2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

උතුරේ යෝජනා 13න් එකක්වත් මා පිළිගන්නේ නෑ

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 61

උතුරේ යෝජනා 13න් එකක්වත් මා පිළිගන්නෙ නෑ

- නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

නඩු අහන්න ප්‍රමාද වුණාට කාටවත් වරදින් නිදහස් වෙන්න බෑ

එම්.සී.සී. ගිවිසුම ගැන සංවාදයක් ඇති කරනවා

මගේ රාජ්‍ය පාලනය එක පවුලක වරිග සභා පාලනයක් නොවේ

රාජපක්ෂලා එක්ක ඩීල් දැම්මේ කවුද කියලා ජනතාව අහනවා

ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන්නේ නෑ

රටට ආධාර ගන්න ආධාර සමුළුවක් තියනවා

සජින්ගේත් මර්වින්ගේත් හෙළිදරව්ව වැදගත්

එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයත්, ඔබේ පියාත්, රනිල් වික‍්‍රමසිංහ මහතාත් ජනපති අපේක්ෂකත්වයට ආවේ අග‍්‍රාමාත්‍ය ධූර දරලා. ඔබ කෙළින්ම එන්නේ ජනපති අපේක්ෂකත්වයට. රාජ්‍ය පාලනය ගැන ඔබට අත්දැකීම් අඩුයි කියලා කාට හරි කියන්න පුළුවන් නේද?

ඒ ප‍්‍රකාශය මම සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරනවා. පසුගිය වසර 25ක කාලය පුරාම මම ජීවත්වුණේ මගේ රටේමගේ ජනතාව අතර මිසක් විදේශ රටක නෙමෙයි. මගේ පියා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකින් මියගිය දිනයේ ඉඳලා අද දක්වාම මම මට අනන්‍ය වූ දේශපාලන ගමනක් නිර්මාණය කරගත්තා. ඒ දේශපාලන ගමන තුළදී මම මේ රටේ සෑම ජන වර්ගයකමආර්ථික මට්ටමකමදැනුම් මට්ටමකම ජනතාව ඇසුරු කර තිබෙනවා. ඒ හරහා මේ රටේ ජීවත්වන සෑම ජනකොටසකගේම ගැටලු සහ ඒවාට අවශ්‍ය ලබාදිය යුතු විසඳුම් පිළිබඳව මට අවබෝධයක් තිබෙනවා. විදේශගතව ලැබූ අධ්‍යාපනය නිසා මම ලෝකය සමඟ ගනුදෙනු කළයුතු ආකාරය දන්නවා. කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් මට මේ රටේ රාජ්‍ය සේවය පිළිබඳව ප‍්‍රායෝගික අවබෝධයක් තිබෙනවා. ඒ සියලු අත්දැකීම් ප‍්‍රමාණවත් මේ රටේ රාජ්‍ය නායකයා වශයෙන් කටයුතු කරන්න.

වසර 14කට පස්සේ එජාප අපේක්ෂකයෙක් තරගයට එන්නේ. ඔබ හිතනවද එජාප ජනපති කෙනෙක් හැටියට ඔබට ජයග‍්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා?

එක්සත් ජාතික පක්ෂය තුළ නව වෙනසක් සිදුවෙමින් පවතිනවා. අපේ පක්ෂය එක් පවුලක හෝ ගජ සුමිතුරු කල්ලියක බූදලයක් නොවෙයි. එය මේ රටේ විශාලතම දේශපාලන පක්ෂය. මම අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්වන නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ තුළ සිටින සියලු පක්ෂ මේ රටේ දූෂණයවංචාව සහ පවුල්වාදය තුරන් කිරීම සඳහා එකාවන්ව අත්වැල් බැඳගෙන ක‍්‍රියා කරනවා. එක්සත් ජාතික පක්ෂය ඒ සඳහා නායකත්වය ලබා දෙනවා.

