2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

වේදිකාව නම් සූදානම්!

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 187

ගෝඨාභය රාජපක්ෂ මහතා තම පස් වසරක පාලනය ඇරුඹුවේ වැඩි සද්දබද්දයකින් තොරවය. මෙය මීට පෙර රාජ්‍ය නායකත්වය භාර ගැනීම්වලදී මෙරට ජනතාව ලද අත්දැකීම්වලට වඩා වෙනස්ය. මීට පෙර අවස්ථාවලදී ජනාධිපතිවරණය ජයගැනීම්වලින් පසුව පවත්වන කතා, පිළිගැනීම්, බැනර්, කටවුට් රට පුරා ගැසීම් පමණක් නොව මාධ්‍ය සංදර්ශන ද අඩුවක් නොවීය. එහෙත් ගෝඨාභය මහතා වැඩ බාර ගෙන ඇමැති මණ්ඩලය සහ රාජ්‍ය ඇමැතිවරැන් ද පත්කරගෙන කෙළින්ම වැඩට බැස තිබෙන බවත් පෙනී යයි. තමන්ට අවශ්‍ය වන්නේ කතාව නොව වැඩේ බව ඔහු ගෙවී ගිය සති දෙක තුළදී රටේ ජනතාවට පමණක් නොව තමන්ගේ මැතිඇමැතිවරැන්ට ද පෙන්වාදී තිබේ.

එසේ වුවද බලාපොරොත්තු වූ පරිදිම අන්තර්වාර ඇමැති මණ්ඩලය සහ රාජ්‍ය ඇමැතිවරැන් පත්කිරීම ගැටලුවලින් පිරැණු අර්බුදකාරී එකක් විය. තෘප්තියට පත්වූ පිරිසට වඩා එසේ නොවූ පිරිස අධිකය. දැනට පවතින ආණ්ඩුව මහමැතිවරණයෙන් බලයට පත්වූවක් නොව ජනාධිපතිවරණයේ ජයග්‍රහණයත් සමඟ සිදුවූ තාවකාලික බලය හුවමාරැවක් බව මේ බොහෝ දෙනා විසින් අමතක කරනු ලැබීම මේ තත්ත්වයට එක් හේතුවකි. මෙවර සිදුවූ පාර්ලිමේන්තු බලය හුවමාරැ වීම 2015ට වඩා මෘදු බවක් තිබිණි.

එවර අගමැති වශයෙන් සිටි දි.මු. ජයරත්න මහතාගෙන් ධූරයෙන් ඉවත් වී අලුත් ආණ්ඩුවට පිහිටු වීමට සහය දක්වන්නැයි කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් නොවීය. මේ නිසා සිදුවූයේ ජනාධිපති බලතල යොදවා නව අගමැති සහ ඇමැති මණ්ඩලය පත් කිරීමටය. එම අවස්ථාවේ එවකට සිටි ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු එයට දැක්වූයේ දැඩි විරෝධයකි. එහෙත් මෙවර බල හුවමාරුව සිදු වූයේ වඩාත් පුළුල් අවබෝධයකිනි. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ගණනාවක්ම ආණ්ඩුව පවත්වාගෙන යාමට තමන්ට සාදාචාරාත්මක අයිතියක් නැති බව කියමින් තම තනතුරැවලින් ඉල්ලා අස්වීමද කැපී පෙනිණි. 

එවැනි තත්ත්වයක් තුළ ඇමැති පදවි ලබාදීමේදී ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් බරපතළ ගැටලුවලට මුහුණ දීමට සිදුවූ බව පැහැදිලිය. නව කැබිනට් ඇමැතිවරුන් දිව්රුම් දීමේ අවස්ථාවට පොහොට්ටුව නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සහභාගී වී සිටියේ නැත. ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බව සඳහන් විය. පොහොට්ටු සන්ධානයේ පක්ෂ නායකයන්ට ඇමැති පදවි ලැබෙන බව ප්‍රකාශ වුවද පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිලට තමන්ට ලැබීමට නියමිත වූ කැබිනට් ඇමැති පදවිය පරිත්‍යාග කිරීමට සිදුවූ බවද ප්‍රකාශ විය. රාජ්‍ය ඇමැතිවරැන් දිවුරැම් දෙන දවසේ උදය ගම්මන්පිල සිටියේ විදෙස් සංචාරයක නිරත වෙමිනි. එය අසාමාන්‍ය තත්ත්වයක් බව පැහැදිලිය.

