2017 මාර්තු 11 වන සෙනසුරාදා

අපි හොරෙන් ණය ගත්තනම් නොගෙවා ඉන්නකෝ

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 300

- හිටපු මහ බැංකු අධිපති  අජිත් නිවාඩ් කබ්රාල්

 

මෑතක ඉඳලා ශ්‍රී ලංකා මහ බැංකුව දේශපාලන මාතෘකාවක් බවට පත් වෙලා. සමහරු කියන විදියට දැන් මහ බැංකුව දේශපාලනීකරණය වෙලාලු. දශකයකට ආසන්න කාලයක් මහ බැංකු අධිපති පුටුවේ හිටිය ඔබට පේන්නෙ කොහොමද?

ආර්ථික විද්‍යාවයි, දේශපාලනයයි එකට සමීපව යන මාතෘකා දෙකක්. ආර්ථිකය හසුරවද්දී දේශපාලනයත් ඒකට ගෑවෙනවාමයි. නමුත් සමහර ආර්ථික සිද්ධාන්ත තියෙනවා ඒවා හසුරවද්දී දේශපාලනයෙන් තොරව කරන්නට ඕන. උදාහරණයක් විදියට උද්ධමනය වැඩි වෙනවා නම් ඒක අඩු කරගන්න පොලී අනුපාතය වැඩි කිරීම වගේ දේකදි දේශපාලනය ඉස්සරහට නොදා ආර්ථික විද්‍යාවෙන් හිතන්න ඕන.

ඔබේ පිළිතුරේ ආරම්භයේ ඔබ කිව්වේ මහ බැංකුව දේශපාලණීකරණය වීම සාධාරණයි කියලද?

නෑ. මම කිව්වේ මහ බැංකුවට සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් ඈත්වෙලා ඉන්න බෑ කියන එක. 

ඔබටත් චෝදනා ආවා ඔබ මහබැංකු අධිපතිධූරය දරන සමයේ දේශපාලන චරිතයක් වුණා කියලා?

අනිවාර් යෙන්ම. ඔබ දන්නවාද දන්නේ නෑ. අමෙරිකාවට ලෝක ආර්ථික කම්පාව දැනෙනකොට ඒ රටේ හිටපු නායකයෝ කිව්වේ ඒ රටේ හිටිය මහබැංකු අධිපතිවරයා දේශපාලනය දන්නේ නෑ කියලා. මොකද දේශපාලනය දන්නේ නැතිව ආර්ථිකයක් හසුරවන්න බෑ.

ඔබ පිළිගන්නවා එහෙනම් ඔබ මහ බැංකු අධිපතිධූරය දරන සමයේ පැවති ආණ්ඩුව සමඟ සමීප දේශපාලන ගනුදෙනුවක් තිබුණා කියලා?

නෑ. වැරදියට තේරුම් ගන්න එපා. දේශපාලනය කියන්නේ වැරුද්දක් නෙවෙයි. දේශපාලනය කියලා දේශපාලන වාසි වලටම ඇබ්බැහි වෙලා කටයුතු කරනවා නම් අන්න ඒක වැරදියි. මම දේශපාලනයෙන් දකින්නේ අපි රටේ පාලනයට උදව් කරලා ඒක වඩාත් හොඳ විදියට කරන්න එකතු වෙන එක. 

පහුගිය දවසක මුදල් අමාත්‍යවරයා චෝදනාවක් කළා රාජපක්ෂ යුගයේ ඔබ මහබැංකු අධිපතිව සිටියදී සිදුවූ බැඳුම්කර විකිණීම් වලදී තම තමන්ගේ ‍ෙපෟද්ගලික හිතවතුන්ට මූලින්ම දුන්නේ ඔබ කියලා?

ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය කතාවක්. විගණකාධිපතිතුමා 2008 ඉඳලා කළ සියලුම බැඳුම්කර බැලුවා. බලලා 2017 ජනවාරි මාසේ 16 වැනිදා වාර්තාවක් දුන්නා. මේක කියවන ඕන කෙනෙක්ට විගණකාධිපති වෙබ් අඩවියට ගිහින් මේ දිනයේ නිකුත් වූ වාර්තාව බලන්න පුළුවන්. ඒ වාර්තාවේ පැහැදිලිව කියනවා අපි කිසිම වැරැද්දක් කරලා නෑ කියලා. ඔය ඔබ අහපු ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රමවේදය වෙනස් කරලා තමන්ගේ වැඩේ කරගන්න මුදල් ඇමැතිවරයා ප්‍රමුඛ රජයේ ලොක්කන් කියපු කතාවක්. එහෙම වැරැද්දක් තිබුණා නම් අවුරුදු දෙකක් තිබුණා හොයාගන්න.

ඒ කාලේ විවෘත වෙළෙඳපොළට නොදා හිත මිතුරන් අතර විතරක් බැඳුම්කර විකුණුවා කියලා ආණ්ඩුව චෝදනා කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයලු මුලින්ම විවෘත වෙළෙඳපොළට බැඳුම්කර වෙන්දේසිය ගෙනාවේ?

ඔය කතාවත් සම්පූර්ණ බොරු. අපි ඕන තරම් විවෘත වෙළෙඳපොළේ බැඳුම්කර විකුණුවා. අපි කළේ ඉතාම පාරදෘෂ්‍ය, විගණකාධිපතිවරයා පවා රටට ලොකු සෙතක් වෙනවා කියලා කිව්ව ක්‍රමයට බැඳුම්කර අලෙවි කිරීම. මේ කියන දේවල් බොරැ නම් අර මම කිව්ව විගණකාධිපති වාර්තාව කියවලා බලන්න. අපේ ආණ්ඩුව කාලේ අපි කිසිම කෙනකුට වැඩිපුර වාසියක් වෙන විදියට මහ බැංකු බැඳුම්කර වෙන්දේසිය කරලා නෑ. 2015 පෙබරවාරි 27 වැනිදා 11ට මේ බැදුම්කරය නැවැත්තුව ගමන්ම 11.10 වෙනකොට හැමෝම දැනගෙන හිටියා වැරුද්දක් වෙලා කියලා. මගේ අවුරැදු 9 කාලෙ එහෙම කවදාවත් වෙලා නෑ.

ඒ කියන්නේ කිසිවකු දැන නොගන්න වැරදි සිද්ධ වෙන්න පුළුවන්?

දවසක් දෙකක් දැන නොගන්න වැරදි වේවී. ඒත් අවුරුදු 9ක් තිස්සේ දැන නොගන්න වැරදි සිද්ධ වේවිද?

වර්තමාන බැඳුම්කර ගැටලුවට අත ගෑවිලා තියෙන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ලැයිස්තු ගත කළේ ඔබේ කාලයේ නේද?

ඔව්.

ඒ කාලේ මේ සමාඟම ඉඳලා දේශපාලනික බැදීම් තිබුණ නිසාද ලැයිස්තුවට එකතු වුණේ?

දැන් මෙහෙමනේ. ඒ කොම්පැණිය වැරැද්දක් කරලා නම් ඒක හොයලා දඬුවම් කරන්න ඕන. මගේ ළඟ තියෙනවා ඒ අය මගේ කාලයේ හා වර්තමාන ආණ්ඩුව කාලයේ බැඳුම්කරවලට කළ ඉල්ලීම්. මේකේ තියෙනවා මම ඉන්න කාලේ එයාලා ඉල්ලලා තිබුණ බිලියන 2.7ක් බැඳුම්කර වලට. ඒකෙන් හම්බවෙලා තියෙන්නේ මිලියන 27යි. මගෙන් පස්සේ ආපු මහ බැංකු අධිපතිගේ කාලේ ඉල්ලන ඉල්ලන සියලුම බැඳුම්කර බිලියන ගණනින් ඔවුන්ට ලැබිලා තියෙනවා.

