2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

කඩුල්ල පැනගැනීම

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 202

ජනාධිපතිවරණය දැන් යටගිය දවසේ මතකයට එක්වෙමින් තිබේ. ජයග්‍රාහකයා වූ ගෝඨාභය වැඩි කල් අරින්නේ නැතුවම වැඩට බැසීම එයට හේතුවයි. ඔහු මේ වනවිට තම ප්‍රථම විදෙස් ගමනද අවසන් කර තිබේ. නිකම්ම නොව සාර්ථක පියවර ගණනාවක්ම ඉදිරියට තබමිනි. ඔහු ඉන්දීය අගමැති මෝදි සමඟ දැඩි සබඳතාවකට මුල පිරුවේය. ගෝඨාභය පුංචි කැබිනට්ටුවක් සමඟ පමණක් නොව පුංචි දූත පිරිසක් සමඟද කටයුතු කරමින් රාජ්‍ය නිල සංචාර සාර්ථක කරගත හැකි බවද රටට පෙන්වා දුන්නේය. මේ තත්ත්වය සමහරවිට දැනට විපක්ෂයට තල්ලු වී සිටින යූ.එන්.පී. ප්‍රමුඛ හිටපු ආණ්ඩුවේ හිටපු මැති ඇමැතින්ලාට පමණක් නොව ඊට පෙර සිටි ආණ්ඩුවේ හිටපු ඇමැතිලාටද අදහා ගැනීමට අමාරු දෙයක් වීමද බලාපොරොත්තු විය යුතුය.

මෙයට පෙර ජනාධිපතිවරණයක් ඉවර වීමෙන් පසුව අප දැක තිබුණේ කැබිනට් පදවිවලට පොරකන මහ පිරිසකි. ඊළඟට අලුතින්ම යාන වාහනවල සිහින දකින ඇමැතිලාය. රට යාමට සැරසෙන අලුත් ජනාධිපතිගේ පරිවාර සේනාව වශයෙන් යාමට ඇහැ ගහගෙන සිටින මන්ත්‍රීවරු ඇමැතිවරු සහ නිලධාරියෝය. එහෙත් දැන් ගෝඨාභයගේ පාලනයේ පළමු සති තුන ඉක්මවා යන්නේ එයට හාත්පසින්ම වෙනස් ආකාරයටය. එය පිටතින් පෙනෙන තරම් සරල, සුන්දර හැසිරීමක් නොවේ. ජනාධිපතිවරයා අලුතින් සිතන අලුත් අයකු වුණත් එතැනින් පහළට එන පිරිස තවම පරණ වීම ඊට හේතුවය. ඊළඟ මහ මැතිවරණය පැවැත්වෙන තුරු හෝ ආණ්ඩුව මේ මට්ටමින් කිසියම් පාලනයක් ඇතිව පවත්වාගෙන යමින් රටේ ජනතාවගේ තෘප්තියට හේතුවන ආකාරයට වැඩ කළ හැකි නම් එය ගෝඨාභය ජනාධිපතිවරණයේදී ලැබූ ජය රටේම විශාල ජයග්‍රහණයක් බවට පෙරළා ගැනීමක් වනු ඇත. 

එය එසේ වුවද රජයේ ආයතන පාලනයට තවම නිලධාරී මණ්ඩල පත්කර නැත. ඒ තනතුරැ තෝරාගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙන බැවින් එයට යම් කාලයක් ගතවන බව සැබෑය. එහෙත් බොහොමයක් ආයතන තවමත් පවතින්නේ හිසක් නැති තත්ත්වයෙනි. ආයතන කිහිපයකට පමණක් ප්‍රධානීන් පත් කිරීම පමණක් ප්‍රමාණවත් නැත. නිසි ආකාරයට අධ්‍යක්ෂ මණ්ඩල පත්කරන තුරු තාවකාලිකව නිසි බලධාරීන් හෝ ඇතැම් ආයතනවලට පත් කිරීම අවශ්‍ය වනු ඇත. භාණ්ඩාගාරයේ නිලධාරීන් පිරිසක් ඇතැම් ආයතනවලට පත්කර තිබෙන බවද සඳහන් වෙයි. එසේ නැතහොත් මේ ආයතන ඇතැම් බලවතුන්ගේ ස්වයං පාලනයට යටත් වීමටද ඉඩ තිබේ.