එපමණක් නොවේ. ඇතැම් දිස්ත්‍රික්කවලට එකදු කැබිනට් පදවියක් හෝ ලැබී නොතිබිණි. නිදහසින් පසුව ඇති කළ කුඩාම කැබිනට්ටුව තුළ එවැනි තත්ත්වයක් තිබීම අරැමයක් නොවුණද ඇමැති පදවි අහිමි වූ කිහිප දෙනකුම ගෝඨාභය ජනාධිපති කිරීමේත් මහින්ද අගමැති කිරීමේත් සටනේ පතාක යෝධයන් වීම කැපී පෙනෙයි. එසේම රාජ්‍ය ඇමැතින් 35 දෙනා සහ නියෝජ්‍ය ඇමැතින් 03 දෙනා අතරේ එකම කාන්තාවක් හෝ නොසිටීමත් මුස්ලිම් ජාතිකයකු නොසිටීමත් තවත් වෙනසකි. 

අන්තර්වාර රජයක් තුළ වුවද ආණ්ඩු පක්ෂය තුළ කිසියම් ආකාරයක සමතුලිත බවක් පවත්වාගෙන යාම අවශ්‍යය. එය මෙරට දේශපාලන ඉතිහාසය තුළම කැපී පෙනෙන කරැණකි. එවැනි පරස්පරතා පසුකලෙක බරපතළ ප්‍රශ්න බවට පත්වීමට ඇත්තේ ලොකු ඉඩකි. එහෙත් ජනතාව හමුවේ ජනාධිපතිවරයා මාකට් වී සිටින්නේ තමන්ගේ අපේක්ෂාව සපුරන වෙනස් නායකයකු වශයෙනි. එම වෙනස්කම උරුම කරගත් ජනාධිපතිවරයකු සමඟ කවදාවත් වෙනස් වීමට අකැමැති මැතිඇමැතින් පිරිසක් එකට වැඩ කිරීම කෙසේ සිදුවනු ඇති දැයි ඉදිරියේදී බලාගත හැකිවනු ඇත.

ගෝඨාභය රාජ්‍ය නායකත්වයට පත්වන්නේ දේශපාලන පළපුරුද්දක් සහිතව නොවේ. එහෙත් රටේ ඉහළම දේශපාලන තලය සමඟ උරෙනුර ගැටෙමින් රටේ වඩාත්ම කතාබහට ලක්වූ රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් කටයුතු කිරීමෙන් ලද පළපුරුද්ද ඔහුට උරැමයක් වී තිබේ. ඒ අතින් ඔහු වෙනත් ජනාධිපතිවරුන් මෙන් නොව වඩාත් පොහොසත් පළපුරැද්දක් සහිතව තම වගකීම්වලට උර දෙන්නෙකි. දේශපාලන තීන්දු ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කරන නිලධාරීන් අතර පවතින සම්බන්ධතා සහ අර්බුද ඔහු හොඳින් හඳුනාගෙන සිටින්නෙකි. නමුත් ලොකුම අභියෝගය වන්නේ අලුත් අදහස් ප්‍රකාශ කිරීම නොවේ. ඒවා ක්‍රියාවට නැංවීමය. ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් තෝරාගැනීමට ගෝඨාභය අතගසා ඇත්තේ නිවැරදිම ක්‍රමවේදයටයි. එහෙත් එය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නම් තම කැබිනට් මණ්ඩලයේත් රාජ්‍ය ඇමැතිවරුන්ගේත් සහාය ලැබීම අවශ්‍යය. එම සහාය ලබාදීම නිසි ලෙස කළමනාකරණය කළහැක්කේ දේශපාලනයෙන් තෙම්පරාදු වූ මහින්දට සහ බැසිල්ට පමණි. එහිදී ඔවුන් දෙදෙනා දක්වන සමත්කම ආණ්ඩුවේ ආනගතය තීන්දු කරන ප්‍රධාන සාධකයක් වනු ඇත.

