2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

ජනාධිපතිවරණ ප්‍රතිඵල මහඡන්දෙට අදාළ නෑ

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 95

ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

► අපේ රටේ සංස්කෘතියට ගහලා දේශපාලනය කරන්න බෑ

► ලොකුම ප්‍රශ්නෙ වුණේ රට බේරගන්නවා කියන එකනේ

► නිලධාරීන් පැනලා යනවා නම් ඒක ආණ්ඩුවේ වැරුද්දක්

► සියලු ජනතාවට වැඩකරන එක ජනාධිපතිගේ වැඩක්

► මේ රටේ දැන් විශාල දේශපාලන බෙදීමක් තිබෙනවා

► මේ රටට ශක්තිමත් විපක්ෂයක් ඕනෑ

► බය කරලා දේශපාලනය කිරීම භයානක දෙයක්

ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වෙනකොට ගොඩක් දෙනෙක් හිතුවා ලක්ෂ 10 පන්නලා ඡන්ද ගනියි කියලා. ඒත් මහ මැතිවරණයටත් වඩා ප්‍රතිපල අඩුයි. ඇයි එහෙම වුණේ?

ජනාධිපතිවරණයක් කියන්නේ දෙන්නෙක් අතර තරගයක්. දිනන්නේ එක්කෙනයි. මේක කඳවුරු දෙකක් අතර සටනකට වඩා දේශපාලන කඳවුරු දෙකක් අතර සටනක් බවට පත්වුණා. එක් පැත්තකින් මහින්ද මහත්තයගේ කඳවුර රට බේරගන්න පිරිස බවට පත්වුණා. අනෙක් පැත්තෙන් සජිත් පිල රට පාවා දෙන්නන් බවට පත්වුණා. ඒ කඳවුරු දෙක අතර තරගය බෙදුණට පස්සේ ඒක තීව්‍ර තරගයක් බවට පත්වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් හාමුදුරුවරු, ජනමාධ්‍ය එක පෙළට හිටියා. සජිත් ප්‍රේමදාස මහත්තයා වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය සම්බන්ධ වීමත් එක්ක රට පාවාදෙන කණ්ඩයමක් බවට පත්වුණා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තයට බය කණ්ඩායම් සජිත් ප්‍රේමදාස මහත්තයගේ පැත්තට දෝලනය වුණා. සජිත් ප්‍රේමදාස මහත්තයගේ කණ්ඩායමට බය පිරිස ගෝඨාභය මහත්තයගේ පැත්තට දෝලනය වුණා. මේ නිසා අපිටත් ඡන්දය බලපෑවා. ඒ වගේම තව දෙයක් මහින්ද මහත්තයා 2015 දී පරාජය කරපු එක වැරදි කියන හැඟීම පහුගිය රජය මගින් මිනිස්සුන්ට දන්වලා තිබ්බේ. ඔවුන් හොරුන් අල්ලනවා කියලා ඇවිත් නිකන් හිටියා. හොරා කන්නේ නෑ කියලා ඇවිත් හොරා කෑවා. ණය ගන්නේ නෑ කියලා ඇවිත් ණය ගත්තා. ඒ නිසා මේක ගෝඨාභය සහ ගෝඨාභයට බය ලෙසයි බෙදුණේ. ඒ නිසා ජනතාව තීන්දු කළා අපි මෙයාලා එක්ක ඉන්නවා කියලා.

ඔබ ඔය අර්ථ ගැන්වීමෙන් පෙන්නේ කඳවුරු දෙකක අවුලකට දැන දැනම ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වෙලා වැඩේ අවුල් කරගත්තා කියලා නෙමෙයිද?

