2017 මාර්තු 11 වන සෙනසුරාදා

වැලි මිරිකා තෙල් සෙවීම

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 163

 

ලංකාවේ දේශපාලනයට වීදි සටන් මගින් උණුසුම් වූ ඉතිහාසයක් තිබේ. පනස් තුනේ ඓතිහාසික හර්තාලයේ පටන් මෙරට සිදු වූ බොහොමයක් දේශපාලන පෙරැළිවලට වීදි සටන් හේතුවිය. ඕනෑම ආණ්ඩුවකට වීදි සටන් මහත් හිසරදයකි. මේ නිසා වීදි සටන් ආරම්භ වීමට පෙර එයට පාදකවන හේතු කාරණා සොයා කුමක් හෝ ඉන්ජෙක්ෂන් එකක් විදීම බොහෝ ආණ්ඩුවල සිරිත වූයේ එබැවිනි. ඇතැම් ආණ්ඩු එයින් ගොඩ ගියේය. එහෙම වුණත් සමහරු ආණ්ඩුවලට නම් අවසානයේ වීදි සටන් කරුවන්ගේ ඉල්ලීම්වලට හිස නමන්නට සිදුවිය. 

මේ බොහොමයක් වීදි සටන් ආරම්භ වූයේ උද්ඝෝෂණ, විරෝධතා ස්වරෑපයෙනි. ඒවාට පන්නරය ලැබුණේ විශ්ව විද්‍යාල සිසුන්ගෙනි. 

දැන් සයිටම් වීදි සටන්ද මේ පසුබිම යටතේම සලකා බැලිය යුතු මට්ටමට තල්ලු වෙමින් තිබේ. පසුගියද බදාදා කොටුව දුම්රියපොළ ඉදිරිපිට මහා උද්ඝෝෂණය ලොකු වීදි සටනක සියලු හැඩතල වලින් යුතු විය. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය සංවිධානය කළ මේ විරෝධතාවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු වෙනත් වෘත්තීය සංවිධාන වලද සිවිල් සංවිධාන නියෝජිතයන්ගේද දේශපාලන පක්ෂ කිහිපයකද සහාය ලැබී තිබුණේය. සයිටම් සටන රටේ දිග්ගැසෙමින් තිබෙන බරපතළ අරගලයක ආරම්භය සටහන් කරමින් තිබේ.

සයිටම් සම්බන්ධයෙන් රජය ඇතුළේම මතවාද කිහිපයක්ම තිබෙන බවද පෙනෙන්නට තිබේ. මේ ගැන පසුගිය බ්‍රහස්පතින්දා (09) පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයේදී රජයේ ඇමැතිවරුන් තිදෙනකු එම ආයතනයට විරුද්ධව අදහස් දැක්වීම මේ මතගැටුම එළියට පැන්න අවස්ථාවකි. දයාසිරි ජයසේකර, පාඨලී චම්පික රණවක, සුසිල් ප්‍රේමජයන්ත ඒ ඇමැතිවරැ වූහ. දයාසිරි කියා තිබුණේ සයිටම් ආයතනයට අනුමැතිය දුන් ආකාරයේ ලොකු වරදක් ඇති බවය. තමන් ඒ සම්බන්ධයෙන් අදත් දරන්නේ එදා දැරූ ස්ථාවරයම බවත් ඔහු කියා තිබුණේය.

චම්පිකගේ අදහස වූයේ රටේ උපාධි පිරිනමන ආයතන සියල්ල ලාබ උපයන ආයතන නොවිය යුතු බවය. ඔහු තද ස්වරයකින් අදහස් දක්වමින් සයිටම් ආයතනයේ සිටින්නේ පාලකයන් නොව පාතාලයන් යැයි එදා සිදු කෙරුණු වෙඩි තැබීමෙන් පැහැදිලි වූ බවද කියා තිබුණේය. චම්පික අනතුරු අඟවා තිබුණේ දරුවන් ලේ ගංගාවකට යැවීමට මේ සිද්ධිය හේතු විය හැකි බවය. සුසිල් ද තමා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එදා මෙන්ම අදත් විරුද්ධ බව සඳහන් කොට සයිටම් ප්‍රශ්නය සමාජ ප්‍රශ්නයක් වීමට ඉඩ නොතබන්නැයි ඉල්ලීමක්ද කළේය.

