2017 මාර්තු 18 වන සෙනසුරාදා

බය හිතෙන සිග්නල්

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 180

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය මේ රටේ ප්‍රධාන මැතිවරණයක් නොවේ. එසේ වුවත් නීතිඥ සංගම් නිලවරණය සාමාන්‍යයෙන් සැලකෙන්නේ පවතින පාලනයේ සංවේදී මිනුම් දණ්ඩක් හැටියටය. විශේෂයෙන් මහා ඡන්දයක් කිට්ටු කාලයේ පැවැත්වෙන නිලවරණයේ සභාපති ධූරයට තරග කරන නීතිවේදීන් කෙරේ ප්‍රබල දේශපාලන පක්ෂවල ඇල්ම, බැල්ම වැටීම ස්වාභාවිකය. පසුගිය අඟහරුවාදා (14) පැවැති නිලවරණය මහඡන්දයක් ආසන්නයේ නොව පැවැත්විය යුතු ඡන්ද පවා කල්දමා ඇති තත්ත්වයක් තුළ පැවැත්වුණද ඒ තුළට කාටත් නොදැනීම දේශපාලන උණුසුම රිංගා තිබුණේය. ඒ ගැන විමසන්නට පෙර ආණ්ඩුවේ කෙටි ඉතිහාසය දෙස හැරී බැලීමක් කිරීම අවශ්‍යය.

යහපාලන ආණ්ඩුව පිහිටැවීමට මුල්වූ වෙඩිමුර කීපයකම හඬ 2012 වසරෙ පටන්ම අසන්නට ලැබිණි. ඒ වනවිට කවදාවක් වෙනස් නොවනු ඇතැයි මතයක් තිබූ රාජපක්ෂ පාලනයේ ඉදිරිපෙළ සිටි සමහරු තරමක් විඩාබර ගතියෙන් සිටිනු දැකිය හැකි විය. කැබිනට් එක ඇතුළේ බහින් බස් වීම් වැඩි විය. සමහරැ කිසිවක් නොකියා දැඩි නිහඬ චරිතවලට කොටුවී සිටියහ. යූ.එන්.පී.යද නිදිගැට හැර වටපිට බලා ලැබෙන ඉඩකින් ඉදිරියට පනින්නට මාන බලමින් සිටියේය. 
ඌව පළාත් සභා ඒ ඡන්දය 2014දී ආවේ ඒ වටපිටාව යටතේය. එයින් යූ.එන්.පී. ජය නොගත්තත් රාජපක්ෂ පාලනයට දැඩි අභියෝගයක් එල්ල කිරීමට ඔවුන්ට පුළුවන් විය. ආණ්ඩු පෙරළියක වෙනස රටට දැනෙන්නට එම ප්‍රතිඵලය ඉවහල් විය.
කෙසේ වුවත් ඊට පෙර 2013 දී තවත් වැදගත් සිදුවීමක් විය. ඒ 2013 වසරේ පැවැති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණයයි. සාමාන්‍යයෙන් නීතිඥ සංගමයට අලුත් සභාපතිවරයකු තෝරා ගනු ලබන්නේ වසර දෙකක ධූර කාලයටය. වාර්ෂිකව මහ සභා රැස්වීම පැවැත් වුණත් වරක් පත්වන සභාපතිවරයා වසර දෙකක කාලයක් ධුරය දැරීම සම්ප්‍රදායයි. එහෙත් 2012 වසරේදී නීතිඥ සංගමයේ සභාපති ධූරයට තේරී පත් වූ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා වසරකට පසුව ධූරයට සමුදීමට හදිසියේම තීරණය කළේය. 2013 පෙබරවාරි මාසයේ 20 වැනිදා පැවැති නිලවරණය එහි ප්‍රතිඵලය විය.