හැබැයි පාර්ලිමේන්තුවෙත් කියවුණා මේ පර්පචුවල් සමාගමේ අර්ජුන ඇලෝෂියස් මහතා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ සමීප මිත්‍රයෙක් කියලා?

එක එක්කෙනා කියනවා අරයාගේ මිත්‍රයා මෙයාගේ මිත්‍රයා කියලා. දැන් නාමල් රාජපක්ෂ කොහේ හරි තැනක මේ කියන කෙනා වෙනුවෙන් පෙනී සිටියාද. නෑ නේද... නාමල් රාජපක්ෂ කියන්නෙත් ඔහු වැරුද්දක් කරලා තියෙනවා නම් අත් අඩංගුවට ගන්න කියලා.

කෙනෙක් කිව්වොත් එහෙම පහුගිය ආණ්ඩුවට අහු නොවෙන්න හොරකම් කරන්න පුළුවන්, මේ ආණ්ඩුව කරන හොරකම් අහුවෙනවා, ඒකයි මේ ආණ්ඩු දෙකේ වෙනස කියලා?

ඒකත් මෝඩ කතාවක්නේ. කවුරු හරි කියනවා නම් පහුගිය ආණ්ඩුව එහෙම හොරකම් කළා කියලා, බොරුවට කිය කිය රටේ මිනිස්සු මෝඩයෝ කරන්නේ නැතිව හොයලා පෙන්නන්න. චෝදනා කරන්න ඕන කෙනෙක්ට පුළුවන්. දැන් මම මෙතන ඉඳන් කියනවා ඔබ හොරෙක් කියලා. හැබැයි මම ඒක පෙන්නන්න ඕන.

එක්සත් ජාතික පක්ෂය කියනවා දැන් පර්පචුවල් ට්‍රෙෂරීස් එකට බැන්නට අජිත් නිවාඩ් කබ්රාල්ගේ සහෝදරිය වැඩ කළෙත් එහේ කියලා?

නැහැ. මගේ සහෝදරිය කවදාවත් පර්පචුවල් ට්‍රෙෂරීස් එකේ වැඩ කරලා නෑ. එයා ඔය ජාලයේ වෙනත් ආයතනයක් වුණ පර්පචුවල් හෝල්ඩින්ග් එකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටියා. පර්පචුවල් කියන නම තිබුණට මේ දෙක වෙනමම ආයතන දෙකක්. අනික ඇය මේ ආයතනයේ සේවය කරන සමයේ නෙවෙයි මේ බැඳුම්කර සිද්ධිය සිදු වුණේ.

ඔබ ඇයි ඔබට ඔබේ රාජකාරි සමයේ ආර්ථික අවපාතයකට ලක්වූ ග්‍රීසියේ මුදල් ආයෝජනය කරලා ග්‍රීක බැඳුම්කර හරහා රටට විශාල පාඩුවක් සිදුකළේ?

මම හරිම කැමතියි ඒ ප්‍රශ්නේ අහපු එකට. පළවැනි කාරණය තමයි මම ග්‍රීසියේ ඒ ආයෝජනය කරද්දි ග්‍රීසියේ තිබුණ ෆිච් ලැයිස්තු ගත කිරීම  BB+  ඒක දැන් මේ අද ලංකාවේ තිබෙන ෆිච් ලැයිස්තු ගත කිරීමට වඩා ඒකක දෙකක් ඉහළ තමයි එදා ග්‍රීසිය හිටියේ. ලංකාව දැන් ඉන්නේ එදා ග්‍රීසියටත් වඩා පහළ. කවුරැ හරි කියනවා නම් එදා ඒ ආයෝජනය වැරදියි. ඒක හොඳ නෑ කියලා. එහෙනම් ඒ අය ලෝකයේ කිසිම කෙනෙක්ට ලංකාවේ ආයෝජනය කරන්න දෙන්න බෑ. දෙවැනි එක තමයි මේ සම්බන්ධව සිදුවුණ නඩුව. මේ පාඩුවට ජනාධිපතිවරයා හා මහ බැංකු අධිපතිවරයා වගකියන්න ඕන කියලා නඩුවක් දැම්මා ශ්‍රේෂ්ඨාධිකරණයේ. ඒ නඩුවේ තීන්දුව ආවා 2014 සැප්තැම්බර් 12 වැනිදා. ඒ නඩු තීන්දුව අදාළ වෙබ් අඩවියේ තියෙනවා. ඒ තීන්දුවෙන් කියනවා කිසිම වැරැද්දක් සිද්ධවෙලා නෑ කියලා.

