2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

හතරවරම් දේශපාලනේ වෙඩිමුර

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 256

මීළඟ ජනාධිපතිවරණය සඳහා වන සූදානමත්, සූදානමක් නොතිබීමත් දෙකම අද රටේ මාතෘකා බවට පත් වී තිබේ. සූදානම පෙනෙන්න තිබෙන්නේ ගෝඨාභය ඉදිරිපත් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේත් (පොහොට්ටුවේත්) අනුර කුමාර ඉදිරිපත් වන ජනතා විමුක්ති පෙරමුණේත්ය. පුදුමය වී ඇත්තේ වෙනදාට ඔක්කොටම කලින් සූදානම පෙන්වන යූ.එන්.පිය තවමත් තරගෙට දාන තමන්ගේ අශ්වයා කව්දැයි තෝරාගැනීමට අසමත්ව සිටීමය. එය තෝරා නොගැනීම පිළිබඳ ගැටලුවක් නොව තේරීම සඳහා අභ්‍යන්තර අරගලයක් ඇතිවීමත් එය පක්ෂයේ සූදානමට බරපතළ බාධාවක් වී තිබීමත්ය.

අන්තිමට පැවැති 2015 ජනාධිපතිවරණයේදීත් යූ.එන්.පිය තම අපේක්ෂකයා ඉදිරිපත් කළේ අවසන් මොහොතේදී බවත් අවසානයේ ජයග්‍රහණය කළේ එම පොදු අපේක්ෂකයා බවත් සමහරුන්ගේ තර්කය වී තිබේ. එසේ කිව්වත් පසුගිය ජනාධිපතිවරණය පැවැති වටපිටාවත් ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන පසුබිමත් හාත්පසින්ම වෙනස්ය. 2014 අවසානය වන විට රාජපක්ෂවරුන්ගේ පාලනය තිබුණේ මේ රටේ බහුතරයකට එපා වෙමිනි. රටේ ජනතාවට පමණක් නොව මහින්දගේ ඇමැති මණ්ඩලය ඇතුළු රජයේ මැති ඇමැතිවරුන් පිරිසකටත් ආණ්ඩුව එපා වී තිබිණි.

එය සමහර දේශපාලන විචාරකයන් විසින් හඳුන්වනු ලැබුවේ ඔවුන් රාජපක්ෂ පාලනය සම්බන්ධයෙන් වෙහෙසට පත් වී සිටීමක් වශයෙනි. ඒ කාලයේ ආණ්ඩුවේ මහින්ද හැරුණුවිට ඊළඟ බලවතා වී සිටි බැසිල් සමඟ සමහර ඇමැතිවරු එළිපිටම කොකු දමා ගත්හ. ඇතැම් ඇමැතිවරුන්ට බැසිල්ගෙන් කුණු කතා අසන්නට සිදු වූ බවද ආරංචි විය. පාක්ෂිකයකුට රැකියාවක් ලබාගැනීමට පවා අදාළ ඇමැතිවරයාට වඩා නාමල්ගේ ලියුම, ටෙලිෆෝන් කෝල් එක බලවත් වූ බවටද චෝදනා නැගුණේ වරක් දෙවරක් නොවේ.

එසේම ඇතැම් ඇමැතිවරැන්ට වඩා අධීක්ෂණ මන්ත්‍රීවරු බලවත් වී සිටියහ. විදේශ ඇමැතිව සිටි මහාචාර්ය ජී.එල්. පීරිස් සිටියදී විදේශ අමාත්‍යාංශයේ බලවතා වී සිටියේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනය. ඔහු වරක් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සමඟ ගෝරියකට පැටළුණු බවක් ද වාර්තා වූ නමුත් පසුව එය සුළු බහින්බස් වීමක් පමණක් බවට පරිවර්තනය විය. මේ නිසා එම රජය ගැන රටේ ජනතාව පමණක් නොව ආණ්ඩුවේ ඇතුළත බලවත් පිරිස් ද සිටියේ දැඩි කලකිරීමකිනි. ඒ බව අන්තිමට පැවති පළාත් සභා ඡන්දවල ප්‍රතිඵලවලින් පැහැදිලි විය. මේ පෙරනිමිති පිළිබඳ අවබෝධයකින් සිටි මහින්දගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය එදා තම සොහොයුරු මහින්ද ජනාධිපතිවරයාට කියා තිබුණේ ඌව පළාත් සභා ඡන්දය තැබීමට හදිස්සි වෙන්න එපා කියාය. එහෙත් මහින්ද ඒක ඇහැව්වේ නැත. මහින්දගේ ආණ්ඩුවේ ආපසු ගමනට මුලපිරැණේ ඌව පළාත් සභා ඡන්දයේ ප්‍රතිඵලවලින් පසුවය. ඉන්පසු සිදු වූ සියල්ල දැන් අතීතයේය.

