2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

අලුත් ජනපති පරණ අගමැති

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 105

ලබන 16 වැනිදා ජනාධිපති ධුරයට පත්වනු ඇත්තේ ගෝඨාභය හෝ සජිත් දෙදෙනාගෙන් එක් අයෙකි. කවුරුන් ජනපති වුවද ඒ දෙදෙනාම මින් පෙර ජනාධිපති හෝ අගමැති පදවි දැරෑ අය නොවේ. සජිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය ඇමැතිවරයකු සහ ඇමැතිවරයකු වශයෙන් කටයුතු කළා පමණක් නොව පක්ෂයේ නියෝජ්‍ය නායකයාද වෙයි. එහෙත් ගෝඨාභයට ඇත්තේ ආරක්ෂක ලේකම් ධුරය දැරීමේ සහ ඒ හා පසුව බැඳුණු නාගරික සංවර්ධන කාර්යභාරයේ පළපුරුද්ද පමණි. ඔහු තමන් නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තනතුරක් උසුලන්නේද නැත. ජනාධිපති ධුරයක් සතුවන බලය සහ කාර්යභාරයට සමගාමීව බැලුවොත් මේ දෙදෙනාගෙන් කවුරැ දිනුවත් ඔහු සැබෑවටම අලුත් ජනාධිපතිවරයෙකි. රටට අලුත් නායකයෙකි.

කෙසේ වුවත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ ජනාධිපති ධුරයට අදාළ ඇතැම් බලතල වෙනස් වී තිබේ. එම ධුරය සමඟ සමපාතව තිබූ බලතල ගණනාවක් ඊළඟට බිහිවෙන අලුත් ජනපතිට හිමි නොවේ. එසේ හිමි නොවන ඇතැම් බලතල දැනට ධුරය දරණ මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිව තිබේ. එයින් එකක් වන්නේ අමාත්‍ය ධුරයක් දැරීමට තිබෙන බලයයි. ඊළඟ ජනාධිපතිට අඩුම තරමින් ආරක්ෂක අමාත්‍ය ධුරය පවා දැරීමට නීතියෙන් හිමිකමක් නැත.

එසේ වුවද එවැනි බලතල ඉවත් කරනු ලැබීම හේතුවෙන් පාලනය ගෙන යාමට අසීරු වන්නේ ජනාධිපති සහ අගමැති පක්ෂ දෙකක් නියෝජනය කළහොත් පමණි. 2015 සිට මේ දක්වාම අප අත්විඳින්නේ එම තත්ත්වයයි. පසුගිය වසර හතරහමාර තුළ රටේ දේශපාලනය දෙස මැදහත් සිතින් බලන කෙනකුට යළි කවදාවත් මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකේ හයිබ්‍රිඩ් ආණ්ඩුවක් බලාපොරොත්තු නොවන බව නිසැකය. ඉදිරි ජනාධිපතිවරණයේදී මේ තත්ත්වය වෙනස් වීම නියතයකි. ගෝඨාභය ජනාධිපති වුවහොත් අගමැති මහින්දය. සජිත් ජනාධිපති වුවහොත් අගමැති රනිල්ය. ඒ බව පසුගිය බදාදා (30) අගමැති රනිල්ම ප්‍රකාශ කර තිබිණි.

රනිල් එසේ කිව්වේ සජිත්ගේ ඡන්ද ව්‍යාපාරය තුළදී ජනාධිපතිවරණයෙන් පසුව සජිත් ජනාධිපති වුවහොත් අගමැති ධුරය පිළිබඳව පරස්පර කතා ඇසෙන්නට පටන් ගැනීම නිසා විය යුතුය. සජිත්ගේ වේදිකාවේදී කිහිප දෙනකුම කියා තිබුණේ අගමැති කවුදැයි දැන්ම ප්‍රකාශ කිරීම අවශ්‍ය නැති බවය. එය ව්‍යංගයෙන් රනිල් අගමැති පදවියේ සිටිනවාද නැද්ද යන්න පැහැදිලිව නොකියා සිටීමකි. කෙසේ වුවද තමන් තවදුරටත් අගමැති පදවිය දරණ බවට රනිල් ලවා ප්‍රකාශයක් සිදුකිරීමට ඔහුට සමීප දේශපාලනඥයන් බලපෑමක් නොකළා නම් පුදුමය.

