2017 මාර්තු 11 වන සෙනසුරාදා

උනුත් හොරු මුනුත් හොරු කියන කතාව ඇත්ත

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 291

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි යනු මෙරට සංඝ පරපුර තුළ පහළ වූ තවත් සුපේෂල, විදග්ධ හිමිනමකි. උන්වහන්සේ පසුගිය දිනක නව ආණ්ඩුව සම්බන්ධයෙන් වටිනා අදහස් රැසක් ඉදිරිපත් කළා. ඒ පිළිබඳවත් රටේ සෙසු ජාතික ප්‍රශ්න ගැනත් උන්වහන්සේ සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ. 

ඔබවහන්සේ කිසිම දවසක දේශපාලන ප්‍රකාශ නොකරපු හිමිනමක්. ඒත් පහුගිය දවසක ජනාධිපතිවරයා ඉදිරිපිට ටිකක් සැරෙන් කතා කළා. ඒ ඇයි?

ඇත්තටම ඒක දේශපාලන ප්‍රකාශයක් නෙමෙයි. කිසිම මොහොතක පැත්තක් අරගෙන පක්ෂයක් දිනවන්න මම ප්‍රකාශ නිකුත් කරලා නෑ. ඒත් රටේ යම් ප්‍රශ්නයක් හෝ ගැටලුවක් ඇතිවුණොත් හෝ ඇතිවෙන්න යනවානම් ඒ වෙනුවෙන් කතා කළා. ඒක ඉතිහාසයේ පටන් එහෙමමයි. එහෙම නැතුව වෙන පක්ෂයක් බලයට ගේන්න, ආණ්ඩුව පෙරළන්න මම සහභාගිවෙලා නෑ. විශේෂයෙන් මේ රජයෙන් ජනතාව  බලාපොරොත්තු වන වෙනස ගැන තමයි මම කතා කළේ. එහෙම නැතුව වෙන අදහසක් නෙමෙයි.

ඔබවහන්සේගේ ප්‍රකාශයට කොහොමද ජයෙන් ලැබුණු ප්‍රතිචාර?

ජනාධිපතිතුමා එවෙලෙම ඊට ප්‍රතිචාර දැක්වූවා. මම කිව්වනේ ඔය එක එක කොමිසන් පත්කළාට ඕවා හමස් පෙට්ටියට යනවා කියලා. ඉතින් එතුමා කිව්වා එහෙම කොමිසන් නෙමෙයි. ඉතා හොඳට වැඩ කටයුතු කරන කොමිසමක් කියලා.

නව ආණ්ඩුව ප්‍රධාන පක්ෂ දෙකේ එකතුවක්. ඔවුන් යන්නේ නව මාවතක. ඒ ගමනට එල්ලවෙලා තියෙන අභියෝග ගැන ඔබවහන්සේගේ අදහස මොකක්ද?

අපේ රටේ ඉතිහාසයේ පටන් තියෙන්නේ තට්ටු මාරු දේශපාලන ක්‍රමයක්. අලුත් ආණ්ඩුවක් ආපුවම විරුද්ධ පක්ෂයේ අයට මේ ආණ්ඩුවේ වැරදි විතරයි පේන්නේ. ආණ්ඩුවේ ඉන්න අය පැරදුණාම ඒ අයට පේන්නෙ බලයෙ ඉන්න අපගේ වැරදි. ඒ එක දෙයක්. ඊළඟට අපේ රටට තවම ජාතික ප්‍රතිපත්තියක් නෑ. ප්‍රතිපත්ති ඇමැතිවරයාගෙන් ඇමැතිවරයාට වෙනස් වෙනවා. හැබැයි අනෙක් රටවල ඔය දේවල් නෑ.

කොහොම වුණත් මේ වෙලාවේ තියෙන්නේ අමුතු ආණ්ඩුවක්. මේකට ජාතික ආණ්ඩුවක් කියන්නත් බෑ. මේකේ එක නායකයෙක් නෑ. ප්‍රධාන නායකයෝ දෙන්නෙක් ඉන්නවා. එක නායකයෙක් කරන දේ අනෙක් නායකයා දන්නේ නෑ. එක පාර්ශ්වයක් කියනවා නව ව්‍යවස්ථාවක් ගේනවා කියලා. අනෙක් කට්ටිය කියනවා එහෙම නෑ කියලා. ඉතින් ඒ වගේ ජාතික තීන්දුවක් ගැනවත් මේ ආණ්ඩුවේ එකඟත්වයක් නෑ. විරැද්ධ පක්ෂය ඒ නිසා ප්‍රයෝජන ගන්නවා.