ජනතාව දැන් පවුල්වාදයෙන් සහ දූෂණයෙන් තොර කුසලතාවයට සහ නිපුණතාවයට මුල්තැන දෙන නව රටක් කෙරෙහි සේමනව තරුණ කණ්ඩායමක් බලය දරන පිරිසුදු ආණ්ඩුවක් ඇතිකර ගැනීම සඳහා සුවිසල් බලාපොරොත්තුවකින් පසුවනවා. ඒ බලාපොරොත්තුව ඉටුකිරීම සඳහා ඔවුන්ට ඇති එකම තෝරාගැනීම මම සහ මගේ කණ්ඩායමයි.  අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාව එළඹෙන 16 වැනිදාට ඒ නිවැරදි තීන්දුව ගන්නවා. මගේත් මගේ කණ්ඩායමේත් විජයග‍්‍රහණය මට පායන හිරු සේ විශ්වාසයි.

වර්තමානයේ කතාවෙනවා පවුල් දේශපාලනය වැඩියි කියලා. ඔබත් පවුලත් දේශපාලන පවුලක්. මේ රටේ නායකයෝ වෙන්න පුළුවන්, ඉඩ තියෙන්නේ දේශපාලන පවුල්වල අයට විතරද?

මගේ පියා මේ රටේ සිටි විධායක ජනාධිපතිවරයෙක්. අවාසනාවන්ත ලෙස ඔහු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකින් මියගියා. ඔහු මිය යනවිට මම තරුණයෙක්. ඔහුගෙන් පසුව මේ රටේ දේශපාලනය තුළ මගේ පියාගේ සහෝදරයන් හෝ ඥාතීන් ඔබ දැකලා තියනවද?  කිසිවකුත් නැහැ. මගේ පියා ඝාතනය වූ දා සිට මම මේ රටේ පොදු ජනතාව අතර ජීවත්වුණා. ඔවුන් මාව ආදරයෙන් බලාගත්තා. අද දෙවුන්දරතුඩුවේ සිට පේදුරැතුඩුව දක්වා ජීවත්වන සියලුම ජනතාව මට මගේ පවුලයි. මගේ පවුල වාසගම මත හෝ ලේ ඥාතීත්වය මත තීරණය වන්නක් නොවෙයි. එය මනුෂ්‍යත්වය මත තීරණය වන්නක්.

දශක තුනකට ආසන්න කාලයක් පැරණි මගේ දේශපාලන ජීවිතය කිසිසේත්ම මගේ පියාගේ බලය මත නිර්මාණය වූවක් නොවෙයි. එය මේ රටේ පොදු ජනතාව සහ මා අතර වූ එකඟතාවයන් මත නිර්මාණය වූ දේශපාලන ජීවිතයක්. මාව මේ තනතුරට ඔසවා තැබුවේ මේ රටේ පොදු ජනතාව මිසක් මගේ පවුල නෙමෙයි. මගෙන් පසුව මේ රටේ පාලන බලය නැවත පේ‍්‍රමදාස කෙනකුට හිමිවන්නේත් නැහැ. මේ රටේ පාලනය නිසි නිපුණතාවයකුසලතාවය හිමි කණ්ඩායමකට හිමිවිය යුතුයි. පවුල්වාදය හෝ ගජමිතුරුවාදය මත මේ රටේ පාලනය සිදු නොවිය යුතුයි යන්න මා දැඩිව විශ්වාස කරනවා.

ඔබ ජනතාවට විශාල පොරොන්දු රාශියක් දෙනවා. මේ දේවල් කරන්න මුදල් කොහොමද හොයාගන්නේ?

