2017 මාර්තු 18 වන සෙනසුරාදා

දූෂණ චෝදනාවල ඇත්ත හෙළි කරන්න ( ශ්‍රී ලංකා ජාතික සභාවේ ලේකම් අශෝක අබේගුණවර්ධන)

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 394

යහපාලන රජය පිහිටුවන සටනට පුද්ගල චරිත රැසක් එක් වී සිටියහ. ඒ අතර සිටි ප්‍රධාන චරිතයක් වූයේ අශෝක අබේගුණවර්ධනය. මෑතක සිට ඔවුන් නව දේශපාලන ව්‍යාපාරයක් ශ්‍රී ලංකා ජාතික සභාව නමින් අරඹා තිබේ. එම ව්‍යාපාරයේ ලේකම්වරයා ලෙස ඔහුත් සමඟ කළ සාකච්ඡාවයි මේ.

යහපාලන රජය පිහිටුවන්න දරදිය ඇද්ද කෙනෙක් තමයි ඔබ. මොකද දැන් අතුරුදන් වෙලා ඉන්නේ?
නෑ. මම අතුරුදන්වෙලා නෑ. විශේෂයෙන් පසුගිය වසර දෙක තුළ රජය යම්කිසි තැනකට ගේන්න උත්සාහයක් දැරුවා. ඒකට හේතුව තමයි සමහර අය ආණ්ඩුව පිහිටෙව්ව ගමන් එළියට පැනලා විරෝධය පෑවා. සමහර අය ආණ්ඩුව ඇතුළේ ඉඳලා දියවෙලා ගියා. ඒත් අපිට එහෙම කරන්න බෑ. අපි පොරොන්දු ඉෂ්ඨ කරන්න ආවේ. ඒක ක්‍රියාත්මක කරන්නයි අපට අවශ්‍ය වුණේ. ඒ හරහා අපිට පුළුවන් වුණා මහ පොළොවට දැනෙන කාරණා දෙකක් ඉෂ්ඨ කරගන්න. එකක් රසායනික ගොවිතැන බිඳින්න පුළුවන් වුණා. අනෙක් කාරණය පොදු ජනතාවට දැනෙන මගී බස් රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන්න අපිට පුළුවන් වුණා. ඒක දැන් රට පුරා ක්‍රියාත්මක වෙනවා.

දැන් රජය කරන දේවල් හරිද?
නෑ. රජයෙන් බලාපොරොත්තු වුණු දේවල් සිද්ධ වුණේ නෑ. ඒ වගේම රජයෙන් බලාපොරොත්තු නොවුණු දේවලුත් දැන් ක්‍රියාත්මක වෙනවා. අපි ඒ දේවල් නවත්වන්න උත්සාහ ගත්තා. ඒත් ඒවා මල්ඵල ගන්වන තත්ත්වයක් නෑ. ඒ නිසා රතන හාමුදුරුවෝ තීරණයක් ගත්තා මේ පිළිබඳව කතා කරන්න. අපිත් ඒ මඟ යනවා.

හිතෙන්නේ නැද්ද මේ කළේ ඉඟුරු දීලා මිරිස් ගත්ත වැඩක් කියලා?
ඇත්තටම පහුගිය ආණ්ඩුවේ තිබ්බ සමහර ප්‍රතිපත්ති කාරණා එක්ක අපට ගැටලුවක් තිබ්බේ නෑ. නමුත් ඒ ආණ්ඩුව ගමන් කරපු දිශාවේ විශාල අවුලක් අපිට තිබුණා. ඒ නිසයි අපි පිරිවර්තනය කළේ. ඒත් අපි මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණා ශ්‍රීලනිපයයි, එජාපයයි එකතුවෙලා දිගුකාලීන ප්‍රතිපත්ති සකසයි කියලා. ඒත් මේ ආණ්ඩුව ඉස්සෙල්ලා ආණ්ඩුවට වඩා රටට අයහපත් ප්‍රතිපත්ති සකසන තැනකට ඇවිත් තියෙනවා. ඒ නිසා අපිට ඔය ප්‍රශ්නය ගැන තියෙන්නේ මිශ්‍ර හැඟීමක්. සමහර ඒවා හොඳයි, සමහර ඒවා නරකයි. ඒකෙන් කියවෙන්නේ නෑ මේ පරිවර්තනය වැරදියි කියන එක.