යුද්ධය දැන් සම්පූර්ණයෙන් අවසන්. ඒක තමයි මේ රටේ තිබුණු ලොකුම ප්‍රශ්නය. ඇයි මේ ආණ්ඩුවලට තවමත් ජාතික ප්‍රශ්නයට විසඳුමක් හොයාගන්න බැරි හාමුදුරුවනේ?

යුද්ධය අවසන් වීමෙන් අනතුරැව දෙමළ ජනතාව වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග මේ දක්වා කිසිවකු අරගෙන නෑ. ජනතාවගේ සංහිඳියාව ඇති කරන එක ඉහළ මට්ටමේ නායකයෝ ඒකට වැඩ කළ පමණින් ඇතිවෙන්නේ නෑ. එය ගම් මට්ටමින් ඇතිවිය යුතුයි. එහෙත් තවමත් සමානාත්මතාවයෙන් වැඩ කළ යුතු ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. විශේෂයෙන් උතුරේ ඉන්න ඇතැම් දේශපාලනඥයන් වැඩ කරනවා ඒ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. ඒත් ඇතැම් අය ජාතිවාදය වපුරනවා. අපේ දකුණේ අයත් එහෙමයි. කතා කරන කොට අපි ගැන විතරක් නෙමෙයි, සියලු දෙනා ගැන කතා කරන්න ඕන. එහෙම නැතුව සංහිඳියාව ගොඩනගන්න බෑ. 

ඔබවහන්සේ කියන්නේ මේ රජයත් සංහිඳියාව කියන වචනය ගැන කතා කළාට ඒ ගැන ඇත්තටම දන්නේ නෑ කියලද?

ඇත්තටම සංහිඳියාව කියන්නේ පහුගිය කාලයේ තිබ්බ නොහොඳ නෝක්කාඩු හදාගෙන පෙර සිටියා සේ සතුටින් ඉඳීම තමයි සරලව ගත්තොත්. විශේෂයෙන් සමානාත්මතාවය අගය කරණ අපේ රටේ ආගම් අදහන අය, විවිධ ජාතීන් ගොඩක් ඉන්නවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ නායකයන් එකතුවෙලා වැඩක් නෑ. සියලු දෙනාගේම ආකල්ප වෙනස් වෙන්න ඕන. විශේෂයෙන් දෙමළ මිනිස්සු හිතනවා සිංහල අපි එයාලගේ හතුරෝ කියලා. සිංහල අපි දෙමළ මිනිස්සු ගැන හිතන්නේ ඒ අය අපේ රටේ කොටසක් අල්ලගන්න ආපු අය කියලා. ඉතින් එහෙම අදහසක් තියෙනවානම් එතන සංහිඳියාවක් නෑ. සිංහලෙන් කතාවක් කළාම, දෙමළෙන් කතාවක් කළාම, සංහිඳියාව ඇතිවෙන්නේ නෑ. දෙමළෙන් ජාතික ගීය කිව්වට සංහිඳියාව ඇතිවෙන්නේ නෑ. ඒක හැමදෙනාම තේරුම් ගත යුතුයි.

මේ ආණ්ඩුව ආවේ ගිය ආණ්ඩුවේ දූෂිතයෝ අල්ලනවා කියලා. දැන් විපක්ෂයේ ඉන්න අය  ආණ්ඩුවේ අයට කියනවා දූෂිතයෝ කියලා. ඔබවහන්සේ හිතන්නේ මොකක්ද මේ ගැන?

අපේ රටේ දූෂණය කියන එක එක එක මට්ටම්වලින් තියෙනවා. මේ ආණ්ඩුව ආවේ මේ දූෂණය නැති කරනවා කියලා. ඒත් මහජනයාටත් දැන් හිතාගන්න බෑ මොකක්ද වෙන්නේ කියලා. මේ ආණ්ඩුව පත්වෙලා වසර දෙකහමාරක් තුළ ඇතැම් ආයතනවල දූෂණ වංචා සිදුවෙලා කියලා අධිකරණවලට පවා ගිහින් තියෙනවා. ඒ නිසා රට තුළ මහා පරිමාණයෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව දූෂණ එදත් සිද්ධවෙනවා. අදත් සිද්ධවෙනවා. වෙනසක් නෑ. සාමාන්‍ය මිනිස්සු කියනවා වගේ උනුත් හොරැ, මුනුත් හොරු කියන තැනට ඇවිල්ලා තියෙනවා. ඒක රටක දියුණුවකට හොඳ දෙයක් නෙමෙයි. රජයේ වැඩ කටයුතු විනිවිදභාවයකින් සිදුවෙන්න ඕන. ඒත් එහෙම වෙන්නේ නෑ. රාජ්‍ය නිලධාරීන් පවා දේශපාලනඥයන්ට ඕන විදිහට පත් කරන්නේ. ඔවුන්ටත් වෙලා තියෙන්නේ දේශපාලනඥයන් කියන දේ කරන්න. ඒ නිසයි මේ ප්‍රශ්න.

