2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

සයිබර්කචල් ඉහවහ ගිය ඡන්දය

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 79

පූර්ව මැතිවරණ සමය වැඩි සද්දබද්ද නොමැතිව ගෙවී ගියේය. සංඛ්‍යාත්මකව මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලට දහස් ගණනක් පැමිණිලි ලැබී තිබුණත් ඒ බොහොමයක් වැටුණේ සුළු පැමිණිලි ගණයටය. බරපතළ ගණයේ සිදුවීම් වශයෙන් වාර්තා වූයේ එක් වෙඩි තැබීමකි. එයින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලැබුවත් සිද්ධිය දුරදිග ගියේ නැත. සෙසු සිදුවීම් අතර පහරදීම් සහ දේපළ අලාභ හානි කිරීම්ද වාර්තා වී තිබුණේ සුළු වශයෙනි. ඒ අනුව සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ 07 වැනි ජනාධිපතිවරණයේ පූර්ව මැතිවරණ සමය වාර්තා වන්නේ සාමකාමී කාලසීමාවක් වශයෙනි. මෙය කාටත් සතුටු විය හැකි සැබෑ වෙනසකි.

මෙවර ඡන්දයට නාමයෝජනා බාරදුන් දවසේ පටන්ම සාමකාමී තත්ත්වයක් පැවැති අතර එය ආරක්ෂක කටයුතු භාරව ක්‍රියාකරන පොලීසියටද මහත් පහසුවක් වී තිබිණි. කලකෝලාහල, පහරදීම්, ගිනිතැබීම් සහ දේපොළ හානි කිරීම් වළක්වා ගැනීමට පොලිස් නිලධාරීන්ට කඩිමුඩියේ එහෙ මෙහෙ දිවයාමට සිදුවූයේ නැත. පැවැති සාමකාමී වාතාවරණය පිළිබඳව එක් උසස් පොලිස් නිලධාරියෙක් කෙටියෙන් අපට ප්‍රකාශ කළේ මෙවර ගහ ගැනීම්, බැණගැනීම් සියල්ල සිදුවූයේ සමාජ වෙබ් අඩවි තුළ බවය. ඒ හේතුවෙන් පොලීසියටද වැඩ අඩු වූ බව ඔහුගේ පිළිගැනීම විය. දේශපාලන ආවේග සමාජ වෙබ් අඩවි හරහා පිටකර ගැනීමේ එක් වාසියක් වන්නේ එළියේ ගහ මරාගැනීම් නැවැතීම බව සත්‍යයකි. එහෙත් එම සයිබර් ඡන්ද ප්‍රචණ්ඩ ක්‍රියා වලද සීමාවක් තිබිය යුතුය. මැතිවරණ කොමිසම ඒ කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමුකර තිබුණද පාලනයක් නොමැති පිරිසකට සමාජය තුළ වෛරය වැපිරීමට මේ අවස්ථාව යොදාගැනීමට හැකියාව තිබේ. මැතිවරණය ආරම්භ වන දිනය දක්වාම සයිබරයේ කචල් මහපාරට නොපැමිණි බව සැබෑවකි. එහෙත් වඩාත් වැදගත් වන්නේ ඉදිරියටද ඒ තත්ත්වය පවත්වාගෙන යාමයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ රාජකාරි සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන්ට අමතරව තවත් නියෝජ්‍ය පොලිස්පතිවරැන් 09 දෙනකුද විශේෂ මැතිවරණ රාජකාරි සඳහා යොදවා සිටින බවය. ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කර අවසාන වනතෙක් ඔවුහු දිස්ත්‍රික්ක 09කට විශේෂ රාජකාරි සඳහා අනුයුක්ත කරනු ලැබ සිටිති. පොලීසිය මැතිවරණයේ සාමකාමී බව ආරක්ෂා කිරීමට යොදවනු ලැබ සිටියත් මහජනතාවගෙන් ඒ සඳහා රැකුලක් නොලැබෙන්නේ නම් අපේක්ෂිත සාමය පවත්වා ගැනීම පහසු නොවේ. එහෙයින් මේ දක්වා රටේ ජනතාව විසින් පෙන්වා දී තිබෙන අනවශ්‍ය ලෙස ප්‍රචණ්ඩ ක්‍රියාවලට මැදිහත් නොවී සිටීමේ ක්‍රියා පිළිවෙත ඡන්දයෙන් පසුවත් පවත්වාගෙන යාම අවශ්‍ය බව පෙන්වා දීමට කැමැත්තෙමු.

