2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

සහල් මිලේ උගුලෙන් ගැලවෙමු

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 65

යම් කෙනකු පිස්සුවෙන් වාගේ වැඩකටයුතු කරනු දකින විට ඇතැමුන් කියන්නේ ඌට දෙවියන්ගේ හාල් කැවිලා කියාය. මේ රටේ සහල් මිලදී ගැනීමට යන පාරිභෝගිකයන්ටද රටේ සහල් මුදලාලිලා මේ දවස්වල පෙනෙන්නේ එහෙම විය යුතුය. ඒ තරමට සහල් මිල ගණන් ඉහළ යමින් තිබේ. සිල්ලරට සහල් විකුණන මුදලාලි නොව මහා පරිමාණ මෝල් හිමි ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් එසේ සිතීම සාධාරණ බව දිනෙන් දින ඉහළ යන සහල් මිල පෙන්වා දෙමින් තිබේ.

සාමාන්‍යයෙන් සහල් මිල කවදත් වැඩිවූයේ රුපියලකින් දෙකකින් පමණි. මහා ඉඩෝර කාලයේදී වුවද එකවර ලොකු මුදලකින් සහල් මිල නැග්ගේ නැත. එහෙත් පසුගිය සති කිහිපය තුළදී රුපියල් 20කට ආසන්න මිලකින් සහල් ගණන් ගොස් තිබේ. නාඩු සහ කැකුළු සහල් කිලෝවක මිල රුපියල් හැත්තෑවේ පමණ සිට ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙමින් පැමිණ රුපියල් සියයද ඉක්මවා ගියේය. එකවරම රුපියල් 10කින් පමණ මිල ඉහළ ගිය බවද වරක් වෙළෙඳ පොළින් වාර්තා විය. පසුව එම මිල රුපියල් 98 දක්වා අඩුකොට එය උපරිම මිල ගණන් වශයෙන් සඳහන් කරමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබීය. එය කිසිසේත් පාලන මිලක් පනවා මිල අඩුකිරීමක් නොව උපරිම මිලක් පනවා මිල වැඩිකිරීමක් වශයෙන් හැඳින්වීම වඩාත් නිවැරදිය. වී මුදලාලිලා එහිදී ආණ්ඩුවත් කඩේ යවා ජනතාවටද කොළේ වසා ගැහිල්ලක් කර තිබේ.

සහල් මිල මේ තරමට වැඩිවීමට සාධාරණ හේතු බලපෑවේ නම් ඒ ගැන අපි කතා නොකරමු. පාරිභෝගිකයන්ටද සිදුවන්නේ එය විඳ දරා ගැනීමටය. එහෙත් මහා නියඟ සහ මහ ගංවතුර හේතුවෙන් වගා හානි සිදුවූ කාලවලදී පවා මේ තරම් සහල් මිල ගණන් වැඩිවූයේ නැත. පසුගිය මහ කන්නයේදී ලැබුණු වී අස්වැන්න විශාල එකක් විය. නමුත් වෙළෙඳ පොළේ මිල ගණන් අඩුවීම කෙසේ වෙතත් සිදු වී ඇත්තේ විශාල ලෙස මිල වැඩිවීමය. ඒ සම්බන්ධව ආණ්ඩුව දැඩි අවධානයක් යොමුකොට කටයුතු කළත් එහි එකම ප්‍රතිපලය වූයේ නාඩු, කැකුළු සහ සම්බා සහල් කිලෝවක මිල රුපියල් 98ට සීමාවීම පමණි. නමුත් එය මීට මාස කිහිපයකට පෙර මිල සමඟ සසඳන විට රුපියල් 20කින් පමණ ඉහළ යාමකි.

වෙළෙඳපොළේ වැඩිවූ මිල ගණන්වලට අනුපාතිකව ගොවීන්ගේ අතමිට සරු වූ බවක් හෝ පෙනෙන්නේ නැත. එයින් කියැවෙන්නේ වැඩිවන සහල් මිලේ වාසිය තනිකරම යන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිප දෙනකුගේ අතට බවය. මේ බව වඩාත් සනාථ වන්නේ අනුරපුර සහ පොළොන්නරැවේ ගොවි සංවිධාන පවසන කතාවෙනි.

