2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

පෙරළියක ආරම්භය

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 188

අගෝස්තු 11 ඉරිදා (අද) මෙරට දේශපාල භූමිකාවේ විශේෂ  දවසක් වශයෙන් සටහන් වන බවට සියලු ලකුණු පහළ වෙමින් තිබේ. මෙරට දේශපාලන කරළිය තුළ දැනට පවතින ලාබාලතම දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව)ට අද නිල වශයෙන් නායකයෙක් පත්වෙයි. මෙතෙක් කාලයක් එහි නිල නොවන නායකයා වශයෙන් කටයුතු කළ එසේම ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨම නායකයකු වශයෙන් බුහුමන් ලබන මහින්ද රාජපක්ෂගේ අලුත්ම දේශපාලන ගමනක ආරම්භය ද මේ සමඟ සටහන් වෙයි. කවදාවත් තමන්ගේ පක්ෂය වන ශ්‍රීලනිපය හැරදා නොගිය එහි සියලු කුණාටු මැද නොසැලී සිටි මහින්ද අදින් පසුව පොහොට්ටුවේ නායකයා වශයෙන් හඳුන්වනු ඇත. ඔහුගේ ශ්‍රීලනිප ගමන එතැනින් අවසාන වනවාද නැතහොත් එම ගමනට වෙනම ආකාරයකින් ඇරුඹීමක් ද යන්න අනාගතයේදී තීරණය වනු ඇත.

කෙසේ වුවත් මේ දවස ගෝඨාභය රාජපක්ෂට ද විශේෂ දවසක් වන්නේ ඔහුගේ දේශපාලන දිවිය නිල වශයෙන් ආරම්භ වන බැවිනි. පසුගිය කාලය පුරාම ඔහුගේ දේශපාලන දිවියේ සම්ප්‍රාප්තිය පිළිබඳ අවිශ්වාසයක් නොතිබිණි. එය ඇරැඹෙන්නේ කවදාද යන ප්‍රශ්නය පමණක් ඉතිරිව තිබිණි. මේ රටේ ජනාධිපතිවරණයක් සඳහා පසුගිය කාලය තුළ දේශපාලනයට නවකයකු ඉදිරිපත් වී තිබුණේ මීට පෙර එක් අවස්ථාවකදී පමණි. ඒ 1994දී චන්ද්‍රිකාට අපේක්ෂකත්වය හිමි වීමයි. එහෙත් ඒ වෙලාවේ චන්ද්‍රිකාට මෙරට ජනාධිපතිවරණ වේදිකාව අලුත් වුවත් ඇයට සිය පවුලේ උරැමයෙන් දේශපාලනය ඇඟ පුරාම තිබිණි. ගෝඨාභය ද පවුලේ උරුමයෙන් දේශපාලනයට ඉතාම සමීප බවත් තිබුණත් ඔහු මෙතෙක් ක්‍රියාකාරීව දේශපාලනයට සම්බන්ධ වී සිටියේ නැත. 

ගෝඨාභය දේශපාලනයට වඩාත්ම සමීප වන්නේ මහින්ද ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරැවය. ඒ චන්ද්‍රිකාගෙන් පසුව 2005 වසරේදීය. ගෝඨාභය ආරක්ෂක ලේකම් වශයෙන් පත්කරනු ලැබීය. 2009 වසරේදී එල්.ටී.ටී.ඊය පරාජය කරනු ලැබීමෙන් පසුව ගෝඨාභයගේ නම රටේ දේශපාලනය තුළද වැඩියෙන් ලියැවීම ඇරැඹුණේය. ඉන් පසුව ගෙවුණු වසර කිහිපය තුළදී ගෝඨාභය වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ නාගරික  සංවර්ධන සම්බන්ධයෙන් සිදු කළ මෙහෙවරයි. එය ඒ කාලයේ පක්ෂ විපක්ෂ කාගේත් පැසසුමට ලක්විය. ඒ සියලු කාරණා මැද ඔහු ටිකින් ටික දේශපාලන භූමිකාවට අවතීර්ණ වෙනු නිරීක්ෂණය කළ හැකි විය. එය තදින්ම දැකගත හැකි වූයේ 19A සංශෝධනය හරහා දෙවරකට වැඩි වාර ගණනක් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි වීමේ නීතිය හඳුන්වාදීමෙන් පසුය. ඒ හේතුවෙන් මහින්දට මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තිබූ අවස්ථාව අහිමි විය.

