2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 126

ඡන්දය දිය යුත්තේ කාටද?

ශ්‍රී ලංකාවේ කීර්තිමත් විද්වතකු වන දේශමාන්‍ය ලලිත් ද මෙල් ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්දය පාවිච්චි කරන්නේ කාටදැයි ඉඟි කරමින් ඩේලි එෆ්.ටී. පුවත්පතට ලිපියක් සපයා තිබිණි. එහිදී ඔහු අමෙරිකාවේ ප්‍රබල සහ ජනප්‍රිය ජනාධිපතිවරයකු වශයෙන් සැලකෙන රොනල්ඩ් රේගන්ගේ තෝරාගැනීම ඇසුරින් එයට විසඳුමක් සොයාගත හැකි බව සඳහන් කරයි. මේ දැක්වෙන්නේ එම ලිපියෙන් උපුටාගත් සටහනකි.

සාර්ථක ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු හෝ වීම ප්‍රබල අභියෝගයකි. සෞභාග්‍යය ළඟා කරවන සමාජ ආර්ථික ප්‍රතිපත්තියක් සැකසීමත් එය ක්‍රියාවේ යෙදවීමත් ඉතාම අපහසු කටයුත්තකි. ඉදිරිපත්ව සිටින ජනාධිපති අපේක්ෂකයන් අතුරින් එවැනි සැලැස්මක් නිර්මාණය කොට එය ක්‍රියාත්මක කිරීමට සමත්කම් ඇත්තෙක් සිටීද? අප පිළිතුරැ සපයාගත යුතු ප්‍රශ්නය එයයි.

ව්‍යාපාරික ලෝකයේ වැජඹීමට නම් පුද්ගලයකුට කළමනාකරණ කුසලතා, වසර ගණනාවක පළපුරුද්ද සහ හොඳ ප්‍රතිඵල ලබාදීම පිළිබඳ අතීත වාර්තා ද අවශ්‍යය. ප්‍රධාන විධායක වීමට පෙර මේ අවශ්‍යතා සපුරා තිබීම අවශ්‍යමය.

දේශපාලන ලෝකයේ රටක ජනාධිපති හෝ අගමැති හෝ වීමට සපිරිය යුතු අවශ්‍යතා කවරේද? සාමාන්‍ය කළමනාකරණ දැනුම සහ වෙනත් කළමනාකරණ කුසලතා අතරට ගැනෙන මුදල්, අලෙවිකරණ, සැපයීමේ ක්‍රමවේද වැනි අවශ්‍යතා අපේ රටේ ජනාධිපති හෝ අගමැති වීමට අවශ්‍යද? අප සියලු දෙනා දන්නා පිළිතුර නම් නැත යන්නයි.

රටක් පාලනය කිරීම මෙගා බිස්නස් එකක් පාලනය කරන්නාක් මෙන් වුවද ජනාධිපති හෝ අගමැති වීමට කිසිදු පුද්ගලයකුට මේ කිසිම කුසලතාවක් තිබිය යුතු නැත.

අප අතීතයට එබිකම් කළොත් ජනාධිපති හෝ අගමැති ධූර දැරෑ කිසිවකුත් කවදාවත් ව්‍යාපාරයක් පාලනය කර නැත. තම කටයුතු සඳහා ඔවුහු වාණිජ හෝ කළමනාකරණ පළපුරුද්ද රැගෙන පැමිණියෝ නොවූහ.

දේශපාලන ඉණිමගේ ඉහළටම ළඟාවන්නා පැමිණ ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් පසුබිමකිනි. ඔවුන් පැමිණ ඇත්තේ දේශපාලන සරසවියෙනි. එහි උපාධියක් ගැනීමට විධිමත් අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවන අතරම අදාළ ද නැත.
විපක්ෂයේ සිටින දේශපාලනඥයෙක් මුලින්ම හඳුනාගත යුත්තේ අසහනයට සහ කලකිරීමට පත්ව සිටින විශාලතම ජනකොටසට වඩාත්ම සිතට වදින කාරණය කුමක්දැයි යන්නයි. විපක්ෂයේ සිටියදීම ඉතා උද්‍යෝගිමත් ලෙස ඒ ගැන පණ පිහිටුවා කතා කළ යුතුය. ඒ හා සමානවම ජනතාවට දැනෙන ඉහළම ලාබ ප්‍රයෝජනය කුමක්ද සහ එය ලබාදීමට තිබෙන හැකියාවද මහත් අභිරැචියෙන් පොරොන්දු වීමද අවශ්‍යය.

ව්‍යාපාරික ලෝකයේ විවිධ ක්ෂේත්‍ර තුළ උපාධිධාරීන් දහස් ගණනක් ද කළමනාකරණ කුසලතා පෙන්වා ඇති සිය ගණනක් ද වෙති. නමුත් ඔවුහු ජනාධිපති හෝ අගමැති අපේක්ෂකයෝ නොවෙති. ඒ ඔවුන් දේශපාලන ලෝකයෙන් බිහිවූවන් නොවන බැවිනි.

අද රට හමුවේ ඇති බැරූරැම්ම ප්‍රශ්නය වන්නේ කළමනාකරණ කුසලතා නොමැති එහෙත් විශිෂ්ට ගණයේ දේශපාලන කුසලතා සපිරි පුද්ගලයකුට ඉසුරැමත් රටක් බිහිකළ හැක්කේ කෙසේද යන්නයි. එයට විසඳුම කුමක්ද?

