2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ග්‍රීස් ගහේ නැග ගැනීම

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 232

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා 2018 පළාත් පාලන මැතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ මගින් බාරදුන් නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප විය. ඒ අවස්ථාවේදී එම ඡන්දය මෙවර ජනාධිපතිවරණය කටේ තිබියදී පැවැත්වෙනු ඇතැයි කවුරුත් හිතුවේ නැත. නීති ගැටලුවක් හේතුවෙන් ප්‍රතික්ෂේප වූ නාමයෝජනා ගැටලුව උසාවිය හරහා විසඳා ගැනීමෙන් ඡන්දය විමසීම සිකුරාදා (11) දිනයට යෙදිණි. ජනාධිපතිවරණය අත ළඟ තිබියදී පුංචි ඡන්දයක් තැබීමෙන් වඩාත්ම අපහසු තත්ත්වයට පත්වූයේ ආණ්ඩුව බව සිතාගැනීම අපහසු නැත. 2018 පුංචි ඡන්දයේ ප්‍රතිඵලය ඊට හේතුවය. ඒ හේතුවම විපක්ෂයේ උද්දාමයටද හේතු වී තිබේ.

කෙසේ වුවද එක් ප්‍රාදේශීය සභාවක ප්‍රතිඵලය මත සමස්ත ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කෙසේ විය හැකිදැයි අනුමාන කිරීම අපහසුය. සංසන්දනාත්මකව බැලුවොත් ඇල්පිටිය මහින්දලාට බොහොම වාසිදායක දේශපාලන වශයෙන් ශක්තිමත් ප්‍රාදේශිකයකි. එයින් විශාල බහුතරයකින් ජයක් ලබාගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුව වී තිබිණි. අනෙක් අතට යූ.එන්.පී.ය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ඇල්පිටියේ ඡන්දයක් නොතිබුණා නම් හොඳයි කියා සිතුවාට සැකයක් නැත. එහෙත් ජය පරාජයට වඩා මේ ප්‍රධාන අපේක්ෂකයන් නියෝජනය කරන දෙපක්ෂයටම වඩාත් වැදගත් වනු ඇත්තේ සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන ඇල්පිටියේ ඡන්ද බෙදී ගොස් තිබෙන ආකාරයයි. එක් එක් පක්ෂ ලබාගන්නා ප්‍රතිශතයෙන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට කෙරෙන බලපෑම පිළිබඳ කිසියම් සංඥාවක් ලබාගත හැකිවනු ඇත.

මෙතෙක් පැවැති ජනාධිපතිවරණයක් ආසන්නයේ මේ ආකාරයේ පුංචි ඡන්දයක් පැවැත්වූයේ නැත. මෙවැනි ආසන්න අවස්ථාවක් 2015 ජනාධිපතිවරණය ආසන්නයේද සිදුවිය. ඒ පසුගියදා විසිරවුණු ඌව පළාත් සභාවයි.

