2020 ජනවාරි 11 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 100

අද තමයි මම 2015 දී පැරදිලා ගෙදර ගිය දවස

- අගමැති මහින්ද රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය පදවියේ දිව්රුම් දීමෙන් පසුව එළඹුණු නව අවුරුද්දේ පුවත්පත් කතුවරුන් සමඟ පළමුවරට හමුවක් පැවැත්වූයේ පසුගිය බ්‍රහස්පතින්දා (09) ය. එදින උදෑසන අග්‍රාමාත්‍යවරයා තවත් ඇමැතිවරුන් කිහිප දෙනකු සමඟ එම හමුවට සහභාගි වී කතුවරැන් සමඟ අදහස් හුවමාරු කර ගත්තේය. ඔවුන් නැගූ ප්‍රශ්නවලට උත්තර ද ලබා දුන්නේය.

එළඹෙන මහමැතිවරණයේදී රජය තුනෙන් දෙකක බහුතරයක් ලබාගැනීමට අපේක්ෂා කරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා එය අවස්ථාවක් කර ගන්නා බවත් මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළේය.

පවතින ඡන්ද ක්‍රමය ගැනත් 19 වැනි ව්‍යවස්ථාව ගැනත් ප්‍රශ්න මතුවී තිබෙනවා. වර්තමානයේ අපට තිබෙන්නේ සුළුතර ආණ්ඩුවක්. අපි ඊළඟ මහමැතිවරණයේදී මහජනතාවගෙන් බලාපොරොත්තු වන්නේ තුනෙන් දෙකක ජනවරමක්. එහෙම වුණාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමටත් ඡන්ද ක්‍රමය වෙනස් කිරීමටත් හැකියාව ලැබෙනවා. මේ වෙනස්කම් සිදු කිරීමට පෙර සියලු පාර්ශ්වවල අදහස් විමසීමටත් අප බලාපොරොත්තු වෙනවා. අග්‍රාමාත්‍යවරයා කීය. ඔබ විපක්ෂයේ සිටියදී 19 වැනි ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කොට දැන් එයට විරුද්ධ වන්නේ මන්දැයි කතුවරයකු නැගූ ප්‍රශ්නයට අගමැතිවරයාත් එහි සිටි අමාත්‍යවරැන් පිරිසකුත් ප්‍රකාශ කළේ තමන් එසේ ඡන්දය ප්‍රකාශ කළේ 20 වැනි සංශෝධනයද එයින් පසුව ඉදිරිපත් කරන බවට ලබාදුන් පොරොන්දුව නිසා බවය.

රන්ජන් රාමනායකගේ හඬපට ද මෙහිදී සාකච්ඡා විය. එම හඬපටවල අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් සඳහන් වන කරැණු ගැන ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමට අගවිනිසුරැ ජයන්ත ජයසූරිය මහතා සහ අධිකරණ සේවා කොමිසම විසින් වහා පියවර ගත යුතු බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වුවද ගැඹුරැ සාකච්ඡා මෙන්ම සැහැල්ලුවෙන් සිදුකළ කතාබහ ද එම හමුවේදී අඩුවක් නොවීය.

එක් කතුවරයෙක් අග්‍රාමාත්‍යවරයාගෙන් මෙසේ ඇසුවේය.

රන්ජන් රාමනායක මුළු රටටම කතා කරලා තියෙනවා. ඔබතුමාට එහෙම කතා කළේ නැද්ද?

එයට සිනාසෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පිළිතුරැ දුන්නේය.

මම ඉතින් එයාව හොඳට දන්න මිනිහෙක්නෙ.. හැබැයි මම එයාට කතා කරලා තියෙන්නේ උපන්දිනේට සුබ පතන්න විතරයි. වෙන දේකට මම කතා කරලා නෑ.

ලා නිල් පැහැ කමිසයකින් සැරසී කුරහන් සාටකය ද පැළඳගෙන සිටි අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාව හමාරකොට කතුවරැන් සමඟ උදෑසන ආහාරය ද ගෙන ඇතුළට ගොස් යළි පිටතට පැමිණියේ සුදු පැහැ සුපුරුදු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තු යාමට සූදානමිනි. එහිදී ඔහු තමන් අසල සිටි කතුවරයකුට මෙසේ කීවේය.

