2020 ජනවාරි 18 වන සෙනසුරාදා

ආණ්ඩුවේ අලවෙන බිස්නස්

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 52

වැලේ ගෙඩිය සාමාන්‍යයෙන් වැලට බර නැත. කරුමෙට හෝ වැලට දරාගත නොහැකි මට්ටමට ගෙඩිය බර වුණොත් ගෙඩියත් ඉවරය. වැලත් ඉවරය. අපේ රටේ සමහර රාජ්‍ය ආයතනද පවතින්නේ ඒ ආකාරයට වැලත් මරාගෙන බිමට කඩාගෙන වැටෙන ගෙඩියක තත්ත්වයෙනි. රටේ ආර්ථිකය පෝෂණය කොට නිෂ්පාදනයද වැඩිකර ආදායම් ඉපිදවිය යුතු ආයතන ආර්ථිකයේ රීරි මාංස උරා බී නිෂ්පාදනය කබාසිනියා කොට සේවක පඩි නඩිද ගෙවාගත නොහැකි මට්ටමට පත්වෙන්නේ එවැනි ගෙඩි බවට පත්වෙමිනි.

අපේ රටේ මිල්කෝ ආයතනය මෙයට හොඳම උදාහරණයක් සපයයි. කෝටි 50කට අධික වටිනාකමක් ඇති දියර කිරි තොගයක් කන්ටේනර් ලොරි ගණනාවක් තුළ පල්වෙමින් පවතින බවත් එම විනාශය පසුපස විශාල කොමිස් කුට්ටියක කතාවක් ඇති බවත් සඳහන් වන‍ හෙළිදරව්වක් අපගේ දේශය පුවත්පතේ මෙවර පළවෙයි. මේ සම්බන්ධව මුලින්ම දිනපතා පුවත්පත්වල වාර්තා පළවීමත් සමඟ මිල්කෝ ආයතනයේ වගකිව යුතු නිලධාරියකු එය සාමාන්‍ය දෙයක් බව ප්‍රකාශ කර තිබුණත් පසුව ඔහු විසින්ම එය එසේ නොවන බවද කියා තිබිණි. එහෙත් කෝටි 50ක කිරි අපතේ ගිය කතාව එලෙසමය. එයට හේතුව තාක්ෂණික වැරැද්දක් බවත් එම වැරැද්දට හේතු වූ යන්ත්‍රය මෙරටට එවූ සමාගමෙන් එම අලාභය අයකර ගැනීමට පියවර ගන්නා බවත් සඳහන් විය. එය එසේ වුවහොත් අඩුම තරමින් සිදු වූ අලාභය හෝ අඩුකරගත හැකිය. එහෙත් කිරි මෙතරම් ප්‍රමාණයක් අපතේ යැවීම නම් සමාව දිය නොහැකි වැරැද්දකි.

මිල්කෝ ආයතනය පමණක් නොව රටේ රාජ්‍ය ආයතන ගණනාවක්ම මහා පරිමාණයේ පාඩු ලබන බව නොරහසකි. මේ පාඩු ලැබීම් ගැන අපි මීට පෙර ද බොහෝ දේ කතා කර ඇත්තෙමු. එහෙත් තත්ත්වය තවම වෙනසක් වී නැති බව මිල්කෝ නාස්තිය පෙන්වා දෙයි. මෙවැනි නාස්තිකාර සිදුවීම් එකවර නවත්වාගත නොහැකි බව සැබෑවක් වුවත් සිදුවන නාස්තිකාර වැරදිවලට වගකිව යුතු කිසිදු නිලධාරියකු හෝ දේශපාලනඥයකු හෝ කිසිම දඬුවමක් නොලබාම පහසුවෙන් බේරී යාම සැබෑම ඛේදවාචකයයි. ඒ හේතුවෙන් මෙවැනි නාස්තිකාර ක්‍රියා යළි යළිත් සිදුවෙයි. මිල්කෝ වැනි සම්පත් බහුල විශාල අලෙවිකරණ හැකියාවක් සහිත ආයතන පවා වළ පල්ලට යවන තැනට කටයුතු සිදුවීම ජාතික අපරාධයකි. නමුත් ලොකුම අවාසනාව නම් එවැනි අපරාධ සෑම රජයක් යටතේම දිගින් දිගටම සිදුවෙමින් පැවතීමය. අඩුම තරමින් අලුතින් පත්වූ රජයට හෝ  මෙවැනි ක්‍රියා වළක්වාගත නොහැකි නම් සිදුවනු ඇත්තේ ගෙඩියත් සමඟ වැල කඩාගෙන වැටෙන තත්ත්වයකට රටේ ආර්ථිකයට මුහුණදීමට සිදුවීමය. එසේ නොවන තැනට වගබලා ගැනීම වත්මන් රජයේ ප්‍රමුඛ වගකීමක් වී තිබේ.

