2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

(අ) කාල බෝම්බ

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 148

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු වූ පසුගිය අප්‍රේල් 21 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ සිටියේ නැත. ඔහු එදා සිටියේ සිංගප්පූරුවේය. එකී ප්‍රහාරය පිළිබඳව කරැණු සොයාබැලීමට පාර්ලිමේන්තුව මගින් පත්කරන ලද විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දවසේත් ජනාධිපතිවරයා රටේ සිටියේ නැත. ඔහු සිටියේ ජපානයේය.

මේ සිදුවීම් දෙක අතර සම්බන්ධයක් නැත. එහෙත් මෑත අතීතයේ රටේ සිදුවූ බිහිසුණුම ත්‍රස්ත ක්‍රියාව සම්බන්ධයෙන් නිකුත් කෙරුණු එම වාර්තාව ජනාධිපතිවරයා සම්බන්ධයෙන්ද සඳහන් කිරීම් ගණනාවක් කර තිබේ. ප්‍රහාරය දැනගත් වහාම රටට පැමිණීම සඳහා උත්සාහ ගත් නමුත් එය ගුවන් ගමන් කාල සටහන් හේතුවෙන් නොහැකි වූ බවට ජනාධිපතිවරයා කර තිබූ ප්‍රකාශය, ගුවන් කාලසටහන් සම්බන්ධයෙන් කාරක සභාව සිදුකළ විමර්ශනවලදී සොයාගත් කරුණු සමඟ ගැලපෙන්නේ නැතැයි වාර්තාව මගින් හෙළිකර තිබේ.එසේම ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට අග්‍රාමාත්‍යවරයා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා සහභාගි වීම වළක්වා තිබීමද වාර්තාවෙන් උපුටා දක්වා තිබේ. එසේම ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට සහභාගීවීම වළක්වා තිබීම පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාටද වාර්තාවෙන් ඇඟිල්ල දිගුකර තිබේ. පිටු 214කින් සමන්විත සමස්ත වාර්තාව රටේ ආරක්ෂාව භාර සියලු දෙනාගේම පුටු රත්කරනු ඇති බව පැහැදිලිය.

මේ වාර්තාව එළියට එන්නේ ජනාධිපතිවරණය කටේදීමය. එය ඇතැම්විට ජනාධිපතිවරයාද බලාපොරොත්තු වූවා විය හැකිය. මෙම කාරක සභාවේ කටයුතු ගැන ජනාධිපතිවරයා කළ මුලසිටම කැමැත්තක් නොතිබූ බව පෙනෙන්නට තිබිණි. එහි සාක්ෂි විභාග කිරීම මාධ්‍යයට විවෘත කිරීමේදී එය විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේද විරෝධයට ලක්විය. ජනාධිපතිවරයා මහජන රුස්වීම් ගණනාවකදී ඒ කාලයේ කළ ප්‍රකාශ කිහිපයකම මේ විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු විවේචනයට ලක්කර තිබිණි. එසේම ඔහු තමන් යටතේ සිටි නිලධාරීන්ට එහි සාක්ෂි ලබා නොදෙන්නැයි කියා තිබිණි. එහෙත් පසුව එම තත්ත්වය වෙනස් විය.

කෙසේ වුවද දැන් වාර්තාව නිකුත් වී තිබේ. එයට ජනාධිපති, අගමැති පටන් ජාතික ආරක්ෂාව භාරව කටයුතු කළ සියලුදෙනාම විසින් හෙළිකරන ලද තොරතුරු ඇතුළත්ය. මීළඟට අවශ්‍ය වන්නේ යළිත් මෙවැනි ක්‍රියාවකට ඉඩ නොතබන සේ කටයුතු කිරීමය. එය ඊළඟට පත්වන ජනාධිපතිවරයාගේ ප්‍රමුඛම කාර්යයක් වන බව පැහැදිලිය. කෙසේ වුවද මේ වාර්තාව නිකුත් වීමත් සමඟ දේශපාලන කරළියද කැළඹී ගොස් තිබේ. ප්‍රහාරයේ වගකීම වැඩි වශයෙන් පැවරී තිබෙන්නේ ආරක්ෂාව භාරව සිටි නිලධාරීන්ගේ කර මතට වුවද ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන ගැටුම්වලින් සිදුවිය හැකි විනාශය කොතරම්ද යන්න මේ වාර්තාවේ අන්තර්ගතය හොඳින් අධ්‍යයනය කරන්නකුට තේරැම් ගැනීම අමාරැ නැත.