මහින්දගේ පාලන කාලය තුළදී පළාත් සභා ඡන්දය එකවර පැවැත්වුණේ නැත. ඒ හේතුවෙන් ඌව පළාත් සභාව පැවැත්වූයේ අවසන් පළාත් සභා ඡන්දය හැටියටය. එය විසුරැවා හැර ඡන්දයට යාමේදී එසේ කිරීම අවාසිදායක වනු ඇති බවට මහින්දට ඔහුගේ සමීපතමයන් කියා තිබිණි. ඒ වනවිට ආණ්ඩුවද පිරිහී යමින් තිබුණි. රටේ ප්‍රශ්න වැඩිවෙමින් තිබිණි. ආණ්ඩුව ඇතුළේද විවිධ මත ගැටුම් ඇතිවෙමින් ආණ්ඩුව ඇතුළින්ම විපක්ෂයක් බිහිවෙමින් තිබුණි. මේ කොහොම වුණත් අවදානමක් ගෙන ඡන්දය පැවැත්වීමට මහින්ද තීරණය කළේය. එහෙත් එම ඡන්දය ඉහළින්ම දිනාගෙන ආණ්ඩුවේ වැටෙමින් තිබූ ප්‍රතිරූපය ඔසොවා තබා ජනාධිපතිවරණයට යාමට මහින්ද තුළ තිබූ බලාපොරොත්තුව අසාර්ථක විය. එයට හේතුව ඌව පළාත් සභාවේ ප්‍රතිඵලය මහින්ද බලාපොරොත්තු වූ ආකාරයේ එකක් නොවීමය. මහින්දගේ ආණ්ඩුව ජයගත්තත් විපක්ෂයේ සිටි යූ.එන්.පී.ය ප්‍රමුඛ පෙරමුණ ප්‍රබල ලෙස ඉදිරියට පැමිණීමට සමත්ව තිබිණි. ජනාධිපතිවරණය තවදුරටත් ප්‍රමාද කිරීම තවත් අවාසිවනු ඇතැයි මහින්ද සිතන්න ඇත. තම සමීප දේශපාලන හිතවතුන් කිහිපදෙනකුම විරැද්ධ වුවත් මහින්ද ජනාධිපතිවරණය කැඳෙව්වේය. ඒ සමඟ ගල්ලෙන බිඳී ගියේය. ප්‍රතිඵලය දැන් ඉතිහාසයට එක් වී තිබේ.

එසේ වුවත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය එයට සම කිරීමට හැකියාවක් නැත. එම ඡන්දය විපක්ෂයට ආශීර්වාදයක් විය හැකි වුවද එය පැවැත්විය යුතුයි තීරණය කළේ ඔවුන් නොව ශ්‍රේෂ්ඨාධිකරණයයි. එසේම ආණ්ඩු පක්ෂයද මේ ඡන්දය ගැන කිසිම උනන්දුවක් නොදැක්වූයේ එහි අපේක්ෂිත ප්‍රතිඵලය තමන්ගේ ජනාධිපතිවරණ ජයගැනීමේ සැලැස්මට බාධාවක් ඇතිකරනු ඇතැයි යන සිතිවිල්ලෙනි. එහෙත් ප්‍රාදේශීය සභා ඡන්දයකින් ජයගැනීම විපක්ෂයේ ප්‍රබල උත්තේජනයකට සහ සතුටුවීමට අවස්ථාවක් වුණත් ඒ ප්‍රතිඵලය ඒ ආකාරයටම ජනාධිපතිවරණයේදී ලැබෙතැයි විශ්වාස කර කටයුතු කළ නොහැක. ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය රටේ සමස්ත ඡන්ද දායකයන්ගේම ඡන්දය මත තීරණය වන්නකි. එහි දෙපැත්තටම වාසි සහ අවාසිදායක ඡන්ද දායකයන් සිටින බව දැන සිටීම වැදගත්ය.

ජනාධිපතිවරණයේ මුලින්ම අපේක්ෂකත්වය තහවුරැ වූ ප්‍රධාන අපේක්ෂකයා වූයේ ගෝඨාභය රාජපක්ෂය. ඊළඟට ජවිපෙ අපේක්ෂකයා වශයෙන් අනුර කුමාර දිසානායකගේ නම ස්ථීර විය. ගැටලුව තිබුණේ යූ.එන්.පී.ය ඇතුළේය. කෙසේ වුවද අවසානයේ පක්ෂයේ කිසිම බෙදීමකින් තොරව ගැටලුව විසඳා ගැනීමට යූ.එන්.පී.ය ප්‍රමුඛ එ.ජා. පෙරමුණට හැකිවිය. එහිදී සජිත් ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවට ඔහුගේ සමීප මැති ඇමැතිවරැන් ගෙන ගිය සටනත් පෙරමුණට සම්බන්ධ සුළු ජාතික පක්ෂ නායකයනුත් ඇතිකළ බලපෑම කැපී පෙනේ. එම සටනින් ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට හැකි වීමේ ගැම්ම සජිත්ගේ මුල්ම ඡන්ද රැලිය පැවැත්වූ ගෝල්ෆේස් පිටියේදී දැකගත හැකි විය. ජනප්‍රියත්වය පිරිහී ගොස් ජනතාවගේ දැඩි විවේචනයට ලක්වෙමින් සිටි ආණ්ඩුවට එම රුලිය විශාල සැනසුමක් වීම ගැන පුදුම විය යුතු නැත. එහිදී සජිත් කළ කතාවද පාක්ෂිකයන්ගේ ප්‍රසාදයට ලක් වූ බවත් පෙනෙන්නට තිබිණි.

