2020 ජනවාරි 04 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 109

ඩොලර් මිලියන 250 සංවර්ධන ව්‍යාපෘති ගනුදෙනුව රජය රකියි

රජය මගින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද ඩොලර් මිලියන 250ක බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා රජය මගින් දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා (02) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සංවර්ධන, බැංකු සහ ණය යෝජනා ක්‍රම රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේ එය වත්මන් රජයේ පළමු විදෙස් ආයෝජන ව්‍යාපෘතිය බවත් එහි ආරම්භය 2014 දක්වා දිවයන බවත්ය. සිංගප්පූරුව සමඟ අදාළ ව්‍යාපෘතියේ මූලික සාකච්ඡා 2014 වසරේදී ආරම්භ වුවත් පසුව බලයට පත්වූ යහපාලන රජය එය පසුපසට ඇද්ද බවට චෝදනා කරන ඔහු එජාප රජයට මේ ව්‍යාපෘතිය විවේචනය කිරීමට කිසිදු අයිතියක් නැති බවද කීය. නව රජය බලයට පත්වීමෙන් පසුව එම ආයෝජනය 25%කින් ඉහළ නංවා ගැනීමට සමත් වූ බවද ඍජු විදෙස් ආයෝජන සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුතුව කටයුතු කරන බවද ඔහු කියයි. තම රජය රටේ ඉඩම් විකුණන බවට විපක්ෂය නගන චෝදනාවට පදනමක් නැති බවත් ඔහු සඳහන් කර තිබිණි.

කෙසේ වුවද විපක්ෂය චෝදනා කරන්නේ කොළඹ නගරයේ අක්කර 03ක් විදෙස් රටකට විකිණීමට රජය කටයුතු කර ඇති බවටය. ෂෙහාන් සේමසිංහ රාජ්‍ය ඇමැතිවරයා එයට පිළිතුරැ වශයෙන් කියා තිබුණේ ඒ කියන ඉඩම මිශ්‍ර ආයෝජනයක් සඳහා ආයෝජන මණ්ඩලය හරහා 99 අවුරුදු බදු පදනම යටතේ අදාළ සමාගමට බාරදෙන බවයි. එහෙත් පසුගිය යහපාලන රජය බදු පදනම් යටතේ විදෙස් සමාගම්වලට සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් පවරා දීමට පිඹුරුපත් සකස් කරද්දී එවකට විපක්ෂයේ සිටි ෂෙහාන් සේමසිංහ රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු මන්ත්‍රීන් දැඩිව ඒවාට විරෝධය පෑවේ රට කෑලි කෑලිවලට කඩා රටේ සම්පත් විදෙස් රටවලට විකුණන බවට දැඩිව චෝදනා කරමිනි.

මේ අතර ජවිපෙ ද පසුගිය බ්‍රහස්පතින්දා (02) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී චෝදනා කළේ පසුගිය රජය විදෙස් රටවලට විකිණූ දේපළ ඇතුළු රාජ්‍ය සම්පත් යළිත් මෙරටට පවරාගන්නා බවට ජනාධිපතිවරණයට පෙර පාරම්බෑ රාජපක්ෂවරුන් මෙරට රාජ්‍ය සම්පත් විදේශ රටවලට විකිණීම ආරම්භ කර ඇති බවටය. කිසිදු ටෙන්ඩර් කැඳවීමක් හෝ නොමැතිව කැබිනට් පත්‍රිකාවක් මගින් පමණක් මෙරට ඉඩම් ඇතුළු රටේ සම්පත් අත යටින් විදෙස් රටවලට ලබාදෙන බවටද ඔවුහු රජයට චෝදනා කරති.

මත්තල ගුවන් තොටුපළ විදෙස් රටකට විකිණීමට ආයෝජකයන් සොයන බවටත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම දැන් රාජපක්ෂවරැන්ට අනුව රටට වඩාත් හිතකර බවට පත්වී ඇති බවටත් ජවිපෙ චෝදනා කරයි.

ජනපතිගේ වේරහැර නිරීක්ෂණ චාරිකාවේ හාස්‍යජනක සේයාරුව

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් සතියේ දිනක වේරහැර ආර්.එම්.වී. කන්තෝරැවට හදිසියේ ගිය ගමන සමාජ මාධ්‍ය තුළ ලොකු පිබිදීමක් ඇතිකර තිබිණි. එහිදී ගනු ලැබූ ඡායාරෑප ගණනාවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අතර ඉන් එකක් වූයේ ජනාධිපතිවරයා විසින් ගන්නා ලදැයි කියූ සෙල්ෆි ඡායාරූපයකි.

වේරහැර ගිය ගමනේදී එක් කාර්යාලයක් තුළ තද නින්දක වැටී සිටි සේවකයකු හදිසියේම දුටු ජනාධිපතිවරයා එම නිදාසිටි සේවකයා පසුබිමේ පෙනෙන ආකාරයට සෙල්ෆි ඡායාරෑපයක් ගෙන ඇතැයි එහි සඳහන් විය. එය ජනාධිපතිවරයා විසින් තම ෆේස්බුක් පිටුවේ පළ කරන ලද බවටද ඇතැම් වෙබ්අඩවි මගින් ප්‍රචාරය කර තිබුණි. එහෙත් එය සත්‍යයක් නොවීය. තම ෆේස්බුක් පිටුවේ පළකර තිබූ ඡායාරූපවල ජනාධිපතිවරයා අත්කොට සුදු කමිසයකින් සැරසී වේරහැර පරිශ්‍රයට පැමිණ සිටි බව පෙන්නුම් කෙරිණි.

කෙසේ වුවද සමාජ මාධ්‍යවල පළකර තිබූ හාස්‍ය දනවන බොරු ඡායාරූපයේ ජනාධිපතිවරයා සැරසී සිටින්නේ ලා කොළ පැහැ ටී ෂර්ට් එකකින් සැරසීගෙනය. එය ඡායාරෑප දෙකක් එක් කිරීමෙන් සකස් කර තිබූ ඡායාරෑපයක් බව එයින්ම හෙළිවෙයි.

සන්ඩේ ටයිම්ස්