අපේ රටේ රාජ්‍ය ආදායම අපි ලබාගෙන ඇති ණය සහ පොලී ගෙවීමටවත් ප‍්‍රමාණවත් නොවීම මත අප මේ වනවිට බරපතළ අර්බුදයකට මුහුණ දී තිබෙනවා. ජනතාව මත බදු පිට බදු පටවමින් ආදායම් තර කරගැනීම හෝ රටේ ධනපති පන්තියේ නව ආයෝජන අධෛර්යමත් කරන ආදායම් බදු ප‍්‍රතිපත්තියකින් අපට ඉදිරියට යාමට නොහැකියි. මත්ද්‍රව්‍යමත්පැන් සහ දුම්වැටි පිටුදැකීම අපේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය වුවත් අපේ රටේ බදු ආදායමෙන් විශාල කොටසක් ලැබෙන්නේ ඒවායින්. මේ තත්ත්වය අප වෙනස් කළ යුතුයි.

සියවස් ගණනාවක් පුරා අප ලෝකයේ  සියලු රටවල් සමඟ ඉතා හොඳින් සම්බන්ධතා පවත්වාගෙන ගිය මිත‍්‍රශීලී රාජ්‍යයක්. දැන් අපට ඔවුන්ගේ උදව් අවශ්‍යයි. මා ජනපති වූ වහාම අපගේ සියලු මිත‍්‍ර රටවල් සඳහා ආධාර සමුළුවකට ආරාධනා කරනවා. එය කිසිසේත්ම ණය ඉල්ලා දණින් වැටීමක් නොවෙයි.  අප දැනට අධික පොලියට ලබාගෙන තිබෙන වාණිජ ණය මුදල් සඳහා ලිහිල් යම් සහනයක් ලබාගැනීමටත්ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා නව වෙළඳපොළ ඇතිකර ගැනීමත්ශ‍්‍රී ලංකාවට නව විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමත් මෙම ආධාර සමුළුවේ මුඛ්‍ය පරමාර්ථයයි.

වරායගුවන්තොටුපළවිදුලිබල මණ්ඩලයරේගුවඛනිජ තෙල් සංස්ථාව වැනි ප‍්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන ඇතුළු ආර්ථික වශයෙන් සංවේදී සියලුම රාජ්‍ය ආයතන සඳහා ඉහළ නිපුණතාවයකින් යුතු වෘත්තීයවේදී පාලනයක් නිර්මාණය කිරීමට මා කටයුතු කරනවා. ඒ හරහා වඩා උසස් මහජන සේවයක් සපයමින් ඉහළ ලාභ ලබන ආයතන බවට රාජ්‍ය ආයතන පත්කිරීම මගේ බලාපොරොත්තුවයි.

නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා රටේ ව්‍යාපාරික ප‍්‍රජාවට අවශ්‍ය බදු සහන සහ අනෙකුත් සහාය අප සැපයිය යුතුයි. ඒ හරහා වක‍්‍රාකාරයෙන් රජයට විශාල ආදායමක් ජනනය කරගත හැකි වනවා. වෙළෙඳපොළ ක‍්‍රමය ශක්තිමත් කිරීම හරහා නව ධනය උත්පාදනය කිරීමටත්, දූෂණයෙන් හා නාස්තියෙන් තොරව රටේ සියලු ජනතාව වෙත සමානව ආර්ථික ප‍්‍රතිලාභ බෙදාහැරීමත් හරහා අපේ රටේ ආර්ථිකය ගොඩනැංවිය හැකි බවයි මා විශ්වාස කරන්නේ.

රටේ මෙච්චර ප‍්‍රශ්න තියෙද්දී කාන්තා සනීපාරක්ෂක තුවා ගැන කතාකරනවා කියලා ඔබට විපක්ෂයෙන් චෝදනා එනවා. ඇත්තටම ඇයි ඔබ එවැනි සංවේදී කාරණයක් දේශපාලන වේදිකාවට බය නැතිව ගෙනාවේ?

