදී ගැනීමට සහ ලීසිං ක්‍රමය යටතේ පවරා ගැනිමට කටයුතු කිරීමට පවා සැකයට තුඩු දෙන්නක් බව ඒ දිනවලම කතාබහට ලක් වී තිබිණි. ලංකාවට ඔරොත්තු නොදෙන ගනුදෙනුවක් සිදුවන විට ඒ පසුපස බලවතකුගේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් තිබිය හැකි බව සැකකළ හැකිය. ඒ ගැන ඒ දවස්වලම සොයාබැලුවා නම් අද ප්‍රධාන විධායක නිලධරයාට නීතිය ඉදිරියේ බැගෑපත් වීමට සිදුවන්නේ නැත.

මෙම ගනුදෙනුව අවසන් කිරීම සඳහා එ.ජා.ප.ය ප්‍රමුඛ යහපාලන රජය පියවරගත් අතර එහිදී විශාල වන්දියක් එයාර් බස් සමාගමට ගෙවීමට ගිවිසුම් ඇතිකරගෙන තිබිණි. එහිදීද විශාල මුදලක් අත යටින් හුවමාරැ වූ බවට චෝදනා නැගුණු අතර ඒ සඳහා දේශපාලනඥයන්ගේ නම් ඈඳී තිබිණි. ඒ ගැනද සොයාබැලීම අවශ්‍යය.

වැරදි දේශපාලන පත්වීම්ද දුර්වල රාජ්‍ය පාලනය හා කළමනාකරණය‍ද දේශපාලන උවමනාවලින් තොර ශක්තිමත් වෘත්තීය සමිති නොමැතිවීමද මෙවැනි මහා පරිමාණ දූෂණවලට පාර කපා දෙයි. අඩුම වශයෙන් මෙවැනි වංචා හෙළි වූ විට ඒ ගැන වහාම විමර්ශනය කොට වැරදිකරැවන්ට දඬුවම් පැමිණවීම හෝ අවශ්‍යය. ඒ අර්ථයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සහ යහපාලන ආණ්ඩුව දෙකම අසමත් විය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය මේ ගැන ගනු ලබන පියවර කෙරෙහි රටම සැලකිල්ලෙන් සිටී.

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:48