2020 ජනවාරි 11 වන සෙනසුරාදා

පක්ෂ දෙකක් තරාදියේ

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 155

21 වැනි සියවසේ තුන්වැනි දශකයේ ශ්‍රී ලංකා දේශපාලනයේ ආරම්භය මේ තරම් හුටපටයක් වනු ඇතැයි ආණ්ඩුව කෙසේ වෙතත් විපක්ෂය නම් බලාපොරොත්තු වන්නට නැත. මේ සියවසේ පළමු දශකය ආරම්භ වූයේ ද ආණ්ඩු වෙනසක් සමඟය. &94 සිට බලයේ සිටි චන්ද්‍රිකාගේ ආණ්ඩුව 2000 වසර ලබද්දී සිටියේ අබලන් වූ බස් එකක් ගාණටය. වැඩිකල් නොගොස් 2001 දී පැවැති මහ මැතිවරණයෙන් චන්ද්‍රිකාගේ පොදු ජන එක්සත් පෙරමුණ පරාජය වී රනිල්ගේ එක්සත් ජාතික පෙරමුණ ජය ලබා ආණ්ඩුවක් පිහිටුවූයේය. එහි ආයුෂ තිබුණේ යන්තතම් වසර දෙකක් පමණි. විධායක බලතල සහිතව ජනාධිපති ධූරයේ සිටි චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුව වට්ටා මහ මැතිවරණයකට ගොස් 2004දී ආණ්ඩුවක් පිහිටෙව්වාය.

දෙවැනි දශකය ඇරුඹෙන විට මහින්ද යුද්ධය ද දිනා ජනාධිපතිවරණය ද දෙවැනි වරටත් ජයගෙන ආණ්ඩුව පිහිටුවා තිබුණි. රනිල් විපක්ෂ නායකයා වී සිටියේය. චන්ද්‍රිකා මහින්දගෙන් කැපී ගිනි පිට කරමින් පැත්තකට තල්ලු වී සිටියාය. ඉන්පසුව 2015දීත් ආණ්ඩු වෙනසක් වූ අතර චන්ද්‍රිකා එහි පිටුපස ප්‍රබල චරිතයකට පණ පෙව්වාය.රනිල් යළිත් අගමැති විය. ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයා චන්ද්‍රිකාගේත් රනිල්ගේත් පිහිටෙන් ජනාධිපති වී එම ධූරයේ විධායක බලතල කිහිපයක් කපා දැම්මේය. එය සිදුකළේ 19 වැනි සංශෝධනය සම්මත කරගැනීමෙනි. එසේ වුවත් රනිල්ගේ අගමැති පදවියේ යළිත් වරක් ආයුෂ කෙටි විය. වසර 05කට ආණ්ඩුව පිහිටවූ රනිල් යන්තම් වසර 04 පසුවෙද්දී විපක්ෂයට තල්ලු වූයේ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීම හේතුවෙනි.

තුන්වැනි දශකය ආරම්භ වන්නේ අලුත් ජනාධිපතිවරයකු යටතේ සුළුතර තාවකාලික ආණ්ඩුචවක් සමඟිනි. තව මාස 04කට නොඅඩු කාලයක් තුළදී මහ මැතිවරණය පැවැත්වෙනු ඇත. එහි ජයග්‍රාහකයා වනු ඇත්තේ කවුද යන්න ගැන විවාදයක් නැත. ප්‍රශ්නය ඇත්තේ පිහිටුවන ආණ්ඩුවට තුනෙන් දෙක ලබාගත හැකිද නැද්ද යන්න පමණක් තරමට ඉදිරිය පැහැදිලිය. එහෙමනම් තුන්වැනි දශකය ආරම්භයේදීම හුටපට ගැන කතා කරළියට එන්නේ කොහොමද? එයට එකම හේතුව රන්ජන්ගේ හඬපට පමණක් නොවේ. ශ්‍රීලනිපයෙත් යූ.එන්.පීයේ.ත් ඇතුළේ ගැටුම්ය.

සියවස ආරම්භයේදී රටේ බලවත්ම දේශපාලන චරිතය වී සිටි චන්ද්‍රිකා අද සිටින්නේ තම පක්ෂ මූලස්ථානයෙන් පවා එළවා දමනු ලබන තත්ත්වයකය. මේ රටේ වැඩිම කාලයක් බලයේ සිටි ප්‍රධානම පක්ෂය වන ශ්‍රීලනිපයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායකගේ දැනට දේශපාලනයට සම්බන්ධ වී සිටින එකම චරිතය වන ඔහුගේ දියණිය චන්ද්‍රිකාට දැන් ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයට ගොඩ වීමටත් අවසර නැත. මෙරට දෙවරක් විධායක ජනාධිපති ධූරය ඉසිලූ චන්ද්‍රිකාට අද දේශපාලන ලෝකයෝ අතරමං වීමට සිදුව ඇත්තේ ඇය විසින් ගනු ලැබූ ඇතැම් තීන්දු තීරණ හේතුවෙන් බව පැහැදිලිය. 2015 දී මෛත්‍රීපාල - රනිල් ආණ්ඩුව පිහිටුවීමට සහාය දක්වන චන්ද්‍රිකාට ශ්‍රීලනිපයෙන් එතරම් ලොකු විරෝධයක් එල්ල වූයේ නැත. ඇත්තටම සිදුවූයේ ශ්‍රීලනිප මන්ත්‍රීන් පිරිසක් චන්ද්‍රිකාගේ සහාය හිමි වූ මෛත්‍රීපාල සමඟ එකතු වීමය. නමුත් ඉන්පසුව චන්ද්‍රිකා දිගින් දිගටම කටයුතු කළේ ශ්‍රීලනිප මන්ත්‍රීන්ගේ විරෝධයට ලක්වන ආකාරයට බව පෙනිණි.