කෙසේ වුවද ජනාධිපති ධූරය දෙවරක් දැරීමෙන් පසුව යළි ඉදිරිපත් වීමට නුසුදුස්සකු කරනු ලැබුවේ 19A සංශෝධනයෙන් නොවේ. එම නීතිය විධායක ජනාධිපති ව්‍යවස්ථාවේ මුල සිටම පැවතිණි. එහෙත් මහින්ද 2010 පැවැති ජනාධිපතිවරණයෙන් ජය ලබා ඉන්පසුව කඩිමුඩියේ සම්මත කරගත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් එම නුසුදුසුකම ඉවත් කරනු ලැබීය. 19A සංශෝධනයෙන් සිදු කෙරුණේ ව්‍යවස්ථාවේ එම වගන්තිය යළි ඇතුළු කිරීමය. 78 ජෙ.ආර්.ගේ ව්‍යවස්ථාව ඒකාධිපති ව්‍යවස්ථාවක් වශයෙන් හඳුන්වමින් කතා කළ බොහොමයක් දේශපාලන විශ්ලේෂකයන් ඒ දිනවල කියා තිබුණේ ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව ඒකාධිපති වීම වැළැක් වී ඇත්තේ දෙවරකට වඩා ඉදිරිපත් වීම නුසුදුස්සෙකු කරමින් සඳහන් වන වගන්තිය හේතුවෙන් බවය. 18 වැනි ව්‍යවස්ථාව ගෙන ඇවිත් එය ඉවත් කිරීමෙන් මහින්ද දේශපාලන වශයෙන් ඓතිහාසික වැරුද්දක් සිදු කළ බවද ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතයයි.

ගෝඨාභය කරළියට ඒමට නියමිතව සිටින්නේ එවැනි මෑත කාලීන දේශපාලන පසුබිමක සිටිමිනි. ඔහුගේ නම නිල වශයෙන් ප්‍රසිද්ධියට පත්වීමෙන් පසුව යූ.එන්.පීයට ද ඉක්මනින් තීන්දුවකට එළඹීමට හැම පැත්තෙන්ම පීඩනය එල්ල වනු ඇත. යූ.එන්.පී කවදත් තම අපේක්ෂකයා නම් කරන්නේ ජනාධිපතිවරණයක් ප්‍රකාශ පත් කිරීමෙන් පසුව බව අගමැතිවරයාට සමීප මැති ඇමැතිවරැ කියති. එහෙත් ගෝඨාභය නම් කරනු ලැබීමත් සමඟ රට තුළ විපක්ෂයේ මන්ත්‍රීන් ඇතුළු ඔවුන්ගේ පාක්ෂිකයන්ගේ පිබිදීම යූ.එන්.පී මන්ත්‍රීන් ඇතුළු පාක්ෂිකයන්ට දැඩි බලපෑමක් සිදු කරනු ඇතැයි පෙනෙන්න තිබේ. එය වඩාත්ම සංකීර්ණ වී ඇත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ අගමැති රනිල් සහ පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර පවතින මත ගැටුම නිසාය. ඒ හේතුවෙන් පසුගිය සඳුදා (05) අත්සන් කිරීමට යෝජිතව තිබූ යූ.එන්.පී. ප්‍රමුඛ පුළුල් සන්ධානය බිහිවීම ද ඇන හිටියේය. මුලින් සැලසුම් කර තිබුණේ ගෝඨාභයගේ නම ප්‍රකාශ වීමට පෙර සන්ධානය ගොඩනගා ඒ හරහා යූ.එන්.පී. ප්‍රමුඛ ආණ්ඩුවේ අපේක්ෂකයා පිළිබඳව විශාල ප්‍රචාරයක් ලබාගැනීමටය. එය වැළැකී ගියේ යූ.එන්.පීයේ ඇති වූ අභ්‍යන්තර මතගැටුම හේතුවෙනි. මේ නිසා ආණ්ඩු පක්ෂය හැටියට ඔවුන්ට ලබාගත හැකිව තිබූ විශාල ප්‍රචාරක වාසියක් අහිමිව ගියේය. ප්‍රධාන ඡන්දයකදී එවැනි අහිමි වීම් ප්‍රබල බලපෑමක් එල්ල කරයි. කල් නොයවා වැඩේ ගොඩින් බේරා ගැනීමට හැකිවුණත් එය පක්ෂයට වාසිදායක වනු ඇත.