ඌව ඡන්දෙන් පස්සේ හදිසි වී ජනාධිපතිවරණය ද පැවැත්වූ මහින්දට කවදාවත් බලාපොරොත්තු නොවූ ආකාරයට තම පක්ෂයේ ලේකම්වරයා විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා වනු බලා සිටීම හැර වෙනත් දෙයක් කිරීමට තිබුණේ නැත. එදා එම විරසකභාවයේ ලකුණු දකින විට මෛත්‍රීපාල ඇමැතිවරයා ආපසු හරවා ගන්නට ගෝඨාභය උත්සාහ කළේය. එහෙත් එය සාර්ථක වූයේ නැත. යූ.එන්.පිය ඒ වන විට ගේම් එක ගසා අවසාන වී තිබුණි. එහි ප්‍රතිඵලය 2015 ජනවාරි 08 වැනිදා දැකගත හැකි විය.

එදා මේ දේශපාලන පෙරළිවල තීක්ෂණ නිරීක්ෂකයකු වශයෙන් පමණක් කටයුතු කරමින් දේශපාලනයට ඍජුව සම්බන්ධ නොවී සිටි ගෝඨාභය අද මහින්දගේ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වී සිටී. එතෙක් මුහුණදුන් හැම මැතිවරණයකදීම පරාජය උරුම කරගෙන සිටි යූ.එන්.පියටත් එහි නායකත්වයටත් ඌව පළාත් සභා ඡන්දයේ දී ජයග්‍රහණය අතපොවන මානයට ගෙන ඒමට එදා සමත් වූ හරීන් ප්‍රනාන්දු අද යූ.එන්.පිය ජයග්‍රහණය කරවීමට නම් සජිත් ප්‍රේමදාස ගෙන ආ යුතු බවට කරන සටනේ යෝධයෙක් වී සිටියි. මේ සියල්ල හරහා එදා ජනාධිපති ධූරය ලබාගත් මෛත්‍රීපාල සිරිසේන නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද තෙල් නැතිව අතරමග හිරවූ වාහනයක තත්ත්වයකට පත්ව සිටී. එක් ජනාධිපතිවරණයක සිට ඊළඟ ජනාධිපතිවරණය දක්වා කාලය ඇතිකළ තවත් වෙනස්කම් තිබේ.