මේ රටේ ජනගහණයෙන් බහුතරයක් දෙනා කාන්තාවන්. සෑම පිරිමියෙක්ගේම ජීවිතයේ විවිධ අවධීන්වලදී කාන්තාවක් සමඟ සමීපව ජීවත්වෙන්න සිද්ධවෙනවා. මවක්, සහෝදරියක්භාර්යාවක් සහ දියණියක් විදිහට ඇය අපේ සමාජයේ විශාල වගකීමක් දරනවා. එම නිසා කාන්තාවන්ගේ ගැටලු කෙරෙහි අප සංවේදී විය යුතුයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවන්ට අනුව ශ‍්‍රී ලංකාවේ තරුණ ගැහැණු දරුවන් අතරින් විශාල ප‍්‍රමාණයක් සනීපාරක්ෂක තුවා සඳහා වූ ප‍්‍රවේශයන් සීමාවීමෙන් පීඩා විඳිනවා. එය ඔවුන්ට විශාල කායික හා මානසික වදයක්. එම නිසයි මා ඒ ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් යෝජනා කළේ. අපේ රටේ කාන්තාව ආත්ම ගරැත්වයෙන් යුතුව ජීවත් විය යුතුයි. ඒ සඳහා මේ රටේ භාරකරුවා වශයෙන් මට ගතහැකි සෑම ක‍්‍රියාමාර්ගයක්ම මා ගන්නවා.

රාජපක්ෂ ආණ්ඩුව තියෙන කාලේ වැඩියෙන්ම ඔබලාට බැන්න දෙන්නෙක් තමයි සජින් වාස් සහ මර්වින් සිල්වා. අද ඔවුන් ඔබේ වේදිකාවේ. ඇයි ඒ?

ඔබ ඔය නම් සඳහන් කළ දෙදෙනාම රාජපක්ෂ වනචර දශකයේ ඒ පාලනයේ කොටස්කරුවන් බවට පත්ව සිටි බව සැබෑවක්. නමුත් ඔවුන් දැන් ඒ පිළිබඳව අවංකවම කණගාටුවට පත්වනවා. ඔවුන් දෙදෙනාටම මේ වනවිට මරණීය තර්ජන පවා එල්ල වෙමින් පවතිනවා. ඉන් අදහස් වෙන්නේ නැහැ ඔවුන් ඒ සමයේ සිදුකළ සියලු දෑ නිවැරුදි බව. රටේ නීතියට පටහැනිව ඔවුන් යම් ක‍්‍රියාවක නිරත වී ඇත්නම් කිසිදු වෙනසකින් තොරව ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතුයි.

වඩා වැදගත් වනුයේ රාජපක්ෂ පාලන සමයේදී ඔවුන් වරදකරුවන් බවට පත්කරවමින් ප‍්‍රධානීන් විසින් ගෙන ගිය අශිලාචාර පාලනය පිළිබඳව ඔවුන් කරන හෙළිදරව්ව. ඒ සම්බන්ධයෙන් මේ රටේ ජනතාව සිය අවධානය යොමුකළ යුතුයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්මයා කිව්වා බලය ලැබුණොත් රාජපක්ෂල එල්ලනව කියලා. එක එක නම් කියලා බැන්න. මේ ඡන්දවලට හානියක් නෙමෙයිද?

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා යුද්ධය අවසන් කිරීම සඳහා හමුදාවට නායකත්වය ලබාදුන් ශ්‍රේෂ්ඨ රණවිරැවෙක්. නමුත් රාජපක්ෂ පාලනය විසින් ඔහුගෙන් ඉතා දරුණු විදිහට පළිගත්තා. පෘතග්ජනයකු වශයෙන් ඔහුට ඒ සමබන්ධයෙන් යම් පෞද්ගලික හැඟීමක් ඇති. එය ඔහු ප‍්‍රකාශ කරන්න ඇති. නමුත් ඔහු ආරක්ෂක ඇමතිවරයා වන රටේ ජනාධිපතිවරයා මමයි. කිසිදු පුද්ගලයකුට සිය පෞද්ගලික ප‍්‍රශ්න මත තවත් කෙනෙකුගෙන් පළි ගැනීමට මම කිසිසේත් ඉඩ ලබාදෙන්නේ නැහැ. යමෙකු වරදක් කර ඇත්නම් ඒ සඳහා නීතිය ක‍්‍රියාත්මක කළ යුතු නෛතික ක‍්‍රමවේදයක් පවතිනවා. ඒ ක‍්‍රමවේදය අනුව රටේ අධිකරණය හරහා යමෙකු වරදකරුවකු වන්නේ නම් පමණක් ඔහුට ඒ වරදට අදාළ දඬුවම ලබාදීමට මා ක‍්‍රියා කරනවා. කිසිදු පෞද්ගලික පළිගැනීමක් සදහා මගේ පාලනය යටතේ කිසිදු ඉඩක් නැහැ.