ආණ්ඩුවල මෙවැනි තත්ත්වයක් තුළදී රටේ ආගමික නායකත්වය කොහොම විය යුතුද?

විශේෂයෙන් ආගමික නායකයන්ට ලංකාවේ සුවිශේෂත්වයක් තියෙනවා. වෙන රටවල එහෙම නෑ. ඒ නිසා රටේ ජනතාවට ප්‍රශ්නයක් වෙනවානම් අන්න ඒ දේවල්වලට ආගමික නායකත්වයට ඉදිරිපත් වෙන්න සිදුවෙනවා. ලංකාෙව් එදා ඉඳලා භික්ෂූන් වහන්සේලා මේ දේවල් කළා. ඒ නිසා රටට බලපෑ හැකි ඇතැම් දේවල් ඉවත් කරන්න පුළුවන් වුණා. හැබැයි එහෙම කියලා දේශපාලන පක්ෂයකට සම්බන්ධවෙලා දේශපාලනය කරලා එහෙම කරන එක මම අනුමත කරන්නේ නෑ. ඒ නිසා දේශපාලනයට නොවැටී කටයුතු කරන එක සම්බන්ධයෙන් ගැටලුවක් නෑ.

නව රජයෙන් කියලා තියෙනවා අලුතින් ව්‍යවස්ථාවක් ගේනවා කියලා. ඒකෙදි බුද්ධ ධර්මයට තියෙන්න ඕන තැන ගැන කතාබහක් ආවා. ඔබවහන්සේ දරන්නේ මොනවගේ මතයක්ද?

ලෝකේ රටවල්වල තිබෙන ව්‍යවස්ථාවල විවිධ ලෙස සඳහන්වෙලා තියෙනවා ඒ රටවල ආගම ගැන. එංගලන්තයේ ඇන්ග්ලිකන් ආගම තමයි ඒ රටේ නීතිගතවෙලා තියෙන්නේ. නෝර්වේ ක්‍රිස්තියානි ආගම. මැදපෙරදිග ඉස්ලාමීය රාජ්‍ය තියෙනවා. ඒ වගේම සමහර රටවල් තියෙනවා නිර්ආගමික සෑම රටක්ම ඒ රටේ රජය විසින් ආගමක් පෝෂණය කරනවා. ලංකාව ගත්තහම බෞද්ධ රටක්. වසර 2500ක ඉතිහාසයක් තියෙනවා. ඒ නිසා අපේ රටේ බෞද්ධාගමට ප්‍රමුඛ ස්ථානය දුන්නට අනෙකුත් ආගම්වලට හානියක් වෙලා නෑ. අපෙත් ආගම් අදහන්න බාධාවක් කරලා නෑ. ඒ විතරද සෑම ආගමකටම ඇමැතිවරයකුත් ඉන්නවා. ඉස්සර එහෙම නෑ. ඒ නිසා අනවශ්‍ය ලෙස බටහිරෙන් එන අදහස් අපේ අය පිළිගන්න හදන්නේ. කොහොම වුණත් අපි කියලා තියෙනවා අපේ අදහස. ඒ නිසා අපි කියන්නේ මේ තියන ක්‍රමය හොඳයි කියලා.

ඔබවහන්සේ හිතනවද මේ රටට විධායක ජනාධිපතිවරයකු අනවශ්‍යයි කියලා?

යම් දවසක මුළු රටම පිළිගත්තොත් විධායකය අනවශ්‍යයි කියලා අන්න එදාට අහෝසි කළාට කමක් නෑ. ඒත් මේ වගේ මොහොතක විධායකය අහෝසි කරන්න නරකයි. මොකද අපි දීර්ඝ කාලයක් යුද්ධ කළා. ඒ අවස්ථාවේදී පවා මේ විධායකයේ වටිනාකම තිබ්බා. ඒ නිසා මම කියන්නේ මේ විධායකය තවමත් තිබිය යුතුයි. එයට හේතුව තමයි පළාත් සභාවලටත් බලතල තියෙන වෙලාවේ මධ්‍යය ශක්තිමත් විය යුතු නිසයි. හැබැයි අනවශ්‍ය බලතල ඉවත් කරන්න ඕන. ඒක මම පිළිගන්න දෙයක්. ඒ වගේම නව ව්‍යවස්ථාව මගින් මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නත් ඕන. එහෙම නැතිවුණොත් විශාල මහජන මුදලක් විනාශයට පත්වෙනවා.