ගෝඨාභයගේ පාර්ශ්වයෙන් මේ සම්බන්ධව බැලූ බැල්මට පිටතින් පෙනෙන ගැටලුවක් නැත. ගෝඨාභය ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් නම් කරනු ලැබූ දිනයේම අගමැති ධුරයට මහින්ද පත් කෙරෙනු ඇති බවද ප්‍රකාශ විය. මේ නිසා පොහොට්ටුවේ ජනපති කවුද අගමැති කවුද යන්න මුලසිටම පැහැදිලිය. එහෙත් ඒ හේතුවෙන් සියලු ප්‍රශ්න අවසන් වන්නේ නැත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පත්වන ජනාධිපතිවරයාට ඇමැතිවරැන් පත් කිරීමේ බලයක් නැත. ඔහුට ඇත්තේ අගමැති එවන නම් ලිස්ට් එකට අත්සන ගැසීම පමණි.

අලුත් ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වශයෙන් දිගටම ක්‍රියාකරනු ඇත. ඔහු ආණ්ඩුවේ ප්‍රධානියාද සේනාධිනායකයාද වෙයි. එහෙත් ආරක්ෂක අමාත්‍ය ධුරය ඔහු සතු නොවනු ඇත. නමුත් ආණ්ඩුවේ ප්‍රධාන විධායකයා සහ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියාද වන බැවින් ජනාධිපතිවරයාට ආණ්ඩුව හැසිරවීමේ බලතල හිමිවෙයි. ඒ සඳහා තමන් කැමැති තමන්ගේ පාලනයට නතු වන අමාත්‍ය මණ්ඩලයක් සිටීම අවශ්‍යම කොන්දේසියකි. අගමැති මහින්ද හෝ අගමැති රනිල් හෝ මේ පිළිබඳව අවබෝධයකින් ක්‍රියා කිරීම ඉතාම වැදගත් වෙයි. එසේම ජනාධිපතිවරයා තවදුරටත් අමාත්‍ය මණ්ඩලයේත් අමාත්‍යංශවලත් අගමැතිගේත් ලේකම්වරුන් පත් කිරීමේ බලධරයා වශයෙන් ක්‍රියාකරයි. එහෙත් එසේ පත්කරනු ලැබීමෙන් පසුව එම ලේකම්වරුන් සම්බන්ධයෙන් (කැබිනට් ලේකම් හැර) කටයුතු කිරීමේ අයිතිය පැවරෙන්නේ අගමැතිවරයාට සහ අදාළ අමාත්‍යවරුන්ටය. එසේම අමාත්‍ය මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ හෝ ප්‍රබල විරෝධයක් නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලය සතු විශාල සම්පත් ප්‍රමාණය සහ බඩු භාණ්ඩ පාලනයේ වගකීම මුළුමනින්ම ජනාධිපතිවරයා සතුවෙයි. ජනාධිපති ලේකම් කාර්යාලයද සම්පූර්ණ පාලනය ජනාධිපතිවරයා සතුය. අලුත් ජනාධිපතිගේ පාලන කාලය වසර 05කට සීමා වන අතර ඔහුගේ කැමැත්ත පරිදි අවශ්‍ය නම් වසර හතරහමාරකදී තමා යළි ජනාධිපතිවරණයක් පවත්වන බව ප්‍රකාශ කොට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී තරග කළ හැකිය. එහෙත් ධුර කාල දෙකකට පසුව යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැක.