චන්ද්‍රිකා එසේ කටයුතු කළේ තමන් තුළ තිබූ උග්‍ර රාජපක්ෂ විරෝධය හේතුවෙන් බව සැඟවිය නොහැක. ඒ වෙනුවට ඇය ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම සමඟ සමීපව කටයුතු කරමින් රටේ දේශපාලන ප්‍රවණතා හොඳ හැටි අවබෝධ කරගනිමින් කටයුතු කළානම් අද මේ විරෝධය ශ්‍රීලනිප සංවිධායකවරුන් එනම් බිම් මට්ටමේ සාමාජිකයන්ගෙන් එල්ල වන්නේ නැත. ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කරනු ලැබීමෙන් පසුව සුගතදාස ක්‍රීඩාංගණයට රුස්වීමක් කැඳවා ගෝඨාභයට ඡන්දය දෙන්න එපා කියලා කියන විටම ඇය පොට වරද්දා ගත්තාය. එදින රුස්ව සිටි පිරිස විශාල වුවද එහි සිටි බහුතරය ශ්‍රීලනිප පාක්ෂිකයන් නොවුණු බව දැන්වත් චන්ද්‍රිකාට අවබෝධ වී නැත්නම් පුදුමය. පුද්ගල විරෝධයක් හේතුවෙන් තමන්ගේ දේශපාලන භූමිකාව සම්පූර්ණයෙන්ම විනාශ කරගත් හිටපු පක්ෂ නායිකාවක් වශයෙන් චන්ද්‍රිකා ඉතිහාගසගත වනු ඇත. එහෙත් ප්‍රශ්නය වන්නේ ශ්‍රීලනිපයේ අනාගතයයි.

අනාගතයේදී ශක්තිමත් රජයක ආඩම්බරකාර පාර්ශ්වයක් වීමට යම්කිසි හෝ අවස්ථාවක් ශ්‍රීලනිපයට තිබුණා නම් ඒ බලාපොරොත්තුව පසුගිය නොවැම්බර් 16 වැනි දා පැවැත්වූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයත් සමඟ සුනුවිසුණු වී ගියේය. ගෝඨාභය මහතා ජයගත්තේ යන්තම් කඩුල්ල පැනගත් අයකු හැටියට නම් ශ්‍රීලනිපයට ලොකු චාන්ස් එකක් තිබුණි. එහෙත් ලක්ෂ 14කට ආසන්න වැඩි ඡන්ද ප්‍රමාණයක් සහ 52.3%ක ඉහළ ප්‍රතිශතයක් ලබා ගනිමින් ගෝඨාභය මහතා ජයග්‍රහණය කිරීම ශ්‍රීලනිපයේ ගමනක අවසානය සටහන් කර තිබේ. ඒ හේතුවෙන් අද වනවිට ජනාධිපතිවරණයේදී ඇති කරගන්නා ලද ගිවිසුමේ වලංගුභාවය ද දිය වී යමින් පවතී. කවුරැන් කෙසේ කීවත් කුමන බලාපොරොත්තුවක් තබාගෙන සිටියත් පොහොට්ටුවෙන් හැර රාජපක්ෂ ආණ්ඩුව මහමැතිවරණයට එන්නේ නැත. අද රටේ ජනප්‍රියම ලකුණ පොහොට්ටුව බව මහින්ද රාජපක්ෂ මහතා පුනපුනා කීමේ අර්ථය එයයි.

ශ්‍රීලනිපයේ සිටිමින් ඡන්දයට ඉදිරිපත් වීමට සිහින මවන පිරිසට ගතහැකි මාර්ග ඇත්තේ දෙකක් පමණි. ඉන් එකක් පොහොට්ටුව ලකුණ යටතේ තරග වැදීමට කැමැත්ත ප්‍රකාශ කොට නව ගිවිසුමකට එළඹීමටය. එසේ නැත්නම් දේශපාලනයෙන් සමුගැනීමටය. ඉන් එහාට ගතහැකි තීන්දුවක් නැත. චන්ද්‍රිකාට ශ්‍රීලනිප මූලස්ථානයේ දොර වැසීමේ කතාවේ යටින් ඇත්තේ එම අමිහිරි කටුක යථාර්ථය පාක්ෂිකයන්ට දැනෙන ආකාරයයි.

