2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

සන්ධාන වාසිය

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 165

ජනාධිපතිවරණ සටන අන්තිම සතියට එළඹී තිබේ. ලබන සතියේ ඉරිදා (17) වන විට ජයග්‍රාහකයා කවුදැයි තීරණය වී හමාරය. එහෙත් ඡන්ද පත්‍රිකාවේ අඩි දෙකේ ප්‍රමාණය හේතුවෙන් ගණන් කිරීම ප්‍රමාද වනු ඇති බවත් ඒ හේතුවෙන් අවසන් ප්‍රතිඵලය නිකුත් කර අවසාන වන විට සඳුදා (18) උදෑසන වනු ඇති බවත් මැතිවරණ කොමිසම කලින්ම ප්‍රකාශ කර තිබුණි. කෙසේ වුවද නිල නොවන මට්ටමින් ලබන ඉරිදා සවස් යාමය වන විට ජයග්‍රාහකයා පිළිබඳ කිසියම් ඉඟියක් ලබාගත හැකි වනු ඇතැයි සිතාගත හැක.

එහෙත් එසේ වනු ඇත්තේ ජනාධිපතිවරණයේ ලොකුම සටන ඇති අපේක්ෂකයන් දෙදෙනා වන ගෝඨාභය සහ සජිත් අතරින් කෙනකු සෑහෙන පරතරයකින් ජය ගත්තොත් පමණි. එය කරට කර සටනක් වී අන්තිම ඕවරයේ දී විසඳෙන තරගයක් වූවොත් ප්‍රතිඵලය තවදුරටත් පමාවනු ඇත. කොහොම වුණත් නොවැම්බර් 18 වැනිදායින් ඇරුඹෙන සතිය මීළඟ පස් වසර සඳහා රටට අලුත් ජනාධිපතිවරයකු බිහිකර තිබෙනු ඇත. එයින් පසුව රටට අලුත් ආරම්භයක් ලැබෙනු ඇත.

ජයග්‍රහණය පිළිබඳ සටන ඇත්තේ ගෝඨාභය සහ සජිත් අතර බව පැහැදිලිය. අනුර කුමාර දිසානායක ජවිපෙ ප්‍රමුඛ සන්ධානයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ජයග්‍රහණය ලැබීමකට වඩා තමන්ගේ ප්‍රතිපත්ති අගය කරන ඡන්ද දායකයන්ගේ සහාය ලබාගැනීමට බව පෙනී යයි. ඉන්පසුව මහ මැතිවරණයේ දී දැනට වඩා විශාල ආසන සංඛ්‍යාවක් කරා යාමට මාර්ගය පාදාගැනීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ බවත් පෙනී යයි. කෙසේ වුවද දැනට පෙනෙන්නට තිබෙන්නේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ඡන්ද කැම්පේන් හරහා අනුර කුමාරලාගේ කැම්පේන් එක තරමක් යට ගිය ස්වභාවයකි. එසේ වුවද ඔවුන්ගේ පාක්ෂිකයන්ගේත් සහාය දක්වන පිරිසගේත් උ‍ද්‍යෝගය ඉහළින් රඳවා ගැනීමට අනුර කුමාරලාට හැකි වී තිබෙන බවත් පැහැදිලිය.

මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය දිනුවොත් ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති වෙයි. නැතහොත් පොහොට්ටුවේ ජනාධිපති වෙයි. සජිත් දිනුවොත් ඔහු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරයාය. නැතහොත් හංසයාගේ ජනාධිපතිය. මෙතෙක් අප හඳුනන අත, අලියා, පුටුව, බුලත් කොළය මේ කිසිවක් මෙවර ජනාධිපතිවරණයට අදාළ නැත. 