මෙකී නිලවරණය පැවැත්වූයේ අධිකරණයේ මහත් අර්බුදකාරී අවස්ථාවකදීය. ඒ වනවිට හිටපු අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝගයක් හරහා ප්‍රබල බලපෑමකින් ඉවත් කරනු ලැබ සිටියාය. නීතිමය ක්‍රියාදාමය කුමක් වුවද මේ සිද්ධිය රටේම අධිකරණ ක්‍ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කර තිබුණේය. එය අධිකරණයේ ඇතැමුන් දුටුවේ විධායකය සහ අධිකරණය ඍජුවම එකිනෙක ගැටුණු අධිකරණයේ ස්වාධීනත්වය කෙළෙසූ අවස්ථාවක් වශයෙනි. විධායක ජනාධිපතිවරයකු විසින් රටේ අග්‍රවිනිශ්චයකාර ධූරයට දෝෂාභියෝගයක් ගෙන ආ හෝ ගෙන ඒමට සූදානම් වූ දෙවැනි අවස්ථාව එය විය. විජයදාස රාජපක්ෂ නීතිඥ සංගමයේ සභාපති ධූරයෙන් අකාලයේ ඉවත්වීමට එහි කිසියම් බලපෑමක් තිබුණාදැයි එකඑල්ලේ කීම අපහසු වූවද එවකට යූ.එන්.පී. මන්ත්‍රීවරයකු වූ ඔහුගේ නිවෙසේ බිත්තියට වෙඩි තැබීමේ සිදුවීමත් සමඟ එයට විවිධ අර්ථකථන සැපැයුණේය. 2013 ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැතියේ මේ පසුබිම යටතේය.

එහි නිලවරණයේදී අපේක්ෂයන් තුන්දෙනෙක් සභාපති ධූරයට තරග වදින බව ප්‍රකාශයට පත්විය. ඉන් එක් අයකු වන තංගරාජා හැම නිලවරණයකම තරගකරුවකු වීම නිසා ඔහුගෙන් නිලවරණයට කිසිදු බලපෑමක් නොතිබිණි. ඒ නිසා නියම තරගය පැවැත්වුණේ උපුල් ජයසූරිය සහ ටිරන්ත වලලියැද්ද නීතිඥවරුන් දෙදෙනා අතරය. එහිදී පැහැදිලිවම එවකට විපක්ෂයේ සිටි යූ.එන්.පි.යේ සහාය උපුල් ජයසූරියට ලැබුණු අතර ටිරන්ත වලලියැද්ද මහතාට මහින්ද රාජපක්ෂ රජයේ පූර්ණ ආශිර්වාදය හිමි විය. නිලවරණයට ටික දිනකට පෙර රජය මගින් පැවැත් වූ එහෙත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් “බෝයි කොට්* කරන ලද අධිකරණ උත්සවයකට ටිරන්ත වලලියැද්ද මහතා සහභාගී වීම මේ බෙදීම හොඳින්ම පෙන්නුම් කළ සිදුවීමක් විය.

නිලවරණයේ කැම්පේන් එක ආරම්භයට පෙර උපුල් ජයසූරිය රටේ අධිකරණ පද්ධතිය තුළ ජනප්‍රිය චරිතයක් නොවීය. නීතිවේදීන් අතර විශේෂයෙන් කැපී පෙනුණේද නැත. එහෙත් ඔහු තම කැම්පේන් එක ගෙන ගියේ අගවිනිසුරුවරියගේ ඉවත් කිරීමත් සමඟ ගිලිහී යමින් තිබෙන අධිකරණයේ ස්වාධීනත්වය යළි ස්ථාපිත කළ යුතුය යන සටන් පාඨය ඉදිරියට දමාගෙනය. ටිරන්ත වලලියැද්ද රජය සමඟ එක්ව කටයුතු කිරීම අවශ්‍යය යන පදනමින් තම කැම්පේන් එක ගෙන ගියේය.
එදා පෙබරවාරි 20 වැනිදා නිලවරණ ප්‍රතිඵල නිකුත් වූයේ ශ්‍රී ලංකා නීතිඥ සංගම් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමිනි. එම ප්‍රතිඵලය වාර්තා කළ ශ්‍රී ලංකාවෙන් පිටත සිට ක්‍රියාත්මක වන එක් ප්‍රබල වෙබ් අඩවියක් කියා තිබුණේ නීතික්‍ෂේත්‍රය තුළ එතරම් ප්‍රබල හඬක් නොනැගූ එසේම ලොකු ජනප්‍රියත්වයක් නොතිබූ උපුල් ජයසූරිය ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණ ඉතිහාසයේ වාර්තා වූ ඉහළම වැඩි ඡන්ද සංඛ්‍යාව ලබා ගනිමින් රාජපක්ෂ පාලනයට අතුල් පහරක් දීමට සමත්ව සිටින බවය. එම වැඩි ඡන්ද සංඛ්‍යාව 1700කට අධික විය.

