2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

වහා මේ ගැන සොයන්න

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 133

නව ජනාධිපතිවරයා තම කැබිනට් එකද ඊළඟට රාජ්‍ය ඇමැතිවරුන් 35 දෙනකු සහ නියෝජ්‍ය ඇමැතිවරුන් තිදෙනකුද පත්කරගෙන වැඩ ආරම්භ කළේය. ප්‍රථම කැබිනට් රැස්වීමේදී තමන්ගේ ඇඟට දැනෙන ලෙස සිදුකළ බදු අඩු කිරීම ජනතාවගේ පැසසුමට ලක්ව තිබේ. එම බදු අඩු කිරීම තුළ ජනතාව එදිනෙදා මිලදී ගන්නා සෑම භාණ්ඩයකම මිල අඩුවනවා සේම ආහාරපානවලද මිල අඩුවීම සිදුවිය යුතුය. එපමණක් නොව ඇතැම් ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයට අනුව අඩුකළ බදුවල බලපෑම හේතුවෙන් සිදුවන ආර්ථික ප්‍රසාරණය රටේ මෙතෙක් ක්‍රියාවිරහිත තත්ත්වයක තිබූ ව්‍යාපාරික ක්ෂේත්‍රයේද බලවත් පිබිදීමක් ඇති කරනු ඇත. මේ සියල්ල රටේ යහපත පැත්තෙන් සලකන විට ධනාත්මකය. සුබවාදීය. බලාපොරොත්තු වර්ධනය කරගත හැකිය. පළමු දවස් 14 තුළදී ගෝඨාභය ජනාධිපතිවරයාගේ ආණ්ඩුව දිනුම්ය. එය යහපත් ප්‍රවේශයකි.

ප්‍රවේශය එසේ යහපත් වනවිට, බලාපොරොත්තු දල්වන විට කිසිවකුත් අපේක්ෂා නොකළ සිද්ධියක්ද වාර්තා වී තිබෙන බව කිවයුත්තේ කනගාටුවෙනි. කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතුව සිටින කාන්තා නිලධාරිනියක බලහත්කාරයෙන් වෑන් රියක දමාගෙන රුගෙන ගොස් පැය ගණනාවක් ප්‍රශ්න කර මුදාහැරීම එම සිද්ධියට මුල් විය. ඊළඟට සිදුවූයේ එම නිලධාරිනිය සේවය කරන තානාපති කාර්යාලය වහාම මේ සිද්ධිය පිළිබඳව රජයට දැනුම් දීමය. අපට ලැබෙන තොරතුරු අනුව තානාපතිවරයා පැමිණ අග්‍රාමාත්‍යවරයා හමුවී සිද්ධිය පිළිබඳ විස්තර හෙළිකර තිබේ. කෙසේ වුවද මේ වනවිට එම සිද්ධිය ලොව පුරා පැතිර ගිය ප්‍රවෘත්තියක් වී තිබේ.

ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවට පවසා තිබෙන්නේ තම තානාපති කාර්යාල නිලධාරිනිය නීතිවිරෝධී ලෙස රඳවා තබාගැනීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙසටය. ඒ සම්බන්ධව එරට විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙන් ප්‍රකාශ කර ඇත්තේ මේ සිද්ධිය තමන් බරපතළ ලෙස සලකන බවත් එය පිළිගත නොහැකි සාපරාධී ක්‍රියාවක් බවත්ය. ශ්‍රී ලංකා රජය ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ මේ සිදුවීම හෙළාදකින බවය. එසේම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කළ බවත් එම පරීක්ෂණවලදී ස්විස් තානාපති කාර්යාලයේ පූර්ණ සහාය බලාපොරොත්තු වන බවත්ය.

