2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

ඡන්ද මාරුතය

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 143

ඉතිහාසයට යන ජනාධිපතිවරණයට තව ඇත්තේ දවස් 27කි. මේ ඡන්දය ඉතිහාසයට යන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධූර කාලය එදායින් අවසන් වීම නිසාය. මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේම පළමු ධූර කාලයෙන්ම තමන්ගේ කාර්යභාරය සිය කැමැත්තෙන් අවසන් කරගත් පළමු ජනාධිපතිවරයා වන්නේ සිරිසේන මහතායි. ජනාධිපතිවරණය ඓතිහාසික වන්නේ ඒ හේතුවෙනි.

ජනාධිපතිවරණය පමණක් නොව මෛත්‍රීපාල සිරිසේන ද ඓතිහාසිකය. එයට හේතුව ඔහු තම ධූර කාලය වසර 06 සිට 05 දක්වා අඩු කරගත් එකම ජනාධිපතිවරයා වීමයි. එසේම ධූරයේ ඇතැම් විධායක බලතල ද ඔහු කැමැත්තෙන් ඉවත් කළේය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඒවා සිදු කරනු ලැබූ අතර එම සංශෝධනය සම්මත කරගැනීම සඳහා ජනාධිපතිවරයා දැඩි වෙහෙසක් ගත්තේය. පසුකාලයක 19 ජනාධිපතිවරයාගේ නිර්දය විවේචනයට ලක් වුවද ඔහුගේ බලතල අඩු කරගැනීමේ කාර්යයත් ධූර කාලය කෙටි කර ගැනීමත් මෙරට දේශපාලන ඉතිහාසයට එක්වන්නේ 19 වැනි සංශෝධනය මගින් ඇති කළ වෙනස්කම් නිසාය.

කෙසේ වුවද ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර ඇති වූ මතගැටුම්වල ප්‍රතිඵලයක් වශයෙන් දේශපාලන වශයෙන් දෙදෙනා විරසක වූ විටදීත් පොහොට්ටුවේ මතුවීම හේතුවෙන් ශ්‍රීලනිපය දැඩි ලෙස අර්බුදයකට මැදි වූ අවස්ථාවේත් තවත් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සිරිසේන මහතා තුළ බලාපොරොත්තුවක් තිබූ බව ඔහුගේ කතාවලින් සහ ක්‍රියාවෙන් පෙනී ගියේය. ශ්‍රීලනිපයේ ප්‍රබලයන් පමණක් නොව ගම් මට්ටමේ දේශපාලනඥයන් පවා සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට මතයක් ගෙනයනු ලැබීය. එය සිරිසේන මහතා 2015 ජනවාරි 08 ජනාධිපතිවරණය දිනා ජාතිය අමතා කළ පළමු ප්‍රකාශයේදී පළ කළ මම යළිත් වරක් ඡන්දය ඉල්ලන්නේ නෑ. යනුවෙන් කළ ප්‍රකාශයට හාත්පසින්ම වෙනස් වීමකි. එහෙත් දේශපාලනය තුළ සිදු නොවිය හැකි දෙයක් නැත. ඒ සමඟම එක් වරක් ධූරය දැරූ ජනාධිපතිවරයා වශයෙන් ඔහු ඉතිහාසගත වුවද ඔහු නායකත්වය දුන් ශ්‍රීලනිපය ලොකු අමාරැවක වැටුණේය.

මේ අමාරැවේ තරම කල් තබාම හොඳින් වටහාගෙන සිටි සිරිසේන මහතා පොහොට්ටුව සමඟ ශ්‍රීලනිපය ගැටගැසීමෙන් පසුව නිර්පාක්ෂික විය. ඔහු 2015දී ද දින කිහිපයක් එනම් ශ්‍රීලනිපයේ නායකත්වය බාර ගැනීමට පෙර නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් වී සිටියේය. තම ධූර කාලය ආරම්භයේදීත් අවසානයේදීත් නිර්පාක්ෂිකයකු වූ එකම ජනාධිපතිවරයා වන්නේ ද සිරිසේන මහතාමය. එය දෛවයේ සරදමක් දැයි ඉදිරි කාලයේදී බලාගත හැකි වනු ඇත. එහෙත් ශ්‍රීලනිපය අවසානයේ දේශපාලන වශයෙන් සරණාගත තත්ත්වයකට වැටීම සම්බන්ධයෙන් සිරිසේන මහතා කුමක් සිතනු ඇති දැයි කියන්න අමාරුය.

ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් වූ නිමල් සිරිපාල, රන්ජිත් සියඹලාපිටිය, ඩිලාන් පෙරේරා සහ එස්. බී. මුලින්ම පොහොට්ටුවට එක්වීමට කටයුතු කළහ. එය සිදුවූයේ පොහොට්ටුව සහ ශ්‍රීලනිපය අතර සාකච්ඡා දිග්ගැස්සෙමින් තිබියදීය. යූ.එන්.පී.ය නියෝජනය කරන අපේක්ෂකයා කවුද යන්න තීරණය කරනතුරැ ඇදෙමින් තිබූ මේ සාකච්ඡා අවසානයේ නායක මට්ටමින් සිදුවන තැනටම පත්වූයේ සජිත් යූ.එන්.පී. අපේක්ෂකයා වීමත් සමඟය. එතෙක් තනිවම ගමනක් යාමට සූදානමින් සිටි පොහොට්ටුව විකල්ප මගකට පිවිස ශ්‍රීලනිපය සමඟ තීරණාත්මක සාකච්ඡාවලට එක්විය. එය හොඳින් පෙන්නුම් කළේ ඡන්ද ලකුණු පිළිබඳ තීන්දුව ගැනීමේදී දෙපැත්තේම ගෞරවය බේරාගෙන කටයුතු කරන තැනකට තල්ලු වීමය. එයට ජනාධිපතිවරයා ඡන්දය දිනන යන්තරය සහ මන්තරය දෙකම තමන් සතු බවට කළ ප්‍රකාශය හේතුවක් වන්නට ඇත. අවසානයේ ජනාධිපතිවරණයේදී පොහොට්ටුව ලකුණටත් ඉන්පසුව මහ මැතිවරණයේදී පොදු ලකුණකටත් එකඟත්වයක් ඇති වූ බව ප්‍රකාශ විය. එවැනි එකඟත්වයකට මෛත්‍රීපාල සමඟ මහින්ද සහ බැසිල් ද ගෝඨා ද එක්ව සාකච්ඡා කළ බවක් සඳහන් විය. ශ්‍රීලනිපයේ සහාය ගෝඨාට ලබාදීමත් ජනාධිපති මෛත්‍රීපාල මහතා නිර්පාක්ෂික වීමත් ප්‍රකාශයට පත්වුණේ ඒ පසුබිමේය. ජනාධිපතිවරයා නිර්පාක්ෂික වනවිට පක්ෂයේ සභාපති පදවියට වැඩ බැලීම සඳහා පත්කරනු ලැබුවේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසය.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් ශ්‍රීලනිප සමීපතමයකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළත් ඔහු පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයකු නිලධාරියකු වශයෙන් එකතු වූයේ ඉතාම මෑතකදීය. එවන් නවකයකු අතට පක්ෂයේ සභාපති ධූරයේ වැඩ බැලීම පැවරීමෙන් පෙනී යන්නේ ශ්‍රීලනිපයේ ගමනක අවසානය යැයි ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. විශේෂයෙන් ලබන 16 වැනිදා ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රීලනිපයට දේශපාලනයේ හිමි තැන කුමක්ද යන්න ප්‍රහේළිකාවකි. අගමැතිවරැන් සහ ජනාධිපතිවරැන් බිහි කරන ලද රටේ පැරුණිතම ප්‍රබල දේශපාලන පක්ෂයක් වූ ශ්‍රීලනිපය කෑලි කැඩී දිය වී යාමට තිබෙන ඉඩකඩ විශාලය. එය වළක්වා ගැනීම සඳහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා දරණ වෑයම කොතරම් දුරකට සාර්ථක වනු ඇති ද යන්න තවම සිතාගැනීමට අමාරුය.