එහෙනම් ජනාධිපතිවරණයකට දෙන්නෙක් ඉදිරිපත් කරල නිකන් ඉන්නවනේ. මොකද කලින් බෙදාගන්න පුළුවන්නේ. කොහොමද ඒ දෙන්නව තෝරන්නේ. මම මේ කියන්නේ ලැබුණ ප්‍රතිපලයත් එක්ක විග්‍රහ කරලා. අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රතිපල ලැබුණේ නෑ. ඒක අපි පිළිගන්නවා... හැබැයි අපි මතුකරපු දේශපාලනය, අපි ගෙනාපු ප්‍රතිපත්ති, වැඩපිළිවෙල ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ. හෙට අහන්න කාගෙන් හරි සෞඛ්‍ය අධ්‍යාපනය, ප්‍රවාහනය සම්බන්ධයෙන් අපි මතුකරපු අදහස් ජනතාව පිළිගන්නවා. ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නෑ. අපි මතුකරපු කාරණා බොරු කරන්නේ නෑ. ඒ නිසා ඒ දෙකටම අදාළ නොවුණු හාරලක්ෂ දහ අටදාහක් කියන්නේ වැදගත් ඡන්ද ප්‍රමාණයක්. ඒ වගේම මම විශ්වාස කරනවා ජනාධිපතිවරණයකදී තියෙන මේ ප්‍රතිඵල මහ මැතිවරණයකදී අදාළ වෙන්නේ නෑ. ඔබ කියන ආකාරයට ජනාධිපතිවරණයකදී ඉල්ලන්න තියෙන්නේ දෙන්නෙක්ට විතරක් නෙමෙයි. එහෙම අයිතියක් නෑ. අපි ඡන්දය ඉල්ලුවේ දිනන්න. හැබැයි ජාතිවාදී ආගම්වාදී ප්‍රමාණය විශාල වුණා.

ඔබට හිතෙන්නේ නැද්ද මේ ඡන්ද අඩුවෙන්න හේතුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ගෙන ගිය දූෂණ මර්දන වැඩ පිළිවෙළවල්වලට සම්බන්ධ වෙලා වැඩකරලා ඒ හරහා ආණ්ඩුවට එල්ලවුණු මඩවලින් කොටසක් ඔබලටත් එල්ලවුණු නිසා කියලා?

ඔව් ඉතිං ඒවා මඩ ගහපු අය දන්නවා ඇති කොච්චර වැදුණද කියලා.

ඔබලා එක්කම තව විකල්ප අපේක්ෂකයෝ රැසක් ඉදිරිපත් වුණා. හිතෙන්නේ නැද්ද ඒ කණ්ඩායමුත් එකතු වුණා නම් මීට වඩා සටනක් දෙන්න තිබුණා කියලා?

එහෙම කතා කරගත්තත් ඔක්කොම එකතු කළත් එතන ලක්ෂයක් නෑනේ. හිතන්නකෝ අනිත් අපේක්ෂකයෝ 33 දෙනාගේ ඒවා එකතු කළත් මහා බලපෑමක් කරන්න පුළුවන්ද? නෑ මම හිතනවා මේ බෙදීම, මේ දේශපාලන වෙන්වීම පරාජය කරන්න එහෙම කරලත් බෑ කියලා. මේක තීව්‍ර දේශපාලන බෙදීමක්. ඒක සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ වැඩි වුණා. ඒක අපි පිළිගත්තත් නැතත් පිළිගන්න ඕනේ. ඒ තාක් තිබ්බ ජාතිවාදී බෙදීම බෝම්බයත් එක්ක තීව්‍ර වුණා. බලන්න ඕන කෙනෙක්ගෙන් අහන්න... ගෝඨාභය මහත්තයට ඡන්දය දුන්නේ ඇයි කියලා. කියන්නේ හේතුවක් දන්නේ නෑ. හැබැයි රටක් තියෙන්න එපැයි කියලා කියනවා. ඒ වගේ සජිත් ප්‍රේමදසට ඡන්දය දුන්නේ ඇයි කියලා කවුරැ හරි ඇහුවොත් ඒ අය කියන්නේ ගෝඨාභය එනවට බයේ කියලා. ඕක තමයි දෙන උත්තර. ඒ නිසා අපි කවුරු එකතු වුණත් ලොකු වෙනසක් වෙයි කියලා හිතන්න අමාරුයි.

අපි දැකලා තියෙනවා ජනපතිවරු ජයගන්න විදිහ. ඒත් ලක්ෂ 14ක් වගේ විශාල පරතරයක් තියලා ජයග්‍රහණය ලබාගැනීම ගැන ඔබ දකින්නේ කොහොමද?

මම ආයේ කියන්නේ මෙතන තියෙන්නේ ජාතිවාදයයි ආගමයි. ආගම තමයි ඉතිං.

සිංහල ජනතාවට නායකයෙක් බිහිකරන්න පුළුවන් කියන එක තමයි දැන් සමාජයේ පිළිගැනීම ඒ පිළිගැනීම අනාගතයේ මොනවගේ වෙයිද?