මෙය මෑත කාලයේ මෙරට ජනාධිපතිවරණයකදී දකින්නට නොතිබූ තත්ත්වයකි. කෙසේ වුවද ඡන්ද දායකයෝ අතර ද වෙනස්කම් ගණනාවක් දැකගත හැකිය. සම්ප්‍රදායික පාක්ෂිකයන්ගේ සංඛ්‍යාව තවදුරටත් තීරණාත්මක සාධකයක් නොවේ. මෙරට ප්‍රධානම දේශපාලන පක්ෂ තුන වන එජාපය, ශ්‍රීලනිපය සහ ජවිපෙ තුනටම තනිවම ඡන්දයට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමට හැකියාවක් නැත. වෙනත් බොහෝ රටවල ඡන්දය පැවැත්වීමෙන් පසුව සන්ධානගත වී ආණ්ඩු පිහිටුවීම පොදු සාධකයක් වුවද මෙරට දේශපාලනයේ වත්මන් මහ පොදු සාධකය වී ඇත්තේ මැතිවරණය පැවැත්වීමට පෙර සන්ධානගත වී ප්‍රතිඵලය නිකුත් වීමෙන් පසුව ආණ්ඩු පිහිටුවීමය. ප්‍රතිඵල ලැබීමෙන් පසුව ආණ්ඩු පිහිටුවීමේදී සන්ධාන ගතවීම් මෙරට සිදුවී තිබුණත් ඒවා සුළු ජන පක්ෂ සමඟ වන සන්ධාන ගතවීම්වලට සීමා වී තිබේ. විධායක ජනාධිපති ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය ශක්තිමත් කිරීම සඳහා සහාය දැක්වීම මහත් ඵල ලැබෙන කප්රැකක් වී ඇති බව පසුගිය කාලය තුළදීම විවිධ අවස්ථාවලදී පෙන්වා දී තිබෙන්නේ මේ හේතුවෙනි.

මෙවර ද යූ.එන්.පී.ය පෙරමුණක් වශයෙන් පක්ෂ ගණනාවක් සමඟ සන්ධානගත විය. එයින් කිහිපයක්ම බෝඩ් ලෑලිවලට සීමා වූ පක්ෂ වුවද සුළු ජන පක්ෂ ගණනාවක් ඔවුන්ගේ සන්ධානය නියෝජනය කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද පක්ෂ ගණනාවක්ම සමඟ සන්ධානගත වී සිටින අතර එම සන්ධානය තුළ ද පවතින ඇතැම් පක්ෂ බෝඩ්ලෑලි පක්ෂ පමණි. ඔවුන් වඩාත්ම බලපෑම් කළ හැකි ශ්‍රීලනිපය සමඟ සන්ධාන ගතවීම කැපී පෙනෙන්නකි. එම සන්ධානය පිහිටුවීමට දැරෑ උත්සාහයේ දී පොහොට්ටුවේ බලවතුන් ගණනාවක්ම ඊට විරෝධය දැක්වූහ. 2018 පුංචි ඡන්දයේ ප්‍රතිඵලය අනුව තමන්ට තනිවම ජනාධිපතිවරණය ජයගත හැකි බවට ඔවුන් තුළ විශ්වාසයක් පැවතීම ඊට හේතුව විය. අවසානයේ මහින්ද රාජපක්ෂගේ දේශපාලන කෘතහස්ත බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දැඩි අවශ්‍යතාවත් අත - පොහොට්ටු සන්ධානයට මග පෑදුවේය. ජනාධිපතිවරණයේ කැම්පේන් එක කරගෙන එද්දී මේ වන විට තමන් ශ්‍රීලනිපය සමඟ සන්ධානගත නොවී සිටියා නම් එය යළි සකස් කරගත නොහැකි වරදක් වීමට ඉඩ තිබුණු බව පොහොට්ටුවේ එදා විරෝධය දැක්වූ එම බලවතුන්ට අද සිහිපත් නොවෙනවා නම් එය පුදුමයක් විය යුතුය. ඡන්ද සටන එතරම්ම තියුණු එකක් බවට පත්ව තිබීමෙන් සහ ජනතාව විශාල වශයෙන් ඡන්ද රුස්වීම්වලට මහත් උද්‍යෝගයෙන් සහභාගී වීමෙන් ප්‍රබල සංඥාවක් ඔවුන්ට ලබා දී තිබේ.