ප්‍රාෙද්ශීය සභා නොවේ ගම් සභා ක්‍රමයයි හරියන්නේ

එහෙනම් ඔබ කියන්න මේ ආණ්ඩුවට වැරදිච්ච තැන මොකක්ද කියලා?
වැරදුණු ප්‍රධානම තැන තමයි මැතිවරණයෙන් පස්සේ ජනාධිපතිතුමාට බැරිව ගිය ශ්‍රීලනිපය එක මිටකට ගන්න. මන්ත්‍රීවරු දෙකට බෙදිලා. ඒ නිසා අදටත් ශ්‍රීලනිපයට එක ප්‍රතිපත්තියක් රට හමුවේ තියන්න බැරිවෙලා තියෙනවා. මේ ආරවුල විසඳිච්ච නැති එක තමයි ලොකුම අහේනිය. ඒ නිසා රට හමුවේ තියෙන්නේ එජාප ප්‍රතිපත්තිය විතරයි. දැන් ශ්‍රීලනිපය කරන්නේ ඒ ප්‍රතිපත්තියේ අවුල රටට පෙන්වන එක විතරයි. ඒක තමයි ලොකුම ගැටලුව.

මැතිවරණය කල්දදා මේ ආණ්ඩුව යන්න හදන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක් කියන එක පිළිගන්නවාද?
මෙතන මැතිවරණ වර්ග දෙකක් තියෙනවා. එකක් පාර්ලිමේන්තු මැතිවරණය. අනෙක පළාත් පාලන මැතිවරණය. පාර්ලිමේන්තු මැතිවරණය ගැන ජනාධිපතිවරයා පැහැදිලි බලාපොරොත්තුවක් දීලා තිබුණා මනාප ක්‍රමය නැතිවන සමානුපාතික මැතිවරණ ක්‍රමයක් ගේනවා කියලා. ඒක 20 වැනි සංශෝධනය මගින් ආවට වැඩේ වුණේ නෑ. අලුත් ව්‍යවස්ථාවක් ගැන කතාවුණු නිසා. මේ නිසා කිසිම දෙයක් නොවන තැනට ඇවිත් තියෙනවා. නමුත් මාතෘකාව වෙලා තියෙන්නේ පළාත් පාලන මැතිවරණය. මේ මැතිවරණය සමානුපාතිකත්, සරල බහුතර ක්‍රමයක් මිශ්‍ර ස්වභාවයක් ගන්නවා. මේ ගැන දිනේශ් ගුණවර්ධන කමිටුව මගින් සඳහන් කරලා තියෙනවා. ඊට අදාළ සීමා මායිම් බැලීමකුත් සිදුකරලා තියෙනවා. හැබැයි සීමා මායිම් ගැන අවුලක් තියෙනවා. ඒකට හේතුව ගිය ආණ්ඩුව කළේ ඒ අයට වාසි ගෙන එන විදිහට කියලා දැන් අය කියනවා. ඒ නිසා සිදුවුණා නැවත සීමාමායිම් බැලීමක් කරන්න. දැන් ඒක ඇදිලා ගිහිල්ලා එළියට ඇවිල්ලා තියෙනවා. ඒත් ඒකට දැන් සුළු පක්ෂ විරෝධය පාලා. ඒ නිසා මේ අභ්‍යන්තර ප්‍රශ්නය විසඳන්න ඕන. එහෙම නොවුණොත් ප්‍රජාතන්ත්‍රවාදයට කරන විශාල හානියක් වෙනවා. ඒ වගේම ආණ්ඩුවේ සෞඛ්‍යයටත් හොඳ නෑ. හැබැයි අපි කියනවා මොන ක්‍රමයවත් නෙමෙයි හරියන්නේ. මේ රටට හරියන්නේ ගම්සභා ක්‍රමය විතරයි කියලා.

සමහරු අාණ්ඩුෙව ඉඳලා දියවෙලා ගියා

දැන් මේ ආණ්ඩුවට තියෙනවා කිව්වා ආර්ථික ප්‍රතිපත්තියක්. ඒත් මිනිස්සු ජීවන බරෙන් මිරිකිලා. එනවා කිව්ව ආයෝජකයෝ නෑ. මේකද ප්‍රතිපත්තිය?
ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ආණ්ඩුවට ආර්ථික ප්‍රතිපත්තියක් නෑ. ඒක පැහැදිලියි. නමුත් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබ්බා යම්කිසි ආර්ථික ප්‍රතිපත්තියක්. ඒත් ඒක මහමැතිවරණයේදී එජාපය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් එක්ක පරස්පරතා ඇතිවෙලා. මේ ප්‍රශ්නය වහාම විසඳාගත යුතුයි. එහෙම නැතිවුණොත් වෙන්නේ ඉස්සෙල්ලා ආණ්ඩුවේ අයහපත් දේවල්වලට එහා දේවල් වෙන එක. ඒ නිසා ජනතාවට සුබවාදී ආර්ථික සැලසුමක් ඉක්මනින් රටට ඉදිරිපත් කරන්න වෙනවා. ඒක ජනාධිපතිවරයාගේ වගකීම.