අනාගත දේශපාලනය මේකෙන් පාඩමක් ඉගෙන ගෙන ඉස්සරහට ජාතිය සමඟයි ගොඩ නගන්න කටයුතු කරයි. නැත්‍තන් මේකෙ ප්‍රතිපලයක් හැටියට ජනතාව 4ට 5ට බෙදිලා යාවි. ඒක තමයි වෙන්නේ. ජනතාව ආගම්, ජාති, භාෂාව වශයෙන් බෙදුණාම වෙන ඉරණම අපිට අපේ රටේ විතරක් ලෝකයේ අනෙක් රටවල්වලිනුත් ආදර්ශ තියෙනවා. ලෝක සිතියමෙ ලංකාව විතරක් නෙමෙයිනේ. උගන්ඩාව වගේ රටවලුත් තියෙනවා. බෙදුණු, අපි අවුරුදු 30ක යුද්ධ කළා. ආයේ ඒ අතීතයට යන්න ඕනේ නෑ. බිය කියන එක සාමාන්‍ය දෙයක් හැබැයි ඒ බිය නඩත්තු කරගෙන දේශාපාලන කරන එක භයානක දෙයක්.

ඔබලා එහෙම කිව්වට එජාපය පිළිගන්නවා.. ඔවුන්ට වැරදුණේ සිංහල බෞද්ධ ඡන්ද අඩු වුණු නිසා කියලා?

එතන තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ප්‍රතිපත්ති. මංගල සමරවීර මහත්තයලා ආගමික න්‍යායයන් අල්ලගෙන කරපු උද්දච්ච ප්‍රකාශ. ඒවනේ බලපෑවේ. අපේ රටේ සංස්කෘතියක් තියෙනවා. ඒකට අපහාස කර කර දේශපාලනය කරන්න බෑ. ඒ වගේම අන්තවාදි ජාතිවාදි වෙලා වැඩකුත් නෑ. එහෙම වෙලා දේශපාලනය කරලා වැඩකුත් නෑ.

මේ ඡන්ද ප්‍රතිඵලයෙන් උතුරත් දකුණත් බෙදුණා. දෙමළ ජනතාවට දකුණේ නායකයන් ගැන විශ්වාසයකට වඩා දෙමළ ජාතික සන්ධානයට ළංවෙන්න ඕනේ කියන එක දැක්කා. ඒ වගේ ජනාධිපතිවරයත් කිව්වා මේ සිංහල ජනතාවගේ ජයග්‍රහණයක් කියලා. මේ බෙදීම කොහොමද අනාගතේ දේශපාලනය බලපාන්නෙ?

මේක යූඈන්පී  ශ්‍රී ලංකා ගැටුමකට වඩා රට බේරාගන්නවාද නැද්ද කියන බෙදීමක් ආවනේ.

ඔබ කියන්නේ මේක ජාතිවාදී ගැටුමක්ද?

ජාතිවාදයත් දේශපාලනික ගැටුමක්. හැබැයි ජාතිවාදීම කියන්න බෑ. ජාතිවාදී විදිහට සලකලා දුන්නා නම් එහෙනම් ඉල්ලපු හාමුදුරු දෙනමට දෙන්න එපැයි. එහෙනම් උතුරේ ප්‍රභාකරන්ගේ මස්සිනාට දෙන්න එපැයි. එහෙමත් නැත්තන් මුස්ලිම් ජනතාවට හිස්බුල්ලාට දෙන්න තිබ්බනේ. එහෙම ඡන්දය දුන්නේ නෑනේ. එතකොට ජාතිවාදී ආගම්වාදී කියන්නත් බෑ.

ඒක ජයග්‍රාහී පිල අර්ථ ගන්වන්නේ එහෙම නේද?