එසේම අමාත්‍යවරුන්ගේ විෂයන් සහ අමාත්‍යංශවලට අයත් ආයතනද සඳහන් කරමින් පළකළ යුතු ගැසට්ටුවද තවමත් නිකුත් කර නැත. ඒ සම්බන්ධව කටයුතු භාරව ක්‍රියාකරන ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ඉන්දියාවට ගිය දූත පිරිසේ සාමාජිකයකු වී සිටීමද මේ ප්‍රමාදයට එක් හේතුවක් විය හැකිය. එහෙත් අමාත්‍යවරැන් 15 දෙනකුට සීමා වී තිබෙන කැබිනට් එකෙන් ජනාධිපතිවරයා බලාපොරොත්තු වන දේ ඉටුකරවා ගැනීමට නම් විෂයන් සහ ආයතන සඳහන් ගැසට් එක ඉක්මණින් පිට කිරීම අවශ්‍ය වෙයි. මේ කිසිවක් නැතිව ජනාධිතිවරයා විසින් ප්‍රකාශයට පත්කර ඇති බදු සහන ජනතාවට මහත් සහනයක් අත්කර දී තිබෙන බව සත්‍යයකි. එහෙත් එම සහන නිසි පරිදි ජනතාව අතරට ගලායන්නේ දැයි සොයාබැලීමට අදාළ අමාත්‍යංශ හොඳින් ක්‍රියාත්මක වීමද අවශ්‍යය.

බදු සහන ලබාදීමත් නගර සහ මංමාවත් පිරිසුදු කිරීමත් නව පාලනය යටතේ ජනතාවගේ ඇඟට දැනෙන ඇහැට පෙනෙන කාර්යයන් දෙකක් බව සැබෑය. එහෙත් සැබෑ ගැටලුව ඊට වඩා බරපතළය. ඒ කඩා වැටී තිබෙන ආර්ථිකයයි. එක තැන පල්වෙන ආර්ථික වර්ධනයයි. බදු සහන ලබාදීමෙන් අහිමි වෙන ආදායම සොයාගැනීම ගෝඨාභය රජයේ පළමු අභියෝගය වන්නේ එබැවිනි. එහි පළමු පියවරක් වශයෙන් ඉන්දියාවේ සාර්ථක සංචාරය රටට ආර්ථික සම්පතක් ලබාදීම දක්වා පුළුල් කර ගැනීමට ගෝඨාභය සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලැබෙන ආධාර ඩොලර් කෝටි 45කි. අමෙරිකාවේ එම්.සී.සී. ගිවිසුමෙන් ලැබිමට නියමිත මුදල වූයේ ඩොලර් කෝටි 48කි. එහෙත් එය ලබාගැනීමට නම් රජය ඇමෙරිකාව සමඟ ගිවිසුමකට එළඹිය යුතුය. ඒ සඳහා තීන්දුවක් ගැනීමට තව ඇත්තේ සතියක කාලයක් පමණි. එය ණය ආධාර මුදලක් නොව ආපසු නොගෙවිය යුතු ආධාර ප්‍රදානයක් බවත් සැලකිය යුතු කරැණකි. 

එම ගිවිසුම පිළිබඳ නිසි ලෙස අධ්‍යයන කොට ලංකාවට අහිතකර වගන්ති තිබේ නම් ඒවා ඉවත්කර ගැනීම සඳහා මේ වනවිට පියවර ගෙන තිබිණි නම් වඩා යහපත්ය. අමෙරිකාව වැනි බලවත් රටක් සමඟ කටයුතු කළ යුත්තේ සීරු මාරුවෙන් වුවත් ජාත්‍යන්තර දේශපාලනයේ යථාර්ථය වටහාගෙන ක්‍රියාකිරීම වඩාත් ප්‍රමුඛ කාරණාවය. අමෙරිකාව සමඟ සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලින් රටට ලැබෙන ආදායම වර්ධනය කර ගැනීමට මිස එය අහිමි වන තැනට වැඩ කිරීම උචිත නොවන බව පෙන්වන අතීත උදාහරණ ඕනෑ තරම් තිබේ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ යළිත් හුදෙකලා විය යුතු නැත.

මෙය නිසැකවම රටේ විදේශ ප්‍රතිපත්තිය සමඟ එකට ගැටගැසුණු ක්‍රියාවලියකි. රටකට මහජන ඡන්දයෙන් අලුත් නායකයකු පත්කර ගැනීමෙන් පසුව එම නායකයා ජාත්‍යන්තරය සමඟ කටයුතු කරන ආකාරය දෙස ලොවේ බොහෝ රටවල් අවධානය යොමුකරන බව යථාර්ථයයි. මුලින්ම ගනු ලබන පියවර, සිදුකරන ප්‍රකාශ සහ විදේශ සබඳතා පැවැත්වීම ඔවුන්ගේ ප්‍රබල නිරීක්ෂණයට ලක්වෙයි. චීනය මෙහිදී පෙන්වා දිය හැකි හොඳම උදාහරණයකි.