ගෝඨාභය තම අනන්‍යතාව ඔස්සේ ජනාධිපතිවරණය විශිෂ්ට ලෙස ජය ගත්තේය. එය පහසුවෙන්ම ලබාගත් ජයක් බවට අවසාන ප්‍රතිඵලය පෙන්නුම් කරයි. දැන් ඉදිරි පස් වසරක කාලය තුළදී ඔහුගේ අභියෝගය වන්නේ එම විශිෂ්ට ජය රටේම ජයග්‍රහණයක් බවට පත්කිරීමයි. වඩාත්ම අපහසු කරැණ වන්නේද එයමය. රටේ පවතින ආර්ථික අර්බුදය එයට ලොකුම හේතුවයි.

රටේ ජනතාව බලවත් ලෙස පීඩාවට පත්කරමින් සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුළුමනින්ම පාහේ අකර්මණ්‍ය තත්ත්වයකට ඇද දමමින් පැවැති ආර්ථිකය කෙළින් සිටුවීමේ වගකීම කෙළින්ම පැවරෙන්නේ ජනාධිපතිවරයාගේ කරමතය. බලයට පැමිණ පළමු පොරොන්දුව ඉටුකිරීම වශයෙන් බදු අඩු කිරීමට ගනු ලැබූ පියවර මහජනතාවගේත් ව්‍යාපාරික ක්ෂේත්‍රයේත් පිළිගැනීමට ලක්වී තිබෙන බව සැබෑය. එහෙත් සැබෑ ලෙසම විසඳිය යුතු ආර්ථික ගැටලු ඊට වඩා බරපතළය. ආර්ථික සහන ලබාදීමත් ගැටලු විසදීමත් සමාන්තර මාර්ග දෙකක් මිස එකට යා හැකි මාර්ගයක් නොවන බව යථාර්ථයයි.

අසල්වැසි ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට වඩාත්ම ආර්ථික වශයෙන් වැදගත් චීනය සමඟ දැඩි අවබෝධයකින් කටයුතු නොකළහොත් ආර්ථික වශයෙන් රට පවතින තත්ත්වය තවදුරටත් කඩාවැටීම වළක්වා ගත නොහැකි වනු ඇත. ඇමැති පදවිවලට සිත් අමනාපකම් ඇති කරගෙන සිටින පිරිසට මේ ගැන පැහැදිලි අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්නට නැත. ලබාදී ඇති බදු සහන සහ ඉදිරි දිනවලදී ලබාදෙන සහන පැකේජයෙන් පසුව තමන් ඉන්නේ මහමෙර පාමුල බව මේ සියලු දෙනා සිහිපත් කිරීම අවශ්‍යය. ගෝඨාභය අපේක්ෂා කරන ආර්ථික සමෘද්ධිය ලබා ගැනීමට විශාල කැපකිරීමක් අවශ්‍ය වනු ඇත. මහජනතාව ඕනෑවටත් වඩා කැපකිරීම් කර ඇති බැවිනි.