කෙසේ වුවද උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා තිබුණේ සයිටම් විරෝධය පසුපස ඇත්තේ බංකොළොත් දේශපාලනය බවය. සයිටම් දරුවන් වෛද්‍ය සභාවේ විභාගයට පෙනී සිටීමට සුදානම් බවද කියා තිබූ කිරිඇල්ල ඇමැතිවරයා අධිකරණය සයිටම් එක පිළිඅරගෙන ඉවර බවද සඳහන් කර තිබිණි. කොතලාවල වෛද්‍ය පීඨය රෝහලක් නැතිවම පිළිගත්තා. මොකද එදා ගෝඨාභයට බය වුණා. මහින්ද සයිටම් එකට මිලියන 6000 ණයක් දුන්නා. දැන් කියනවා නිත්‍යානුකූල නෑ කියලා කිරිඇල්ලගේ කතාවේ සඳහන් විය.

පාර්ලිමේන්තුවට මේ විවාදය යෝජනා කළ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කෙළින්ම කිව්වේ සයිටම් නීති විරෝධී ආයතනයක් බවය. අද රට තුළ ප්‍රබල විරෝධයක් මතු වී ඇත්තේ ඒ නිසා බවත් කියා අනුර කුමාර මහින්ද මේකේ පීතෘ බවට චෝදනාවක්ද නැගුවේ හොර උපාධි කඩය අහෝසි කළ යුතු බවද කියමිනි. 

කෙසේ වුවද සයිටම් ප්‍රශ්නයට හරි විසඳුමක් ලබාදීමට ආණ්ඩුවේ නායකයන් උනන්දුවක් නොගන්නේ සිතාමතා විය හැකි බව සමහර දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. මේ වනවිට බැඳුම්කරය ඇතුළු රටේ බොහොමයක් ගැටලු අමතක වී ජනතාව සයිටම් ගැන කතා කරන තත්ත්වය වැටී තිබීම තමන්ට වාසිදායක යැයි ආණ්ඩුව සිතනවා විය හැකිය. එහෙත් සයිටම් වැනි එක් හේතුවක් වටා ගොනුවෙමින් ගොඩනැගෙන බලවේග ආණ්ඩුව අවතක්සේරු කර ඇති බව සමහර විචාරකයන්ගේ අදහසය. දැඩි ලෙස බලපාන ආර්ථික පීඩනයත් ආණ්ඩුවේ ඇතැම් අංශවල ඉහළ සිට පහළටම ක්‍රියාත්මක වන දූෂණ සහ වංචා පිළිබඳ චෝදනාත් ජනතාවට ආණ්ඩුව කෙරේ ලොකු කලකිරීමක් ඇති කරමින් තිබේ. සංසන්දනාත්මකව ආණ්ඩුවේ ප්‍රචාරක විධිවලට වඩා ඉහළ ගැම්මකින් ක්‍රියාත්මක වන ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල ප්‍රචාරක වැඩ පිළිවෙළ තමන්ගේ අවාසියට ක්‍රියාත්මක වන බව තවම ආණ්ඩුව තේරැම් ගෙන නැත.