ශ්‍රීලනිපය දිය වී ගියත් ජනාධිපතිවරණය ඉතිහාසයට ගියත් එහි සභාපති ධූරය මෙතෙක් දැරෑ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නම් තම දේශපාලන අනාගතය පිළිබඳ මාර්ග සිතියම සාර්ථක කරගෙන තිබෙන බව පෙනේ. ජනාධිපතිවරණයෙන් පසුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හරහා පාර්ලිමේන්තුවට පැමිණ ඉහළ තනතුරකට පත්වීමට ඉඩකඩ ඇති බව පසුගියදා සඳහන් විය. ඒ සමඟ ඔහු ජනාධිපතිවරයා වශයෙන් මෙතෙක් භාවිත කළ නිල නිවෙසේ ඉදිරියට ද දිගටම රුඳී සිටීමට වරම් ලැබී තිබේ. කොළඹ හතේ මහගමසේකර මාවතේ පිහිටි එම නිවෙස පසුකාලීනව සම්පූර්ණයෙන් අලුත්වැඩියා කරන ලද පැරුණි මන්දිරයකි. ධූරයෙන් විශ්‍රාම ලැබීමෙන් පසුව සෑම ජනාධිපතිවරයකුටම නිල නිවෙසක හිමිකම තිබේ. එහෙත් තමන්ගේ ධුර කාලය තුළ භාවිත කළ නිල නිවෙසම විශ්‍රාම ලැබීමෙන් පසුව ද ලබාගැනීමට හැමෝටම අවස්ථාවක් සැලසෙන්නේ නැත. එසේම ජනාධිපතිවරයාට ලැබෙන ආරක්ෂක නිලධාරීන් සහ වාහන ද එලෙසම ලබාදීමට ද කැබිනට් තීන්දුවක් ගෙන තිබේ. රටේ කුඩු ජාවාරම මැඩලීම වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළ ජනාධිපතිවරයාට ඒ හේතුවෙන් එල්ල වන ආරක්ෂක තර්ජන පිළිබඳව සලකා බලා මේ තීරණය ගත් බව මංගල සමරවීර ඇමැතිවරයා ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වුවද යන එන මං නැති වූයේ ශ්‍රීලනිපයේ බිම් මට්ටමේ ක්‍රියාකාරී පිරිසකටය. ඔවුන් කියන්නේ මන්ත්‍රීවරැන් පොහොට්ටුවට එකතු වී ගොඩගියත් තමන්ට ගම් මට්ටම් කිසිදු ආකාරයක දේශපාලනයකට පොහොට්ටුවේ ඇතැම් සාමාජිකයන් ඉඩ නොදෙන බවය. මේ තත්ත්වය පොහොට්ටු වේදිකාවට ගොඩවෙන ශ්‍රීලනිප මන්ත්‍රීවරැන්ට හූ කීමෙන් වටහාගත හැකිය. හූ කීම දිගින් දිගටම ගියහොත් ශ්‍රීලනිපයේ බිම් මට්ටමේ පිරිස් පොහොට්ටුවෙන් ගැලවී යාමට ඉඩ තිබේ. මේ පිරිසක් පසුගියදා සජිත්ගේ වේදිකාවට ගොඩ වී ඔහුට සහාය පළ කරන බව කියා තිබිණි. එසේම ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය තුළද ශ්‍රීලනිප ඡන්ද 12.5%ක පමණ ප්‍රතිශතයක් වෙනම පැවතීම ද පොහොට්ටුව විසින් සැලකිල්ලට ගත යුතු තත්ත්වයකි. හරිනම් එකතුවෙන් පසුව සිදුවිය යුතුව තිබුණේ පොහොට්ටුවට සියලු ඡන්ද එකතු වී ශ්‍රීලනිප ඡන්ද ප්‍රතිශතය බින්දුවට වැටීමය. එහෙත් පසුගිය වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ලබාගත් ප්‍රතිශතයට ආසන්න තත්ත්වයක් තවමත් පවත්වා ගැනීමට ශ්‍රීලනිපය සමත් වී තිබේ. නායක මට්ටමින් පොහොට්ටුව සහ ශ්‍රීලනිපය එකතු වුවත් ශ්‍රීලනිප පාක්ෂිකයන් තවමත් තමන්ගේ පක්ෂය සමඟම රැඳී සිටින බවට ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය ප්‍රබල සාක්ෂියකි.