ශ්‍රීලනිපය ද මෙහිදී සිටින්නේ ඉතාම අවිනිශ්චිත තත්ත්වයකය. දැනට පෙනෙන්න තිබෙන්නේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා සහ මහින්ද අතර කිසියම් එකඟත්වයකට පැමිණීමට ඉඩ තිබෙන බවය. එසේ වුවද ශ්‍රීලනිපය කැඩීම වැළැක්වීමට එය ප්‍රමාණවත් නොවනු ඇත. ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසේ කිහිපදෙනකු යූ.එන්.පී.ය ප්‍රමුඛ සන්ධානයට එක්වීමත් තවත් කිහිපදෙනකු මහින්දලා සමඟ එක්වීමත් සිදුවන බවත් තවත් කිහිප දෙනකු ශ්‍රීලනිපය සමඟ නවතිනු ඇති බවත් පෙනෙන්නට තිබේ. ශ්‍රීලනිපය පැත්තෙන් එන අනාවැකි අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා තුන්වැනි අපෙක්ෂකයකු වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවනු ඇත.

එසේ වුවත් ප්‍රශ්න එතැනින් අවසන් වන්නේ නැත. පොහොට්ටුවේ මංගල මහා සමුළුවට සහභාගී වන සහ නොවන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අනුව එම ප්‍රශ්න තේරැම් ගත යුතුවෙයි. දැනට බැලූ බැල්මට පෙනෙන්න තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ සියලු නායකයන් ගෝඨාභයගේ අපේක්ෂකත්වයට විරෝධයක් නොදක්වන බවය. එහෙත් විරෝධය නොදැක්වීම එකකි. සහයෝගය ලබාදීම තව එකකි. එසේ වුවද ඇතැම් පක්ෂ නායකයන් තවමත් ගෝඨාභයගේ අපේක්ෂකත්වයට කෙළින්ම හොඳක් කියන්නේ නැත. මෙහිදී දිනේෂ් ගුණවර්ධනගේ නිහඬ බව කැපී පෙනෙයි. ඔහු පොහොට්ටුවේ වේදිකාවට ගොඩවුවද ඒ ගැන ඉදිරිපත් වී කතා කරන්නේ එතරම් උද්යෝගයකින් නොවන බව ඕනෑ කෙනකුට තේරුම් ගැනීම අමාරැ නැත. මේ සියලු තත්ත්වයන් පිළිබඳව මහින්ද කලින්ම ගණං හදාගෙන නොසිටියොත් ඒ ගැන පුදුම විය යුතුය. කුමාර වෙල්ගමද මෙහිදී ශ්‍රීලනිපය සමඟ රුඳී සිටිමින් ගෝඨාභයට එරෙහි දේශපාලනයක නිරත වීමට තීන්දු කළොත් මහින්දට එය හිසරදයක් බවට පත්වීමට ද ඉඩ තිබේ.