මෙවැනි පැහැරගැනීමක් සහ ප්‍රශ්න කිරීමක් සිදු නොවූයේ නම් ස්විට්සර්ලන්තය වැනි රටක් මේ ආකාරයට හැසිරෙන්නේ නැති බව තේරැම් ගැනීම අපහසු නැත. මීට වසර දහයකට පහළොවකට පෙරදී මෙන් නොව දැන් ඕනෑම රටක සිදුවන ඕනෑම සිද්ධියක් ලොවපුරා යාමට ගතවන්නේ විනාඩි කිහිපයක් පමණි. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ සිද්ධියට ප්‍රචාරය ලැබුණත් නොලැබුණත් ඊට කලින් වෙබ් මාධ්‍ය ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ ප්‍රවෘත්තිය දැකගනිති. ඒ පිළිබඳ සත්‍යවූත් අසත්‍යවූත් බොහෝ තොරතුරැ ඒ ඔස්සේ හුවමාරු වෙයි. මේ නිසා ආණ්ඩුව මෙවැනි බැරූරැම් ප්‍රශ්නයකට පිළිතුරැ දෙන විට පවතින යථාර්ථය පිළිබඳව අවබෝධයකින් කටයුතු කිරීම අවශ්‍ය බව පෙන්වා දීමට කැමැත්තෙමු. සිද්ධියක් වීමෙන් පසුව එය නොසිදුවූවක් ලෙසට අර්ථ දැක්වීමට යාම මේ කාලයේ නිෂ්ඵල ව්‍යායාමයකි. ඒ අනුව රජය ඉක්මණින්ම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම යහපත් බව කිවයුතුය.

මෙහිදී අපට කිවයුතුව තිබෙන්නේ ස්විස් තානාපති කාර්යාලය පෙන්වා දී ඇති සිද්ධිය පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමුකිරීම රජයේ වගකීම බවය. තානාපති කාර්යාලයක නිලධාරිනියකට පමණක් නොව රටේ මොනම පුරවැසියකු හෝ එවැනි අවදානමකට මුහුණ දිය යුතු නැත. පැහැරගෙන ප්‍රශ්න කිරීමට ලක්කළ බව කියන නිලධාරිනිය ද්‍රවිඩ කාන්තාවක බවද ප්‍රකාශ වී තිබේ. මේ සියලු හේතු රටට එරෙහිව අවර ගණයේ මතවාද පතුරැවන ඕනෑම අයකුට බෝනස් ලබාදීමකි. ආණ්ඩුව බලයට පත්වීමත් සමඟම මෙවැනි වගකීම් විරහිත ආකාරයට කටයුතු කරන්නේ කවුදැයි සොයාබැලීම පමා කළ යුතු නැත. වරදක් සිදුවී නම් ඊට වගකිවයුතු පිරිසට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීම රජයේ වගකීමයි. එසේ නොවුණොත් මෙවැනි වැරදි ඉදිරියේදී පූර්වාදර්ශ බවට පත්වීමට හොඳටම ඉඩ තිබේ.

ලොවේ බලවත් රටවල් බියගැන්වීමටත් ඔවුන්ට පාඩම් ඉගැන්වීමටත් හැකි යැයි සිතන පිරිස් මේ රටේත් ඕනෑතරම් සිටිනවා විය හැකිය. මෙවැනි පුද්ගලයන්හට නිසැකවම දේශපාලන බලයේ තල්ලුවක්ද තිබිය යුතුය. එසේ නොවන්නේ නම් අලුතින් පත්වූ රජයෙන් ලකුණු දමා ගැනීමට මෙවැනි තකතීරැ වැඩකරන නිලධාරී උන්දැලාද සිටිය හැකි බවත් අමතක නොකළ යුතුය. සිද්ධිය යටපත් කර ගැනීමට ගොස් නැති ප්‍රශ්න ඇතිකර ගන්නවාට වඩා අවශ්‍ය වන්නේ සිදුවූයේ කුමක්දැයි සොයාබලා එවැන්නක් අනාගතයේදී සිදු නොවන ආකාරයට පියවර ගැනීමය. නැතහොත් සිදුවනු ඇත්තේ අමිහිරි මතක සටහන් එළියට ඇදීමට විරුද්ධ පක්ෂවලට උඩගෙඩි දීමක් පමණි.

මෑත යුගවලදී බලයට පත්වූ ආණ්ඩු අතුරින් හොඳම නිලධාරීන් හා උපදේශක කණ්ඩායමක් සිටින ආණ්ඩුවක් වශයෙන් වත්මන් පාලනය බොහෝදෙනා විසින් හඳුන්වනු ලැබේ. එහෙත් එහි ඇති වටිනාකම අවබෝධ කර නොගත් කිහිප දෙනකුද ආණ්ඩුවේ සිටිය හැක. වැදගත් බොහෝ පිරිසක් අතින් සිදුවන විශාල සේවයට වඩා නරක කිහිපදෙනකු අතින් සිදුවන එක වැරුද්දක් හේතුවෙන් සිදුවිය හැකි විනාශය විශාලය. ඒ බව අලුත් ආණ්ඩුව මගින් අවබෝධ කර ගැනීම හැම අතින්ම යහපත් වනු ඇත.

 

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30