2015 මැතිවරණයේදී රජපක්ෂලා හිරේ අරිනවා කිව්වා. ඒත් අවුරුදු හතරක් පැන්නා. අන්තිමට ගෝඨාභය රාජපක්ෂ ඔබේ විරුද්ධ අපේක්ෂකයා වුණා. මිනිස්සු පිළිගනීද ඔබ කියන දේවල්?

පසුගිය රජයේ පාලන සමය තුළ සිදුවූ මිනීමැරුම්මහා පරිමාණ මූල්‍ය වංචා සහ අනෙකුත් දූෂණ ක‍්‍රියා සඳහා කඩිනමින් යුක්තිය පසිඳලිය හැකි ආකාරයේ ශක්තිමත්ස්වාධීන අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා අප අසමත් වී තිබෙන බවයි මගේ හැඟීම. ඒ නිසා මේ රටේ අධිකරණ පද්ධතිය සහ පොලීසිය පූර්ණ ප‍්‍රතිසංවිධානයකට  ලක්කළ යුතුයි. ඒ හරහා එක් කණ්ඩායමකට පමණක් නොවෙයිමේ රටේ වැරදිකරැවන් සියලුමදෙනාට අප දඬුවම් ලබාදිය යුතුයි.

ජනතාව දන්නවා කවුද මේ ක‍්‍රියාදාමය අඩපණ කරන්න ඩීල් දැම්මේ කියලා. ජනතාව දන්නවා අපිට ලැබුණු ජනවරම අවභාවිත කළේ කවුද කියලා. ඔවුන් දන්නවා මම කවුද කියලා. ඒ නිසා ඔවුන් මා කෙරෙහි තබා ඇති විශ්වාසයට ඉන් අබමල් රේණුවක හෝ හානියක් වන්නේ නැහැ.

ඔබලා රාජපක්ෂලගේ චෝදනා ඔප්පු කරගන්න බැරිනිසා ඔවුන් නිර්දෝෂි කියලා ඔවුන්ම කියනවා?

නඩු ඇසීමේ ප‍්‍රමාදයන් තිබීමෙන් හෝ නඩුවල තාක්ෂණික දෝෂ පැවතීමෙන් පුද්ගලයෙක්ට වරදින් නිදහස් වෙන්න බෑ. හෘදය සාක්ෂිය දන්නවා ඔවුන් වරදක් කළාද නැද්ද කියලා. නමුත් හෘදය සාක්ෂි සම්බන්ධයෙන් පසුතැවිලි වෙමින් අපරාධවලට දඬුවම් නොදී ඉන්න රජයකට බෑ. අපරාධකරුවන් දඬුවම් ලැබිය යුතුයි.

දෙමළ ජාතික සන්ධානය ඔබට සහාය දෙන්න දැන් බහුතරයක් එකඟවෙලා. ඒකට විපක්ෂයේ අය කියනවා ඔබ ගිවිසුමකට ගිහින් කියලා. ඇත්තටම එහෙමද?