මේ ආණ්ඩුව මෙහෙයවන්නේ ජාත්‍යන්තරය විසින් නේද?
විදේශීය බලවේගවලට අනුව ලංකාවේ දේශපාලන ගමන වෙනස් වෙන්නේ නෑ. ඒ නිසයි මේ වෙනස්වීම කරගත්තේ. ඒත් එවැනි බලපෑම් යම් විදිහක තුලනය කරගැනීමේ හැකියාවක් රජයට තියෙන්න ඕන. කොහොම වුණත් ලංකාව පිහිටලා තියෙන්නේ භූගෝලීය වශයෙන් සංවේදී කලාපයක. ඒ නිසා සමබර දේශපාලන, විදේශ ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. පැත්තකට වැඩිවෙලා හරියන්නේ නෑ. ඒත් මේ ආණ්ඩුව තවම සමබර නෑ. ඒ නිසා ඒක ජනාධිපතිවරයා විසඳිය යුතුයි. කොහොම වුණත් රටේ ප්‍රශ්න ගැන බලද්දී විදේශීය බලවේගයක් නෑ. තියෙන්නේ ඉන්න නායකයෝ ඒකමතිකව වැඩ කරන්නේ නැති අවුලක් තියෙන්නේ. ඒ නිසා හැකි ඉක්මනින් මේ ප්‍රශ්න විසඳාගත යුතුයි.

ආණ්ඩු ගේනකොට කිව්වේ ඉස්සෙල්ලා හොරු එලවමු කියලා. ඒත් ආණ්ඩු ඇවිල්ලා හුස්මක් ගන්න හම්බවුණේ නෑ. බැඳුම්කර චෝදනාව ආවා. දැන් හොරු කොහෙද?
සම්පූර්ණයෙන් ඇත්ත. ඒවා විවේචනය කරමින් අපිත් එක්ක බලයට ආපු පිරිස් පවා දැන් ඒ මඩවළේ වැටිලා ඉන්නවා. මේක තමයි අපිට තියෙන අභියෝගය. කොහොම වුණත් මේ එල්ලවෙලා තියෙන දූෂණ චෝදනාවලින් නිදහස් වෙන්න රජය දැනගන්න ඕන. ඒ සඳහා කඩිනමින් පරීක්ෂණ තියලා ඇත්ත එළියට පෙන්නන්න ඕන. එහෙම නොකරන මොහොතක් නිසා මේ රජය විශාල අගාධයකට යනවා.

ඔබ ජාතික හෙළ උරුමයේ සාමාජිකයෙක්. ඇයි මේ හෙළ උරැමයට සීමා පේන්නේ නැත්තේ බයද?
ජාතික හෙළ උරුමය කියන්නේ ඉතිහාසයේ විශාල කාර්යභාරයක් සිදුකළ ව්‍යාපාරයක්. අපි ත්‍රස්ත විරෝධී බලවේගයේ දේශපාලන ක්‍රියාදාමයක් හැටියට තමයි පසුව සිහල උරුමයත් වර්තමානයේ ජාතික හෙළ උරුමයත් ගොඩනැගුවේ. ජාතික හෙළ උරුමය කියන පුළුල් ව්‍යාපාරය ගොඩනැගුවේ අපේ රතන හාමුදුරුවෝ. හැබැයි පසුකාලීනව ජාතික හෙළ උරුමයට සිය කාර්යභාරය කරන්න බැරිවුණා. මේ නිසා සමාජයේ තියෙන හිඩැස හෙළ උරුමයට පුරවන්න බෑ. ඒ ව්‍යාපාරයේ තිබූ ඓතිහාසික කාර්ය භාරය අහෝසි වෙලා තියෙනවා. ඒ නිසා අලුත් ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒ සඳහා නායකත්වය ගන්නයි රතන හාමුදුරුවෝ පෙරට ආවේ. ඒ නිසා ඒ බලවේගයයි ජාතික හෙළ උරුමයේ බලවේගය එකතුවෙලා රජය නිවැරදි මාර්ගයට ගතයුතුයි. ඒ සඳහා තමයි ශ්‍රී ලංකා ජාතික මහා සභාව ගොඩනැගුවේ. ඒ හරහා ගිලිහුණු ධජය නැවත ආපහු ඔසවන්න කටයුතු කරනවා.

