2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 126

රෝසි සහ නව ජනපති අතර මතගැටුමක්?

කොළඹ මහ නගර සභාවේ පාලනය විශේෂ කොමසාරිස්වරයකු යටතට පත් කෙරෙනු ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඉකුත් දිනවල ප්‍රචාරය වූ කතාව සම්බන්ධයෙන් එම නාගරික මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු වී තිබිණි. එවැනි පියවරක් ගැනීමට හේතු වී ඇත්තේ නගර සභාවේ පවතින කළමනාකරණ දුර්වලතා බවද එහි සඳහන් විය.

දැනගන්නට තිබෙන තොරතුරැ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය සාකච්ඡාවකට කැඳවා තිබේ. කසළ එකතු කිරීම සහ වරිපනම් ගැටලු ඇතුළු විවිධ කාරණා ගණනාවක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත වූ බවද සඳහන් විය. ජනාධිපති කාර්යාලය මගින් මේ සාකච්ඡාව පිළිබඳව දැනුම් දෙමින් පුරපතිනියට ලිපියක් යවා තිබෙන බවද කියැවිණි.

එහෙත් රෝසි සේනානායක මහත්මිය ඊට පසුදිනම එම වාර්තා පදනමක් නැති කතාවක් බවට පවසමින් ප්‍රතික්ෂේප කර තිබිණි. තමන් සහ නව රජය අතර ගැටුමක් ඇති කිරීමට උත්සාහ කරන බවට ඇය තමන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරැන්ට ද චෝදනා කළාය. මට එහෙම ලියුමක් ලැබු‍ණෙත් නැහැ. ජනාධිපති කාර්යාලයෙන් සාකච්ඡාවකට කැඳවීමක් ලැබුණෙත් නැහැ සේනානායක මහත්මිය සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කළාය.

කෙසේ වුවද සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තා කියවා සිටි ඇයගේම පාක්ෂික මන්ත්‍රීවරැ පවතින තත්ත්වය පිළිබඳව තමන් ව්‍යාකූලව සිටින බව ප්‍රකාශ කළහ.

සන්ඩේ ටයිම්ස්


රාජාලියා හංසයා වෙලා?

නොවැම්බර් 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී ඡන්ද ලකුණ වාසියට සිටි බව පෙනෙන එක අපේක්ෂකයෙක් සිටි බව පෙනෙන්නට තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂක ආරියවංශ දිසානායක මේ අපේක්ෂකයායි.
මෙය වඩාත්ම කැපී පෙනෙන්නේ යාපනය, වන්නි සහ මඩකලපු දිස්ත්‍රික්කවලය. රටේ සෙසු දිස්ත්‍රික්කවලින් නොලද ඡන්ද සංඛ්‍යාවක් එකී දිස්ත්‍රික්ක තුනෙන් ලබාගැනීමට ඔහු සමත් විය.

ආරියවංශ දිසානායක මහතාගේ ලකුණ වූයේ රාජාලියායි. නමුත් ඇතැම් ඡන්ද දායකයන් විසින් තමන් ඡන්දය සලකුණු කරන්නේ හංසයාට යනුවෙන් වරදවා වටහාගෙන රාජාලියා ඉදිරියෙන් කතිරය ගසා ඇති බව කියති. එසේ ඡන්දය භාවිත කොට ආපසු නිවෙසට පැමිණීමෙන් පසුව තමන් ඡන්දය සලකුණු කර ඇත්තේ වැරදි ඡන්ද අපේක්ෂකයා ඉදිරියෙන් බව වටහාගෙන ඇතැයි ද සඳහන්ය.

ආරියවංශ දිසානායක මහතා යාපනයේ ඡන්ද 6790 ක් ලබමින් 1.82%ක ප්‍රතිශතයක් වාර්තා කරන විට ජාතික ජනතා බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ලබා තිබුණේ ඡන්ද 1375 ක් පමණි. වන්නියේදී 1.2%ක්ද මඩකලපුවේ 0.78%ක්ද වශයෙන් දිසානායක මහතා ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන තිබිණි. එහෙත් සෙසු දිස්ත්‍රික්කවල ඔහු ලබා තිබූ ප්‍රතිශතය 0.25%ට අඩු විය. ගම්පහදී 0.02% ක් පමණක් වී තිබිණි.

කෙසේ වුවද දිසානායක මහතා ප්‍රකාශ කළේ උතුරේ තමන් ගෙන ගිය ඡන්ද ව්‍යාපාරය හේතුවෙන් මේ ඡන්ද ප්‍රමාණය තමන්ට ලැබුණු බවයි. මම කැම්පේන් කළේ ප්‍රධාන වශයෙන් උතුරේ සහ නැගෙනහිරයි. දමිළ පුවත්පතකට මා සම්මුඛ සාකච්ඡාවක් ද ලබා දුන්නා. මට ඒ පළාත්වලින් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ ඒ නිසයි. ඔහු කියයි.

සන්ඩේ ටයිම්ස්

 

ජනපතිගේ ඉන්දීය සංචාරය

තම දෙදින ඉන්දීය සංචාරය ආරම්භ කරමින් බ්‍රහස්පතින්දා (28) සවස් වරැවේ ඉන්දියාවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඉන්දීය ප්‍රවාහන සහ මහාමාර්ග ඇමැති ආචාර්ය වී.කේ. සිං මහතා ඇතුළු පිරිසක් විසින් පිළිගනු ලැබීය. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු මහත්වරු ද එහි සිටියහ.

ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන ඉන්දීය ආයෝජනය වර්ධනය කර ගැනීමටත්, විශේෂයෙන් තාක්ෂණ ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම් වැඩිකර ගැනීමටත් නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා කෙරෙනු ඇති බවත් සඳහන් වේ. ශ්‍රී ලංකාවට ලබාදෙන ආර්ථික ආධාර පුළුල් කර ගනිමින් ආර්ථික වර්ධනය ඉහළ නංවා ගැනීමටත්, ඉදිරි වසර කිහිපය තුළදී ගෙවීමට තිබෙන ණය වාරික පිළිබඳව එකඟත්වයක් ඇතිකර ගැනීමටත් අපේක්ෂිතය.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ආපසු ගෙවූ ඉන්දීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 80 ක් (රැපියල් බිලියන 14 ක්) විය. එම වසර අවසන් වන විට (2018) ශ්‍රී ලංකාව ඉන්දියාවට ගෙවිය යුතු වූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 152 ක් වී තිබිණි.
පසුගිය සතියේ කොළඹදී ඉන්දීය භාරත් ශක්ති පුවත්පතේ ප්‍රධාන කර්තෘ නිතින් ගෝකේල් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා කියා තිබු‍ණේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂක අවශ්‍යතාවලට හානි විය හැකි කිසිවක් නොකරන බවත් ඉන්දීය රජයේ මිත්‍රයකු වශයෙන් දිගටම කටයුතු කරන බවත්ය.

ඩේලි එෆ්.ටී.