නඩුවලින් දින්නා ෆිච් අගය මත තර්ක කළාට මේ ග්‍රීක බැඳුම්කරයෙන් රටට වුණ පාඩුවට දැන් කවුද වගකියන්නේ?

කවුද කිව්වේ පාඩුවක් වුණා කියලා. හුදෙකලාව එක කාරණයක් විතරක් බලන්න එපා. මේ එකකින් යම් පාඩුවක් වුණ බව ඇත්ත. හැබැයි ඒ පාඩුව අභිබවා ගිහිල්ලා ඒ වසරේදී මහ බැංකුව හම්බ කරලා තියෙනවා අමෙරිකානු ඩොලර් මිලියන 430ක්. මේක තමයි 2011 අවුරැද්දේ ලෝකයේ සියලුම රටවල සියලුම මහ බැංකු එක්ක බලද්දි උපයලා තියෙන වැඩිම ලාභ ප්‍රතිශතය තමයි මේක.

ඇයි මේ මහබැංකුවට කිසිම අදාළත්වයක් නැති පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ලංකාවට ගන්න ඔබ මැදිහත් වෙලා මහබැංකුවෙන් මිලියන ගාණක් වියදම් කළේ?

ඔය කිව්වේ තව බොරුවක්. මේකට මහ බැංකුවෙන් එක සතයක්වත් වියදම් කළේ නෑ. ගිහින් ඔය කියන කාලේ මහ බැංකුවේ ගිණුම් බලන්න. සත පහක් ඕකට වියදම් කරලා නෑ. ඒකට ආණ්ඩුවෙන් මිලියන 100ක් දුන්නා. ඉතිරි මිලියන 700ම වියදම් කළේ වෙනත් පෞද්ගලික අංශයේ පිරිස.

තවමත් සජින් වාස් ගුණවර්ධන ළඟම යාළුවෙක්ද?

මම එයාගැන ලොකුවට හොයලා බලන්න වෙන්නේ නම් නෑ. ඒ අයත් ලංකාවේ හොඳට ඉන්නවා කියලා මම දන්නවා. එයා මගේ විතරක් නෙවෙයි. දැන් ඉන්න අයගෙත් යාළුවානේ.

වර්තමාන ආණ්ඩුව මහබැංකු මුදල් සංචිතය දිය කරනවා කියලා විපක්ෂය චෝදනා කරනවා. හැබැයි ඔබ නේද රැපියල අවප්‍රමාණය වීම වළක්වා ගන්නට ඔය මහබැංකු මුදල් සංචිතය ඔබේ කාලයේ දියකරමින් හිටියේ?

ඔන්න බලන්න ඉතින් කියන බොරු. මම 2006දි එනකොට සංචිතය ඩොලර් බිලියන 2.6යි. මම 2015දී යනකොට සංචිතය ඩොලර් බිලියන 8.3යි. දැන් මොකද කියන්නේ. මම දිය කරලද. ශක්තිමත් කරලද... මම අවුරුදු 9ක් හිටියා. රැපියලේ අගය අවප්‍රමාණය වුණේ වසරකට 2.8% ‍කින් විතරයි. ඒ කියන්නේ ලංකා ඉතිහාසයේ අඩුම අව ප්‍රමාණ වේගය.