දමිළ දේශපාලන පක්ෂ කිහිපයක් හා එක්ව යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් විසින් සකස් කළ යෝජනා 13න් එකදු යෝජනාවක් හෝ මා පිළිගන්නේ නැහැ. දමිළ ජාතික සංධානයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂය වන ඉලෙංගෙයි තමිල් අරසු සහ තවත් පක්ෂ ගණනාවක් මා සමඟ වරින්වර අදහස් හුවමාරු කරගත්තා. සියලු දෙනාගේම ප‍්‍රගතිශීලී අදහස් සහිතව මම මගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කළා. ඔවුන් මගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සමඟ එකඟ වී තිබෙනවා. එය සියලු ජනතාව දන්නා හඳුනන පොදු ලියවිල්ලක්. ඒ හැරුණුවිට වෙනත් කිසිදු කොන්දේසියක් හෝ ගිවිසුමක් කිසිදු දේශපාලන කණ්ඩායමක් හෝ පක්ෂයක් හෝ පුද්ගලයකු සමඟ මට නැහැ.

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් මා සමඟ සන්ධාන ගතවූ සියලුදෙනා පෞද්ගලික න්‍යාය පත‍්‍රවලින් ඉවත් වී පොදු ජාතික න්‍යාය පත‍්‍රයක් සඳහා එකඟ වී තිබෙනවා. දූෂිත පවුල් පාලනය නැවතත් මේ මහ පොළව මත පරාජය කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන රටක් නිර්මාණය කරගැනීම තමයි ඒ පොදු එකඟතාවය.

එම්.සී.සී. ගිවිසුම රට ඇමෙරිකාවට විකුණන වැඩක් කියලා විපක්ෂය අය චෝදනා කරනවා. ඇත්තටම ඒක එහෙම දෙයක්ද. ඔබේ ආණ්ඩුවකදී ඊට එකඟ වෙනවද?

එක්සත් ජනපදයේ සහශ‍්‍ර සංවර්ධන අභියෝග පිළිබඳ ආයතනය වෙත අපේ රටේ රාජ්‍ය ආයතන කිහිපයක් පලදායී යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. එම යෝජනා සලකා බැලීමෙන් අනතුරුව ඉන් කිහිපයකට මූල්‍ය ආධාර පිරිනැමීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.

රටේ ප‍්‍රවාහන පද්ධතිය දියුණු කිරීම හා මහාමාර්ග සංවර්ධනයටමංසන්ධි සංවර්ධනයට සහ පදිකමාරු දියුණු කිරීමට මෙන්ම බස් රථ නවීකරණ වැඩසටහනකටද මේ හරහා මුදල් ලැබෙනවා. ඊට අමතරව කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල වාහන තදබදය අවම කිරීම සදහා නවීන තාක්ෂණයෙන් සමන්විත ව්‍යාපෘතියක් වෙනුවෙන්ද මේ හරහා අරමුදල් ලැබෙනවා. ඉඩම් නැති ජනතාවට සහ බලපත‍්‍ර මත ජීවත්වන ජනතාවට නිරවුල් ඉඩම් භුක්තියක් ලබාදීම අරමුණු කරගනිමින් ඉඩම් රෙජිස්ටාර් කාර්යාල 20ක් ඉදිකිරීම හරහා කඩිනම් ඔප්පු ප‍්‍රදානය කිරීමේ වැඩසටහනක් දියත් කිරීමටද මේ හරහා අරමුදල් හිමිවෙනවා.

කෙසේ වෙතත් මෙම අරමුදල් ලැබෙන ආකාරයත් එම අරමුදල් ආයෝජනය කරන ආකාරයත් පිළිබඳව රට තුළ සංවාදයක් ඇතිවී තිබෙනවා. එම නිසා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් මේ පිළිබඳව විධිමත් සාකච්ජාවක් ඇතිකිරීමට මා කටයුතු කරනවා.  මේ ව්‍යාපෘති හරහා කෙතරම් හොඳ ප‍්‍රතිලාභ රටට ලැබුණත් මේ සියලු ගිවිසුම්වලට එළඹිය යුත්තේ මේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට මෙන්ම ජනතා අභිලාශයන්ට අනුකූලව බවයි මා විශ්වාස කරන්නේ. ඒ නිසා කඩිමුඩියේ මෙම ගිවිසුම හෝ වෙනත් කිසිදු ගිවිසුමක් අත්සන් කිරීමට මා ක‍්‍රියාකරන්නේ නැහැ. ශ‍්‍රී ලංකාවේ  ජනතාවගේ අපේක්ෂාවන් ජයග‍්‍රහණය කරවීම සදහා මා ක‍්‍රියා කරනවා.