මේ වාර්තාවේ සඳහන් කාරණා දේශපාලනමය වශයෙන් තමන්ට තොතරම් වාසිදායක විය හැකි වුවද පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂය එම වාර්තාවට විරෝධය දැක්වීය. හකීම් සහ සහරාන් අතර තිබූ පැරණි සබඳතාව ඊට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දී තිබිණි. නමුත් හකීම් වැනි මධ්‍යස්ථ මතධාරී සුළුජන නායකයකු අපහසුතාවයට පත් කිරීම හරහා විපක්ෂයට ලබාගත හැකි විශේෂ වාසියක් නැත. ආණ්ඩුවේ කාර්යයක් වශයෙන් සැලකෙන විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව එළියට ඒමට සතියකට පමණ පෙර හකීම් සහරාන් සබඳතාව පිළිබඳ වීඩියෝ පටය එළියට පැමිණීම සහ මෞලවිවරයකු ඉදිරියට පැමිණ හකීම් අත්අඩංගුවට ගත යුතු යැයි ප්‍රකාශ කිරීම එකිනෙක හා සම්බන්ධයක් පවතින සිදුවීම් විය හැකි බවට මතයක්ද තිබේ. මේ චෝදනාව හකීම් දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ අතර තමා වැනි දේශපාලනඥයකුට ත්‍රස්තවාදයට සම්බන්ධවීමට ඇති උවමනාව කුමක්දැයි ඔහු හැඟීම්බරව ප්‍රශ්න කළේය.

කෙසේ වුවද විපක්ෂය පෙන්වා දුන්නේ එවැනි චෝදනා එල්ල විය හැකි බව දැන දැනම විශේෂ තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු වශයෙන් හකීම් ක්‍රියාකිරීම වැරදි බවය. ඒ අර්ථයෙන් ගත් කළ ජවිපෙ සාමාජිකයන්ද එම කාරක සභාව නියෝජනය කිරීමද වැරදි බව කෙනෙකුට තර්ක කළ හැක. ඔවුන්ගේ 2015 ජාතික ලැයිස්තුවේ එක් මන්ත්‍රීධුරයක් සඳහා යෝජනා වී තිබුණේ පාස්කු බෝම්බකරුවන් දෙදෙනකුගේ පියාය. එසේම සහරාන්ලාගේ කල්ලියට වැටුප් ගෙවූ බවට විපක්ෂයේ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුටද චෝදනා එල්ල විය. මේ කුමන අර්ථයෙන් ගත්තත් පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව විවෘතව සාක්ෂි විමසා වාර්තාවක් නිකුත් කිරීම වැරැද්දක් නොවේ. කමිටුවේ සාමාජිකයන් බහුතරය ආණ්ඩුවේ වූ පමණින් එම වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීම යට ඇත්තේ වෙනත් අරමුණු බව හඳුනාගත හැකිය.

මහින්දලාගේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය තම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන්නේ මේ පසුබිමේය. පසුගිය සිකුරාදා (25) කොළඹදී පාක්ෂිකයන් සහ විද්වත් පිරිසක් හමුවේ පැවැති මෙම අවස්ථාව රටේම අවධානයට ලක්වූයේ තරග වැද සිටින ප්‍රධානම අපේක්ෂකයන් දෙදෙනාගෙන් පළමුවැන්නා ගෝඨාභය වීම හේතුවෙනි. සජිත්ගේ පාර්ශ්වය තවම ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරන දිනය පිළිබඳව නිශ්චිතව සඳහන් කර නැත. ඔවුන් ගෝඨාභයගේ ප්‍රතිපත්ති එළියට එනතුරැ තම ප්‍රකාශය එළියට දැමීමෙන් වැළකී සිටියා විය යුතුය. කෙසේ වුවත් ලබන 01 වැනිදා සහ 02 වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට පෙර ප්‍රතිපත්ති ප්‍රකාශය එළියට දැමීමට සජිත්ගේ පාර්ශ්වය කටයුතු කළ යුතුව තිබේ. 