හැබැයි රට්ටු නම් කියන්නේ රුපියලේ අගය ආරක්ෂා කරගත්තේ විශාල වශයෙන් විදෙස් ණය අරගෙන ලංකාවට පිටින් ඩොලර් ගෙනාපු නිසා කියලා?

අපි ණය ගණනය කරන්නේ රටේ ආදායමට සාපේක්ෂව. ශ්‍රී ලංකාවේ ආදායමට සාපේක්ෂව ණය ප්‍රමාණය තිබුණේ 2005දී අපි බාරගන්නකොට 91‍%ට. අපි 2015දී බාරදෙනකොට තිබුණේ 71‍%ට. දැන් ප්‍රශ්නෙට උත්තරයක් ලැබුණද. මම තව දෙයක් කියන්නම්. අද වෙද්දී අපි ගිහින් අවුරුදු දෙකකට පස්සේ මේ ණය ප්‍රමාණය 82‍%කට වැඩිවෙලා තියෙනවා.

ආණ්ඩුව කියනවා ඔහොම අඩු ප්‍රමාණයක් ණය ප්‍රතිශතය පෙන්නන්නේ රාජපක්ෂලා පොතේ ලියන්නේ නැතිව හොරාට ණය තියෙන නිසා කියලා?

කියන්නම දෙයක් නැති වුණාම බොරැ මවලා කියනවා. අපි ණය ගන්නේ ලෝකේ තියෙන ලොකුම ණය වෙළෙඳපොළෙන්. ඒ අය අපේ රටට හොරාට ණය දෙන්න ඇයි අපේ රට සෞරග්‍රහ මණ්ඩලයේ අමුතු රටක්ද... ලෝකේ ඕනම රටකට ණයක් ගනිද්දී  Foreign Loan Act කියලා එකක් තියෙනවා. ඒක අනුව තමයි සියල්ල කරන්නේ. මම ණයක් ගන්න ගියාම සියලුම විස්තර අහලා අවශ්‍ය සියලුම ලිපි ලේඛන දුන්නාට පස්සේ තමයි ණය දෙන්නේ.

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ගිහිල්ලා හොර පාරෙන් ඔය කියන ණය ගත්තා කියලා තමයි ආණ්ඩුවේ දේශපාලකයෝ වේදිකාවල නම් කියන්නේ?

ණයක් දේවිද හොරෙන්. එහෙම දීලා අදාළ රට නොගෙවා හිටියොත්. දැන් මම හොරෙන් ණයක් අරගෙන සාක්කුවේ දාගත්තා නම් ඇයි මේ ගොල්ලෝ මේ ඒවා ගෙවන්නේ. එයාලා හැම එකටම කියන්නේ අපිට රාජපක්ෂලා හොරෙන් ගත්ත ණය ගෙවන්න තියෙනවා. ඒ නිසා මොකුත් කරගන්න බෑ කියලානේ. හරි අපි හොරෙන් ණය අරගෙන තියෙනවා නම් නොගෙවා ඉන්නකෝ. ඉවරනේ. එහෙම කරන්න බැරි අපි ඒ ඔක්කොම හරියට අරගෙන තියෙන නිසා.

අගමැති රනිල් වික්‍රමසිංහ බලයට ආවේ ලෝකයේම ආර්ථික දොරටු ලංකාවට විවෘත කරනවා කියලා. ඒ වගේම වර්තමාන ආණ්ඩුවේ පිරිස්ම තමයි චෝදනා කළේ මහින්ද රාජපක්ෂ මුළු ලෝකෙම තරහ කරගත්තා කියලා?