පහුගිය කාලයේ ඇතැම් භික්ෂූන් වහන්සේලා විවිධ සංවිධාන හදාගෙන පාරට බැස්සා. ඒ නිසා යම් යම් ගැටලු සිද්ධ වුණා. ඔබවහන්සේ ඒ ගැන මොකද හිතන්නේ?

මෙහෙමයි. භික්ෂූන් වහන්සේ කෙනකුට රටේ ප්‍රශ්නවලට එරෙහිව නැගී සිටින්න පුළුවන්. නමුත් භික්ෂූන් වහන්සේලා විරෝධතා හෝ මොනයම් දේ කළත් එය කළ යුතු වන්නේ භික්ෂු ආකල්ප රැකගෙන. පාරේ බැහැලා, අතපය විසුරුවන එක, පහරදෙන එක, බැරයර් පෙරළන්න යන එක භික්ෂුවකට සුදුසු නෑ. වෙනත් රටවල්වල අය දැක්කම වැරදි අදහස් ඇතිකරගන්න පුළුවන්. භික්ෂු ප්‍රතිරූපය රැකගත යුතුයි. එයින් කියැවෙන්නේ කතා නොකර ඉන්න එක නෙමෙයි. හිතන්න ලංකාවේ ප්‍රශ්නවලට භික්ෂූන් කතා කළේ නැත්තන් කවුද ඉන්නේ කතා කරන්න කියලා. අපි අවුරුද්දක් කිසිම භික්ෂූන් වහන්සේ නමක් මේ රටේ කිසිම ප්‍රශ්නයක් ගැන කතා නොකළොත් මොකද ඊට පස්සෙ වෙන්නේ කියලා බලන්න. මිනිස්සුන්ගේ ගොඩක් ප්‍රශ්නවලට භික්ෂූන් වහන්සේලා කතා කරන්න වෙනවා. එහෙම කතා නොකර හිටියොත් මොකද වෙන්නේ කියලා අත්හදා බලන්න කියලත්  මම  කියනවා.

ඔබවහන්සේ විශ්වවිද්‍යාල පද්ධතියට සම්බන්ධ නිසා අහන්න කැමතියි ඇයි මේ විශ්වවිද්‍යාල දරුවන්ගේ ආකල්ප වෙනසක් නැත්තේ කියලා?

ඇත්ත. ආකල්පවල වර්ධනයක් සිදුවෙන්න ඕන. එහෙම නැතුව දේශපාලන පක්ෂ කරපින්නාගෙන අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන තේරුමක් නෑ. ඕනෑම දේශපාලන මතයක් දරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැතුව වෙනත් මතයක් දරන කෙනකුට හිංසා කරන එක අනුමත කරන්න බෑ. විශේෂයෙන් පහුගියදා හසුවුණු පේරාදෙණිය වදකාගාරයට කලින් විශ්වවිද්‍යාල ඇතුළේ නවක වදය දුන්නා. මේ නිසා දරුවන් නැති වුණා. සමහර අය එකතැන් වුණා. ගොඩක් දෙනෙක් විශ්වවිද්‍යාලය අතඇරියා. ඇයි එයාලට මේවා ගැන හිතන්න බැරි. විශ්වවිද්‍යාලයට එන්නේ බොහොම අමාරැවෙන්. ඉතින් ඒ ආපු වැඩේ කරගන්න ඕන. එහෙම නැතුව වෙන දේවල් කරපුවම විනාශ වෙනවා. එහෙම කළොත් බෞද්ධ ධර්මය අනුවත් නැවත ඒ දේවල් ඒ අයට විඳින්න වෙනවා.

රට තුළ නව දැක්මක් සහ ගමනක් ගැන මතයක් ඇතිකරන්න ප්‍රධාන භූමිකාවක් කළේ සෝභිත හාමුදුරුවෝ. ඔබවහන්සේ කැමති නැද්ද ඒ වගේ නව දැක්මක් ඇතිකරන්න රට තුළ?

මමනම් සෝභිත හාමුදුරුවෝ වගේ භූමිකාවක් සිද්ධ කරන්න කවදාවත් ඉදිරිපත් වෙන්නේ නෑ. මම සෝභිත හාමුදුරැවොත් එක්ක වැඩ කළාට උන්වහන්සේට වඩා වෙනස් චරිතයක්. උන්වහන්සේ හැමදාම ආණ්ඩු පත්කරන්න, පෙරළන්න කටයුතු කරලා තියෙනවා. මම ඒ තත්ත්වයට යන්න කැමති නෑ. රටේ පොදු ප්‍රශ්න ගැන කතා කරන්න විතරයි කැමතියි. 

 ගයාන් ගාල්ලගේ

සේයාරුව - සුමුදු හේවාපතිරණ

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00