ගෝඨාභය තම මුල්ම රුලිය අනුරාධපුරයේදී සාර්ථකව පැවැත්වූයේ එතෙක් ගැටලුවක්ව තිබූ ශ්‍රීලනිපයේ සහායද ලබා ගනිමින් වීම කැපී පෙනෙයි. දුමින්ද අනුරාධපුර වේදිකාවට ගොඩවීම පොහොට්ටු - ශ්‍රීලනිප එකතුව රටට පෙන්නුම් කළ අතර ඊට පසුදින අත්සන් කළ අවබෝධතා ගිවිසුමෙන් එය තහවුරු විය. ශ්‍රීලනිපයේ මන්ත්‍රීන් සියලුදෙනාගේ සහාය දැන් පොහොට්ටුවට හිමි වී තිබේ. එය ගෝඨාභයගේ ඡන්ද ව්‍යාපාරය පණ ගන්වන ඉන්ජෙක්ෂන් එකක් වීම බලාපොරොත්තු විය යුතුය. ඒ සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමා නිර්පාක්ෂිකව සිටින බව ප්‍රකාශ කරමින් ප්‍රධාන දේශපාලන භූමිකාවට තිත තැබුවේය. ඔහුගේ ධුර කාලය තව දින 35කට පමණක් සීමා වී තිබේ.

කෙසේ වුවත් ජනාධිපතිවරයාගේ නිර්පාක්ෂික වීම යූ.එන්.පී. පුමුඛ පෙරමුණට සහාය දක්වන පිරිසගේ දැඩි විවේචනයට හේතු වී තිබේ. ශ්‍රීලනිපයේ බිම් මට්ටමේ සිටින දේශපාලනඥයන් පිරිසක්ද මේ තීන්දුවෙන් කනස්සල්ලට පත්ව සිටිති. තමන් තුළ මහත් බලාපොරොත්තුවක් ඇතිකර ඉන්පසුව දේශපාලන ලෝකය තුළ හුදෙකලා කර ඇතැයි ඔවුහු චෝදනා කරති. දැනට ප්‍රබල සංවිධාන ශක්තියකින් ක්‍රියාකරන පොහොට්ටුවේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයන් සමඟ කටයුතු කිරීම ඔවුන්ට දැඩි අපහසුවක් වී තිබීම එයට හේතු වී තිබේ. එහෙත් ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල ජනාධිපතිගෙන් ඊට පිළිතුරක් නැත. ඔහු කියන්නේ ඉදිරි දිනවලදී තමන් සක්‍රීය දේශපාලනයට සම්බන්ධ නොවන බවය. එහෙත් එයින් පොහොට්ටුව සමඟ සම්බන්ධ වීමට අකමැති ශ්‍රීලනි පාක්ෂිකයන්ගේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත.