මේ අතර 19 වැනි ව්‍යවස්ථාවේ වඩාත්ම වැදගත් අංශයක් වශයෙන් සැලකෙන ව්‍යවස්ථා සභාවට අනුකූල පත් කිරීම් සිදුකිරීමද ජනාධිපතිවරයාගේ තනි අභිමතයට සිදුකළ නොහැක. ඒ අනුව ස්වාධීන කොමිෂන් සභාවලට පත් කිරීම් සිදුකළ හැක්කේ ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත හෝ ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව පමණි. අගවිනිසුරැ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැවරැන්, අභියාචනාධිකරණ විනිසුරැවරැන්, අධිකරණ කොමිසම් සාමාජිකයන්, නීතිපති, විගණකාධිපති, පොලිස්පති, ඔම්බුඩ්ස්මන් සහ පාර්ලිමේන්තු මහලේකම් තනතුරුවලට පත්කළ හැක්කේ ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් පමණි. ව්‍යවස්ථා සභාවේ සභාපති ධුරය කථානායකට හිමිවන අතර අගමැති, විපක්ෂනායක, වෙනත් මන්ත්‍රිවරැ සහ පාර්ලිමේන්තුවෙන් අනුමත කෙරෙන දේශපාලන නොවන කීර්තිමත් පුද්ගලයන් තිදෙනකුගෙන් එය සමන්විත වෙයි.

මෙහිදී වඩාත් වැදගත් වන තවත් වෙනසක් වන්නේ අගමැති බලතල ඉහළ දැමීමට සිදුකර තිබෙන වෙනස්කම්ය. එයින් ප්‍රධාන වශයෙන්ම කැපී පෙනෙන්නේ අග්‍රාමාත්‍යවරයා පත්කිරීමේ සහ අස්කිරීමේ බලතල ජනාධිපතිගෙන් ඉවත් කරනු ලැබ තිබීමය. ඒ හරහා පාර්ලිමේන්තුවේ වඩාත්ම විශ්වාසය දිනාගන්නා මන්ත්‍රීවරයාට පමණක් අග්‍රාමාත්‍යවරයා වීමේ අවස්ථාව හිමිවීමෙන් පාර්ලිමේන්තුවේ බලය පෙරට වඩා සංසන්දනාත්මකව වැඩි වී තිබේ. මේ අනුව අග්‍රාමාත්‍යවරයා ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළ රජය කෙරෙහි විශ්වාසය අහිමි වූ විට, අභාවය, ඉල්ලා අස්වීම හෝ මන්ත්‍රී පදවිය අහෝසි වීම යන කරැණු මත පමණි.

ඊළඟට කැපී පෙනෙන්නේ කැබිනට් අමාත්‍යවරයකු හෝ වෙනත් අමාත්‍යවරයකු හෝ පත් කිරීම හෝ අස් කිරීම කළ හැකි වන්නේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පමණක් වීමය. කෙසේ වුවද කැබිනට් අමාත්‍යංශ සංඛ්‍යාව, ඒවාට පැවරෙන සහ ආපසු පවරාගන්නා විෂයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ අගමැතිගෙන් උපදෙස් පැතීම පමණි. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ලබන 16 වැනිදා තේරී පත්වෙන ජනාධිපතිවරයාට සිය සම්පූර්ණ අභිමතය පරිදි සහ විශේෂිතව භාවිත කළ හැකි බලතල යම් තරමකින් හීන වී ගොස් තිබෙන බවය. ඒ අනුව අගමැති සහ ඇමැති මණ්ඩලය තවදුරටත් ජනාධිපතිවරයාගේ යටතේ ක්‍රියා කරන්නෝ නොවෙති. විධායක බලතල යම් පමණකට අගමැතිවරයා සමඟ බෙදී යන බව පැහැදිලිය. එසේම 16 වැනිදා පත්වන ජනාධිපතිට ඇමැති පදවියක් දැරීමටද අවසරයක් නැත.

මේ අනුව බලය අයුතු ලෙස යොදවා ගන්නා බවට වන චෝදනාවට ලක්වීමට අලුත් ජනාධිපතිට ඇත්තේ අඩු ඉඩකඩකි. එහෙත් තමන් සතු බලතල වරදවා තේරැම් ගතහොත් එය ව්‍යවස්ථාවට එරෙහිව යන මාවත බවට පත්වනු ඇත. රටට අවශ්‍ය වන්නේ විධායක බලතල රටේ යහපතට මිස තමන්ගේ යහපතට යොදා නොගන්නා වූ පාලනයකි. අලුත් ජනාධිපතිට තමන් බලයට පත්වූයේ කුමක් සඳහාද යන්න මුලසිටම අවබෝධ කරගත හැකි නම් එය රටේ යහපතට හේතුවනු ඇත.

