2020 ජනවාරි 18 වන සෙනසුරාදා

පෙරළුණු පිට හොඳ වීම

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 131

යූ.එන්.පී. අර්බුදය විසඳෙනු ඇති බවට තිබූ ලොකු බලාපොරොත්තුවක් පසුගිය බ්‍රහස්පතින්දා (16) අහෝසි විය. එහිදී යූ.එන්.පී. පාර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 65 දෙනාගෙන් 52කගේ සහාය ඇතිව සජිත් නායකත්වයට පත්කර ගත් බව රන්ජිත් මද්දුම බණ්ඩාර කියයි. පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් ප්‍රකාශ කළේ එවැනි තීරණයක් නොගත් බවත් රනිල්, කරැ සහ සජිත් තිදෙනා අතර ලබන සඳුදා හෝ අඟහරුවාදා හෝ සාකච්ඡාවක් පවත්වා අවසන් තීරණයක් ගන්නා බවත්ය. එහෙත් පැහැදිලිවම පෙනෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කණ්ඩායමේ සටනින් රනිල් බිත්තියටම හේත්තු වී සිටින බවය. එසේ වූ පමණින් සජිත්ට පක්ෂ නායකත්වය හිමිවෙයිද?

එසේ වීමට පක්ෂයේ ව්‍යවස්ථාවෙන් ඉඩක් නැත. පක්ෂ ව්‍යාවස්ථාවට අනුව නායකත්වය පුරප්පාඩු වූ අවස්ථාවකදී හැර නායකයා ඉවත් නොවූවොත් මිස නායකත්වය වෙනස් කිරීමට හැකියාවක් නැත. ඒ කුමන තීන්දුවක් වුවද ගත යුතු වන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී කමිටුවේ බහුතර කැමැත්තෙන් පමණි. මීට ඉහතදී පෙනෙන්නට තිබුණේ කෘත්‍යාධිකාරී කමිටුවේ ඉහළ බහුතරයකගේ කැමැත්ත රනිල්ට තිබෙන බවය. එහෙත් ඒ තත්ත්වය තවදුරටත් වලංගු නැති බව පෙනී යන්නේ මේ අවස්ථාවේදී නීත්‍යානුකූල ලෙස තමන්ගේ නායකත්වය තහවුරැ කරගත හැකි කෘත්‍යාධිකාරි කමිටුව කැඳවීමට රනිල් උනන්දු නොවීම හේතුවෙනි. පසුගිය දෙසැම්බර් 31 වැනිදා කාලය ඉකුත් වූ කෘත්‍යාධිකාරි කමිටුව අලුතින් පත්කළ යුතු වුවද තවමත් එම අදාළ පත්කිරීම් සිදුකර නැති බවද කියයි. එසේ නොකර කාලය ගතවීමට ඉඩහැරීම උපක්‍රමයක්දැයි පැහැදිලි නැත. එහෙත් නායකත්ව අර්බුදය තවදුරටත් කල්අරිමින් දිගටම ඇදගෙන යාම තවදුරටත් කළ නොහැකි බව රනිල් පසුගිය බ්‍රහස්පතින්දා තේරැම් ගන්නට ඇත.