නොවැම්බර් 16 ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35 දෙනකු ඉදිරිපත්ව සිටියත් එයින් ප්‍රධාන අපේක්ෂකයන් සිටින්නේ ගෝඨාභය, සජිත් සහ අනුර කුමාර දිසානායක පමණි. ඒ අතුරින්ද සටන ඇත්තේ සජිත් සහ ගෝඨාභය අතරය. අනුර කුමාර ජවිපෙ ලාංඡනය වන සීනුවද අතහැර මාලිමාව ලකුණ වශයෙන් ගෙන තරග වදින්නේ පුළුල් සන්ධානයකිනි. ඒ අනුව හරියට බැලුවොත් මෙවර ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාම එන්නේ තමන් මෙතෙක් කලක් දේශපාලනය කළ පක්ෂ ලකුණින් නොවීම විශේෂත්වයකි. ඡන්දයකදී සීනුව අතහැර ජවිපෙ තරග කරන ප්‍රථම අවස්ථාවද මෙයයි. ශ්‍රීලනිපය යටගොස් පොහොට්ටුව ඉස්මතු වී ලකුණ පමණක් නොව පාටද වෙනස් කර තරග කිරීමද කැපි පෙනෙන්නකි. යූ.එන්.පී.ය 2010 සිට තරග කරන්නේ හංසයා ලකුණින් වුවද ඔවුන් තම පාට වෙනස් කර නැත. ජවිපෙද සන්ධානයකින් ආවත් තම වර්ණය එලෙසම භාවිත කරයි.

මෙවර ඡන්දයට නාමයෝජනා දීමට පෙර ප්‍රබල අපේක්ෂකයකු විය හැකි බවට අනාවැකි පළකෙරැණු ජෙනරාල් මහේෂ් සේනානායක සිව්වැනි අපේක්ෂකයා වශයෙන් සැලකෙයි. එහෙත් නාමයෝජනා දීමෙන් පසුව තවමත් එතරම් සක්‍රීයව ඔහු ඡන්ද ව්‍යාපාරය ආරම්භ කර නැත. ඔහු සෙසු අපේක්ෂකයන් තිදෙනාටම වඩා ඈතින් සිටින බව දැනට පවතින තත්ත්වයයි. මහේෂ් සමාජ මාධ්‍ය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඡන්ද ව්‍යාපාරය කරගෙන යන බව පෙනෙන්නට තිබේ. එයද ජනාධිපතිවරණ ඉතිහාසයේ වෙනම කඩඉමකි.

කෙසේ වුවද ගෝඨාභය සහ සජිත් ජනාධිපතිවරණයෙන් ජයගෙන රටේ නායකත්වයට පත්වීමේ බලාපොරොත්තුවෙන් තරග වැදුණත් ජවිපෙ ප්‍රධාන අරමුණ වී ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයේදී දැනට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගෙන බලපැමක් කළ හැකි පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් කණ්ඩායමක් හදා ගැනීමය. ඒ ඉලක්කය සපුරා ගැනීමේ පළමු කඩඉම ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ලබාගන්නා ඡන්ද ප්‍රතිශතයයි. ජවිපෙ කෙරෙහි ආකර්ෂණය වන තරැණ ඡන්ද සහ ජවිපෙ සමඟ සන්ධානගතව සිටින රට පිළිගත් විද්වතුන් පිරිස වටා එකතුවන එසේම ප්‍රධාන පක්ෂ කෙරෙහි කලකිරී සිටින පිරිසගේ ඡන්ද ලබාගැනීමට හැකිවුවොත් ඔවුන්ට තම ඉලක්කය ජය ගැනීම අපහසු නොවනු ඇත.