ආ ඒක ඒගොල්ලන්ගෙන් අහන්න. මගෙන් අහන්න එපා. අනිත් අයගේ මත මට කියන්න බෑ. ඒක මට වැඩක් නෑ. සහරාන්ගේ බෝම්බය පිපිරැණේ නැත්‍තන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සාමාන්‍ය විදිහට ඉල්ලුවා නම් මේ ප්‍රතිපලය එන්නේ නෑ. විශේෂයෙන් දෙමළ සන්ධානයේ යෝජනා, මිලේනියම් චැලේන්ජ් වගේ ගිවිසුම් නිසා තමයි ජනතාව ඡන්දය දුන්නේ. ඒවා පෙන්නුව විදිහටයි ඡන්දය දුන්නේ. ජනාධිපති තේරුම් ගන්න ඕනේ සිංහල ජනතාවගේ ඡන්දෙන් තේරැණ කෙනෙක් මම දැන් මම සියලු ජනතාව වෙනුවෙන් වැඩ කරනවද නැද්ද කියලා. ඒක ජනාධිපතිගේ වැඩක්. ජනාධිපතිවරයට දැන් ක්‍රම දෙකක් තියෙනවා. එක තමයි එක ජන කොටසකගේ නායකයා වීම අනෙක ඡන්දය නොදුන් අයත් ඇතුළුව සියලු දෙනාගේම නායකයා වෙනවද කියන එක. දැන් මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඡන්දය දුන්නේ නෑ. හැබැයි මම එතුමා මේ රටේ ජනාධිපති විදිහට පිළිගන්න ඕනේ. එතුමත් මාව රටේ පුරවැසියෙක් විදිහට පිළිගන්න ඕනේ. දැන් ඔහුගේ රටේ පුරවැසියෙක් මම. මොකද මම කටපුරා කියන්න ඕනේ මේ මගේ රටේ ජනාධිපති කියලා.

ඔහු ඒ කාරණය ප්‍රසිද්ධියේ කිව්වා?

ඒක භාවිතයේ හැටියට ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි ඉතිං...

අලුත් ජනාධිපතිවරයාගේ ආරම්භය ගැන බොහෝ දෙනා කතාවෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අදහස මොකක්ද ඒ ගැන?

අපි හොඳදේට හොඳ කියන්නත් නරකදේට නරක කියන්නත් ලෝබ වෙන්නේ නෑ. කුහක වෙන්නෙත් නෑ. ජනාධිපතිතුමා හොඳ ප්‍රවේශයක් ගත්තා ආරම්භයේ. ඒක හොඳයි. ඔය ජනාධිපති අගමැතිගේ රූප වෙනුවට රාජ්‍ය ලාංජන භාවිතා කිරීම. හොඳ යෝජනාවක්. විශේෂයෙන් ගම්මිරිස්, කරුංකා, කුරුඳු වගේ කුළුබඩු ප්‍රති අපනයනය කිරීමේදී තිබුණ නීති ලිහිල් කිරීම හොඳයි. වැට් බදු අඩුකිරීම වාහන පාවිච්චිය ගැන තීරණයක් අරන් තියෙනවා. රජයේ ආයතන රජයේ ස්ථානවලම පවත්වාගෙන යන්න ඕනේ. ඒවා හොඳයි. ඒවා දිගටම ක්‍රියාත්මක කරන්න ධෛර්යය ලැබෙන්නත් ඕනේ ශක්තිය තියෙන්නත් ඕනේ. හැබැයි ඒ වගේම ජනතාව බලාපොරොත්තු වුණ විශාල ආර්ථික ප්‍රතිසංස්කරණ රටට අවශ්‍යයි. විශාල ණය බරක් තියෙනවා. ඒ ණයයි පොලියයි ගෙවන්න ඕනේ. වැට් බදු අඩු කලාම රුපියල් බිලියන 480 ගාණක පාඩුවක් රජයට සිද්ධ වෙනවා. ඒ බර තැලෙන පොඩි වෙන ජනතාවට බරක් නොවෙන්න ඕනේ. ඒකට සැලසුම් පෙන්නන්න ඕනේ. විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් දානවා කිව්වා තවම අවිද්‍යාත්මකයි. විෂයයන්, ආයතන බෙදීමේ ගැටලු තියෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ආරම්භයේ පෙන්වන සලකුණු හොඳ නෑ. ඒ ගැන ජනතාව තැති ගැන්මකින් ඉන්නේ. ඒවා වෙනස් කරලා රට හොඳ තත්ත්වයකට ගෙනියන්න හැකි වෙන්න ඕනේ. ඒ තැනදී අපි ඉන්න මතය තමයි හොඳ දේ හොඳයි නරක දේ නරකයි. හරි දේට අපි සහාය දෙනවා. වැරදි දේ විවේචනය කරනවා.

ඔහු වෙනුවෙන් සහාය දුන් අය අලුත් ප්‍රචාරයක් අරන් යනවා. ඊළඟ සැරේට අලුත් ඉගෙන ගත්ත අය පාර්ලිමේන්තු අරන් එන්න කියලා. විශේෂයෙන් වැඩ කරන්න පුළුවන් අය. කොහොමද ඒක වෙන්න ඕනේ?