සයිටම් ප්‍රශ්නයේදී ආණ්ඩුවේ දැන් සිටින ඇමැතිවරුන් විරෝධය පළකිරීම තේරැම්ගත යුත්තේ ඒ අනුවය. දයාසිරිලා සුසිල් ප්‍රේමජයන්තලා පමණක් නොව චම්පිකත් එදා මහින්ද සයිටම් එකට ලයිෂන් දෙන විට කට හෙල්ලුවේ නැත. අද මේ සියලු දෙනාම ජනප්‍රිය සටන් පාඨ ඔස්සේ රැල්ලේ පාවෙන්නට හදන ආකාරයක් පෙනෙන්නට තිබේ. ආණ්ඩුවත් මේ ප්‍රශ්නයේදී හරි ස්ථාවරයක් නොපෙන්වීම යට ඇත්තේද ඒ හේතුවම විය හැකිය. රටක හොඳ ප්‍රමිතියේ පෞද්ගලික විශ්ව විද්‍යාල පැවැතීමේ වැදගත් කම අනෙක් බොහෝ දෙනාට වඩා දන්නේ ඇතැම් දේශපාලනඥයන් බව රහසක් නොවේ. මේ බොහොමයක් දේශපාලනඥයන්ගේ අද සිටින තරුණ දරුවන් උසස් අධ්‍යාපනය ලබා සිටින්නේ පිටරට විශ්වවිද්‍යාලවලටය. එවැනි විශ්වවිද්‍යාල වල පිහිට නොලැබෙන්න මේ බොහොමයක් අයට උපාධිධරයකු වීමට වරම් නොලැබෙන බව සහතිකය. එසේ තිබියදීත් මේ සමහර දෙනා සයිටම් එපා කියා කෑගසන්නේ තමන්ගේ අනාගත දේශපාලන මාර්ගයට බාධා පැමිණීම නවත්වාගන්නට මිස රටේ අනාගතය ගැන සලකා බලා නොවන බව පැහැදිලිය.

ඒ කෙසේ වෙතත් සයිටම් ප්‍රශ්නයට විසඳුමක් නොදී ඉදිරියට යන්නට ඉඩදීම යහපාලන ආණ්ඩුවේ පැවැත්මට කොතරම් හිතකර දැයි එහි නායකයන් දැන්වත් සොයාබැලීම අවශ්‍යය. එසේම සරසවි අධ්‍යාපනය දේශපාලන පක්ෂයක හෝ දෙකක අවශ්‍යතා වෙනුවෙන් කඩා කප්පල් වීමට ඉඩ නොතැබීමද අවශ්‍යය.

මේ අතරම පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන මුහුණ දුන් තත්ත්වයද ඉතිහාසයේ කොටසක් බව සමහරැන්ගේ මතයයි. ඒ කාලයේද ඇතැම් මන්ත්‍රීවරුන් වේත්‍රධාරී නිලධාරීන්ගේ කරමතින් පාර්ලිමේන්තුවෙන් එළියට යැවුණු අවස්ථා තිබුණේය. සමහර මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තහනම් විය. මේ අවස්ථා හැමෙකක්ම පාහේ රටේ පොදු ප්‍රශ්න හේතුවෙන් උද්ගත වූ ඒවා විය. එහෙම වුණත් දිනේෂ්ට සතියක් පාර්ලිමේන්තුව තහනම් වීමට තවත් මන්ත්‍රීවරයකු හේතුව බවට පත්වීම නම් දෛවයේ සරදමක් බඳුය.

දිනේෂ්ට තහනම පැනැවීමට හේතුව විමල්ය. විමල් සිරගත වීමෙන් පසුව දිගින් දිගටම තම පක්ෂයට ස්වාධීන වීම අවශ්‍ය බවට ඉල්ලීම් කළේය. විමල් කියා තිබුණේ තමන් මේ ඉල්ලීම කරන්නේ අද ඊයේ නොව සෑහෙන කාලයක සිට බවය. නමුත් තවමත් ඒ ඉල්ලීමට ඉඩ ලැබුණේ නැත. දිනේෂ්ට පාර්ලිමේන්තුව සතියකට තහනම් කෙරැණේ විමල්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් කතානායකවරයා ලබාදුන් තීන්දුව පිළිබඳව කථානායකගේ අණ නොතකා දිගින් දිගටම කතා කිරීමට උත්සාහ දැරීම හේතුවෙනි. 

දිනේෂ් දිගින් දිගටම මූලාසනය වෙත අවනත නොවී ක්‍රියාත්මක වීම නිසා කතානායකවරයා දිනේෂ්ට අවවාද කරමින් කියා සිටියේ ස්ථාවර නියෝග අනුව කටයුතු කිරීමට තමන්ට සිදුවන බවය. ඉන් පසුව මැතිසබය තුළ ඉතිහාසය පුනරූපණය වීම ඇරැඹුණේය. 