එයට ඇති විසඳුම අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වූ රොනල්ඩ් රේගන්ගේ වෘත්තීය ක්‍රමවේදය අනුකරණය කිරීමයි. මේ බැරෑරුම් ප්‍රශ්නයට එය විසඳුම සපයයි.

රොනල්ඩ් රේගන් බොහෝවිට හඳුන්වනු ලැබුවේ දෙවැනි පෙළ නළුවකු වශයෙනි. ඔහු කවදාවත් මාලන් බ්‍රැන්ඩෝ හෝ එළිසබෙත් ටේලර් ගණයේලා සැලකුණේ නැත. ඔහු දේශපාලනයට පිවිසුණේ කැලිෆෝර්නියාවෙනි. විශාල සහ සංකීර්ණ ව්‍යාපාරික ආයතන කළමනාකරණයක් පිළිබඳව කිසිදු පළපුරැද්දක් ඔහුට නොතිබිණි. එහෙත් ඔහු ප්‍රඥාවන්තයෙක් විය.

විශිෂ්ට ගණයේ සමාජ ආර්ථික ප්‍රතිඵල ලබාදීමට තරම් කුසලතා තමන්ට නොමැති බව ඔහු දැන සිටියේය. එහෙත් එසේ වුවද ආණ්ඩුකාරයා වීමට ඔහු තදින්ම සිතට ගත්තේය. සාර්ථක ආණ්ඩුකාරයකු වීම අවසානයේ අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන්ට පාර කපා දෙනු ඇති බවට රේගන් තුළ සිහිනයක් තිබිණි.

රේගන් තම කුසලතා පිළිබඳ ඇගයීමක් කළේය. ඔහු පෙනුමින් ප්‍රියමනාප පුද්ගලයෙක් විය. නළුවකු වශයෙන් කතාවක් මතකයේ තබාගෙන එය ජවසම්පන්නව සහ විචක්ෂණ ලෙස ඉදිරිපත් කිරීමට ඔහු තුළ සහජ හැකියාවක් තිබිණි. ප්‍රශ්නයක් වූයේ දේශපාලන වචන හරඹයයි. ජයග්‍රාහී ක්‍රමෝපායන් සහ ප්‍රතිපත්ති වර්ධනය කිරීමට හෝ ඒවා ක්‍රියාවේ යෙදවීමට හෝ තමා හපනකු නොවන බවද ඔහු දැන සිටියේය. මේ නිසා රේගන් කළේ වඩාත්ම සුදුසුම දෙයයි. එනම් උපදේශකවරුන් පිරිසක් හයර් එකට ගැනීමය. සැබෑ දේශපාලන ලෝකය තුළ පිනුම් ගැසිය හැකි හොඳ සැලසුම් නිර්මාණය කළ හැකි දක්ෂ පුද්ගලයෝ ද තමා ජයග්‍රහණය කළොත් ඒවා ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබෙන පුද්ගලයෝ ද තෝරාගැනීමට ඔහු සමත් විය.

රේගන් සහ ඔහු තම උපදේශකයන්ගෙන් වැඩ ගත් ආකාරය ග්‍රන්ථයකින් අනාවරණය කර තිබේ. ඔහු ඔවුන් තමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවා ගත්තේය. නමුත් රේගන් තම උපදේශකයන්ගේ අදහස් අන්ධානුකරණය කළේ නැත. ඔහු නිතරම එම උපදෙස් සාකච්ඡාවට බඳුන් කළේය. ඒ ගැන අවබෝධයක් ලබා ගත්තේය. ක්‍රියාත්මක කළ යුතු උපදේශය කුමක්දැයි අවසානයට තීන්දු කළේ රේගන්මය. ඇතැම්විට ඔහු දේශපාලන සහාය ලබාගැනීමට ඔවුන්ගේ ඔපය භාවිතයට ගන්නට ඇත.

ඔහු තෝරාගත් මග සඳහා ඉහළ බුද්ධියක් අවශ්‍යය. තමන්ගේ උපදේශකවරැන්ට නිරන්තර පෙළඹවීම් සිදු කිරීමට රේගන්ට සිදුවිය. ඔවුන්ගේ නිර්දේශ දේශපාලනමය වශයෙන් පිළිගනු ලැබීමට හැකිවන පරිදි නිසි ලෙස සැකසීමට සිදුවන විට තමාගේ චිත්තාවේග බුද්ධියට ඉඩ දෙමින් දේශපාලන කරළියේ සිතැඟි කෙරෙහි වැඩි වශයෙන් නැඹුරු වීමට ඔහුට අවශ්‍ය විය. තමාගේ දේශපාලන අනාගතය අවසානයේ තීරණය කරන්නේ එතැනින් බව රේගන් දැන සිටියේය.

රේගන්ගේ එම ප්‍රවේශ මාර්ගය ඔහුට හොඳින්ම ගැලපිණි. ඔහු සාර්ථක ආණ්ඩුකාරයෙක් විය. අමෙරිකාවේ ජනාධිපති ධූරය දක්වා රේගන් ගිය ගමනේ ආරම්භය එය විය.

අපේ රටේ අනාගතය රුඳී තිබෙන්නේ ඊළඟට පත්වෙන ජනාධිපතිවරයා විසින් මෙහෙයවනු ලබන උපදේශකයන් මතය. මගේ ඡන්දය ලබා දෙන්නේ හොඳම උපදේශක කණ්ඩායම සිටින අපේක්ෂකයාටය.

ඩේලි එෆ්.ටී.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00