මෙවර රටේ ජනතාව ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති විමසා බැලීමට දැඩි නැඹුරැවක් දක්වන බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. පසුගිය අවස්ථා හයේදීම ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අපේක්ෂකයන් ඡන්දය ලබාදුන් පිරිසට වඩා මෙවර ඡන්දදායකයෝ වෙනස්ය. එයට ප්‍රධානම හේතුව තරැණ පරපුර තාක්ෂණය අතින් ඉතා දියුණු මට්ටමකට පැමිණ සිටීමය. ඔවුහු එම තාක්ෂණය හරහා ලෝකයේම දේශපාලන කරළි තුළ සැරිසරති. රට රටවල්වල නායකයන් සංසන්දනය කරති. අපේ රට අද පවතින තත්ත්වයත් කලාපයේ සෙසු රටවල් පවතින තත්ත්වයත් පිළිබඳව විමසිලිමත් වෙති. තීරණාත්මක විය හැකි ඡන්ද දායකයන් පිරිසක් ප්‍රතිපත්ති ප්‍රකාශ දෙස ඇස් ගසාගෙන සිටින බව ප්‍රධාන අපේක්ෂකයන් දැන සිටීම අවශ්‍යය.
අනුර කුමාර දිසානායක තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ කොටස් වරින් වර නිකුත් කරමින් අලුත් ක්‍රමයක් අත්හදා බැලුවේය. කෙසේ වුවද අනුර කුමාර වේදිකාවේදී සිදු කරන කතා  වඩාත් යථාර්ථවාදී බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය කිසියම් සැලැස්මකට අනුව සිදුකරමින් සිටීමද අනුර කුමාරගේ වේදිකාවේ කතාද ඔවුන් අපේක්ෂා කරන ඉලක්කයට ගෙනයාටම ඉඩකඩ විවර කරමින් තිබෙන බව පෙනෙන්නට තිබේ.

මේ අපේක්ෂකයන් තිදෙනා සමඟ සංසන්දනාත්මකව මහේෂ් සේනානායක සහ රොහාන් පල්ලෙවත්ත තම මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන්නේ තරමක පසුපසින් සිටිමිනි. ඔවුන් දැඩි ලෙස සමාජ මාධ්‍ය කෙරෙහි විශ්වාසය තබා ඇති බවක් පෙනෙන්නට තිබේ. එහෙත් සමාජ මාධ්‍ය ඇසුරු කරන පිරිස ඡන්ද පොළට ගෙන්වා ගැනීමත් ඔවුන්ගේ කැමැත්ත තමන්ගේ නමට ඉදිරියෙන් සලකුණු කරගැනීමත් එතරම් පහසු ඉලක්කයක් නොවේ.

මේ පසුබිම අතරේ අපේක්ෂකයන්ගේ අවධානය ප්‍රධාන වශයෙන් ජාතික ආරක්ෂාවට කේන්ද්‍රගත වන බවක් පෙනී යයි. පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවන තෙක් මහින්දලාගේ පාර්ශ්වයේ ලොකුම සටන් පාඨය වී තිබුණේ මහ බැංකු මගඩිය සහ රටේ සම්පත් විකුණන බවට වන චෝදනායි. ත්‍රස්තවාදය උතුරෙන් යළි හිස ඔසවන බවටද චෝදනා එල්ල කළත් ඒවායේ ලොකු ගැම්මක් තිබුණේ නැත. එහෙත් පාස්කු බෝම්බය මහින්දලාගේ ව්‍යාපාරයට දැවැන්ත තල්ලුවක් ලබා දුන්නේය. එය ගෝඨාභය ඉදිරියට ගැනීමේදී වඩාත්ම ධනාත්මක සාධකය බවටද පත්විය. අනෙක් සියලු කතා යටපත් වී ජාතික ආරක්ෂාව අංක එකේ ප්‍රමුඛතාව බවට පත්විය. 2005 දී සහ 2010 දී මහින්ද අතේ තිබූ ජාතික ආරක්ෂාව පිළිබඳ සටන්පාඨය 2015දී ජාතික සංහිඳියාව සහ හොරැ ඇල්ලීමට යට විය. දැන් යළිත් ඒ සියල්ල යට වී ජාතික ආරක්ෂාව මුල්තැනට පැමිණ තිබේ.

ජනාධිපතිවරණය ජයගැනීම සඳහා ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීම ප්‍රමාණවත් වනු ඇතිදැයි 16 වැනිදා ජනතාව තීරණය කරනු ඇත.

 ශශීන්ද්‍ර

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30