ඔවුන් කියන්නේ රටේ වී නිපැයුමේ විශාල ප්‍රතිශතයක් වී මෝල් හිමිකරුවන් කිහිප දෙනෙකු විසින් ගබඩාකර තබාගෙන තිබීමෙන් රටේ විශාල සහල් හිඟයක් කෘත්‍රීමව නිර්මාණය වී ඇති බවය. එසේ ගබඩාකරගෙන ඇත්තේ රුපියල් 32ක පමණ මිලකට ගත් වී බවද ඔවුහු කියති. එම කතාව සත්‍යයක් නම් වී මෝල් මුදලාලිලා කිහිප දෙනෙකු විසින් මේ සිදුකරන්නේ පාරිභෝගික ජනතාව ප්‍රාණ ඇපයට ගැනීමකි. මුලින්ම කරන්නේ මිලදී ගත් වී ප්‍රමාණවත් පරිදි සහල් වශයෙන් වෙළෙඳපොළට මුදාහැරීමෙන් වැළකී කෘත්‍රිම හිඟයක් මවාපෑමය. ඒ හිඟයට මුවා වී තමන්ට අවශ්‍ය තරමට මිල වැඩිවීමට ඉඩහැර ජනතාවට ආදරේට කරනවා සේ පෙන්වා රැපියල් 98කට උපරිම මිලක් නියම කර ගැනීම ඉන්පසුව සිදු වී තිබේ. අවසානයේ වී මෝල් හිමියන්ගේ කල්ල මරේය. ගොවියා දුකේය. පාරිභෝගිකයා අමාරුවේය.

මෙය වහාම විසඳිය යුතු බරපතළ ගැටලුවක් බව අපගේ වැටහීමය. රටේ සහල් හිඟයක් පවතින්නේ නම් ඒ හිඟය දුරැ කිරීම සඳහා ගතයුතු සෑම පියවරක්ම රජය විසින් ගත යුතුය. ජනාධිපතිවරයාගේ හඬට කන්දීමට පවා මේ වී මෝල් මුදලාලිලා සූදානම් නැත්නම් තවදුරටත් ඔවුන් කිහිප දෙනෙකු හට ගසා කෑමට ඉඩ දෙමින් රටේ පාරිභෝගික ජනතාව අමාරැවේ දැමීමට ඉඩ නොදිය යුතුය. මේ සඳහා වහාම වී මෝල් හිමිකරැවන්ගේ ඒකාධිකාරිය කඩා බිඳ දැමිය යුතුය. එය සිදු නොකර වෙනත් කුමන පියවරක් ගත්තත් ගැටලුව නොවිසඳෙන බව යථාර්ථයයි. එක් මහා පරිමාණ වී මෝල් හිමිකරැවෙක් මෑතදී ප්‍රකාශ කර තිබුණේ රුපියල් 98ට වැඩියෙන් සහල් විකුණන ව්‍යාපාරිකයන්ට නඩු දමන ලෙසටය. එය ඔහු කිවයුතු නැත. එය නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් සිදුකරනු ඇත. නමුත් රැපියල් 98 යනු වී මෝල් හිමිකරැවන් විසින්ම ඇතිකරන ලද කෘත්‍රිම මිලක් බව ජනතාවට රහසක් නොවන බව පෙන්වාදීමට කැමැත්තෙමු.

සහල් මිල උගුලෙන් ගැලවීමට නම් රටේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත්ව සහ විමධ්‍යගතව සිදුවිය යුතු බව අපගේ වැටහීමය. කිහිප දෙනකු අත වී මිලදී ගැනීමේ ඒකාධිකාරිය පවත්වාගෙන යාමට ඉඩදී සහල් මිල පාලනයට පියවර ගැනීම නිෂ්ඵල ක්‍රියාවකි. එයින් පාරිභෝගිකයාටවත් ගොවියාටවත් අත්වන වාසියක් නැත. සිදුවන එකම දෙය වී මෝල් හිමියන් කිහිප දෙනකු සුපිරි ධනපතියන් බවට පත්වීමත් පාරිභෝගිකයා අමාරැවේ වැටීමත් පමණි. මේ සහල් මුදලාලි ඒකාධිකාරියෙන් රට මුදාගැනීමට ආණ්ඩුව ඍජුවම මැදිහත් විය යුතු කාලය එළැඹ ඇති බව අපගේ හැඟීමය.