රතන හාමුදුරුවන්ගේ මේ වැඩකටයුතු පිටිපස්සේ ඉන්නේ ඔබද?
මම රතන හාමුදුරුවෝ හඳුනා ගන්නත් කලියෙන් තමයි චම්පික රණවක මහත්තයා හඳුනාගත්තේ. අපි එකට මොරටුව විශ්ව විද්‍යාලයේ හිටියේ. 1992 ඉඳලා දිර්ඝ ගමනක් ආවා. අපි අභ්‍යන්තර සාකච්ඡාවලදී යම් යම් ගැටුම් තිබ්බා. වර්තමානයේදී මේ රජය හරි මගට ගන්නවාද නැද්ද යන ප්‍රශ්න ගැන තමයි මතබේදයක් තිබුණේ. එක පාර්ශ්වයක් කිව්වා මේ රාජ්‍ය බලය පාවිච්චි කරගෙන ඔහේ ඉමු 2020 වෙනකල් කියලා. නමුත් රතන හාමුදුරුවෝ යෝජනා කළේ මේ විනාශයට අපිට වගකියන්න වෙනවා. 2020 වෙනකොට රටක් ඉතුරු වෙන්නෑ කියන තැන. ඒ නිසා රතන හාමුදුරුවෝ ඉදිරිපත් කරන මතවාදය එක්ක මගේ අදහස් සමාන වුණා. ඒ නිසා තමයි අපි එක වැඩපිළිවෙළක ඉන්නේ. එහෙම නැතුව කවුරුවත් පිටිපස්සේ නෑ. මොකද මේ අවස්ථාවේදී අපි මැදිහත් නොවුණොත් 2020දී අපිට රටක් ඉතුරැ වෙන්නේ නෑ. ඒකයි අපි ඉදිරියෙන් ඉන්නේ.

ඔබ එකඟද නව ව්‍යවස්ථාවක් ගේනවට?
අලුත් ව්‍යවස්ථාවට එකඟ නෑ. අපි කියන්නේ තියෙන ව්‍යවස්ථාව සංශෝධනය විය යුතුයි කියලා.

ඔබ එකඟද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට?
නෑ. විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුයි. මැතිවරණ ක්‍රමය කේවල ක්‍රමයට යනවා නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙනවට විරැද්ධ නෑ. එහෙම සංවාදයක් නෑ. සංවාදය තියෙන්නේ සමානුපාතික ක්‍රමය රැකගන්න එක. ඒ නිසා විධායකය අහෝසි කරන්න අවශ්‍ය නෑ.

ඔබ හිතනවද කැබිනට් සංශෝධනයක් විය යුතුයි කියලා?
එහෙම කතාවක් යනවා. ඒත් එවැනි දෙයක් සිද්ධ වෙන්නේ කුමන ප්‍රතිපත්තියක් මතද යන්න කියන එක ගැන හොයන්න ඕන. එහෙම නැතුව නිකම්ම ඇමැතිවරුන්ගේ පුටු මාරුකරන්න නරකයි. ඒක තේරුමක් නෑ. වෙනසක් වෙන්න ඕන. ඒ රට ප්‍රතිපත්ති මාලාවකට ගෙන එන්න.

ඔබ සහ රතන හාමුදුරුවෝ එකතු වී ග්ලයිෆොසෙට් තහනම් කරලා ගොවියා අනාථ කළා නේද?
එහෙම බොරුවක් කරලා නෑ. අපි ඔප්පු කරලා තියෙනවා ගොවියෝ ග්ලයිෆොසෙට් ගහලා තියෙන්නේ බොරුවට කියලා. එම අස්වැන්නම කාබනික පොහොර භාවිත කළ ගොවියෝ අරගෙන තියෙනවා. අපි ගොවියෝ දස දහසක් එක්ක එකට වගා කරලා තියෙනවා. ඒ නිසා ඒ කතාව සම්පූර්ණ බොරුවක්.

 ගයාන් ගාල්ලගේ