මේ රටට විදෙස් ආයෝජන රනිල් වික්‍රමසිංහගේ දෙවැනි අවුරුද්ද වුණ 2016දි ඩොලර් මිලියන 450ක් ඇවිල්ලා තියෙනවා. ඊට කලින් අපි ගෙදර ආපු අවුරැද්දේ කීයද කියලා දන්නවාද? ඩොලර් මිලියන 1100යි. මහින්ද රාජපක්ෂ හිටිය අන්තිම අවුරුද්දේ. 2014 අවුරැද්දේ විදෙස් ආයෝජන ඩොලර් මිලියන 1600යි. දැන් කවුද ලෝකයේ ආර්ථික දොරට විවෘත කළේ හා වහලා තියෙන්නේ. මම දැක්කා මේ ළගදි මුදල් ඇමැති බණිනවා  ෆ්රෑන්ක්ලින් ටෙම්ප්පල්ටන්ලාට එයාලා ගෙනාපු ඩොලර් බිලියන දෙකෙන් (මිලියන 2000) දැන් තියෙන්නේ මිලියන 500යි. ඉතිරි ටික අරගෙන ගිහින් කියලා. ඔය බිලියන දෙක ලංකාවට ගෙනාවේ අපි. එයාලා මේ රටට අලුතින් ආයෝජන ගෙනෙන එක කෙසේ වෙතත් අපි ගෙනාපු ආයෝජනත් නැති කරනවා.

රාජපක්ෂලාට පවුල් පාලනය කියලා ලොකු චෝදනාවක් එල්ල වුණා. ඔබ ඔවුන්ගේ සමීපතම අයෙක්. ඔබ දැක්කාද ඔවුන්ගේ පවුල් පාලනයක්?

ඒ අය ඔක්කොම දක්ෂයි. ලෝකයේ දක්ෂ දේශපාලන පවුල් තියෙනවා. ඉන්දියාවේ ගාන්ධි පවුල, අමෙරිකාවේ බුෂ් පවුල, අමෙරිකාවේම කෙනඩි පවුල. මේ රාජපක්ෂලා කියන්නෙත් ඒ වගේ දේශපාලන පවුලක්.

මේ කියන්නේ රාජපක්ෂලා කියන්නේ ගාන්ධි, කෙනඩි, බුෂ්ලට සම මට්ටමේ පවුලක් කියලාද?

ඔව්. ලංකාවට ඔබින ඒ වගේ පවුලක්. දැන් ලංකාවේ හිටිය බණ්ඩාරනායක පවුලත් ඒ වගේ. සේනානායක පවුල වුණත් රටේ දක්ෂ දේශපාලකයෝ. ජයවර්ධන පවුල තිබුණා. අපි දක්ෂයෝ හරහා රට දියුණු කරනවා මිසක් ඒ මිනිස්සුන්ට මඩ ගහලා පෞද්ගලික කෝන්තර පිරිමහගන්න යන්න තරම් නිවට වෙන්න ඕන නෑ කියන එකයි මගේ අදහස.

ඔබ මහ බැංකුවේ ලොකු පුටුවේ වාඩිවෙන්නත් කලින් ඉඳලාම ආර්ථික විශේෂඥයෙක්. ඔබ හිතනවාද වර්තමාන ආණ්ඩුවට අද මේ රට පත්ව සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න පුළුවන් කියලා?

මේ රජයට කිසිසේත් බැහැ.

ඉදිරි මහමැතිවරණයකදී හෝ ජනාධිපතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තීරණාත්මක අවස්ථාවක් ආවොත් රාජපක්ෂ පවුලේ කවුරු ඉස්සරහට ඒවිද?

රාජපක්ෂ පවුල කියන්නේ දේශපාලන පවුලක්. ඒ අය තේරැම් ගන්නවා කවුද සුදුසු කියලා. එයාලා තීරණය කරාවි සුදුසු අයෙක් පවුලේ ඉන්නවා නම් එයාව ඉදිරිපත් කරන්න හෝ ඊටත් වඩා සුදුසු අයෙක් බාහිර පක්ෂය තුළ ඉන්නවා නම් ඒ කෙනාට සහාය දක්වන්න. 

 විමුක්ති රත්නමලල

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00