ස්ථාවර නියෝග 74 (1) යටතේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සබාගැබෙන් ඉවත් කරන ලෙසට කතානායකවරයා වේත්‍රධාරී නිලධාරීන්ට නියෝග කොට සභාව කල්තබා තිබිණි. ඒ අනුව මැතිසයට ඇතුළු වූ වේත්‍රධාරී නිලධාරි පිරිස සහ පොලිස් නිලධාරී පිරිසට දිනේෂ් එළියට ගෙනයාමට නොහැකි විය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිස දිනේෂ් වඩා ආරක්ෂක වළල්ලක් ගොඩ නැගීම ඊට හේතුව විය. මේ නිසා සභානායක කිරිඇල්ල මහතා යෝජනා කළේ දිනේෂ් මන්ත්‍රීවරයා සභාගැබෙන් පිට කිරීමට නම් කරන බවය. එහිදී එම යෝජනාවට ඡන්ද විමසීමක් සිදුකෙරුණු අතර 85ට 22ක් ලෙස ඡන්දය ලැබීමත් සමඟ දිනේෂ් තම මේසය මත තිබූ පොත්පත්ද රැගෙන සභාගැබෙන් පිටවී ගියේය. ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරැ පිරිසක්ද ඒ සමඟ ඔහුට සහාය පළ කරමින් ඒ සමඟ යනු දැකිය හැකි විය. මෙය මෑතකාලීන දේශපාලන ඉතිහාසය තුළ මන්ත්‍රීවරයකුට යෝජනා සම්මතයකින් මැතිසබය තහනම් වූ ප්‍රථම අවස්ථාව මෙය විය.

විමල්ගේ අරගලය මැතිසබය තුළ ඉදිරියට ගෙන යාමට දිනේෂ් දැරූ උත්සාහය නතර වූයේ ඒ ආකාරයටය. කතානායකවරයකු මන්ත්‍රීවරයකුගේ ඉල්ලීමක් සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීමෙන් පසුව ඒ සම්බන්ධව අදහස් ප්‍රකාශ කළ නොහැකිය. විවාද කළ නොහැකිය. කතානායකවරයාගේ තීන්දුව අවසානාත්මක වීම ඊට හේතුවය. පාර්ලිමේන්තුවේ සියලු සම්ප්‍රදායන් පිළිබඳව විශිෂ්ට දැනුමක් ඇති දිනේෂ් වැනි දේශපාලනඥයකු එය නොදැන සිටියා යැයි පැවැසීම අපහසුය. 

මේ අතර මාර්තු 08 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය මේ වසරේ සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වී තිබු‍ණේය. ඒකාබද්ධ විපක්ෂය මගින් මෙවර කාන්තා දිනය ඉහළින් සමරන බව කල් තබාම ප්‍රකාශයට පත්වී තිබුණේය. කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේදී මහින්දගේ නායකත්වයෙන් පැවැති එම සැමරැමට විශාල පිරිසක් සහභාගී වී සිටිනු දැකිය හැකි විය. එහිදී මහින්ද කියා තිබුණේ අද මෙරට මව්වරුන් තුන්වේල සපයාගැනීමට නොහැකිව විශාල පීඩාවකට පත්ව සිටිය බවය. හාල් සේරුව, ලුණු පොල්කට්ට එක්ක ජීවන වියදම ඉහළ යනවිට වෙන කාටවත් වඩා හොඳට අම්මාට මේ බව දැනෙන බවද මහින්ද කියා තිබුණේ වර්තමාන ආණ්ඩුවට ඒ බව නොදැනෙන බවද සඳහන් කරමින්ය. 

මේ අතර ශ්‍රීලනිපයද කොළඹ ඩාලිපාරේ පක්ෂ මූලස්ථානයේදී ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර කාන්තාදිනය සැමැරුවේය. එය සැමරුවේ 08 වැනිදා නොව 09 වැනිදාය. ජනාධිපතිවරයාගේ ඉන්දුනීසියානු සංචාරය එයට හේතුවන්නට ඇත. මෙම උළෙලටද කාන්තාවන් විශාල පිරිසක් සහභාගි වී සිටි අතර එයද කාන්තාවන්ගේ අයිතිවාසිකම් වලට වඩා පක්ෂයේ ශක්තිය පෙන්වීමට යොදාගෙන තිබුණි. 

ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබුණේ ශ්‍රීලනිපය සමඟ සිටින ජනබලවේගය අදෘශ්‍යමාන එකක් බවය. පක්ෂයේ ශක්තිය අඩු තක්සේරැවකට මන්ත්‍රීවරයකුට නොයායුතුබව මේ සැමැරැමට පැමිණි කාන්තාවන් පෙන්නුම් කළ බවද ජනාධිපතිවරයා කියා තිබුණේය. ශ්‍රීලනිපය වැටි වැටී නැගිටිමින් ඉදිරියට ගොස් අධිෂ්ඨානශීලීව ඉලක්කය කරා යන දේශපාලන ව්‍යාපාරයක් බවද ඔහු සඳහන් කර තිබිණි.

කෙසේ වුවද ශ්‍රීලනිපය මෙසේ දෙපැත්තට බෙදී කාන්තා දිනය සැමරීම පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ගේ කැමැත්තට හේතු වී තිබුණේ නැත. එසේ වුවත් තවත් පිරිසක් පෙන්වාදී තිබුණේ මෛත්‍රීපාල ජනපතිත් හිටපු ජනපති මහින්දත් දෙදෙනාම පක්ෂයේ දෙපිල විවේචනයට ලක් නොකළ බවය. ඒවායේ කතා කළ පිරිස්ද ශ්‍රීලනිපයේ කොටස් දෙක විවේචනයට ලක් නොකළ බව පැහැදිලි විය. මෙය පක්ෂයේ දෙපිරිස එක් කිරීමේ වෑයමක කොටසක්දැයි සමහරැන්ට හැඟී ගියා නම් ඒ ගැන පුදුමවන්නට දෙයක් නැත.

මේ අතර යූ.එන්.පිය ජාත්‍යන්තර කාන්තාදින රැස්වීම ඒකාබද්ධ විපක්ෂයට පහර ගැසීමට යොදාගෙන තිබුණේය. කුස්සියේ බඩු මිල වැඩියි කියා කාන්තාව පාරට බස්සා ඒකාබද්ධ විපක්ෂය දිනසියයේ ආණ්ඩුවේ පටන් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වරින් වර අඩු කළේ තම ආණ්ඩුව බව දැනගත යුතු යැයි චන්ද්‍රානි බණ්ඩාර ඇමැතිනිය ප්‍රකාශ කර තිබිණි. ඒකාබද්ධ විපක්ෂය පරාජයෙන් වියරු වැටී කාන්තාව පාරට බස්සා රටේ බල යළි ලබා ගන්නට උත්සාහ කරන බවද ඇය සඳහන් කර තිබිණි. කෙසේ වෙතත් මේ සැමැරුම් උත්සවය සඳහා අග්‍රාමාතයවරයා සහභාගි වී සිටියේ නැත. ජනපතිවරයාත් අගමැතිවරයාත් එවන ලද සුබපැතුම් මෙහිදී ප්‍රකාශයට පත් කෙරිණි. ශ්‍රීලනිපය කාන්තා දිනයට දේශාපලන බර යොදද්දී යූ.එන්.පි.ය එන තරමක සැහැල්ලුවට ගෙන තිබෙන බව පැහැදිලි විය. රටේ වර්තමානයේ පවතින ජීවන වියදම ඇතුළු වෙනත් ප්‍රශ්න සමඟ සසඳන විට එය හොඳ පියවරක් දැයි පැවැසීම අපහසුය. 

ආණ්ඩුව සමස්තයක් වශයෙන් පැටලී සිටින බැඳුම්කර ගනුදෙනුවේ ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගයද සක්‍රීයව සිදුවෙමින් පවතී. මේ යන ආකාරයට කොමිසමේ විභාගය ඉලක්ක ගත කාලසීමාවේදී අවසන් කෙරෙනු ඇතැයි බොහෝ දෙනාගේ බලාපොරොත්තුවයි. සිකුරාදා (10) අර්ජුන මහේන්ද්‍රන් කොමිසම හමුවේ තම සාක්ෂි ලබාදී තිබුණේය. මේ ගනුදෙනුවේ කතාව හේතුවෙන් ආණ්ඩුව ඇතුළේ තිබිය යුතු සමගි සම්මුතියටද දැඩි ලෙස බාධා එල්ල වන බව පෙනෙන්නට තිබේ.

