2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

පළාත් සභා ඉවරද?

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 44

මේ දිනවල රටේ බොහෝදෙනකුට ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ ඡන්දයයි. දැන් ඡන්ද තුනක් ගැන සඳහන් වනු ඇසෙයි. එකක් කාගේත් පොදු කතාබහට ලක් වී තිබෙන ජනාධිපතිවරණයයි. අනෙක ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පසුගියදා ලබා දෙන තීන්දුවක් අනුව හදිසියේම පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයයි. ඉන්පසුව මාතෘකාව කැරකී ඇත්තේ පළාත් සභා ඡන්දය දෙසටය. පසුගිය  03 වැනිදා සුගතදාස පිටිය් පැවැති ශ්‍රීලනිප මහා සමුළුවේදී ජනාධිපතිවරයා විසින් පළාත් සභා ඡන්දය යළි කිසිදා පැවැත්වීමට නොහැකි වනු ඇති බවට කරන ලද ප්‍රකාශය හේතුවෙන් එම ඡන්දය දෙසට රටේ ජනතාවගේ අවධානය යොමු වී තිබේ. 

පළාත් සභා ඡන්දය පිළිබඳව අපි පසුගිය වසර දෙක තුළදී බොහෝ දේ කතා කර ඇත්තෙමු. කලට වෙලාවට පැවැත්විය යුතු ඡන්ද නොපැවැත්වීම ඊට හේතුව විය. ඊට පෙර පළාත් පාලන ඡන්දය නොපැවැත්වීම පිළිබඳව බොහෝ කරැණු පෙන්වා දුන්නෙමු. එහෙත් එය පැවැත්වීම දිනෙන් දින කල් ගියේය. එම ඡන්දය පවත්වන දින වකවානු පිළිබඳව ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදී සඳහන් කළ බවද අපට මතකය. නමුත් 2016 වසරේ මුලදී පැවැත්විය යුතුව තිබූ පළාත් පාලන මැතිවරණය අවසානයේ පැවැත්වූයේ 2018 වසරේය.

ඡන්දය ප්‍රමාද වීම පිළිබඳව කොතරම් කෙස් පැළෙන තර්ක ගෙන ආවත් එය නොපැත්වූයේ ආණ්ඩුවට ඒ වනවිට වැළඳී තිබූ ඡන්ද භීතිය හේතුවෙනි. ඒ කාලයේ සීමා නිර්ණය කොමිසම කෝකටත් තෛලය ලෙස යොදවා ගනිමින් තමන්ගේ පක්ෂයේ පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාව සිටි ෆයිසර් මුස්තාපා හරහා ඡන්දය කල්දැමීමට කටයුතු කිරීම ගැන ජනාධිපතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුවම වගකිව යුතුය. පළාත් සභා මැතිවරණය පැවැත්වීම සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාව හේතුවෙන් නොපැවැත්වෙන තැනට අද කටයුතු සිදුවන විට ජනාධිපතිවරයා දක්වන විරෝධය එදා පළාත් පාලන මැතිවරණය කල් යාමේදී දකින්නට නොතිබීම මේ ගැටලුවේ යථාර්ථය පැහැදිලි කරයි. අඩුම තරමින් පළාත් සභා පත්කර ගැනීමේ අලුත් පනතට අනුව ආණ්ඩුව විසින්ම පත්කරන ලද සීමා නිර්ණය කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට එය තුනෙන් දෙකක ඡන්දයෙන් පරාජය කරනු ලැබුවේද මේ ආණ්ඩුවමය. එදා ඒ පනත ඉදිරිපත් කළේද ෆයිසර් මුස්තාපා ඇමැතිවරයාමය. අනතුරැව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ සීමා නිර්ණය සමාලෝචන කමිටු වාර්තාවට සිදු වූ දෙයක් නැත. අගමැතිවරයාගේ කමිටුව එම වාර්තාව සභාගත නොකිරීම ප්‍රශ්නයට හේතුව බව ජනපති කියයි. අද ජනාධිපතිවරයා දැඩිව දෝෂ දර්ශනයට ලක්කරන 19 වැනි ව්‍යවස්ථාව එදා එතුමාගේ අභිමතය පරිදි තුනෙන් දෙකෙන් සම්මත කර දුන්නේද මේ පවතින පාර්ලිමේන්තුව විසිනි. ඉතින් පළාත් සභා ඡන්දය යළි කිසිදා පවත්වන්නට හැකියාවක් නැතැයි දොස් නැගීමෙන් පළක් වෙයිද? මේ ප්‍රශ්නයට පිළිතුරැ සොයා ගැනීම පහසු නැත.

