2020 ජනවාරි 25 වන සෙනසුරාදා

ලෙල්ලමක් වූ හඬපට සෙල්ලම

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 106

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම් කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට පසුගිය බ්‍රහස්පතින්දා (23) පස්වරුවේ නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර තිබිණි. රන්ජන් රාමනායකගේ හඬපට හේතුවෙන් අධිකරණමය ක්‍රියාවලියකට මුහුණදීමට සිදුවූ තුන්වැනි විනිසුරු පිලපිටිය මහතා විය. ඊට පෙර විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මියගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගනු ලැබූ අතර මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේද වැඩ තහනම් කොට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මෙහි අවසානය කොතනදැයි තවම පැහැදිලි නැත. එය දැන්ම ඉවරවෙන පාටක්ද නැති බවද නම් පෙනෙන්නට තිබේ.

මේ ක්‍රියාවලියේ ආරම්භක වින්දිතයා වූයේ හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂ ශානි අබේසේකරය. ඔහු වැඩ තහනමට ලක්වූයේ වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නියෝගය පරිදි පසුගිය 07 වැනිදාය. තවත් විනිසුරැවරැන් සමඟ සිදුකළ කතාබහද තමන් සන්තකයේ ඇතැයි රන්ජන් පාර්ලිමේන්තුවේදී කීවේ පසුගිය 21 වැනිදා අඟහරැවාදා පාර්ලිමේන්තුවේදීය. ඊට පෙර සතියේ අඟහරුවාදා, 14 වැනිදා රන්ජන් අත්අඩංගුවට ගනු ලැබ සිටියේය. ඒ අවස්ථාවේදී ඔහු අධිකරණ ක්‍රියාවලිය හෑල්ලු කරමින් උසාවියට අපහාස වන සේ කටයුතු කළ බවටද චෝදනා එල්ල වී තිබේ. මේ අනුව පසුගිය සති තුනේම රටේ ප්‍රධානම මාතෘකාව බවට රන්ජන් පත්ව සිටියේය. ඒ යහපත් දෙයක් සම්බන්ධව නොවන බව මේ වන විට රටම දැන සිටියි.

අධිකරණයේ විනිසුරැවරැන් තිදෙනා සහ සී.අයි.ඩියේ හිටපු ලොක්කා හැර තවත් රාජ්‍ය නිලධාරීන් මේ හඬපටවල පැටලී සිටීදැයි අපි නොදනිමු. එහෙත් මෙහි අවසානයක් තිබිය යුතු බව පමණක් පැහැදිලිව පෙනී යයි. මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කර තිබුණේ මේ ගැටලු සම්බන්ධයෙන් විමර්ශන සිදුකොට විසඳුම් සොයාගැනීම අප්‍රමාදව සිදුකළ යුතු බවය. එය ප්‍රමාද වන තරමට අධිකරණය කෙරෙහි පවතින ජනතාවගේ විශ්වාසය ද සෝදාපාළු විය හැකි බව ඕනෑ කෙනකුට වටහාගත හැක. අධිකරණයේ ස්වාධීනත්වය රුකගැනීම අන් සියල්ලටම වඩා වැදගත්ය.

රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේ සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයේදී තමන් විසින් පටිගත කර ඇති තවත් සංවාද ඇතුළත් සී.ඩී. පට සභාගත කරන බව ප්‍රකාශ කළේ එම සංවාද දේශපාලනඥයන්, ගණිකාවන්, කලාකරැවන් පමණක් නොව ඇතැම් රාජ්‍ය නායකයන්ද සමඟ පවා සිදුකර ඇති බවට පාරම්බාමිනි. මෙය සුළුකොට තැකිය නොහැක. තමන් විශ්වාස කරන මන්ත්‍රී සගයකු සමඟ පෞද්ගලික කරැණු පවා කතාබහ කිරීම මහ අරුමයක් නොවේ. එහෙත් ඔවුන්ට නොදන්වා එම සියලු කතාබහ පටිගත කිරීමත් ඒවා වරින්වර ඇසීමත් නීතියෙන් පවා වරදකි. එසේම බරපතළ විෂමාචාර ක්‍රියාවකි. සදාචාර විරෝධී දේශපාලනයකි. සියලු වැරදි කරන පුද්ගලයකු වුවද නොකළ යුතු අත්තනෝමතික ක්‍රියාවකි.