යූ.එන්.පිය ප්‍රමුඛ එජා පෙරමුණු නායකයන් වැඩි දෙනකුගේ අදහස වී ඇත්තේ මහින්දලාගේ තුරැම්පුව වන ගෝඨාභය ඡන්දයේ දී කපෝති කළ හැක්කේ සජිත්ට පමණක් බවය. රට ඉල්ලන අපේක්ෂකයා තමන් ලබාදුන් බවට මහින්ද රාජපක්ෂ සිදු කරන ප්‍රකාශයත් සමඟ ඔහු ශක්තිමත් නායකයකු වශයෙන් ජනගත කිරීමට කටයුතු කිරීමත් හමුවේ යූ.එන්.පිය ද අලුත් මුහුණක් තරගයට යෙදවීමට අවශ්‍ය බව මේ මැති ඇමැතිවරුන් පිරිස කරන ප්‍රකාශවල පදනමය. අද රටේ බොහොමයක් දෙනා අලුත් නායකත්වයක් රටට අවශ්‍ය බවට පළ කරන මතය ඉවත දැමිය හැක්කක් නොවේ. ඒ හේතුවම නොවූවත් ගෝඨාභය රාජපක්ෂ යනු දේශපාලනයට අලුත් චරිතයකි. ඔහුගේ භූමිකාව රාජපක්ෂ රජයේ වෙනම කැපීපෙනුණු එකක් වීමත් දේශපාලනයට සමගාමීව එය සිදුවීමත් වෙනම කතාවකි. එහෙත් අලුත් ඡන්දවලට සහ සමස්ත දේශපාලනය කෙරෙහි කලකිරී සිටින පිරිසට ගෝඨාභයගේ ඉදිරිපත් වීම ඇඟට දැනෙන්නට ඉඩ තිබේ. යූ.එන්.පියටද අලුත් මුහුණක අවශ්‍යතාව තදින් දැනීමට ගෝඨාභයගේ පැමිණීමද එක් ප්‍රබල හේතුවක් වී තිබේ. එහෙම හිතන යූ.එන්.පියේ අයට සජිත් හැර වෙනත් විකල්පයක් නැත. රනිල් නම් තමන් හැර විකල්පයක් වශයෙන් කරු ජයසූරිය සිටින බව පෙන්වා තිබේ.

කෙසේ වුවද මේ රටේ ජනාධිපතිවරණයකදී සුළු ජාතික ඡන්ද යනු තීරක බලවේගයක් බව ප්‍රත්‍යක්ෂ කාරණාවකි. ඒ අනුව බලද්දී ගෝඨාභය සහ සජිත් දෙදෙනාම සිටින්නේ එකම සාධකයක් වටා ගොනුවෙමිනි. එනම් සිංහල බෞද්ධ ඡන්ද පදනම කෙරෙහි අප්‍රමාණ විශ්වාසයක් තබමිනි.

මෙරට ඡන්ද දායකයන්ගෙන් ආසන්නව 74%ක් සිංහල බෞද්ධ ඡන්ද වශයෙන් සැලකෙයි. තවත් 12%ක් දෙමළ ඡන්ද වශයෙන්ද 8%ක් මුස්ලිම් ඡන්ද වශයෙන්ද ආසන්නව සැලකෙයි. ඉතිරි 6% සෙසු ජාතීන් සහ ආගම් අතර බෙදී යයි. මෙහිදී තමන්ගේ අපේක්ෂකයා වශයෙන් මහින්දලාගේ තේරීම වූ ගෝඨාභය දැඩිව ආකර්ශනය කර ගන්නේ සිංහල බෞද්ධ ඡන්දය. ඔහු වැඩි වශයෙන් ආමන්ත්‍රණය කරන්නේ ද එම ඡන්ද පදනමටය. ඔහු වෙනුවෙන් ගෙන යන ප්‍රචාරක වැඩපිළිවෙළේ කසකාරයන් වන විමල්, උදය, දිනේෂ් වැනි නායකයන් ද වැඩියෙන්ම කතා කරන්නේ සිංහල බෞද්ධ ඡන්ද වලටමය. එය කොතරම් දුරකට තීරණාත්මක බලපෑමක් ඇති කරනු ඇත්දැයි දැන්ම පැවසීම අමාරුය.