මේ නිලවරණයෙන් හරියටම වසර දෙකකට පසුව රාජපක්ෂ පාලනය අවසන් විය. උපුල් ජයසූරියගේ කැම්පේන් එකට සහාය දැක්වූ යූ.එන්.පී.ය ප්‍රමුඛත්වයෙන් යහපාලන ආණ්ඩුව බිහි වුණේය. ඉන්පසුව නව රජය යටතේ පැවැති නිලවරණයෙන් ජේෆ්රි අලගරත්නම් නිතරගයෙන් සභාපති ධූරයට පත්වූ අතර ඔහුගේ වසර දෙකක කාලය අවසන් වීමෙන් පසුව සභාපති ධූරය සඳහා නිලවරණය පැවැත්වූයේ පසුගිය 14 වැනිදාය. එහිදී වැඩි ඡන්ද 300කට අධික සංඛ්‍යාවකින් උදය රොහාන්ද සිල්වා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති වශයෙන් පත්විය. මෙවර ද සෑබෑ තරගයක් තිබුණේ දෙදෙනකු අතර පමණි. විපක්ෂයේ මහින්ද රාජපක්ෂ පාර්ශවයේ සහාය ලැබූ උදය රොහාන්ද සිල්වා සහ ආණ්ඩුවේ යූ.එන්.පී. පාර්ශවයේ සහාය ලැබූ අනුර මැද්දෙගොඩ නීතිඥවරැන් දෙදෙනා අතරය.

මෙහිදී අනුර මැද්දෙගොඩ වෙනුවෙන් ආණ්ඩුවේ යූ.එන්.පී. පාර්ශවයේ මැති ඇමැතින් දෙදෙනකු බැහැලාම වැඩ කළ බව අධිකරණ ක්‍ෂේත්‍රයේ තිරය පිටුපසින් වාර්තා වුණේය. ඔහු වෙනුවෙන් තවත් අය විවෘතවම කැම්පේන් කරනු පෙනෙන්නට තිබුණි. උදය රොහාන්ද සිල්වා වෙනුවෙන් මහින්ද රාජපක්ෂ පාර්ශවයේ සහාය ලැබුණු අතර මතුපිටින් ඒ බවක් දැකගන්නට තිබුණේ නැත. එහෙත් උදය රොහාන්ට සහාය දක්වන්නැයි යන පණිවුඩය මහින්ද පාර්ශවය විසින් නීතිඥ සංගමයේ තම හිතවත් සාමාජිකයන් අතර බෙදාහැර තිබුණේය. අවසානයේ උදය රොහාන් සභාපති පදවියට පත්විය. 

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය රටේ ජාතික දේශපාලන ක්‍රියාවලියට ඍජුව බලපෑමක් කරන බව කිසිවකුත් කියන්නේ නැත. එහෙම වුණත් මේ නිලවරණය ගැන අදහස් දැක්වූ දේශපාලන විචාරකයන් කීපදෙනකුම සඳහන් කළේ මෙවර නිලවරණයේ ප්‍රතිඵලය ලබාදෙන සංඥාව ආණ්ඩුව තේරැම් ගත යුතු බවය. 2013 නිලවරණ ප්‍රතිඵලය රාජපක්ෂ ආණ්ඩුවේ ඉදිරි ගමන් මඟ හැරෙන දිශාව පැහැදිලිව පෙන්නුම් කළ බව ඔවුන්ගේ මතයයි. ගෙවී ගිය වසර දෙක තුළදී පැවැති සමූපකාර ඡන්ද ප්‍රතිඵල ද දේශපාලන වශයෙන් එතරම් වැදගත් කමක් උසුලන්නේ නැති වුවත් ඒවායින්ද කිසියම් සංඥාවක් ලබාදුන් බව ඔවුන්ගේ අදහසය. පාඩම් ඉගෙන ගන්නවානම් ආණ්ඩුවට මේ සංඥා හොඳ පෙරනිමිති බව ඔවුන්ගේ මතයයි.
නීතිඥ සංගම් නිලවරණය පමණක් නොවේ. ඌවේ පළාත් සභාව තරග කරන්නට තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් අස්වී බදුල්ලට ගොස් යූ.එන්.පී.යට ආණ්ඩුවක් හදාගන්නට විශාල ජවයක් ලබාදුන් හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා අද පවසන කුරුණුද ආණ්ඩුව තම ගමන් මඟ පිළිබඳව යළිත් වරක් සිතා බැලිය යුතු බවට තවත් ප්‍රබල සංඥාවක් ලබාදෙයි. එදා සිංහයකුසේ බදුල්ලට ගිය හරීන් අද කියන්නේ තමාට රෙද්දක් ඇඳගෙන බදුල්ලට දැන් යා නොහැකි බවය. බදුල්ලට ගොස් තම කාර්යාලය ඇතුළට වී සිටියත් පාක්ෂිකයන් මුණගැසීමට නොයන බව කියන හරීන් එයින් එළියට බසින්නේ ඇඬූ කඳුළින් බවද කියයි. තමන් ඇමැති වන්නේ නමට පමණක් බවද ඔහු සඳහන් කරයි.