යූ.එන්.පී. ඇතුළේ දැන් සටන පවතින්නේ සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදීමට සහාය දක්වන පිරිස සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසට සහාය දක්වන පිරිස අතරය. රනිල් තමා ඉදිරිපත් වන බව වරින් වර කියා තිබුණත් ඒ සමඟ කරැ ජයසූරිය ද සූදානමින් තබාසිටින බවද පෙනෙන්නට තිබේ. ඔහුගේ න්‍යායපත්‍රයේ සජිත් ප්‍රේමදාසට නම් තැනක් නැත. එහෙත් යූ.එන්.පී මන්ත්‍රී පිරිසේ බහුතරයකගේත් ගමේ නගරයේ පාක්ෂික බහුතරයගේත් ඉල්ලුම ඇත්තේ සජිත්ටය. පොහොට්ටුව තම පාක්ෂිකයන්ගේ ඉල්ලුමට අනුව ගෝඨාභය ඉදිරිපත් කරන විට යූ.එන්.පී.ට තම පාක්ෂිකයන්ගේ වැඩිම ඉල්ලීම ගැන අහක බලාගෙන සිටිය හැකිද? මේ තත්ත්වය තවත් බැරූරැම් වීමට පෙර විසඳා ගැනීමට නොහැකි වුවොත් යූ.එන්.පී. පාක්ෂිකයා වැටෙන්නේ අලි අමාරුවකය.

සජිත්ට අපේක්ෂකත්වය ලබා නොදෙන තත්ත්වයක් තුළ සිදුවිය හැක්කේ කුමක්ද? ඒ ගැන කෙළින්ම කිවනොහැකි වුවත් සජිත්ව ඉල්ලා රට පුරා ජනතා රැලි පැවැත්වීමට ද සූදානමක් පවතී. මේ සඳහා මුල්ම පියවර තැබීමට යන්නේ යූ.එන්.පී. ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවට 2015දී ජයග්‍රහණය ලබාදීමට මුල්ම පියවර තැබූ හරීන් ප්‍රනාන්දුය. ඔහු ඌව පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වී මහා පෙරළියක් කළේය. ඉන්පසුව මහමැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේය. එවැනි පෙරළියක් කළ යූ.එන්.පී. තරුණ ඇමැතිවරයකු බදුල්ලේ සජිත් වෙනුවෙන් මහජන රැලියක් සංවිධානය කිරීම අගමැති රනිල් දකිනු ඇත්තේ කෙසේද? දැනගන්න තිබෙන්නේ එවැනි රුස්වීමක් පැවැත්වීමට පක්ෂ නායක රනිල්ගෙන් අනුමැතියක් නොලැබෙන බවය. එතැනින් පසුව තවත් බොහෝ දේ සිදුවීමට ඉඩ තිබෙන බව හැම අතින්ම පෙනෙන්නට තිබේ. සමහරැන් එය දකින්නේ යූ.එන්.පී.ය බේරා ගනිමු වැනි සටනක් කරා එය යොමුවිය හැකි බවය.

ජනාධිපති අපේක්ෂක ගැටලුව විසඳා ගැනීම සඳහා කෘත්‍යාධිකාරී කමිටුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ ඒකාබද්ධ රුස්වීමක් කැඳවන්නැයි යූ.එන්.පී. මන්ත්‍රී පිරිසකගෙන් ඉල්ලීමක් ද සූදානම් කෙරෙමින් තිබේ. ඒ සඳහා ද පක්ෂ නායකයාගේ අනුමැතිය අවශ්‍යය. එවැනි රැස්වීමකින් තොරව කෘත්‍යාධිකාරී කමිටුවෙන් පමණක් අපේක්ෂකයා කවුදැයි තේරීමට ගියොත් එය යූ.එන්.පීයේ බරපතළ කඩාවැටීමකට හේතු විය හැකි බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. ගන්නා තීරණය කුමක් වුවද ඒ සඳහා තව ඇත්තේ සුළු කාල සීමාවක් පමණි.

අදින් (11) ඇරුඹෙන අලුත් දේශපාලන වේදිකාවේ හතර පෙරළි ගැන ඉදිරියේදී තවත් කතා කිරීමට හැකිවනු ඇති බවට දැන් සිටම පෙරනිමිති පහළ වෙමින් තිබෙන බව යථාර්ථයයි.

 ශශීන්ද්‍ර

 

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30