යූ.එන්.පියේ වැඩිදෙනා ඉල්ලන සජිත් ද මේ තත්ත්වයෙන් වෙනස් වී නැත. ඔහු ද කතා කරන්නේ සිංහල බෞද්ධ ඡන්ද වලටය. වැඩිපුරම ගැවසෙන්නේත් සිංහල බෞද්ධ ජනතාව වැඩි වශයෙන් වෙසෙන පළාත් වලය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා එසේ නැත. ඔහු වැඩිපුරම විශ්වාසය තබා සිටින්නේ සුළු ජනතාවගේ ඡන්ද ප්‍රමාණය ද ඇතුළත් වන සමස්ත ඡන්ද ප්‍රතිශතයක් පිළිබඳවය. ඔහු ප්‍රකාශ කරන්නේ සුළු ජනතාවගේ ඡන්ද ලබාගැනීමකින් තොරව ජනාධිපතිවරණ ජයග්‍රහණයක් ගැන සිතන්නවත් බැරි බවය. ඒ කෝණයෙන් බලන විට සජිත් සිටින්නේ අවාසිදායක තලයක බව බැලූ බැල්මට පෙනේ. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් උතුරේ, නැගෙනහිර ඇතුළු දෙමළ ජනතාවගේ ඡන්දය ද මුස්ලිම් ජනතාවගේ ඡන්දය ද සඳහා වෙනම කැම්පේන් එකක් කිරීම අවශ්‍ය වනු ඇත. ඒ සඳහා යූ.එන්.පියේ ඇති සූදානම බලන්න නම් ඔවුන් එකතු වී සාදන සන්ධානය සහ එයට නායකත්වය ලබාදෙන පිරිස කවුදැයි හඳුනාගත යුතුය. රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුණොත් ඔහුට සුළු ජනතාවගේ සහාය ලැබීම ගැන ගැටලුවක් නැත. එහෙත් දකුණේ සිංහල බෞද්ධ ඡන්දවලින් ඒ ආකාරයටම සහාය ලැබේද යන්න ගැටලුවක් වනු ඇත. සජිත් ඉදිරිපත් වුණොත් එහිදී දකුණේ සිංහල බෞද්ධ යූ.එන්.පී. ඡන්ද ලැබුණත් දෙමළ සහ මුස්ලිම් ඡන්ද ඒ ආකාරයටම ලැබෙනු ඇත්ද යන්න තවම පැහැදිලි නැත.

මේ අතර ජවිපෙ පසුගිය ඉරිදා (18) ගෝල්ෆේස් පිටියේදී අනුර කුමාර දිසානායක තම ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් නම් කළේ රටේ බොහෝ දෙනාගේ අවධානය දිනා ගනිමිනි. එය ජවිපෙට මෑත කාලයේ දී විශාල ජවයක් ලබාදුන් ජනකායක් රැස්ව සිටි සුවිසල් රැස්වීමක් විය. එම සංවිධාන ශක්තියම ඉදිරියට ද පවත්වාගෙන යා හැකි නම් ඡන්දය කිට්ටු වන විට ඔහු කෙරෙහි ද ජනතාව ප්‍රධාන අපේක්ෂකයකුට දක්වන තරමට උනන්දුවක් දක්වනු ඇතැයි බලාපොරොත්තු තබාගත හැකි වනු ඇත.

කෙසේ වුවද ජවිපෙ තම අපේක්ෂකයා හඳුන්වා දීමෙන් පසුව යළිත් ජනතාව අතරට ගියේ නැත. ඔවුන් දැන් සංවිධාන කටයුතු අරඹා ඇත්තේ ප්‍රචාරක ස්වරූපයෙන් නොවේ. නමුත් ගෝඨාභය අපේක්ෂකයා වශයෙන් රටට හඳුන්වා දීමෙන් පසුව ඔහු දිගටම ප්‍රචාරක මට්ටමේ කාර්යභාරයක් ඉටු කරමින් සිටී. දින ගණනාවක් රට පුරාම විශාල ලෙස ජනතාව අතරට සහ ප්‍රධාන පෙළේ පන්සල්වලට ද ඔහු ගියේය. මෙය එක අතකින් මුහුද හත්ගව්වක් තබා අමුඩය ගැසීමකට සමාන බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතයයි. මෙවැනි ශක්තිමත් කැම්පේන් එකක් එකදිගට මාස කිහිපයක් පවත්වාගෙන යාම ප්‍රායෝගික නැත. ඡන්දයට කලින්ම උපරිම තලයට කැම්පේන් එක ඉස්සී තිබුණොත් ඡන්දය ආසන්න වන විට බොහෝ අනපේක්ෂිත දේ සිදුවිය හැකිය. ජවිපෙ මේ තත්ත්වය අවබෝධ කරගෙන සිටින බව පෙනේ. යූ.එන්.පිය නම් අපේක්ෂකයා තෝරාගැනීමටත් කලින් කැම්පේන් එක පටන් අරගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

I ශශීන්ද්‍ර