කෙසේ වුවද පක්ෂ නායකත්වය හැරයාමට රනිල් කිසිම සූදානමක නොසිටින බව පැහැදිලිය. තමන් නායකත්වයෙන් ඉවත් වූවොත් පක්ෂයේ සමගිය අහෝසි වී යනු ඇති බවත් පක්ෂයේ සියලු පාර්ශ්ව සමගි වීමකින් තොරව පක්ෂයට ඉදිරියට යා නොහැකි නිසා තමන් මේ අවස්ථාවේදී පක්ෂ නායකත්වය අත්නොහරින බවත් පසුගිය කාලය තුළ අවස්ථා කිහිපයකදීම රනිල් ඉඟිකර තිබිණි. තමන් මේ අවස්ථාවේදී ඉවත් වූවොත් පක්ෂය විනාශ වී යා හැකි බවට මතයක් ඇතැයි රනිල් පක්ෂයේ තමන්ට සමීප ජ්‍යෙෂ්ඨයන් හමුවේ ප්‍රකාශ කර ඇතැයිද සඳහන් වේ. එහෙත් රනිල්ට ප්‍රතිවිරැද්ධ පාර්ශ්වය ප්‍රකාශ කරන්නේ පක්ෂය නොකැඩී, සමගියෙන් ඉදිරියට යාමට නම් සිදුවිය යුත්තේ බහුතර පාක්ෂිකයන්ගේ හඬට කන්දී සජිත්ට නායකත්වය පවරා දීම බවය. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක තත්ත්වයේ පිහිටුවා ඔහුගේ උපදෙස් ලබා ගැනීමට ඔවුන් සූදානම්ය. කරැ ජයසූරිය මහතාගේද සහාය ඇතිව. පක්ෂය ඉදිරියට මෙහෙයවීමේ සියලු වගකීම් සජිත්ට පැවරිය යුතු බව ඔවුන්ගේ මතය වී තිබේ.

සජිත් පසුගිය බ්‍රහස්පතින්දා (16) මල්වතු අස්ගිරි මහනාහිමිවරැන් බැහැදැකීමට ගිය අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සියලු දේ සිදුවිය යුතු යැයි තමන් විශ්වාස කරන බවය. ඒ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කළොත් යූ.එන්.පී.ය දෙකඩ නොවී අලුත් මුහුණුවරකින් ඉදිරියට යාමට හැකිවනු ඇතැයිද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය. සජිත් නායකත්වයට පත්කර ගැනීම සඳහා සිරිකොතදී පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී මන්ත්‍රීවරුන් අතර ඡන්ද විමසීම සිදුවූයේ එදිනම සවස් වරැවේ වීම අහම්බයක් විය නොහැකි බව පැහැදිලිය.

මේ සියලු අර්බුද ඇදී යන්නේ මහ මැතිවරණය ආසන්නයට බව රනිල්ට සහාය දක්වන යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයන් අවබෝධ කරගෙන තිබේදැයි යන්න ගැටලුවකි. පක්ෂය ඉදිරියේදීත් ශක්තිමත්ව පවත්වා ගැනීමට නම් මහ මැතිවරණයේදී ජයග්‍රහණය කෙසේ වෙතත් පරාජය ගෞරවනීය තත්ත්වයකින් කෙළවර කරගත යුතුය. ආණ්ඩු බලය තමන්ගේ අතේ තිබියදී ජනාධිපතිවරණයේදී දරැණු පරාජයක් අත්කරගත් යූ.එන්.පී.ය මහ මැතිවරණයේදී මුහුණ දෙන්නේ ජනාපති බලතල සහ පාර්ලිමේන්තු බලතල සියල්ල අතැතිව සිටින අලුත් පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සමඟය. රනිල් පසුගිය දිනක කියා තිබුණේ සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණය මහ මැතිවරණයේදී ලබාගත හැකි නම් ආසන 103ක් ලබාගත හැකි බවය. ඔහු කියන්නට උත්සාහ කළේ මේ පවතින තත්ත්වයෙන්ම එනම් තමන් නායකයා වශයෙන් සහ සජිත් අගමැති අපේක්ෂක වශයෙන් කටයුතු කළොත් එවැනි ආසන සංඛ්‍යාවක් දිනාගත හැකි බව පෙන්වාදීම විය හැක. එහෙත් එය පවතින යථාර්ථයට බෙහෙවින් ඈත් වූවකි.