සන්ධානගත වීමකින් තොරව ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට නොහැකි බව යථාර්ථයයි. ඒ බව ප්‍රධාන පක්ෂ වන ශ්‍රීලනිපය, යූ.එන්.පී.ය සහ පොදුජන පෙරමුණ පමණක් නොව ජවිපෙ ද අවබෝධ කරගෙන සිටී. එසේ වුවත් සෑම සන්ධානගත වීමකින්ම ඡන්ද සංඛ්‍යාව වැඩිවෙන්නේ නැත. සන්ධාන ගතවන පක්ෂ සංඛ්‍යාව වැදගත් නැත. වඩාත් වැදගත් වන්නේ වැඩිපුර ඡන්ද සංඛ්‍යාවක් ආකර්ශනය කරගත හැකි කැපීපෙනෙන පක්ෂයක් හෝ දෙකක් සන්ධානයට ඇතුළු කර ගැනීමය. ඒ අනුව මෙවර මුහුණට මුහුණලා සටන පවතින යූ.එන්.පී. සන්ධානයට සුළු ජන පක්ෂ වැදගත් වන ආකාරයටම පොදුජන පෙරමුණට ශ්‍රීලනිපයේ සන්ධාන ගතවීම වැදගත් වනු ඇත. ජයග්‍රාහකයා ගෝඨාභය නම් එයට ශ්‍රීලනිපයේ සහාය ලැබීම අත්‍යාවශ්‍ය වන්නා සේම ජයග්‍රාහකයා සජිත් නම් ඒ සඳහා සුළු ජන පක්ෂවල සහාය ලැබීම අවශ්‍යමය.

මෙහිදී වඩාත්ම වැදගත් වනුයේ සුළු ජාතික ඡන්දවල හැසිරීමය. 2015 පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට වඩාත්ම බලපෑමක් ඇති කළේ උතුරේත් නැගෙනහිරත් ඡන්දවලින් බව බොහෝ දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. මේ නිසා උතුරේ සහ නැගෙනහිර දේශපාලන පක්ෂවල සහාය දිනාගැනීමට ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම නියෝජනය කරන බලවේග උත්සාහ කළ බව නොරහසකි. ගෝඨාභයට ද පක්ෂ ගණනාවකගේ සහාය පළ වී තිබෙන අතර සජිත්ට ද මේ වන විට උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂවල සහාය ලැබී තිබේ. කෙසේ වුවද 2015ට වඩා මෙවර වෙනසක් තිබේ.

උතුරේ ඡන්දවලට දැඩිව බලපෑම් කළ හැකි පක්ෂ ගණනාවක් විසින් සකස් කෙරැණු කොන්දේසි 13 මෙවර සන්ධාන ගතවීම්වල හරහට හිටියේය. එම කොන්දේසි අතර නිසැකවම දකුණේ ජනතාවගේ දැඩි විරෝධයට පමණක් නොව කෝපයට පවා හේතු විය හැකි කොන්දේසි ගණනාවක්ම තිබිණි. එම කොන්දේසි ඇතුළත් ලියැවිල්ල මහින්දලාට හොඳ සටන් පාඨයක් නිර්මාණය කර දී තිබිණි. එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ ගෝඨාභය තමන් එවැනි කොන්දේසිවලට කිසිසේත් යටත් නොවන බව කෙළින්ම කීය. සජිත් ද එම කොන්දේසි කිසිවක් පිළිනොගන්නා බව කීවද යූ.එන්.පී.ය උතුරේ පක්ෂ සමඟ දිගටම සංවාදයක් පවත්වාගෙන ගියේය. එහි ප්‍රතිඵලයක් දැයි කිව නොහැකි වුවත් උතුරේ ප්‍රධාන පක්ෂ ගණනාවම වරින් වර ප්‍රකාශ නිකුත් කරමින් සජිත්ට සහාය පළ කරන බවට ප්‍රකාශ නිකුත් කළේය. වසර 2010න් පසුව ටී.එන්.ඒ. තනි තීන්දුවක් නොගෙන එක් එක් පක්ෂ වෙන වෙනම සහාය දක්වන නිවේදන නිකුත් කළේ ප්‍රථම වතාවටය. එහෙත් 2010 වසරේ සිට උතුරේ පක්ෂවල සහාය දිගටම යූ.එන්.පී.ය ප්‍රමුඛ සන්ධානයට හිමිව තිබීම කැපී පෙනෙයි.