රන්ජන්ගේ කතාව නිසා ඔහු මෙතෙක් නියෝජනය කළ (පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පෙර) යූ.එන්.පී. දේශපාලනඥයන් කිහිප දෙනෙක්ද, ආණ්ඩුව පැවැති කාලයේ සහාය දැක්වූ නිලධාරීන් පිරිසක්ද අමාරැවේ වැටී සිටිති. එම දැලේ පැටළුණු හිරැණිකා ප්‍රේමචන්ද්‍ර ඊට පිළිතුරු බැඳීමට ඉදිරිපත් වූ අවස්ථාව තමන් වැටුණු අමාරුවේ තරම පෙන්වූවක් විය. රන්ජන් තම කතාවෙන් පාර්ලිමේන්තුවේ සිටින මහජන දේශපාලනයට ඇලී ගැලී කටයුතු කරන දූෂිත මැති ඇමැතින්ට නිර්දය ලෙස පහරදුන් බව සැබෑවකි. එහෙත් ඒ සඳහා ඔහු අනුගමනය කළ සමස්ත ක්‍රියාදාමය නීතිගරැක රටක ජීවත් වීමට කැමැති සාමකාමී ජනතාවට නම් බරපතළ ගැටලු ඇතිකර තිබේ. පාර්ලිමේන්තුවේත් අධිකරණයේත් ගෞරව අභිමානයට මේ ක්‍රියාදාමයෙන් සිදුවූයේ හොඳක් ද නරකක් ද යන්න තීරණය කිරීම මහජනතාව සතු වගකීමකි. තමන්ගේ කතාව හේතුවෙන් සිත් රිදුණු පිරිස් වෙතින් ඔහු සමාව භජනය කළ බව සැබෑවක් වුවද ඒවායින් ඇතිවූ කැළල නම් කවදාවත් නොමැකෙනු ඇත. සියලු කතා සජීවී විකාශයක් ලෙස ජනතාව දැකගත් බැවිනි.

මේ රටේ දේශපාලනයේ වෙනස් විය යුතු තැන් බොහොමයක් වන බව අපි ඕනෑතරම් කියා ඇත්තෙමු. දේශපාලනඥයකු යැයි කියූ පමණින් ඔහු හෝ ඇය දූෂිත, වංචනික සහ සදාචාර විරෝධී ක්‍රියා සිදු කරන පුද්ගලයකු වශයෙන් හැඳින්වීමට තරම් ඇතැමුන් පෙළඹී ඇත්තේ ඔවුන් විසින් කරන වැරදි හේතුවෙනි. එදා රන්ජන් පාර්ලිමේන්තුවේදී තම කතාව දිගහැරියේ එවැනි පිරිසක් පාර්ලිමේන්තුවේ සිටින බව හඬනගා කියමිනි. නමුත් පාර්ලිමේන්තුවේ කිහිප දෙනකු වැරදි කළ පමණින් සියලු මැති ඇමැතිවරු හොරු හෝ දූෂිතයෝ හෝ නොවෙති. එසේම විනිසුරැවරුන් කිහිප දෙනකුට චෝදනා එල්ල වූ පමණින් මුළු අධිකරණයේම ගෞරවයට හානි වන්නේ නැත. සිදුවිය යුත්තේ රන්ජන්ගේ හඬපට සිදුවීම් සම්බන්ධයෙන් සිදුකෙරෙන සියලු විමර්ශන සහ නඩු කටයුතු හැකි ඉක්මනින් සිදුකර අවසන් කිරීමය. රටේ ජනතාවට වුවද රන්ජන් රාමනායකගේ හඬපට නැලවිලි ගී බවට පත්ව තිබෙනු ඇත්තේ තව සුළු කාලයකට පමණි. ජීවිතයේ හැබෑ ප්‍රශ්නවලින් හෙම්බත් වන විට මේ මොන කෙංගෙඩියක්ද කියා ඔවුන් පෙරළා ප්‍රශ්න කරනු ඇති බව ආණ්ඩුවද වටහාගෙන සිටීම අවශ්‍යය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00