එවැන්නක් සිදුවීමට කිසිසේත්ම ඉඩක් නැත. ජනාධිපතිවරණයක් යනු රටේ ප්‍රධානම අභියෝගාත්මක ඡන්දයයි. එය පැවැත්වුණේද හදිසියේම ස්වාධීන වූ ජනාධිපතිවරයකු යටතේය. එහි ඡන්දය ප්‍රකාශ කිරීම 85෴ තරම් ඉහළ මට්ටමක තිබිණි. 
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ පොහොට්ටු ආණ්ඩුවක් යටතේය. ප්‍රතිඵලය සම්බන්ධයෙන් දැනට ඇත්තේ පොහොට්ටුව අපේක්ෂා කරන තුනෙන් දෙකක ජයක් ලබාගත හැකිද යන්න පමණක් බව බොහොමයක් දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ. මෙහිදී ඡන්දය ප්‍රකාශ කරන ප්‍රතිශතයේ පහළයාමක් ද අපේක්ෂා කළ යුතුය. එය සිදුවන්නේ දැන් විපක්ෂයේ සිටින යූ.එන්.පී.යේ බවද පැහැදිලිය. යූ.එන්.පීයේ පවතින තත්ත්වයෙන් ගොඩ ඇවිත් එකතුවී හෝ ශක්තිමත් සන්ධානයක් හදාගෙන තරග වැදුණොත් මිස එසේ ඡන්ද පදනම සේදීයාම වළක්වා ගත නොහැකි වනු ඇත. එහි අනිවාර්ය ප්‍රතිඵලය දිස්ත්‍රික්ක මට්ටමින් ලබන ජයග්‍රහණ හේතුවෙන් පොහොට්ටුවට බෝනස් ආසන විශාල ප්‍රමාණයක් ලැබීමය. එහිම අනෙක් ප්‍රතිඵලය ජාතික ලැයිස්තුවේද විශාල ආසන ප්‍රමාණයක් පොහොට්ටුවට හිමිවීමයි.

මීළඟට සැලකිය යුතු වන්නේ හංසයා ලකුණට සජිත් වෙනුවෙන් ලැබුණු ලක්ෂ පනස් පහක ඡන්ද ප්‍රමාණය තුළ ටී.එන්.ඒ. සහ මුස්ලිම් පක්ෂවලද ඡන්ද රැඳී තිබීමයි. මුස්ලිම් පක්ෂ කෙසේ වෙතත් ටී.එන්.ඒ. මහමැතිවරණයේදී තරග කරන්නේ වෙනමය. මෙහි තේරැම යූ.එන්.පී. ප්‍රමුඛ සන්ධානයට දිස්ත්‍රික් කිහිපයක් හෝ ජයගැනීම අසීරැ ඉලක්කයක් වීමත් ඒ හේතුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සංඛ්‍යාවද පහළ යාමත්ය. මේ නිසා රනිල් වික්‍රමසිංහ මහතා කියන ආසන 103ක් ජයගත හැකි බවට කියන කතාව තේරැමක් නැති තර්කානුකූල නොවන එකකි. එය යූ.එන්.පී.යේ පවතින අර්බුදය සමථයකට පත්කර ගැනීම සඳහා කළ සිත නිවන කතාවක් පමණි.

දැන් පැහැලිව පෙනෙන්නේ යූ.එන්.පී.ය තුළ බහුතර පාක්ෂිකයන්ගේ සහාය ඇත්තේ සජිත් පාර්ශ්වයට බවය. රනිල් දැන් රැඳී සිටින්නේ පක්ෂය තුළ ක්‍රියාත්මක නීති ව්‍යුහයේ පදනම හේතුවෙනි. මේ නිසා වත්මන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේත් මහින්ද රාජපක්ෂ අගමැතිගේත් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන හතුරා බවට නිතැතින්ම පත්වන්නේ සජිත් ප්‍රේමදාස සහ ඔහුට සහාය දක්වන මන්ත්‍රී කණ්ඩායමත් රට පුරා විසිරී සිටින ඔවුන්ට සහාය දක්වන යූ.එන්.පී. පාක්ෂිකයනුත් මිස රනිල් හෝ ඔහුගේ සහාය හිමිවන ජ්‍යෙෂ්ඨයන් පිරිස හෝ නොවේ. මෙහිදී රාජපක්ෂ ආණ්ඩුව වඩාත් කැමැති දේශපාලන සතුරා රනිල් වුවද තවදුරටත් එය යථාර්ථය නොවනු ඇත. දේශපාලන වශයෙන් තෙම්පරාදු වූ මහින්ද නම් වඩාත් කැමති “සතුරා* රනිල් මිස සජිත් නොවේ.