දේශපාලන කරළියේ පසුගිය කාලය තුළ කතාබහට ලක්වූ ගෝඨාභය රාජපක්ෂ පසුගියදා කළ ප්‍රකාශයක්ද බොහෝ දෙනාගේ අවධානයට ලක්වූයේය. ඉදිරියේදි බිහිවන රජයක තනතුරැ ලබාගැනීමට බලාපොරොත්තුවක් නැති බවට ගෝඨාභය මේ ප්‍රකාශය කළේ බොරලැස්ගමුවේදී පැවැති වියත්මග සංවිධානයේ වාර්ෂික සමුළුවේදීය. වියත්මග සංවිධානය ඇරුඹෙද්දී ඇතැමුන්ගේ අදහස වී තිබුණේ එය ගෝඨාභයට දේශපාලනයට පිවිසීම සඳහා ඔහු වටා සිටින උගත් පිරිසක් විසින් සකස් කරන ලද පාලමක් බවය. එම අදහස ගෝඨාභය විසින් වරින්වර ප්‍රතික්ෂේප කෙරැණද එහි කතිකාවලදී බොහෝ දෙනා දක්වන ලද අදහස් දේශපාලන කරළියේ කතාබහට ලක්වූවේය.

මෙවර වියත්මග සමුළුවේ ප්‍රධාන කථිකයා වී සිටියේ මහින්ද රාජපක්ෂය. ඔහු එහිදී කියා තිබුණේ දේශපාලනඥයන්ට පමණක් රට පාලනය කිරීමට ඉඩ නොදී රාජ්‍ය පාලනයට විද්වතුන් සක්‍රීයව මැදිහත් විය යුතු බවය. ගෝඨාභයද කියා තිබුණේ රටේ උගත් බුද්ධිමත් සියලු දෙනාම රාජ්‍ය පාලනයට සම්බන්ධ වුවද සියලු දෙනාම දේශපාලනයට සම්බන්ධ විය යුතු යැයි තමන් විශ්වාස නොකරන බවය.

කෙසේ වුවද දේශපාලනඥයන් සමඟ රට පාලනයට එකතුවන ඇතැම් විද්වතුන්ට පසුගිය රාජපක්ෂ පාලන යුගයේත් දැන් පවතින යහපාලන ආණ්ඩු කාලයේදීත් මුහුණදීමට සිදුවන අත්දැකීම් අනුව නම් ගෝඨාභයගේ අදහස කොතරම් වටිනා වුවත් ක්‍රියාත්මක කළ හැකිද යන ගැටලුව පැන නගින්නේය. දේශපාලන තීන්දු තීරණ ගන්නා ලොකු ලොක්කන්ගේ ඕනෑ එපාකම් ඉටුනොකරන විද්වතුන්ට සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට එවැනි සිද්ධීන්වලට මුහුණදුන් වියත් පුද්ගලයන්ගෙන්ම ඒවා අසා ගැනීම යහපත්ය. එය අනාගතයේදී හෝ ප්‍රතිඵලදායක වනු ඇත. 

රට දියුණු කිරීමට නම් දේශපාලන රාමුවෙන් පිටපැන අනාගතය දකින තීරණ ගන්නා පුද්ගලයන් සිටීම අවශ්‍යය. ඒ ගැන විවාදයක් නැත. ඒ සඳහා විද්වතුන් සම්බන්ධ කර ගැනීමත් අත්‍යවශ්‍යය. එහෙම වුණත් එවැනි විද්වතුන්ගෙන් තමන් වැඩ ගැනීමට සූදානම් යැයි දේශපාලන නායකයන් මුලින්ම ප්‍රායෝගිකව පෙන්වාදීම අවශ්‍යය. ඒ සඳහා සහතිකයක් දිය හැකි අලුතින් හිතන දේශපාලන නායකත්වයක් නම් තවමත් පෙනෙන මානයක නැත.

 ශශින්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00