ජනතාවට පුළුවන් තෝරගන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තය වෙනුවෙන් වැඩකරන කණ්ඩායමක් ඇතුළට ගෙනියනවද? නැත්තන් රටට වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් අරගෙන යනවද කියලා. හැබැයි අපි එක දෙයක් දන්නවා ආණ්ඩු බලය අසීමිතව ලබා දුන්න මොහොතක රටට සෙතක් වෙලා නෑ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ ශක්තිමත් විපක්ෂයේ කාර්යභාරයත් එක්ක. අපි හිතන්නේ නෑ එක්සත් ජාතික පක්ෂයට ශක්‍තිමත් විපක්ෂයක කාර්යභාරය කරන්න පුළුවන් කියලා. දුර්වල වැනෙන, සල්ලි වලට විකිණෙන, 2/3 හදන්න බැරිවුණාම දෑත් ශක්තිමත් කරන්න පනින විපක්ෂයක් වැඩක් නෑ. දුර්වල විපක්ෂයක් වෙනුවට ශක්තිමත් විපක්ෂයකුත් ඕනේ රටට. ආණ්ඩුවේ හරි වැරදි පෙන්නන්න විපක්ෂයක් ඕනේ. පහුගිය කාලේ වැඩිම විවේචනය තිබ්බේ පාර්ලිමේන්තුවට. ඒ නිසා දැන් ජනතාවට තියෙනවා ශක්තිමත් විපක්ෂයක් හදන්න අයිතියක්.

ඔබ කෝප් කමිටුවේ හිටිය සභාපති. ඔබ විසින් බැඳුම්කර වංචාවට අදාළ වෝහාරික වාර්තාව ඉදිරිපත් කරන්න සූදානම් වෙද්දී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල්තිබ්බා කියලා. මොකක්ද මේ අතර තියෙන සම්බන්ධය?

මට නම් යට ගහන දෙයක් පේන්නේ නෑ. මොකද මගෙන් අහලා වාරේ අවසන් කළෙත් නෑ. මම එතුමගෙන් අහලා කාරක සභාව දාගත්තෙත් නෑ. මට වාර්තාව ලැබුණේ නොවැම්බර් 27 මට කාරක සභාවට ඉදිරිපත් කරන්න පුළුවන් දිනය තමයි දෙසැම්බර් 03. සමාන්‍යයෙන් පාර්ලිමේන්තුව රැස්වන දිනය. ඒ නිසා ළඟම දිනය දාගත්‍තා. මම දැනන් හිටියේ නෑ වාරේ අවසන් කරනවා කියලා. ඒ නිසා ඉදිරිපත් කරන්න බැරිවුණා. ආයේ කාරක සභාවක් පත්කරලා, සභාපති කෙනෙක් පත්කළොත් පුළුවන් වාර්තාව ඉදිරිපත් කරන්න.

ඇතැම් දේශපාලඥයන් කියනවා මේක යටගහන්න හදන උත්සහයක් කියලා. එහෙම යට ගහන්න පුළුවන්ද වාර්තාව?

එහෙම බෑ යට ගහන්න. කාරක සභාව පත්කරලා කරගෙන ගියොත් යට ගහන්න බෑ. පාර්ලිමේන්තුව රැස්වෙන්නේ නැතිව කාරක සභාව පත්කරගන්නේ නැතිව තිබ්බොත් යට ගහන්න පුළුවන්. මොකද මේ පාර්ලිමේන්තුව විසුරුවනවනේ.

අර්බුද ගොඩක් මැද එජාපයේ  විපක්ෂනායක ප්‍රශ්නය විසඳුණා. ඔබ හිතනවද මේ නව නායකත්වයත් එක්ක විපක්ෂයේ භුමිකාව එජාපයෙන් ඉටුවෙයි කියලා?

ආණ්ඩු බලය තියාන ආණ්ඩුවේ වැඩේවත් නොකළ එයාලා විපක්ෂයේ වැඩේ කරන්නේ කොහෙද...

ජනතා විමුක්ති පෙරමුණ සීනුවෙන් ඉල්ලුවා නම් හරි කියලා ගොඩක් දෙනෙක් කියනවා. දැන් ඉස්සරහට එනවා මහ මැතිවරණය. මොකෙන්ද එදාට ඔබලා ජනතාව ඉදිරියට එන්නේ?