ගෝඨාභය තම ප්‍රථම විදේශ සංචාරය සඳහා චීනය තෝරාගනු ඇතැයි සමහරුන්ගේ අදහස වී තිබිණි. නමුත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් සම්ප්‍රදායික වශයෙන් පළමු නිල විදෙස් සංචාරය සඳහා තෝරාගන්නේ ඉන්දියාවය. මෙවර විශේෂත්වය වූයේ ගෝඨාභය ජය ලබා දිව්රැම් දීමත් සමඟ ඉන්දියාව අගමැති මෝදි තම විදේශ ඇමැති ජය ශංකර් ශ්‍රි ලංකාවට එවීමය. ඔහු පැමිණ නව ජනපතිට සුබපැතුම් එක්කර ඉන්දියාවට පැමිණෙන ලෙසට නිල වශයෙන් ඇරියුම් කළේය. චීනය ජනාධිපති ෂී ජිං පිං තම විශේෂ නියෝජිත වූ ජියන්හාඕ ශ්‍රී ලංකාවට එවූ අතර ඔහුද ගෝඨාභය ඇතුළු රජය සමීපව කටයුතු කිරීම ඇරුඹුවේය.

එසේ වුවද හම්බන්තොට වරාය ගනුදෙනුව සම්බන්ධයෙන් ගෝඨාභය මුලි පළකළ අදහස් දැක්වීම චීනයේ නොසතුටට හේතු වී තිබෙන බව පැහැදිලිය. චින ජනපතිගේ විශේෂ නියෝජිතයා ගෝඨාභය සමඟ පැවැති සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර තිබිණි. එසේ වුවද දෙරට අතර පවතින මිත්‍ර සබඳතා ශක්තිමත් වන ආකාරයට දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව දිගටම පවත්වාගෙන යාමටද එහිදී එකඟත්වයට පැමිණ තිබේ.

පාකිස්තානයද ඒ සමඟ තම විදේශ ඇමැති ෂා මෙහෙමුඩ් කුරේෂි ශ්‍රී ලංකාවට එවීය. පාකිස්තාන රජයේ සුභාශිංසන පිරිනැමූ ඔහු ගෝඨාභයට පාකිස්තානයට පැමිණෙන්නැයි ඇරියුම් කළේය. පසුගිය වසර 05 තුළ පැවති ආණ්ඩුව පාකිස්තානය සමඟ පැවැත්වූයේ යහපත් සබඳතාවක් නොවේ. කුරේෂි තම සාකච්ඡාවලදී පළකළ අදහස් අනුව කියැවුණේ පසුගිය වසර 05 ඇතුළත කඩාවැටුණු දෙරට අතර මිත්‍ර සබඳතා යළි ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යාමට පාකිස්තානය බලාපොරාත්තුවෙන් සිටින බවය. මේ සමඟ ජපානයට පැමිණෙන්නැයි එරට අගමැති ෂින්සෝ අබේද ගෝඨාභයගේ රජයට නිල ආරාධනයක් එවා තිබේ. තමන් ජාත්‍යන්තරය සමඟ යහපත් සබඳතා පැවැත්වූ බවට උදම් ඇනූ  සිරිසේන - වික්‍රමසිංහ පාලනයට මෙය කදිම පාඩමක් බව පැහැදිලිය. ගෝලීය දේශපාලනය තුළ එක බල කඳවුරකට වඩාත් නැඹුරැවක් පෙන්වීමේ අවාසිය මේ කතාවේ හරයයි.

ගෝඨාභයගේ ආණ්ඩුව මෙලෙස පැහැදිලි ප්‍රවේශයකට එළඹෙමින් සිටියදී යූ.එන්.පී.ය ප්‍රමුඛ එජාපෙ බරපතළ ගැටලුවලට මුහුණ දෙමින් සිටී. රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් යා යුතු බවට ප්‍රකාශ කරන මන්ත්‍රී පිරිසගේ හඬ දැන් වඩාත් ප්‍රබල ලෙසින් පක්ෂය තුළට කා වැදී තිබේ. විපක්ෂනායක පදවිය සහ පක්ෂ නායකත්වය යන දෙකම බේරාගෙන කටයුතු කිරීම අපහසු බව රනිල් වික්‍රමසිංහ තේරැම් ගෙන ඇති බව පසුගිය බ්‍රහස්පතින්දා (05) පැවැති තීරණාත්මක පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී පෙනී ගියේය. එහිදී විපක්ෂනායකකම සජිත්ට ලබාදීමට තීරණය කළ බව පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ගේ අත්සනින් එදිනම සවස නිකුත් කළ නිවේදනයකින් කියැවිණි. එම ලිපිය නිකුත් කළ වේගයට අනුව එය කල්තබාම සකස් කර තිබූ ලිපියක්දැයි යන සැකයද මතු වී තිබේ. කෙසේ වුවද පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පවතින්නේ අපැහැදිලි තත්ත්වයකි. කරු ජයසූරිය හෝ සජිත් ප්‍රේමදාස හෝ පක්ෂ නායකයා බවට පත් කෙරෙන්නේ නම් ඒ සඳහා පක්ෂ සමුළුවක් කැඳවා යෝජනා සම්මතයක් කරගත යුතු වෙයි. ඊට පෙර එය පක්ෂයේ කෘත්‍යාධිකාරී කමිටුවෙන් ‍එම නම අනුමත කළ යුතුය. කෙසේ වුවද කෘත්‍යාධිකාරී කමිටුවේ බහුතරය රනිල් වික්‍රමසිංහ විසින් පත්කරනු ලැබූ පිරිසකි.