අද මම අගමැති හැටියට පාර්ලිමේන්තුවට යනවා වසර 05කට පස්සෙ හිටපු අගමැති දි.මු. ජයරත්නගේ ශෝක ප්‍රකාශ යෝජනාවට සහභාගි වෙන්න. දි.මු. අගමැති ධූරයෙන් අස්කළ දවසෙ මම පාර්ලිමේන්තුවේ හිටියෙ නෑ.

එහිදී අග්‍රාමාත්‍යවරයා සහ කතුවරයකු අතර ඇතිවූ තවත් දෙබසක් මෙසේය. 

අද තමයි මම ජනාධිපති හැටියට පැරදිලා ගෙදර ගිය දවස

එදා ඔබතුමාට මොකක්ද හිතුණේ?

ගෙදර ගිය දවසට පස්සෙන්දම මම දැනගත්තා ගෙදරට එන සෙනග දිහා බලල මට ඉතාම ඉක්මනින් ආපහු බලයට එන්න පුළුවන් වෙනවා කියලා.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ගෙන් සජිත්ට උණුසුම් සුබ පැතුම්

අලුතින් පත් කරනු ලැබූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නව වසරේ පළමු සැසිවාරය විවෘත කළ දිනයේ පාර්ලිමේන්තුවට පැමිණීමේදී ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ දෙපාර්ශ්වයේම මැති ඇමැතිවරුන්ගෙන් ගෞරවාදර හිමි විය. ජනවාරි 03 වැනි සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී සජිත් මේ උණුසුම් පිළිගැනීම්වලට ලක් විය.

ඔහු සභා ගර්භයට පිවිසීමට පෙරම අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරැම ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරැන් බොහෝ දෙනෙක් ප්‍රේමදාස මහතාට උණුසුම් ලෙස සුබ පැතූහ. ඒ අවස්ථාවේ සජිත් රැඳී සිටියේ මන්ත්‍රීවරුන්ට වෙන්වූ පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එක අසලය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරැන් ඔහු අසලට පැමිණ විපක්ෂ නායකතුමා යනුවෙන් පවසා ඔහුට සුබ පැතූහ. දැනට රජයට එකතු වී සිටින යූ.එන්.පී. මන්ත්‍රීවරුන් වන ආනන්ද අලුත්ගමගේ සහ අශෝක ප්‍රියන්ත ද සජිත්ට සුබ පැතුම් එක් කළහ.
ජනාධිපතිවරයා තම රාජාසන කතාව අවසන් කොට නික්ම යාමෙන් පසුව පාර්ලිමේන්තුවේ සභානායක වශයෙන් නව පත්වීම ලද දිනේෂ් ගුණවර්ධන මහතා ආණ්ඩු පක්ෂය පැත්තේ සිට විපක්ෂය පැත්තට මාරු වී සජිත් ප්‍රේමදාස මහතාට සුබ පැතුවේය.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටි මන්ත්‍රී පිරිසේ අවධානය රාජපක්ෂ මහතා පිවිසීමට මිනිත්තු කිහිපයකට පෙර වෙනස් වී ගියේ සභාගර්භයට තවත් මන්ත්‍රීවරයකුගේ පිවිසීම හේතුවෙනි. ඒ හිටපු ප්‍රවාහන ඇමැතිවරයකු වූ එජනිස මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාය. ඔහු විපක්ෂයේ අසුන් ගත්තේය.

විපක්ෂ මන්ත්‍රීවරුන් සභාගැබට පිවිසෙන දොරටුවෙන් ඇතුළු වූ වෙල්ගම මහතාට විපක්ෂ මන්ත්‍රීන් රැසක් අතට අත දුන්හ. කිහිප දෙනෙක් මේසවලට තට්ටු කළහ. ආණ්ඩු පක්ෂයේ අසුන්ගෙන සිටි එජනිස මන්ත්‍රීන් පිරිසකට සිනහ පෑ වෙල්ගම මහතා ඔවුන්ට අත වැනුවේය.

- සන්ඩේ ටයිම්ස්