නෑ. ඉදිරි මහ මැතිවරණයත් තරග කරන්නේ ජාතික ජන බලවේගය නමින් මාලිමාව ලාංජනයෙන්. අපි හිතනව අපේ රටේ ජනතාවට ජනතා විමුක්ති පෙරමුණ විතරක් නෙමෙයි. මේ රටට පුළුල් බලවේගයක් අවශ්‍යයි කියලා. මේ සිද්ධවෙන දේවල් එක්ක බලද්දී පුළුල් බලවේගයක් අවශ්‍යයි කියන අදහස අපිට පේනවා. ඒ නිසා නිශ්චිතවම මාලිමාව ලකුණෙන් එන්නේ.

ජනාධිපතිවරණයත් එක්ක පක්ෂවල නායකත්වය සම්බන්ධයෙන් යම් යම් වෙනස්වීම් ඉල්ලමින් පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රශ්න ඇවිත්. ජනතා විමුක්ති පෙරමුණට එහෙම අවුල් නැද්ද?

අපට එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. අනුර කුමාර දිසානායක සහෝදරයා අපේ නායකයා. මේ ප්‍රතිපල නායකයෙක් වෙනස් කරන්න දුන්න ප්‍රතිපල නෙමෙයි. ඒ නිසා අපේ කිසිම නායකත්ව ප්‍රශ්නයක් නෑ.

ගිය ආණ්ඩුවේ නියෝග මත වැඩකරපු පොලිස් නිලධාරීන් ගොඩක් මේ ආණ්ඩුවේදී අමාරුවේ වැටිලා. සමහර අය පැනල ගිහින්. ඔබලත් හිටියා පහුගිය ආණ්ඩුව එක්ක දුෂණ, මර්දන වැඩවල. ඇත්තටම දේශපාලන පලිගැනීම් සිදුකළාද?

එහෙම පක්ෂග්‍රාහීව වැඩකරලා නම් ඒ ගැන හොයලා බලලා පරීක්ෂණ කරලා ඒ නිලධාරියාට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ඕනේ නීතියෙන්. එහෙම නැතිව වෙන ක්‍රමයක් නෑ. නැතුව නඩු කල්දාල, නඩු විසික් කරලා ප්‍රශ්න විසඳන ක්‍රමයක් නෑ. දැන් මේ ආණ්ඩුවෙ ඉන්න මැති ඇමතිවරුන්ට නඩු තියෙනවා නම් ඒ නඩුවලට ඉදිරිපත් වෙලා ඒවා හරි හෝ වැරදි, නිලධාරීන් වැරදි කියන්නත් ඔප්පු කරන්න ඕනේ නඩුවෙන්ම තමයි. වෙන ක්‍රමයක් නෑ. සුදුවෑන් එවලා වැඩකුත් නෑ රටින් පැනලා ගිහින් වැඩකුත් නෑ. රජය හිතන්න ඕනේ තමන්ගේ රජයේ නිලධාරීන් බයේ පැනලා යනවා නම් ඒ රජයට තියෙන බය. ඒක රජයේ ප්‍රශ්නයක්. රජය විශ්වාසය ගොඩනගා ගන්න ඕනේ මොන ප්‍රශ්න තිබ්බත් නිලධාරීන්ගෙන් පලි ගන්නේ නෑ කියලා.

අවසාන වශයෙන් අහන්නේ ඊළඟට එන්නේ මහ මැතිවරණයක්. එතැනදී ඔබලා ජනතාව ඉදිරියට එන්නෙ මොන වගේද?

මම ඉස්සෙල්ලා කිව්ව වගේ ආණ්ඩුවක් විතරක් නෙමෙයි ශක්තිමත් විපක්ෂයක් ඕනේ. ඒකට දුර්වල විපක්ෂයක් බෑ. අපි හයදෙනා පාර්ලිමේන්තුවේදී අපේ කාර්ය අපි නිවැරදිව ඉෂ්ට කළා. ඔබ කෝප් කමිටුව ගැන ඇහුවෙත් ඒ නිසා. ජනතාවට විශ්වසයක් තියෙනවා නම් අපි ගැන ජනතාව තීන්දු කරයි.

ඒ සඳහා නව මුහුණු ඉදිරිපත් කරනවද?

නව මුහුණු අවශ්‍ය නෑ මේ තියෙන මුහුණු හොඳටම ඇති.

 ගයාන් ගාල්ලගේ