යහපාලන ආණ්ඩුව හැදීමට මුලින්ම මග සලකුණු තබා පාර එළිකර දුන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මෙවර නිලවරණ ප්‍රතිඵලත් ඌවෙන් ඇසෙන හරීන්ගේ හඬත් නොසලකා දිගටම කටයුතු කරගෙන යාමට ආණ්ඩුවට විශේෂයෙන් යූ.එන්.පී. පාර්ශවයට හැකියාවක් තිබෙනවාද යන්න පැවසීම නම් අපහසුය. මෙයටම යාවෙන තවත් ප්‍රකාශයක්ද පසුගියදා කර තිබුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ යූ.එන්.පී මන්ත්‍රීවරයකු වන තුෂාර ඉඳුනිල්ය. ඔහු කියා තිබුණේ මෙසේය.
“ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයකු හැටියට මටත් මේ ආණ්ඩුව එපා වෙලා තියෙන්නෙ. හවුලේ කැඳවත් එපා කියන කතාව වගේ තීන්දු තීරණ ගන්න කොට එක පාර්ශවයක් ගන්නා තීන්දුවක් තවත් පාර්ශවයක් වෙනස් කරනවා.
හොරැ අල්ලාගෙන අතටම අහුවෙන්න යනකොට නිදහස් කරනවා. හොරු ආණ්ඩුව අල්ලනවද, ආණ්ඩුව හොරු අල්ලනවාද කියන ප්‍රශ්නයත් තියෙනවා. මේ පාලන කාලය තුළ මා අතෘප්තිමත්ව ඉන්නේ. මේ ආණ්ඩුව බලයට පත්කිරීමට විරුද්ධව වැඩකරපු පඬුවස්නුවර මගේ ආසනයේ තුන්දෙනෙක්ම ඉන්නවා අද ඇමැතිවරු. නමුත් ආසනය ගොඩනගලා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරන්න කටයුතු කරපු මම නිකම්ම නිකම් මන්ත්‍රී. එතුමා පරාජය කරන්න වැඩකරපු තුන්දෙනාම අද මේ ආණ්ඩුවේ ඇමැතිවරු.

තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා මේ කතාව කියා තිබුණේ “මාර්තු 12 ව්‍යාපාරය* සංවිධානයේ කුරුණෑගල සමුළුවේදීය.
ආණ්ඩුව සළකා බැලිය යුතු සංඥා තව තවත් ඉදිරියේදී ලැබෙන බවට වෙනත් කතා අවශ්‍ය නැත.
ඇමැති පුටු මාරු කතාවට තටු ලැබී තිබෙන්නේ මේ සංඥා අස්සේය. ඇමැතිවරුන් කිහිපදෙනකුගේ තනතුරු මාරු වන බවත් එසේ මරුවීම් ලබන ඇමැති නම් අතර රවි, කිරිඇල්ල සහ මංගල සිටින බවත් කතා පැතිරුණේ වරක් දෙවරක් නොවේ. කෙසේ වුවත් රවිගේ මුදල් ඇමැති පදවිය මාරු වීමට කළින් තිබූ ඉඩකඩ රජයේ ඉහළ පාර්ශව අතර සිදුවූ කතාබහින් පසුව කල්ගියේය. ඊළඟට පැවැසුණේ මුදල් ඇමැති පදවිය ඇතුළු ඇමැති ධූර ගණනාවක් වෙනස් කෙරෙනු ඇතැයි කියාය. එහෙත් පසුගිය සතිය වනවිට එය තවදුරටත් කල්යන කතාබහ ඇසෙන්නට විය.