ඔබ ජ්‍යොතිෂය විශ්වාස කරනවද?

ජ්‍යොතිෂය යනු සියවස් ගණනාවක් පුරා ග‍්‍රහ තරු පිහිටීම විශ්ලේශණය කිරීමෙන් නිර්මාණය කරගත් දැනුම් පද්ධතියක්. එය ගණිතය විෂය සමඟත් සමීප සම්බන්ධයක් තිබෙනවා. රටේ පොදු පාලන කටයුතුවලදී ජ්‍යෝතිෂය ගැන මහා බර තැබීමක් සිදුකිරීමට අවශ්‍ය නැහැ. නමුත් පෞද්ගලිකව යම් යම් විශ්වාසයන් පැවතිය හැකියි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක්. එම විෂය සම්බන්ධයෙන් මා තුළ ඇත්තේ ඉතා මැදිහත් හැඟීමක්.

අවසාන වශයෙන් සජිත් පේමදාස අනෙකුත් අපේක්ෂයන්ට වඩා වෙනස්වෙන්නේ කොහොමද?

ඇතැම් පාර්ශ්වයන් හැමදාම දේශපාලනය දිහා බලන්නේ ප‍්‍රතිවිරෝධී කණ්ඩායම් අතර පවතින ගැටුමක් විදිහට. කාලයක් තිබ්බා මේ රටේ යූ.ඇන්.පී. විරෝධී සන්ධාන හැදුණා. සමහර අවස්ථාවල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ විරෝධී සන්ධාන හැදුණා. නමුත් අද තියෙන්නේ පවුල් පාලනයකට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලන මිනිස්සුන්ගේ සන්ධානයක්. හැමෝම දන්නවා මේ ඡන්දයෙන් ජයගන්නේ එක්කෙනයි කියලා. ඒ සඳහා සුදුසුම අපේක්ෂකත්වය තිබෙන්නේත්,  ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කළ හැක්කේත් මට පමණයි. රටේ රාජ්‍ය පරිපාලන සේවයඅධ්‍යාපන සේවයසෞඛ්‍ය සේවයප‍්‍රවාහන සේවය ඇතුළු සියලුම ප‍්‍රමුඛ රාජ්‍ය සේවාවන්හි නායකත්වය ඒ ඒ ක්ෂේත‍්‍රයන් පිළිබඳව ඉහළ නිපුණත්වයක් සහිත නව දක්ෂයන් කණ්ඩායමකට ලබාදීමට මම ක‍්‍රියාකරන බව ප‍්‍රකාශ කිරීමට කැමතියි.

මගේ පාලනය කිසිසේත්ම එක් පවුලක වරිග සභාවක් මගින් සිදුකරන රාජ්‍ය පාලනයක් නොව කුසලතාවයටනිපුණතාවයට ප‍්‍රමුඛත්වය ලබාදෙන දක්ෂ කණ්ඩායමකගේ පාලනයක් බව මම ඔබට දිවුරා පොරොන්දු වනවා. මේ රටේ පාලනයේ ජනතාව බලාපොරොත්තු වන වෙනස සිදුකළ හැකි,  දැනුම මත පදනම් වූ ආර්ථිකයක් නිර්මාණය කළ හැකිකුසලතාවයට නිපුණතාවයට මුල්තැන දෙන රටක් හදන්න පුළුවන් එකම අපේක්ෂකයා මමයි, මගේ කණ්ඩායමයි. ඒ නිසා මගේ ඡන්ද කැඩෙන්නේ නෑ. මා වෙනුවෙන් විකල්ප නැහැ.

► ගයාන් ගාල්ලගේ