එසේම මෙවර ජනාධිපතිවරණය සඳහා පෝස්ටර්, බැනර්, කටවුට් ප්‍රදර්ශනය නොකිරීමේ නීති රෙගුලාසි ක්‍රියාත්මකව පවතින බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට පසුගියදා දැනුම් දුන්නේය. පාරිසරික යුක්ති කේන්ද්‍රය මගින් ඒ සම්බන්ධයෙන් ගොනුකර තිබූ රීට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් මේ දැනුම්දීම කරනු ලැබ තිබිණි. ඉදිරි මැතිවරණයේදී පෝස්ටර්, බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීමෙන් සිදුවන දෘශ්‍ය දූෂණයට අදාළ රෙගුලාසි වලට අනුව ක්‍රියාත්මක වීමට පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය මගින් මේ පෙත්සම ගොනුකර තිබිණි. එම පෙත්සමෙන් ඉල්ලා තිබූ නියෝගය මේ වනවිටද ක්‍රියාත්මකව තිබීම ඡන්ද ප්‍රචණ්ඩ ක්‍රියා අවම මට්ටමකට ගෙන ඒමට සමත් වූ බව පෙනෙන්නට තිබේ. මැතිවරණ කොමිසමද ඒ සම්බන්ධයෙන් මුලසිටම දැඩි ස්ථාවරයක සිටිමින් අදාළ නීති රීති පිළිබඳව දේශපාලන පක්ෂවල නායකයන් දැනුම්වත් කිරීමද මේ ආකාරයට සාමකාමී වාතාවරණයන් ඇති කිරීමට බල පා ඇති බවද සඳහන් කළ යුතුය.

මේ අතර සයිබර් අවකාශයේ ෆේස්බුක් හරහා වෛරී ප්‍රකාශන සඳහා ආධාර නොකරන්නැයි පැෆරල් සංවිධානය මගින් ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලීමක්ද කරනු ලැබීය. එයට ඔවුන් මූලික එකඟතාවක් දැක්වූ බවද සඳහන් විය. ඡන්දදායකයන් විසින් ගනු ලබන තීන්දුවලට බලපෑ හැකි කිසිවක් සිදුකිරීමෙන් වැළකී සිටීම හොඳම ක්‍රමයයි. එහෙත් එවැනි ආකල්ප නොමැති පුද්ගලයන් හේතුවෙන් නැති ප්‍රශ්න ඇතිවෙයි. සියලුදෙනා විසින් වළක්වාගත යුත්තේ එම තත්ත්වයයි.

ආරක්ෂක අමාත්‍යංශය මගින්ද කටකතා වළක්වා සත්‍ය තොරතුරැ හැකි ඉක්මණින් මහජනතාව වෙත ලබාදීමට එස්.එම්.එස්. සේවාවක් ආරම්භ කර තිබේ. මෙම සේවාව හරහා ජාතික ආරක්ෂාව සහ හදිසි ආපදා කළමනාකරණ තත්ත්වය පිළිබඳව ජනතාව වහාම දැනුම්වත් කරනු ඇත. මේ මගින් මහජනතාව භීතියට පත්කරන සහ ජනතාවගේ කලබලයට හේතුවිය හැකි කටකතා සහ අසත්‍ය තොරතුරැ පැතිරීම වැළැක්වීමට පියවර ගැනෙයි. මෙවැනි පියවර ගැනීමද රටේ සාමය ආරක්ෂා කර ගැනීම සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

ජනාධිපතිවරණය පිළිබඳ මැතිවරණ කොමිසමේ සියලු කාර්යභාරය අවසන් ප්‍රතිඵලය නිකුත් කොට ජයග්‍රාහකයා නම් කිරීමත් සමඟ නිමාවට පත්වෙයි. ඉන් අනතුරැව අලුත් ජනාධිපතිවරයා දිවුරුම් දීම සිදුවනු ඇත. අලුත් ජනාධිපතිවරයා සිය රාජකාරි ආරම්භ කළ යුතු වන්නේ සන්සුන් මනසකින් යුතුවය. මේ බව ඡන්දය දුන් නුදුන් සියලු ජනතාව දැන සිටිය යුතුය. එසේම පවතින වත්මන් තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යාමට හැකිවෙයි නම් අපේ රට තුළද ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර මැතිවරණ පැවැත්වීම තවදුරටත් සිහිනයක් නොවනු ඇත.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00