එසේ වුවත් හදිසියේම ඇමැති මාරුව ගැන යළිත් කරළියේ කතා ඇරැඹුණේ එතෙක් නොතිබූ තවත් නමක් ඊට එක් කරගනිමිනි. ඒ නම මහින්ද අමරවීරය. මෙහි තිබූ වෙනස නම් මහින්ද අමරවීරට රටටම වැඩකළ හැකි අමාත්‍යංශයක් ලබාදෙන බව ජනාධිපතිවරයාම කියා තිබීමයි. එහි අනෙක් අරුත වෙනවා, නොවෙනවා කිය කියා සිටි ඇමැති මාරුව සිදුවීම ස්ථිර බවය. 

කෙසේ වුවත් මාරුවන බවට නම් සඳහන් ඇමැතිවරුන් මේ දිනවල සිටින්නේ හිතහොඳින් නොවන බව පැහැදිලිය. ආණ්ඩුවේ යූ.එන්.පී. පාර්ශ්වයේ ඇමැතිවරැන් මේ මාරුව ගැන වි‍ශේෂයෙන්ම අවධානය යොමු කරන බවට සැකයක් නැත. බලාපොරොත්තු නොවන ධූරයකට මාරුවක් ලැබීම ඔවුන්ගේ සිත් රිදීමට හේතුවන බව ස්ථිරය. කුරුණෑගල යූ.එන්.පී. මන්ත්‍රී තුෂාර ඉඳුනිල් කළ ප්‍රකාශයට ඇතැම්විට මේ සිත් වේදනාවල සම්බන්ධතාවක් තිබිය හැකි බව සමහරුන්ගේ මතය වී තිබේ. ඔවුන් පවසන්නේ ජනාධිපති දිනවන්න වැඩ කළ මා නිකම්ම මන්ත්‍රී. විරුද්ධ වුණු තිදෙනකුට ඇමතිකම්* යනුවෙන් ඔහු කළ ප්‍රකාශය සිත් කැළැඹීමට පත් මැති ඇමැතින්ගේ උවමානවට සිදුකළ කතාවක් විය හැකි බවය. ඔහු තම කතාවේදී වරක් මෙසේද කියා තිබුණි. මේ ආණ්ඩුව ගැන කලකිරිලා ඉන්න මා යෝජනා කරන මගේ පෞද්ගලික මතය නම් මන්ත්‍රී ධූර 106ක් තියෙන අපි තව මන්ත්‍රී ධූර 7ක් 8ක් අරගෙන තනි ආණ්ඩුවක් හදමු කියලයි.

ඔහු කියන්නේ තනිකර යූ.එන්.පී. ආණ්ඩුවක් හදමු කියාය. නමුත් රටේ පවතින සංකීර්ණ තත්ත්වය අනුව නම් එවැනි පියවරකට යාම දේශපාලන වශයෙන් හරා - කිරි කරගැනීමක් වීමට හොඳටම ඉඩ තිබේ.
මේ අතර දිගින් දිගටම කල් යමින් පවතින පළාත් පාලන ඡන්දයට අමතරව මේ වසර තුළ පැවැත්වීමට නියමිත පළාත් සභා ඡන්ද තුනද කල් යාමට ඉඩ තිබෙන තත්ත්වයක් මතුවෙමින් තිබේ. මේ වසර තුළදී කාලසීමාව අවසන් වීමට නියමිතව ඇත්තේ උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිරය. නමුත් ආණ්ඩුව පැත්තෙන් ඇසෙන්නේ පළාත් සභා ඡන්ද එකම දිනයක පවත්වා ඒ වෙනුවෙන් වැය කෙරෙන මුදල අවම කරගැනීමට ක්‍රියා කිරීම අවශ්‍ය බවකි. පළාත් සභා ඡන්ද එකම දිනක පැවැත්වීම හොඳය. එහෙත් පැවැත්වීමට නියමිත ඡන්ද 03ක් කල් දමා එය සිදුකිරීම ආණ්ඩුවේ කල්ක්‍රියාව ප්‍රශ්න කිරීමකට ලක් කිරීමකි. කොටින්ම පළාත් පාලන ඡන්දය කල් දමා ගැනීමට මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කොමිසන් සභාව යොදවා ගත්තාක් මෙන් පළාත් සභා ඡන්දද නියමිත කාලයේ නොපවත්වා කල්දමා ගැනීම පිණිස එක දිනක් තුළ සියලු පළාත් සභා ඡන්ද පැවැත්වීමේ යෝජනාව යොදවාගනු ඇතැයි යන සැකය රට තුළ පහළ වීමට ඉඩ තිබේ. එසේවීම යහපාලන ආණ්ඩුවකට යහපත් නැත.

