2020 ජනවාරි 25 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 93

රන්ජන්ගේ හඬපට : එස්.බී.ත් බයෙන්

රන්ජන් රාමනායකගේ හඬපට සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා දිනපතා එළියට ඇදෙද්දී ඉඩම් සහ ඉඩම් සංවර්ධන ඇමැති එස්.බී. දිසානායක මහතාගෙන් ඒ ගැන අදහස කුමක්දැයි මාධ්‍යවේදී පිරිසක් විමසූහ. පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ඔවුන් අසා තිබුණේ රන්ජන් මන්ත්‍රී සමඟ සිදුවූ සංවාදයක් පටිගත වී ඇතැයි තමා සිතනවාද කියාය.

එස්.බී. ප්‍රකාශ කළේ තමන් වසර තුනක් යහපාලන රජයේ සමාජ බලගැන්වීම් ඇමැති පදවිය දරණ කාලයේ නියෝජ්‍ය ඇමැති වූයේ රන්ජන් රාමනායක බවය. “එයා (රාමනායක) හැමදාම උදේ මගේ කාර්යාලයට ඇවිත් කතා කරන පුරුද්දක් තිබුණා. ඒක නිසා තමයි මට හිතෙන්නේ ඒ කතා කරපු දේවල් වල රෙකෝඩ් කිහිපයක් තියෙන්න පුළුවන් කියලා. හැබැයි මම හිතන්නෙ නෑ ඒවයේ කිසිම මතභේදාත්මක දේවල් නම් තියෙනවා කියලා. යැයි දිසානායක ප්‍රකාශ කළේය.

කෙසේ වුවද එස්.බී. දිසානායක මහතා දුරකථන පටිගත කිරීම්වලට අමුත්තෙක් නොවේ. 2018 ඔක්තෝබරයේ ඇතිවූ ආණ්ඩුවේ බල අර්බුදයේදී එජාපයේ මන්ත්‍රීවරුන්ට වරදාන ලබාදී පැති මාරු කිරීම සඳහා ආරාධනා කළ බවට ඔහුට චෝදනා නැගුණේය. ඔහු සහ හිටපු ඇමැති පාලිත රංගේ බණ්ඩාර අතර සිදුවූ එක් දුරකථන සංවාදයක පටිගත කිරීමක් එළියට ඇදී තිබිණි. එහිදී එස්.බී. රංගේ... ඔයා එනවාද? යැයි අසන දුරකතන සංවාදයේ හඬපටයට මාස කිහිපයක්ම සමාජ මාධ්‍ය අතරේ ඉහළ ඉල්ලුමක් තිබුණි. 

මේ අතරේ රන්ජන් රාමනායකගේ හඬ පරීක්ෂාව සඳහා රසපරීක්ෂක වෙතින් තාක්ෂණික වාර්තාව ලැබෙන තුරැ පොලීසිය බලා සිටී. සිද්ධියට සම්බන්ධ තවත් බොහෝ දෙනකුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට පෙර මේ වාර්තාව ලබාගත යුතුව තිබේ. රන්ජන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු ලයිසන් නැති ගිනි අවියක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ දැනගන්නට ලැබී ඇත්තේ රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවට අතිරේක දෘඩාංග තැටි අවශ්‍යව තිබෙන නමුත් ඒවා මිලදී ගැනීමට ප්‍රතිපාදන නොමැති බවය. එවැනි තැටි 09ක් තමන්ට අවශ්‍ය බව ඔවුන් පොලීසියට දැනුම් දී තිබේ. 

ඒවා මිලදී ගැනීමට පොලීසිය මගින් ටෙන්ඩර් කැඳවීමට සිදුව ඇත්තේ අවශ්‍ය තැටි ප්‍රමාණය මෙරට නොමැති බව දැනගත් හේතුවෙනි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් යූ.කේ. පැල්පොළ ඉදිරියේ මේ නඩුව විභාගයට ගනු ලැබූ අවස්ථාවේ මේ බව සඳහන් කර තිබිණි. මේ සඳහා වියදම් කිරීමට සිදුවන්නේ මහජන මුදල් යැයි ඔහු ප්‍රකාශ කර තිබිණි.

- සන්ඩේ ටයිම්ස්

පත්කිරීම් අස්කිරීම් මතගැටුම්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ සිදුකළ ඇතැම් පත්වීම් සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් මතුවෙමින් තිබේ. පසුගිය සති දෙක තුළදී එසේ පත්කරනු ලැබූ ප්‍රධානියකුට එරෙහිව රුපියල් කෝටි ගණනක මුදල් වංචා චෝදනා යටතේ නඩු පවරා තිබෙන බවට චෝදනා නැගුණි. ඒ අතර රාජපක්ෂ පවුලේ සමීප ඥාතීන් කිහිප දෙනකුට ලබාදුන් පත්වීම් සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්න හේතුවෙන් එක් කාන්තාවක් ඉල්ලා අස්වී තිබිණි.

මේ අතර ශ්‍රී ලංකා විනිමය සුරැකුම් කොමිසමේ සභාපති ධූරයට පත්කරනු ලැබූ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතාගේ ධූරය සම්බන්ධයෙන් ද ගැටලුවක් පැනනැගී තිබේ. එයට හේතුව ඒ මහතාගේ සුදුසුකම් පිළිබඳ ගැටලුවක් නොව විනිමය සුරුකුම් නීතියට පටහැණි ලෙස එම පත්වීම සිදුකර ඇති බවට චෝදනාවක් එල්ල වීමය. එම පත්වීම නීතිය ඉදිරියේ දෝෂ සහගත බවට හඳුන්වා දී තිබේ.

එම පනත අනුව පුද්ගලයන් 06 දෙනකු පෞද්ගලික අංශයෙන් වෘත්තීය දක්ෂතා සහ පළපුරුදුකම් පදනම් කරගනිමින් පත්කරනු ලැබිය හැකි අතර පත්කළ හැකි සාමාජිකයන් රාජ්‍ය නොවන අංශයෙන් බඳවා ගත යුතු බවට පනතේ සඳහන් වෙයි.

මීට පෙර එම තනතුරට ආචාර්ය දයානාත් ජයසූරිය පත්කරනු ලැබුවද ඔහු එම තනතුර ප්‍රතික්ෂේප කර තිබිණි. එය පෞද්ගලික හේතූන් මත හෝ පත්වීම ප්‍රමාද වීම නිසා හෝ සිදුවී ඇතැයි සඳහන්ය.

එසේම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් අලුතෙන් පත්කරනු ලැබූ චාන්දනී වේරපිටිය එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ. එම ඉල්ලා අස්වීම සිදුවූයේ පත්වීම ලැබී සති කිහිපයක් ඉක්ම වී යාමටත් කලිනි. ඇය මේ පත්වීමට පෙර මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී තනතුර දැරූ අතර ඇය බැංකු කේෂ්ත්‍රයේ ප්‍රවීණ වෘත්තීයවේදිනියකි.