පක්ෂයේ පරාජයට හේතු වූ කරුණු පිළිබඳව පසුගිය සඳුදා (02) පැවැති යූ.එන්.පී. නිල නොවන හමුවකදී සාකච්ඡා වී තිබිණි. එහිදී ප්‍රකාශ වූයේ සජිත්ට ජනාධිපතිවරණයට  නාමයෝජනා ලබාදීමේදී ඔහුට ජය ලබාගත හැකි බවට ඉදිරිපත් කළ සමීක්ෂණ වාර්තාවක් සැලකිල්ලට ගත් බවය. එක් මන්ත්‍රීවරයකු විසින් පක්ෂ නායකත්වය නොමඟ යවමින් ඉදිරිපත් කර තිබූ එම බොරු සමීක්ෂණ වාර්තාව මත පදනම් වී සජිත්ට අපේක්ෂකත්වය ලබාදුන් බවත් නාමයෝජනා ලබාදීමෙන් පසුව සිදුකෙරුණු සමීක්ෂණවලදී ඔහුට ජය ලබාගත නොහැකි යැයි හෙළි වූ බවත් එහිදී කියැවිණි. ඡන්දයට අරමුදල් සපයාගැනීමද අඩාල වූයේ ඒ හේතුවෙන් බවද ප්‍රකාශ විය. මේ වනවිට රැපියල් කෝටි 90ක මුදලක් හිඟ හිටවා ඇති බවද දැනගන්නට තිබේ.

ඉහත කරැණු සත්‍ය නම් යූ.එන්.පී.ය පරාජය වීම ගැන පුදුම වන්නට දෙයක් නැත. සජිත්ට නාමයෝජනාව ලබාදී තිබෙන්නේ පක්ෂයේ මන්ත්‍රීන් සහ පාක්ෂිකයන්ගේ ඉල්ලීම නිසා නොව එකම මන්ත්‍රීවරයකුගේ සමීක්ෂණ වාර්තාවක් මත පදනම් වෙමිනි. මහින්දලා විපක්ෂයේ සිටිමින් අලුතින්ම පක්ෂයක් ගොඩනගාගෙන ජනතාව විසින් ඉල්ලන ලද අපේක්ෂකයා තෝරාගෙන වසරක පමණ කාලයක් තිස්සේ මුළුරටම ආවරණය වන පරිදි සමීක්ෂණ සිදුකර ප්‍රබල යාන්ත්‍රණයක් දියත් කරන විට ආණ්ඩුවද අතේ තබාගෙන යූ.එන්.පී.ය ඒ මුළු කාලය පුරාම සිදුකර ඇත්තේ එක මන්ත්‍රීවරයකුගේ සමීක්ෂණ වාර්තාවක් මත පදනම් වෙමින් තම අපේක්ෂකයා තෝරා ගැනීමට කටයුතු කිරීමය.  එය පැහැදිලිවම පොට වරද්දා ගැනීමකි. මංමුලා වීමකි. මීට කාලයකට පෙර මෙරට ශක්තිමත්ම පක්ෂ යාන්ත්‍රණය තිබූ බවට උදම් ඇනූ යූ.එන්.පී.ය ඉතා වැදගත් ජනාධිපතිවරණයේදී එක මන්ත්‍රීවරයකුගේ සමීක්ෂණ වාර්තාවක් මත රුඳෙමින් තීරණ ගෙන කෝටි 90ක්ද අහිමිකර ගන්නා තත්ත්වයට ඇදවැටී තිබීම ගැන වෙනම සමීක්ෂණයක් කළ යුතුය. තත්ත්වය මෙසේ නම් යූ.එන්.පී.යට ජයගැනීමට නොහැකි වීම ගැන පුදුම විය යුතු නැත.

- ශශීන්ද්‍ර

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00