2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

වාර්තාව සහ වගකීම

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 59

මෙරට සකල සියලු දේ සසල කළ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ කරැණු සෙවූ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවේ වාර්තාව පසුගියදා නිකුත් විය. එය මෙසේ නිකුත් කෙරෙන බවත් එය දේශපාලන බෝම්බයක් වනු ඇති බවත් යන්න අපගේ පසුගිය සතියේ දේශය පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය විය. එය තවදුරටත් තහවුරු කරමින් ජනපති සහ අගමැතිගෙන් පවා අතපසුවීම් සිදුවී ඇතැයිද ප්‍රහාරයේ මූලික වගකීම ජාතික බුද්ධි ප්‍රධානී හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පතින් බාරගත යුතු යැයිද එම වාර්තාව මගින් හෙළිකර තිබේ.

අදාළ විශේෂ කාරක සභා වාර්තාව කතානායකවරයා විසින් නීතිපතිවරයාට යොමු කර ඒ මාර්ගයෙන් අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගතහැකි බව ද කාරක සභාව ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව කටයුතු සිදුකෙරෙනු ඇතිදැයි දැන්ම කිව නොහැකි වුවද මේ වාර්තාව පිළිබඳව ඉදිරියේදී පැවැත්වීමට නියමිත දින දෙකක පාර්ලිමේන්තු විවාදයේදී නඩු දැමිය යුතු පිරිස කවුදැයි හරිහැටි හඳුනාගැනීමට හැකිවනු ඇත. එය සිදුකළ හැක්කේ දේශපාලන මඩගැසීම් තොරව හරයාත්මකව පැවැත්වෙන විවාදයකින් පමණක් බවත් මෙහිදී සඳහන් කළ යුතුය. එවැනි ඉහළ මට්ටමකින් සිදුවන පාර්ලිමේන්තු විවාද පිළිබඳව මෑතකදී අසන්නට නොලැබුණු බවද ඒ සමඟ පෙන්වාදිය යුතුය.

මෙහිදී වඩාත්ම අවධානයට ගතයුතුවන්නේ මුල සිටම අවධානයෙන් සහ වගකීමෙන් කටයුතු කළේ නම් මේ ප්‍රහාරය වළක්වා ගතහැකිව තිබූ බව වාර්තාවේ සඳහන් වීමය. ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල්වල සමීපතම සාමාජිකයන්ටත් තුවාල ලබා තවම ප්‍රතිකාර ගනිමින් සිටින අයටත් මේ කාරණය ඉවසා දරාගැනීම ඉතා අමාරු වනු ඇත. වගකිවයුත්තන්ගේ නිසි අවධානය සහ වගකීම තිබුණා නම් තමන්ගේ පවුල්වල සාමාජිකයන් තවමත් ජීවතුන් අතර නොවේද යන්න ඔවුන්ට සිහිපත් වීම වැළැක්විය නොහැක. එය වඩාත්ම දරැගැනීම අමාරු වනු ඇත්තේ කල්තියා තොරතුරු ලැබී තිබියදීත් සහරාන් ඇතුළු ත්‍රස්තකල්ලිය අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග පවා නිකුත් වී තිබියදීත් වගකිවයුතු අංශ ඒ පිළිබඳව කිසිදු පියවරක් නොගැනීමය. රටේ ආරක්ෂක තත්ත්වය ගැන ඒ තරම් නොසැලකිලිමත් වීමක් සැබෑවටම සිදුවිය හැකිද? එය අප කාටත් ඉතිරි වන ප්‍රශ්නයයි.

මෙවන් වගකීම් විරහිතව ක්‍රියාත්මක වන තත්ත්වයකට රටේ පාලකයන් පත්වූයේ පැවැති දේශපාලන අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙනි. එම චෝදනාවෙන් මිදීමට ඔවුන්ට හැකියාවක් නැත. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර පැවැති දේශපාලන විරසකභාවය රටේ පක්ෂ දේශපාලනයට පමණක් නොව ජාතික ආරක්ෂාවට ද දැඩිව බලපෑම් ඇති කර තිබෙන බව පාස්කු බෝම්බ ප්‍රහාරය පෙන්වා දී ඇති කටුක යථාර්ථයයි. ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා සහ ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා ආරක්ෂක මණ්ඩලයෙන් ඉවත්කරනු ලැබ සිටියත් ප්‍රහාරය සිදුවන තුරුම එසේ ඉවත් කළේ ඇයිදැයි හේතු දැක්වීමක් නොකිරීම මේ කටුක යථාර්ථයේ බරපතළකම හොඳින්ම පෙන්වා දෙයි.