උතුරේ ඡන්ද තීරණාත්මක සාධකයක් වීමට නම් එම සහාය ලබාදීම එකවිටම ප්‍රකාශයට පත්වීම අවශ්‍යය. එසේ නොවී වරින් වර සහාය පළ කිරීම නිවේදනය කිරීමත් උතුරේ ඡන්ද දායකයා කෙරෙහි කිසියම් උදාසීන බවක් ආරෝපණය වී තිබේ. දීර්ඝකාලීන දේශපාලන විසඳුමක් අපේක්ෂා කරන උතුරේ ඇතැම් දේශපාලනඥයන්ට අනුව දකුණේ ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන් දෙදෙනාම සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වීමට හේතුවක් නැත. ඔවුන් ප්‍රකාශ කරන්නේ 2015 දී මෙන් බුරැතු පිටින් පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීමට තරම් උනන්දුවක් මෙවර උතුරේ ඡන්ද දායකයා තුළ තුළ නැති බවය. නැගෙනහිර ද්‍රවිඩ ඡන්ද දායකයන් තුළ ලොකු උනන්දුවක් උද්‍යෝගයක් පෙනෙන්නට නැත. කල්මුණේ ද්‍රවිඩ ජනතාව සඳහා වෙනම ප්‍රාදේශීය සභාවක් ඇති කිරීමට රජය ක්‍රියා නොකිරීම ඔවුන්ගේ උදහසට හේතු වී තිබේ. උතුරේත් නැගෙනහිරත් පවතින මේ තත්ත්වය කොතරම් දුරකට තීරණාත්මක වේදැයි ඉදිරි දිනවලදී බලාගත හැකි වනු ඇත.

පොහොට්ටුවට ශ්‍රීලනිපය සමඟ සන්ධානය වැදගත් වන්නේ මේ හේතුවෙනි. එම සන්ධානයේ වාසිය ගෝඨාභයට ලැබීම වැළැක්වීමට චන්ද්‍රිකා දරණ උත්සාහය කොතරම් දුරට සාර්ථකදැයි ප්‍රකාශ කිරීම අමාරුය. ශ්‍රීලනිපය තුළ චන්ද්‍රිකාගේ නමට තිබෙන සහයෝගය ද දැන් ඇත්තේ ඉතාම දියාරැ මට්ටමකිනි. ඊටත් වඩා යූ.එන්.පී.ය සමඟ එක් වී ශ්‍රීලනිපය රැකගත හැක්කේ කොයි ආකාරයට ද යන්න ප්‍රශ්නාර්ථයකි. එහෙත් මෙහිදී වඩාත් වැදගත් වනු ඇත්තේ ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලයේදී පවා පෙන්වා තිබූ ශ්‍රීලනිප 12.5%ක ප්‍රතිශතය ඒ ආකාරයටම ශ්‍රීලනිපය තුළ තවමත් රුඳී තිබේද යන්නයි. එසේ නොවී චන්ද්‍රිකා ශ්‍රීලනිපය රුකගැනීමට යූ.එන්.පී.ය සමඟ සන්ධානගත වී සටන් කරන විට පාක්ෂිකයන් පොහොට්ටුව සමඟ සන්ධානගත වී ඇත්නම් එහි වාසිය ඇත්තේ ගෝඨාභයටයි.

මේ අනුව පෙනෙන්නට තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභයගේත් සජිත්ගේත් ජයග්‍රහණය රැඳී තිබෙන්නේ තමන් නියෝජනය කරන පක්ෂය මත නොව සන්ධානගත වී සහාය දක්වන පක්ෂ මත බවය. ජයග්‍රහකයා වනු ඇත්තේ එම ඡන්ද වැඩිපුර ලබාගැනීමට සමත් වන අපේක්ෂකයා බව පැහැදිලිය.

 ශෂීන්ද්‍ර

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30