මෙතෙක් කාලයක් ශ්‍රීලනිප මන්ත්‍රීන් වෙනුවෙන් පෙනී සිටි පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ට ගතහැකි වෙනත් පියවරක් නැත. තමන් පොළොන්නරැවෙන් ඡන්දයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව ඔහු දිගටම කියා සිටියි. ඉදිරියේදී බලාගත හැකි වන්නේ ශ්‍රීලනිප නායකයා පොහොට්ටුව ලකුණින් ඡන්දයට එනවාද නැතහොත් ශ්‍රීලනිපය ද ඇතුළත් පොදු සන්ධාන ලකුණකින් ඡන්දයට එනවාද යන්නයි. රාජපක්ෂවරැ පොහොට්ටුව ලකුණම පමණක් කියන්නේ නම් ශ්‍රීලනිපයේ ඉදිරි අනාගතය ගැන කතා කිරීමට දෙයක් ඉතිරි නොවනු ඇත. විසිවැනි සියවසේ හයවැනි දශකයේදී මෙරටට බිහි වූ පොදු ජනතාවගේ හඬ වශයෙන් විරැදාවලි ලත් ශ්‍රීලනිපයේ ගමනක අවසානය විසි එක්වැනි සියවසේ තුන්වැනි දශකයේදී ලියැවෙනු ඇතිදැයි ඉදිරි මාස 03 තුළදී බලාගත හැකිවනු ඇත.

ශ්‍රීලනිපය එවැනි ඉරණමකට මුහුණ දී සිටින විට යූ.එන්.පීද  සිටින්නේ බරපතළ ලෙස භේද භින්න වූ අවස්ථාවක බව පැහැදිලිය. වසර ගාණක් තිස්සේ ඇදී එන නායකත්ව අර්බුදය විසින් යූ.එන්.පීයේ සමස්ත ජීවය උදුරාගෙන යමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. එය විසඳා ගැනීම සඳහා අවසන් වරට පසුගිය බ්‍රහස්පතින්දා (09) පැවැත්වූ මන්ත්‍රී කණ්ඩායම් රුස්වීම ද අවසන් වී ඇත්තේ පැහැදිලි තීන්දු ගැනීමකින් තොරවය. පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරන්නේ එජාපය මහමැතිවරණයේදී නායකත්ව මණ්ඩලයක මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වීමට සාකච්ඡා කෙරෙන බවය. රනිල්, සජිත්, කරු තිදෙනාගේ මූලිකත්වයෙන් මේ නායකත්ව මණ්ඩලය ක්‍රියාත්මක විය යුතු යැයි යෝජනා වූ නමුත් අවසන් එකඟතාවකට එළඹීම ලබන බ්‍රහස්පතින්දා (16) තෙක් කල්දැමූ බවද ඔහු කියයි.

කෙසේ වුවද සජිත් පාර්ශ්වය මේ කතාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි. ඔවුන් කියන්නේ එජාපයට සිටිය යුත්තේ එක් නායකයකු මිස නායකත්ව මණ්ඩලයක් නොවන බවයි. ඒ බව තමන් ඇතුළු මන්ත්‍රී පිරිසක් එම සාකච්ඡාවේදී පැවසූ බව රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. ජනතාව ඉල්ලන නායකයා සජිත් බවත් ඡන්දයක් තබා නායකයා තෝරා පත්කර ගත යුතු බවත් ඔහු කළ ප්‍රකාශය කබීර් හෂීම් මහතා ස්ථිර කර තිබිණි.

යූ.එන්.පීය වසර ගණනාවක් තිස්සේ සිදුකරන නායකත්ව මණ්ඩලයක් පෙන්වා දිගින් දිගටම අවසන් තීරණයක් ගැනීම කල්දැමීමේ අවසන් ප්‍රතිඵලය මහ මැතිවරණයේදී සජිත් පාර්ශ්වය වෙනම සන්ධාන ගතවී තරග කිරීම බව පසුගිය සතියේ පැහැදිලි විය. එසේ වුවහොත් එය යූ.එන්.පීය තුළ ලලිත්, ගාමිණීලාගේ සිද්ධියෙන් පසුව සිදුවන ලොකුම පිපිරීම වනු ඇත. ඒ අවස්ථාවේදී යූ.එන්.පීයේ නායකයා වී සිටියේ එවකට ජනාධිපති වූ ආර්. ප්‍රේමදාස මහතාය. මේ අවස්ථාවේදී යූ.එන්.පීයේ බහුතර මන්ත්‍රී පිරිසකගේ කැමැත්ත ඇති බව පෙනෙන්නේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටය. කාලය ඇති කළ වෙනසක අරැමය එයයි. මේ අරැමය යූ.එන්.පීයේ අවසානය තීරණය කරනු ඇතිදැයි කියන්නත් බැරිය.

- ශශීන්ද්‍ර