මේ වනවිට ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය රත්වෙමින් තිබේ. ගෝඨා සහ සජිත්ගේ රුලිවලට විශාල වශයෙන් ජනකාය සහභාගී වන බව පෙනෙන්නට තිබේ. අනුර කුමාරගේ රැස්වීම්වලට ද තරමක් විශාල වශයෙන් ජනතාව පැමිණෙමින් සිටී. පවතින දේශපාලනය කෙරෙහි රට තුළ විශාල විරෝධයක් පැවතුණත් ඡන්ද රුලිවල නම් උද්යෝගයේ අඩුවක් ඇති බවක් පෙනෙන්නට නැත. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටේ ජනතාව තුළ පාර්ලිමේන්තුවේ 225 දෙනාම කෙරෙහි දැඩි කෝපයක් මතු වී තිබිණි. පවතින දේශපාලන රටාව කෙරෙහි ලොකු විරෝධයක් ද ඇති බවට අනාවැකි පළ විය. එහෙත් දැන් පෙනෙන්නේ ජනතාව ජනාධිපතිවරණය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන බවය.

මේ උනන්දුවට එක් හේතුවක් වන්නේ ප්‍රධාන පාර්ශ්ව දෙකෙන්ම ඉදිරිපත් කෙරැණු අපේක්ෂකයන් දෙදෙනාම අලුත් මුහුණු වීමය. ජනතාව දෙදෙනාම දැන සිටියත් ඔවුන් ජනාධිපතිවරණ සටනට ආධුනිකයෝ වෙති.

ඒ සමඟම විකල්ප ජනතා බලවේග වශයෙන් මතු වූ අනුර කුමාර, පල්ලෙවත්ත සහ මහේෂ් සේනානායක ද ජනාධිපතිවරණයට කිසියම් උත්තේජනයක් ලබා දී තිබේ. මේ ප්‍රවණතාවේ වාසි - අවාසි ගැන දැන්ම කීම අමාරුය.

ඒ අතරම ඡන්ද සටන උණුසුම් වෙද්දී මැතිවරණ කොමිසමට ද වැඩ වැඩි වී තිබේ. අඩි දෙකේ ඡන්ද පත්‍රිකාවේ පටන් රැපියල් කෝටි 700 පවා ඉක්මවන වියදම ද ඔවුන්ගේ ප්‍රශ්න සංකීර්ණ කර තිබේ. මේ හේතුවෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ද තම බලතල තදින්ම ක්‍රියාවේ යොදවන බව පෙනෙන්නට තිබේ. යුද ජයග්‍රහණය ඡන්ද මාතෘකාවක් කර නොගන්නැයි කළ කතාව පොහොට්ටුව විසින් ප්‍රශ්න කර ඇත්තේ එය කුමන නීතියක් යටතේ පැනවූ සීමාවක් ද යනුවෙනි. නමුත් රටේ ජනතාවට මේ කතා එකකින් වත් වැඩක් නැත. ඔවුන් තමන්ගේ කලකිරීම් සහ විරෝධය පැත්තකට දමා අපේක්ෂකයන් වටා රොක්වන්නේ තවමත් ඒ ඡන්දයෙන් තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට හැකි බවට ඇති බලාපොරොත්තුව හේතුවෙනි. ඒ බලාපොරොත්තු කඩ නොකිරීම සෑම අපේක්ෂකයකුගේම ලොකුම වගකීමය.

 ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00