මේ අතර බියකරු සිහිනයකින් අවදි වූවාක් වැනි තත්ත්වයට පත්ව සිටින යූ.එන්.පී. ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ දැන් සිටින්නේ විපක්ෂයේය. මෙය ඔවුන් කවදාවත් අපේක්ෂා කළ දෙයක් නොවේ. වසර 05ක නියමිත කාලය සපුරා ආණ්ඩුවේ සිටිමින් මැතිවරණයකට යාමට සූදානමින් සිටි ඔවුන්ට දැන් මැතිවරණයට යාමට සිදුවන්නේ විපක්ෂයේ සිටිමිනි. එයද පක්ෂනායකත්වය සහ විපක්ෂනායක පදවිය පිළිබඳ දැඩි අර්බුදයක පටලැවෙමිනි. මේ ගැටලුව හැකි ඉක්මනින් විසඳා නොගතහොත් යූ.එන්.පී.ය ප්‍රමුඛ පෙරමුණේ සෙසු පක්ෂවලට මහමැතිවරණයේදී බරපතළ පරාජයකට මුහුණදීමට සිදුවීම වැළැක්විය නොහැකි වනු ඇත. මොනම ආණ්ඩුවක් වුවද ශක්තිමත් විපක්ෂයක් නොමැති නම් වැඩ කරන්නේ අත්තනෝමතික ලෙස බව මෙරට දේශපාලන ඉතිහාසය මගින් පෙන්වා දී තිබේ. දැන් යූ.එන්.පීය ප්‍රමුඛ විපක්ෂය සිදුකළ යුත්තේ හැකි ඉක්මනින් තමන්ගේ අර්බුදය විසඳා ගෙන තමන්ට ඡන්දය ලබාදුන් ලක්ෂ 55කට ආසන්න ඡන්දදායකයන් වෙනුවෙන් පෙනී සිටීමය. ඔවුන්ගේ අයිතිය ආරක්ෂා කරදීමය. ප්‍රශ්න මත වාඩිවී නිකම් පලක් නැති සාකච්ඡා සඳහා කාලය වැය කිරීමෙන් හෝ වනසතුන්ගේ සුවදුක් විමසීමෙන් මේ ප්‍රශ්නය කවදාවත් විසඳෙන්නේ නැත.

මෙතෙක් විපක්ෂයේ සිටිමින් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් ද ආණ්ඩුවේ වැරදි පෙන්වා දීමෙන් ද විශාල කාර්යභාරයක් ඉටුකළ ජවිපෙ දේශපාලනය ද ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සමඟ උඩුයටිකුරැ විය. තමන්ගේ අනන්‍යතාව ජනතාව හමුවේ පැහැදිලිව පෙන්වාදීමට අසමත් වීම සහ රටේ දේශපාලනය තුළ තමන් පැවැතිය යුතු ස්ථානය පිළිබඳ අර්බුදය විසින් ජවිපෙ මේ තත්ත්වයට ඇද දමා ඇති බව පැහැදිලිය. රුඩිකල් වෙනසකට නොගියොත් ජවිපෙ දේශපාලනයද මෙතැනින් අවසන් වීමට පවා ඉඩ තිබේ. එහෙත් එය එසේ නොවිය යුතුය. පාර්ලිමේන්තුව තුළ කොන්ද පණ ඇතිව වැරුද්ද පෙන්වා දීමටත් ජනතාව වෙනුවෙන් හඬක් නැගීමටත් ජවිපෙ පාර්ලිමේන්තුවේ නියෝජනය විය යුතුය. එය කළයුතු ආකාරය ගැන තීරණය කළ හැක්කේ ඔවුන්ටම පමණි

ජනාධිපතිවරණයේ ජයග්‍රහණයේ උණුසුම තවමත් රට තුළ පවතී. ජයග්‍රහණයට සහාය දැක්වූවන් සතුටු වන අතර පරාජයේ කොටස්කරැවන් සිටින්නේ සිත් තැවුලෙනි. එහෙත් වඩාත්ම වැදගත් වන්නේ මේ කිසිවක් නොව රටේ අනාගතයයි. හෙට දවස ගැන රටේ ජනතාව තබා ඇත්තේ විශාල බලාපොරොත්තුවකි. ඒ සඳහා තමන්ගෙන් ඉල්ලාසිටි ඡන්දය ජනතාව විසින් ලබාදී තිබේ. ඔවුන්ට දැන් අවශ්‍ය කතාව නොව වැඩය. ඒ සඳහා වේදිකාව සූදානම්ය. එයට ගොඩවීමට ගෝඨාභය ද සූදානම් බව මේ දවස් ටික තුළ පෙන්වා තිබේ. එහෙත් සෙසු පිරිස එයට සූදානම් දැයි කියා නම් දන්නේ නැත.

 ශශීන්ද්‍ර 

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30