ධුරයේ තත්ත්වය එසේ වුවද ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල සඳහන් බොහොමයක් කරැණු ඉටුකළ හැකිදැයි යන්න නම් ප්‍රශ්නාර්ථයකි. රටේ ජීවත්වන සියලු ආගම් අදහන්නන් සහ සියලු ජාතීන්ට සමානත්වයෙන් සලකන, අසීමිතව නිදහසේ ක්‍රියාකළ හැකි, ප්‍රජාතාන්ත්‍රික, සමාජවාදී රටක් සඳහා ගෝඨාභය සහ සජිත් දෙදෙනාම පොරොන්දු ලබාදී තිබේ. ජාතික ආරක්ෂාව තර කිරීමට මේ දෙදෙනාම සහතික වෙති. මේ සම්බන්ධයෙන් මතයක් පළකරන එක් ප්‍රකට දේශපාලන විචාරකයෙක් ප්‍රකාශ කර තිබුණේ ජාතික ආරක්ෂාව, හමුදාව සහ රණවිරැවන් සම්බන්ධ සියලු කතාබහ සිංහල බෞද්ධ දැඩි මතධාරීන්ගේ න්‍යායත් සමඟ සමපාත වන අයුරින් ප්‍රකාශ කෙරෙන බවය. අපරාධ චෝදනා ඇති රණවිරුවන් නිදහස් කිරීමත්, දැනට පෙනෙන්නට නොසිටින ත්‍රස්තවාදීන් මරා දැමීමට කරන කතාත් මේ රටේ ග්‍රාමීය සහ නාගරික ජනසමාජය වෙලාගෙන පවතින දිළිඳුකම සමඟ ඇති සම්බන්ධයත් කුමක්දැයි ඔහු ප්‍රශ්න කරයි. ශ්‍රී ලංකාව සමාජ - ආර්ථික සහ සංස්කෘතික දැඩි අර්බුදයක ගිලී පවතින බව අමතක නොකළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

මේ අනුව පෙනෙන්නේ අලුතින් පත්වන ජනාධිපතිවරයාත් ඔහු සමඟ කටයුතු කරන අගමැතිවරයාත් මුහුණ දෙන අභියෝග බරපතළ වන බවය. එහෙත් ලබාදෙන පොරොන්දු අනුව නම් පෙනී යන්නේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම මෙවර ජනාධිපතිවරණයේ ජනතාව බලාපොරොත්තු වන ප්‍රමුඛතා හරිහැටි හඳුනාගෙන නැති බවකි. ඒ පොරොන්දු බොහොමයක් යථාර්ථවාදී නොවේ.

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා එසේ වනවිට අනුර කුමාර දිසානායක පොරොන්දු දේශපාලනයෙන් වැළකී ප්‍රතිපත්තිමය මගක් අනුගමනය කරන බව පෙනී යයි. ඔහු තම ප්‍රතිපත්ති එළිදැක්වූ අවස්ථාවේ ප්‍රකාශ කර තිබුණේ පොරොන්දු ඉටු කිරීම නීතියක් බවට පත් කළ යුතු බවය. ලබාදෙන පොරොන්දු ඉටු නොකරන අපේක්ෂකයන් උසාවිය ඉදිරියට ගෙනයාමට නීති සැකසිය යුතු බවය. ඔහු නායකත්වය දෙන ජාතික ජනතා බලවේගය රටේ පවතින පාවෙන ඡන්ද ආකර්ෂණය කර ගැනීමට බලවත් උත්සාහයක් ගන්නා බව පෙනී යයි. එය කොතරම් දුරකට සාර්ථක වී ඇතිදැයි ලබන 16 වැනිදා බලාගත හැකිවනු ඇත.

පොරොන්දු ලබාදෙන මැතිවරණයකට වඩා රටේ ප්‍රධාන ගැටලුවලට විසඳුම් ලබාදෙන මැතිවරණයක් ජනතාව බලාපොරොත්තුවෙන් සිටියා නම් එය මෙවරද ඉටුවන බවක් ප්‍රධාන අපේක්ෂකයන්ගේ කතාවලින් තවම පෙනෙන්නට නැත. ජනාධිපතිවරණයේ අගමැතිවරැන් වන අයටද මේ බරපතළ වගකීමෙන් මිදිය නොහැක.

- ශශීන්ද්‍ර

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30