රාජ්‍ය ආයතන බොහොමයක් ආර්ථික වශයෙන් කඩා වැටෙන්නේ පිටස්තර සමාගම් හෝ පුද්ගල කණ්ඩායම් සමඟ ඩීල් දැමීම් හේතුවෙනි. මේ ආයතනවල තාවකාලික භාරකරැවන් බවට පත්වන අදාළ අමාත්‍යවරයාට හෝ සභාපති ඇතුළු පාලනාධිකාරියට හෝ ආයතනය සාර්ථකව පවත්වාගෙන යමින් ලාබ උපදවා රටේ ආර්ථිකයට ශක්තියක් වීමට සැබෑ වුවමනාවක් තිබේ නම් ඒවා ගොඩදා ගැනීම අපහසු වන්නේ නැත. එහෙත් ඒ වෙනුවට ඇත්තේ බඩගෝස්තරවාදී අදහස් නම් සිදුවන්නේ පිටස්තර කණ්ඩායම් සමඟ විවිධ වර්ගයේ ඩීල් දමා ගැනීම්ය. පිටිකිරි නිපදවීමට ගෙන්වා සවිකරන අලුත් යන්ත්‍ර සූත්‍ර වැඩ හරියට ඉටු නොකරන සුදු අලින් බවට පත්වන්නේද, කෝටි ගණන් වටිනා කිරි කාණුවලට හලා දැමීම සිදුවන්නේද, කිරි පැකට් සැපයීම් යට කොමිස් කුට්ටි ගොඩගැසී ගඳ ගසන්නේද, එවැනි සිදුවීම්වල ප්‍රතිඵල වශයෙනි. මේවා දැන්වත් නවතා නොදැම්මොත් රාජ්‍ය ආයතන ගොඩගැනීම සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ පවතින ඉහළ බලාපොරොත්තු ද වැළලී යනු ඇත

මිල්කෝ ආයතනය රට වෙනුවෙන් නගාසිටුවීම කෙසේවෙතත් එය ඇතැම් දේශපාලනඥයන් නම් තමන්ට කප් රැකක් කරගෙන සිටි බව මේ සිදුවීමෙන් පැහැදිලි වෙයි. රටේ කිරි නිපැයුම ඉහළ නැංවීම සඳහා මූලිකම අවශ්‍යතාවක් වන කිරි හරකුන් මෙරටට ගෙන්වීම පවා කිහිප දෙනකුට පහළ වූ නිධානයක් විය. ඒවායේ යට තිබූ දූෂිත කොමිස් ගැහිලි පමණක් නොව රටට ගෙන්වූ කිරි හරකුන් ලෙඩ හරකුන් බවට පත්වීමත් ඉතිරි වූ ටික දෙනාගෙන් හෝ කිරි ලබාගැනීම අපේක්ෂිත මට්ටමට වඩා බෙහෙවින් අඩුවීමත් නිසා එම හරකුන්ගෙන් කිරි නිපදවා තම ආදායම සරිකර ගැනීමට සිහින මැවූ සියලු දෙනා වැටුණේ ලොකු අමාරැවකය. ඔවුන්ගේ කර මතට පාඩුවේ බර කඩා පහත් වුවත් ඒ ගැන සොයා බැලීමට කිසිවකුත් නැත. මිල්කෝ ආයතනයද අද තම නිෂ්පාදන පවත්වාගෙන යා නොහැකි තරමට අකර්මණ්‍ය වී තිබේ. කිරි ගොවීන් විසින් ලබාදුන් කිරි කන්ටේනර්වල පල්වෙමින් තිබේ. මේවායින් කොමිස් ගැසූ ලොකු ලොක්කන් පමණක් ගොඩය.

මේ රටේ රාජ්‍ය ආයතන තවදුරටත් වැලට බර ගෙඩි බවට පත්විය යුතු නැත. එම තත්ත්වයෙන් ආයතන ගලවාගෙන ඒවා හරි පාරට දමාගැනීමට සමත් දක්ෂයන් පිරිසක් එම ආයතනවලට පත්කර ගැනීම මේ වෙලාවේ ගත හැකි එක් පියවරකි. එම පියවර රජය මගින් දැන් ගනිමින් සිටී. ඊළඟ පියවර විය යුත්තේ නාස්තිකාර වැඩට සහ කොමිස් ගැනීම්වලට සම්බන්ධ වන නිලධාරීන්ට සහ දේශපාලනඥයන්ට එම වැරදිවලින් බේරී දඬුවමකින් තොරව පැන යාමට ඉඩක් නොතැබීමය. එය සිදුනොවන තාක් මිල්කෝ වැනි ආයතනවලින් ඉදිරියේදීත් අපට අසන්නට සිදුවනු ඇත්තේද මෙවැනිම නාස්තිකාර කතා පමණි.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00