ආණ්ඩුවේ පාර්ශ්ව කෙසේ පැවසුවත් ශ්‍රීලනිපයේ මහින්ද පාර්ශ්වය ඇතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම එක හඬින් පවසන්නේ පළාත් පාලන ඡන්ද හැකි ඉක්මනින් පවත්වා අවසන් කළ යුතු බවය. පළාත් සභා ඡන්ද ද නියමිත දිනවල පැවැත්විය යුතු බවද ඔවුන්ගේ අදහසය. එහෙත් මහින්දලාගේ ඉල්ලීම් කොතරම් දුරට ඉටුවනු ඇතිදැයි කීම අපහසුය.
මේ අතර මහින්ද පසුගිය සඳුදා (13) නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවේ ක්‍රියාදාමය දැඩි විවේචනයට ලක් කර තිබුණි. ඉතා දීර්ඝ නිවේදනයක් වූ එයින් ඔහු ඉස්මතු කර තිබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම යන වත්මන් ආණ්ඩුවේ ප්‍රධානම පොරොන්දු දෙක පසෙක දමා රටේ ව්‍යවස්ථාවත් නීති පද්ධතියත් වෙනස් කිරීමට රජය උත්සාහ දරන බවය. රජයේ දේශද්‍රෝහී ගමන පෙන්නුම් කරන ලියැවිලි පහක් ඇති බවද ඔහු එහි සඳහන් කර තිබුණේය.

මේ ප්‍රකාශය මගින් මහින්ද උත්සාහ දරා තිබුණේ වත්මන් රජය දේශද්‍රෝහී වැඩපිළිවෙළක් ගෙන යන බවත් ඊට එකඟ වී රටත් ජාතියත් පාවා දීමේ උත්සාහයක ඇතැම් මන්ත්‍රීවරැන් නිරතව සිටින බවත් පෙන්වා දීමටය. මෙය ජිනීවා සැසියේදී වසර දෙකක් කාලය ලබාගැනීමෙන් රජය කිසියම් ජයග්‍රහණයක් පෙන්වා දී ඇති අවස්ථාව ඉලක්ක කරගනිමින් නිකුත් කළ ප්‍රකාශයක් බව පෙනේ.
මහින්ද සාමාන්‍යයෙන් වෙනදා මෙවැනි ප්‍රකාශයක් නිකුත් කළ විට ආණ්ඩුව එය එතරම් ගණන් ගන්නේ නැත. මන්ත්‍රීවරයකු හෝ දෙදෙනකු යොදාගනිමින් ඊට පිළිතුරක් ලබාදීම සිරිත විය. එහෙත් මෙවර කාරණයට අදාළ ඇමැතිවරයා වන මංගල ඉතා ඉක්මනින් මහින්දගේ ප්‍රකාශයට සැර පිළිතුරක් ලබා දුන්නේය. ඔහු කියා තිබුණේ මහින්දගේ ප්‍රකාශය අසත්‍ය - විකෘති - සාවද්‍ය තොරතුරුවලින් පිරී ඇති බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහින්ද කරන අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් සමාජයේ බෙදීම් සහ දුරස්වීම් ඇතිවන බවද මංගලගේ පිළිතුරේ සඳහන් වී තිබුණි. මංගලගේ පිළිතුරු නිවේදනයද මහින්දගේ ප්‍රකාශය මෙන්ම ඉතා දීර්ඝ එකක් විය. ඔහු චෝදනා කර තිබුණේ මහජනතාව බැරෑරුම් ලෙස නොමග යැවිය හැකි අතිශයෝක්තියෙන් යුත් සංකල්ප මහින්ද ඉදිරිපත් කරන බවය. මහින්දගේ ලියැවිලි පහ සම්බන්ධයෙන් මංගල එකින් එකට පිළිතුරු දීමට ක්‍රියාකර තිබුණේය. ඔහු තම නිවේදනය අවසන් කර තිබුණේ “ලැජ්ජයි මහින්ද ලැජ්ජයි කියාය.
ඒ කෙසේ වුවත් ආණ්ඩුව තමන් ඉදිරියේ වැටෙන මේ සිග්නල් ගැන හරි හැටි සෙවිල්ලෙන් නොසිටියොත් මහජනතාවටද තමන් බලයට පත්කරපු ආණ්ඩුවේ කෙරුවාව ගැන ලැජ්ජා හිතෙන කාලය වැඩි ඈතක නැති බව නම් පැහැදිලිය.

 ශශීන්ද්‍ර

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00