කොහොම වුණත් රනිල් යූ.එන්.පී. නායකත්වයෙන් දැන්ම ඉවත්ව නොයන බව සජිත් පාර්ශ්වයද නොදන්නවා විය නොහැක. පසුගිය බ්‍රහස්පතින්දා (16) ගාලගෝට්ටි මැද අවසන් වූ මතභේදාත්මක රුස්වීමෙන් පසුව ඊළඟට සිදුවුයේ නව සන්ධානයක් හදාගෙන සජිත්ලා වෙනම තරග කිරීමට පිඹුරැපත් හැදීමය. සිකුරාදා (17) දහවල් පාර්ලිමේන්තුවේ පැවැත් රැස්වීම සන්ධානය බිහි කිරීමේ ප්‍රථම හමුව විය. ඒ සඳහා එ.ජා.ප පෙරමුණු නායකයන් ද සහභාගී වී සිටි අතර නොසිටියේ රිෂාඩ් බදියුදින් පමණි.. එය පක්ෂය කැඩීමකින් තොරව සිදුකිරීම ඔවුන්ගේ බලාපොරොත්තුව බවද පෙනෙයි. එහෙත් එය ප්‍රායෝගිකව සිදු කරන්නේ කෙසේද යන්න ගැටලුවකි. නමුත් එවැන්නක් සිදු වුවහොත් එහි ප්‍රතිඵලය වනු ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් යූ.එන්.පී.ය හුදෙකලා වීම විය හැක. එය හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලනිපය සිටින බෝට්ටුවටම වැටීමක් වනු ඇත.

ශ්‍රීලනිපයද අද සිටින්නේ සම්පූර්ණයෙන් ආයු පිරිහී ගිය ඩයිනෝසරයකුගේ තත්ත්වයෙනි. පක්ෂයේ නිර්මාතෘවරැන් වන බණ්ඩාරනායක පවුලේ හෝ රාජපක්ෂ පවුලේ හෝ කිසිවකුත් ශ්‍රීලනිපයේ වැදගත් තනතුරැ උසුලන්නේ නැත. ශ්‍රීලනිපය තුළින් බිහිවූ පොහොට්ටුව අද රටේ දේශපාලනය හසුරුවයි. ශතවර්ෂ භාගයකටත් අධික කාලයක් බලවත් පක්ෂයක් වූ ශ්‍රීලනිපය එහි රබර් මුද්‍රාවක් පමණක් වන තැනට වැටී සිටියි. එපමණක් නොව ලොවේ ප්‍රථම අගමැතිනිය පමණක් නොව ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිනිය බිහිකළේද ශ්‍රීලනිපයයි. එතරම් අභිමානවත් අතීතයත් තිබූ ශ්‍රීලනිපය යළි රටේ බලයට පැමිණීම සිහිනයකට සීමා වී තිබේ.