තමන්ට වාසි වනතුරැ බලා සිට ඡන්දයක් පවත්වන්නට යාමේ ආදීනව අද රජයම විඳගනිමින් සිටී. තමන්ගේ සකල විධ ප්‍රශ්න අමතක කරමින් ජනතාව ද මේ කියුම් කෙරැම් දෙස බලා සිටිති. තමන්ගේ ප්‍රශ්න විසඳෙන්නට නම් ආණ්ඩුව මුලින් තමන්ගේ ප්‍රශ්න විසඳා ගතයුතු බව ඔවුහු දැන සිටිති. එහෙත් පළාත් සභා ඡන්දය පැවැත්වීම කෙරෙහි දැන්නම් රටේ ජනතාව ආණ්ඩුව තරම් උනන්දුවක් දක්වන්නේ නැත. ඔවුන් වඩාත්ම උනන්දුවන්නේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් බව පැහැදිලිවම පෙනී යයි.
රටක ඡන්ද පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්බුදයක් බවට පත්කරනු ලැබීම මේ සියලු ප්‍රශ්නවලට හේතු වී තිබේ. හොරා පොලිස් සෙල්ලමක් මෙන් ඡන්දයක් ළං වෙද්දී එයින් හැංගී සිටීමට ආණ්ඩුව කර ඇත්තේ ව්‍යවස්ථා පටලැවිල්ලක් ඇතිකර ගැනීමය. එය ආණ්ඩුවට නම් පහසු විසඳුමකි. දුර්වල විපක්ෂයක් සිටින විට එය වඩාත් පහසු වනු ඇත. නමුත් ප්‍රශ්නය වන්නේ විපක්ෂය ශක්තිමත් වී අත පය දිගහරින විටය. එවිට මේ ව්‍යවස්ථා විජ්ජා එළියට ඇදී ඒම වැළැක්විය නොහැක.

මහජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වන පිරිසක් විසින් පාලනය කළ යුතු පළාත් සභා ජනාධිපතිවරයාගේ නියෝජිතයා වන ආණ්ඩුකාරවරයා විසින් පාලනය කරනු ලැබීම පැහැදිලිවම මහජන කැමැත්තට පටහැණි වීමකි. එය පළාත් සභා බිහිවීමට බලපෑ මූලික හේතුව වන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වීමකි. මෙහිදී තේරුම්ගැනීමට අමාරැම කාරණයක් වන්නේ 13වැනි සංශෝධනය ගෙන ඒමට හේතු කාරණා සැපයූ උතුරේ දේශපාලනඥයන් ද නිහඬව සිටීමය. තමන් ඉල්ලා සිටින බලතල තමන්ගේ ඡන්දයෙන් පත්නොවූ ජනාධිපතිවරයාගේ නියෝජිතයකු මගින් ක්‍රියාත්මක වනවා දැකීමට ඔවුන් කැමතිද? ඔවුන්ගේ නිහඬ බව ඔවුන්ගේ කැමැත්ත බවට අර්ථකථනය කරනු ලැබුවොත් ඒ අය ඊට කැමතිද? එතැනින් එහාට සිදුවිය හැක්කේ කුමක්ද? පළාත් සභා යනු රටේ මුදල් කා දමන සුදු අලියකු බවට දැනුත් පවතින මතයට මේ තත්ත්වයෙන් ලැබෙන්නේ තවත් උත්තේජනයක් බවද වටහාගැනීම අවශ්‍යය.

අපට නම් පෙනෙන විදිහට පළාත් සභා ඡන්දය පැවැත්වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම ආණ්ඩුවට විසඳාගත හැකිව තිබෙන ගැටලුවක් නීතිය ඉදිරියට ගෙනයාම පමණි. ඡන්ද පැවැත්වීම පිළිබඳව තීන්දු ගත යුත්තේ ආණ්ඩුව විසිනි. පරණ නීතිය වෙනස් කොට ගෙනඑන අලුත් නීතිය අඩුපාඩු නැතිව ගෙනඒම ආණ්ඩුවේ වගකීමයි. එය එසේ සිදුව නැත්තේ ආණ්ඩුව ඇතුළේ පවතින බල අර්බුදය හේතුවෙනි. ප්‍රජාතන්ත්‍රවාදය පෝෂණය කිරීමට පොරොන්දු දී බලයට පත්වූ රජයක් යටතේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානම ලක්ෂණය වන ඡන්දය පැවැත්වීම සිදු නොවීම කනගාටුවට කරැණකටත් වඩා ලජ්ජාවට කාරණයකි. මෙය අනාගතයේදී හෝ නොසිදුවිය යුත්තකි.

එසේ යළිත් මෙවැන්නක් නොසිදුවීමට නම් වහාම ගතයුතු පියවර වන්නේ පළාත් පාලන සහ පළාත් සභා ඡන්ද පැවැත්වෙන නිශ්චිත දිනයක් ව්‍යවස්ථාවටම ඇතුළු කිරීමට කටයුතු කිරීමය. මහ මැතිවරණය පවත්වා වසර දෙකකට පමණ පසුව එළඹෙන නිශ්චිත දිනයකට පුංචි ඡන්ද පැවැත්විය යුතු බවට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරැන් 225ටම එකඟ වීමට නොහැකිකමක් තිබිය නොහැක. අඩුපාඩු සකසාගත් සීමා නිර්ණය වාර්තාව ද සම්මත කර ගැනීමෙන් පසුව එවැනි පියවරක් ගතහැකි නම් වරින්වර ඒ ගැන මතය විමසා ශ්‍රේෂ්ඨාධිකරණයට යායුතු වන්නේ නැත. යකඩ කටවලින් එකිනෙකට දොස් පවරා ගන්න අවශ්‍ය වන්නේ ද නැත.

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30