අපේ රටේ සෑම සියලු කටයුත්තක්ම දේශපාලනය සමඟ ගැට ගසා ගැනීම රටට මහත් කොඩිවිනයක් බවට පත්ව තිබේ. සෙසු සිදුවීම් සම්බන්ධයෙන් එහි බලපෑම් අඩුවිය හැකි වුවද රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධ කටයුතුවලදී දේශපාලනය අදාළ කරගැනීම බරපතළ ප්‍රතිවිපාකවලට හේතු වෙයි. විශේෂයෙන් තිස්වසරකට ආසන්න කාලයක් යුද්ධයෙන් බැට කෑ රටේ ජාතික ආරක්ෂාවට ලැබිය යුත්තේ දේශපාලන කාරණාවලට වඩා ඉහළ ප්‍රමුඛත්වයකි. එහෙත් එම ප්‍රමුඛත්වය කිසිසේත්ම නොලැබී ගොස් තිබෙන බවට වෙනත් උදාහරණ අවශ්‍ය නැත. දැන් සිදුවිය යුත්තේ අනාගතයේදී හෝ මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට සියලු පියවර ගැනීමය. පාස්කු ප්‍රහාරය වැනි වැරැද්දකට මේ රට තුළ යළිත් ඉඩක් තැබිය යුතු නැත. මේ බව ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් විසින් තේරැම් ගැනීම අවශ්‍යය.

වාර්තාවෙන් පැනනගින බරපතළ කරැණු කෙරෙහි අවධානය යොමුකරනු වෙනුවට තාක්ෂණික කරුණු අල්ලාගෙන වාර්තාවට පහර ගැසීම එකී අරමුණුවලින් බැහැරවීමක් බවද පෙන්වාදිය යුතුය. අදාළ විශේෂ කාරක සභාව තුළ හකීම් ඇමැතිවරයා සාමාජිකයකු වශයෙන් සිටීම හේතුවෙන් මෙය සාධාරණ වාර්තාවක් වශයෙන් පිළිගත නොහැකි බව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි. එවැනි අදහසක් දැරීමට මන්ත්‍රීවරයාට තිබෙන අයිතිය අපි පිළිගනිමු. එහෙත් එවැනි දේශපාලන කාරණාවක් පදනම් කරගනිමින් සමස්ත කාරක සභා වාර්තාවම ප්‍රතික්ෂේප කිරීම පිළිගත නොහැක. හකීම් සමඟ සහරාන් සබඳතා පැවැත් වූ බවට නැගෙන චෝදනාවල ඇත්ත නැත්ත අපි නොදනිමු. එහෙත් රටේ 250කට ආසන්න සංඛ්‍යාවකට මරු කැඳවූ 400කට අධික ප්‍රමාණයකට තුවාල සිදුකළ දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඊට වගකිව යුතු සියලු පාර්ශ්ව කරැවන්ගේ සාක්ෂි විමසා සකස් කළ වාර්තාවක් ප්‍රතික්ෂේප කිරීමට එය හේතුවක් කරගැනීම සාධාරණ නැත. පරිණත දේශපාලනඥයන් කළ යුතු වන්නේ එවැනි සිල්ලර දේශපාලන වංගු ගැසීම් නොව වාර්තාවෙන් පැනනගින කරුණු සහ චෝදනා පිළිබඳ නිවැරදිව විමසා බැලීමය. රටේ ජනතාව අවධානය යොමු කරන්නේ තමන්ගේ ආරක්ෂාව සුරක්ෂිත වන කරුණු මේ වාර්තාවේ සඳහන් වෙනවාද යන්න මිස කාරක සභාවේ සාමාජිකයන්ගේ පැටිකිරිය දෙසට නොවන බවද කිව යුතුය.

මෙම විශේෂ කාරක සභා වාර්තාව මගින් විශේෂ නිර්දේශ අටක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ තිබේ. අඩුම තරමින් එම නිර්දේශ අට ඉදිරියේදී හෝ ක්‍රියාවට නැංවිය හැකිනම් එය රටේ ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් වනු ඇත. හැමදේටම දේශපාලනය ගැටගසා ගෙන රට අනතුරේ හෙළීමට ක්‍රියා කරනවාට වඩා එය හැම අතින්ම වැදගත්ය.