ජවිපෙ එසේ වුවත් ප්‍රධාන අපේක්ෂකයන්ගේ අරමුණු සහ ඡන්දය ජයගැනීමට යොදන උපක්‍රම වෙනස්ය. ඒ අතරේ ප්‍රධාන ධාරාවෙන් පැමිණ තමන්ගේ ඡන්දය ලබා රටේ නායකත්වයට පත්වූ සියලු නායකයන් තමන්ගේ බලාපොරොත්තු බොහොමයක් බිඳ දමා ඇති බව ඡන්දදායකයන් බහුතරයකගේ අදහස වී තිබේ. එක් එක් නායකයා වෙන වෙනම අංශවලින් සාර්ථකත්වයක් පෙන්නුම් කළද සමස්තයක් වශයෙන් රටේ යහපතට කටයුතු කිරීමට ඔවුහු අසමත්ව සිටිති. රටේ දූෂණයට සහ වංචාවට එරෙහිව සටන් කිරීම අතින් අපේ රටට බොහෝ දුර්වල සහතිකයක් තිබීම එය පෙන්නුම් කරයි. ඇතැම් රටවල් දූෂණය සහ වංචාව තිබුණත් රට ආර්ථික වශයෙන් ඉහළට ගෙන යාමට සමත්ව සිටින බවත් ඒ රටවල පොදු මහජනතාවද එම ආදායම් හේතුවෙන් තරමක් දුරට හෝ සැප පහසුව, නිදහසේ ජීවත්වන බවක් පෙනෙන්නට තිබේ. නමුත් අපේ රටේ නම් වංචාව සහ දූෂණය නැතිකිරීම හුදෙක් ඡන්ද පොරොන්දුවලට පමණක් සීමා වී තිබෙන බව යථාර්ථයයි. එය දැන් වැටී තිබෙන්නේ ඉටුකළ නොහැකි පොරොන්දු ගාණටය. රටේ ආර්ථිකයත් රාජ්‍ය තන්ත්‍රයත් මේ තරමට දුර්වල වී තිබෙන්නේ කාලයක් තිස්සේ පැවැති ඒ තත්ත්වය හේතුවෙනි.

වෙන කවර අවස්ථාවකවත් වඩා මෙවර ජනාධිපතිවරණයේදී වෙනසක් පිළිබඳව බොහෝදෙනා කතා කිරීමට හේතු වී ඇත්තේ එම තත්ත්වය බව නොරහසකි. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම අලුත් මුහුණු වුවද ඔවුන් දෙදෙනාම නියෝජනය කරන්නේ පරණ පක්ෂ වීම වෙනත් විකල්ප සෙවීමට ඇතැමුන් පොළොඹවා තිබේ. පොහොට්ටුව අලුත් පක්ෂයක් වුවද එය නියෝජනය කරන්නේ පැරුණි ශ්‍රීලනිපයයි. යූ.එන්.පී. ප්‍රමුඛ පෙරමුණේද සිටින්නේ පැරැණි පිරිසමය. මෙරට සිවිල් සමාජය බලවත් ලෙස නැගී සිටිනවා නම් අඩුම තරමින් මෙවර ඉදිරිපත් වී සිටින අලුත් අපේක්ෂකයන් දෙදෙනාටම තමන්ගේ අවශ්‍යතා ඉටුකර දෙන මෙන් බලපෑම් කිරීමට හැකියාවක් තිබේ. එහෙත් එවැනි තත්ත්වයක් තවම දකින්නට නැත.

වර්තමානයේ මේ රට මුහුණදී සිටින ආර්ථික සහ සමාජයීය ගැටලු පිළිබඳව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා තුළම අවබෝධයක් තිබෙන බව තේරැම් ගැනීම අපහසු නැත. එහෙත් ඒවා නිවැරදි කරගෙන රට ඉදිරියට ගෙනයාමට නම් පරණ රාමුවෙන් මිදී ප්‍රබල ප්‍රතිසංස්කරණ ඇතිකළ යුතුව තිබේ. අලුත් විදියට සිතන තමන්ගේ පක්ෂයේ බලවතුන්ට නොව රටේ ජනතාවට වගකියන නායකයකු පත්වනතුරැ මෙවැනි ප්‍රතිසංස්කරණ ඇතිකළ හැකි යැයි අපේක්ෂා කළ නොහැක. දිනන අපේක්ෂකයා කවුරැන් වුවද ඔහුගෙන් රටට අවශ්‍ය දේ කරවා ගැනීමට ජනතාව තුළද පෙළඹවීමක් තිබිය යුතුය. තමන්ගේ මිනිසුන්ට වඩා රටේ ජනතාවගේ උවමනාකම් ඉටුකර දෙන නායකයකුත් වැඩි පඩි ඉල්ලා කෑ ගැසීමට වඩා පොදුවේ රටේ උවමනාවන් ඉටුකරවා ගැනීමට සටන් කරන ජනතාවකුත් බිහි නොවනතාක් අපේ රට හැමදාමත් මෙසේ පවතිනු ඇත.

- ශශීන්ද්‍ර