යූ.එන්.පී.යද රටේ නිදහස ලැබූ දා පටන් බලවත් රාජ්‍ය නායකයන් බිහිකළ ශක්තිමත් පක්ෂයක් විය. එම පක්ෂය තුළද වරින්වර නායකත්ව ගැටුම් මතුවී තිබිණි. ඩඩ්ලි - ජේ.ආර්., ජේ.ආර්. - ප්‍රේමදාස, ප්‍රේමදාස - ලලිත් සහ ගාමිණී එම ගැටුම් අතරින් කැපී පෙනෙන ඒවා විය. ලලිත් සහ ගාමිණී පක්ෂයෙන් නෙරපූ විට ඔවුන් එළියට ගොස් වෙනම පක්ෂයක් පිහිටුවා ගත්හ. එය යූ.එන්.පීය දෙකඩ වූ ප්‍රථම අවස්ථාව විය. එම මත ගැටුම් දෙකටම සම්බන්ධ වූ නායකයකු වන ජේ.ආර්. පක්ෂ නායකත්වය ලබා ගැනීමෙන් වසර කිහිපයකට පසුව එළඹුණු 1977 මහ මැතිවරණයේදී යූ.එන්.පී.ය හයෙන් පහක විශිෂ්ට ජයග්‍රහණයක් කරා මෙහෙයවීමට සමත් විය. යැංකි ඩිකී වශයෙන් නමක් පටබැඳී තිබුණත් (සමහරුන් එය ට්‍රිකී ඩිකී වශයෙන්ද හඳුන්වා තිබිණ) ඔහු මැතිවරණය ජය ගැනීමට ශක්තිමත් යටිපෙළක් හැදුවේය. ලලිත්, ගාමිණී, රොනී සහ ප්‍රේමදාස ඒ අතර සිටියහ. ජේ.ආර්. මේ දස්කම කළේ වයස අවුරැදු 70 දී වීම එහි තිබූ විශේෂත්වයක් විය. ජේ.ආර්.ගේ කණ්ඩායම පරාජය කළේ සිරිමාවෝගේ තුනෙන් දෙකක බලයක් තිබූ ආණ්ඩුවක් බවද සඳහන් කළ යුතුය. එම ජයග්‍රහණය තුළ ආර්. ප්‍රේමදාස කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකළ අතර ව්‍යවස්ථාව වෙනස් කොට ජනාධිපති වූ විට ජේ.ආර්. තම අගමැති වශයෙන් පත්කර ගත්තේ ආර්. ප්‍රේමදාසය.
ජේ.ආර්. එහෙම අවුරුදු 70 දී ටීම් එකක් හදාගෙන පක්ෂ නායකත්වය ගෙන වසර කිහිපයක් යාමට පෙර පක්ෂය දිනෙව්වා නම් වසර 25කට අධික කාලයක් නායකත්වය දරණ රනිල්ට එහෙම කරන්න බැරිවුණේ ඇයි කියන එක පසුගිය කාලය පුරාම යූ.එන්.පී.යේ සිටින බොහෝ දෙනා ඇසූ ප්‍රශ්නයයි. හැබැයි දැන් එහෙම අහන්නේ නැත. දැන් කියන්නේ රනිල් හිටියා ඇති දැන් අලුත් නායකත්වයක් ඕනෑ යැයි කියාය. තවමත් එහෙම කියා නැත්තේ යූ.එන්.පී.යේ කෘත්‍යාධිකාරී කමිටුව පමණි.

යූ.එන්.පී.ය අනාගතය දෙස දැන්වත් කෙළින්ම බැලිය යුතු තැනකට තල්ලු වෙමින් සිටී. තීරණ ගැනීම ප්‍රමාද වෙන තරමට පක්ෂයේ ජවය දිය වෙමින් පවතිනු ඇත. ඇද වැටුණු පක්ෂයක් දිනවා යළි බලයට පැමිණීමට නම් යූ.එන්.පී.ය ප්‍රබල වෙනසකට භාජනය විය යුතුය. එසේ නොවුණොත් යූ.එන්.පී.යටද නුදුරැ අනාගතයේදිම සිදුවනු ඇත්තේ අද ශ්‍රීලනිපයට සිදුවී ඇති දේමය.

  ශශීන්ද්‍ර