2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 102

පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂකයා ගැන බැසිල් කියූ කතාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පසුගිය බ්‍රහස්පතින්දා (08) මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. කොළඹ කිංස්බරි හෝටලයේ පැවැති මේ මාධ්‍ය සාකච්ඡාවට පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ද එක් වී සිටියේය. එහිදී සඳහන් වූ ප්‍රධාන කරුණු මෙසේය.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී.ල.පො.පෙ. නායකත්වයට ඉරිදා පත්වන අතර ජනාධිපති අපේක්ෂකයාගේ නම ඔහු විසින් ප්‍රකාශයට පත් කරනු ඇත.

අපේක්ෂකයා කව්දැයි නොකියූ නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසි බව මේ වන විට ඉවත් කරගෙන ඇතැයි බැසිල් ප්‍රකාශ කළේය.

තමන්ගේ අපේක්ෂකයා ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම් ආරක්ෂා කරන්නකු බවත් එහෙත් දූෂණයට එරෙහිව දැඩි ලෙස ක්‍රියා කරනු ඇති බවත් ඔහු කීය.

ජනාධිපති අපේක්ෂකයකු වීමට තරම් තමා වාසනාවන්තයකු නොවන බවද බැසිල් සඳහන් කළේය.

සුළු ජාතික ඡන්ද ලබාගැනීම ගැන ඔහු විශ්වාසය පළ කළේය. ත්‍රස්තවාදයට සහ අන්තවාදයට සහාය නොදක්වන බවට තහවුරු කර ඇති ඕනෑම කෙනකු සමඟ සන්ධානගත වීමට කැමැති බවද ප්‍රකාශ කළේය.

2020 දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ දී සහ චොගම් සමුළුවේ දී ක්‍රියා කළ යුතු ආකාරය සැලසුම් කරමින් සිටී.

ඉරිදා (11) ප්‍රකාශයට පත් කෙරෙන ජනාධිපති අපේක්ෂකයා තමා නොවන බවද කියූ බැසිල් රාජපක්ෂ මහතා මහජනතාවගේ බලාපොරොත්තු සපුරණ පුද්ගලයා ඒ සඳහා නම් කෙරෙනු ඇතැයි ද ප්‍රකාශ කළේය.

අද වන විට මේ රටේ ලාබාලම දේශපාලන පක්ෂය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. අපි අපගේ පළමු ජාතික සම්මේලනය ඉරිදා (11) පවත්වනවා. 2016 වසරේ දී පිහිටුවාගනු ලැබුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නිල නායකයෙක් සිටියේ නෑ. අපගේ සම්මේලනයේ ප්‍රධානම කටයුත්ත පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව නිල වශයෙන් නායකයකු තෝරා පත්කර ගැනීමයි. ඒ කවුදැයි මා ඔබට කිවයුතු නෑ. තමාට නිල තත්ත්වයක් නොතිබියදීත් ඔහු අපට නායකත්වය ලබා දී තිබෙනවා. එයින් පසුව අපි අපගේ ජනාධිපති අපේක්ෂකයා නම් කරනවා. බැසිල් කීය.

ස්ථාවර ප්‍රතිපත්ති, නීතිය ක්‍රියාවේ යෙදවීම සහ රටට වඩාත්ම අවශ්‍ය ආයෝජන ගෙන්වා ගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් නිවැරුදි දැක්මකින් කටයුතු කිරීමට හැකියාව ඇති අයෙක් අපගේ අපේක්ෂකයා වනු ඇති. බැසිල් කීය.

ශ්‍රීලනිපයේ සියලු සාමාජිකයන්ට සමුළුව සඳහා ආරාධනා කිරීමට නොහැකි වීම ගැන තම කනගාටුව පළ කළ බැසිල් රාජපක්ෂ මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන සහ පොදුජන පෙරමුණ සමඟ දිගටම සාකච්ඡා කරන ප්‍රධාන මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට පෞද්ගලික ආරාධනා පත් යවා ඇතැයි ද සඳහන් කළේය.

ඩේලි එෆ්.ටී

සන්ධානයකට රනිල් - සජිත් එකඟතාව

ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී මුහුණදීම සඳහා සන්ධානයක් හැකි ඉක්මනින් පිහිටුවා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ යූ.එන්.පී. නියෝජ්‍ය නායක නිවාස සහ ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහත්වරැන් අතර එකඟත්වයක් ඇතිකරගනු ලැබීය. ඒ සඳහා සන්ධාන ව්‍යවස්ථාව ඉදිරි දින කිහිපය තුළදී සකස් කර අවසන් කිරීමට ද තීරණයක් ගෙන තිබෙන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය බ්‍රහස්පතින්දා (08) පක්ෂ නායක රුස්වීමකින් අනතුරැව මේ එකඟත්වය ඇතිකරගෙන තිබේ.

යෝජිත සන්ධාන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ද තීරණය කර ඇත. මේ සංශෝධන යූ.එන්.පී. සභාපති කබීර් හෂීම් මහතාට ලබා දී තිබේ. මේ සංශෝධන සිදු කෙරෙනු ඇතැයි ඇමැති මනෝ ගනේෂන් මහතා තහවුරු කරයි.

මේ අගෝස්තු මාසයේ අවසානයට පෙර සන්ධානය පිහිටුවන බව අග්‍රාමාත්‍යවරයා පසුගිය සතිය මුලදී ප්‍රකාශ කර තිබිණි. පසුගිය බ්‍රහස්පතින්දා (08) උදෑසන ද අග්‍රාමාත්‍යවරයා මේ බව යළිත් සඳහන් කළේය.

ඩේලි එෆ්.ටී.

ඔබාමාගේ සටන් පාඨය පොදුජන පෙරමුණ ලබාගෙන

අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරුක් ඔබාමා තම ඡන්ද ව්‍යාපාරය සඳහා යොදාගත් සටන් පාඨයක් වූයේ Yes, We can යන්නයි. එය Si Se Puede යනුවෙන් ද සඳහන් විය. ඔව්.. අපට පුළුවන් වශයෙන් අර්ථ ගැන්වෙන මේ සටන් පාඨය මුලින්ම නිර්මාණය කර තිබුණේ නිව්මෙක්සිකෝවේ ගොවි සංවිධාන දෙකක ප්‍රධානීන් දෙදෙනකු විසිනි. Dolores Huerta සහ Cesar Chaves එම දෙදෙනාය.

අමෙරිකානු ගොවිපළ සේවකයන් උපවාසයක යෙදෙමින් සිදුකළ සටනේ දී යොදාගනු ලැබූ මෙම සටන් පාඨය ඔබාමා විසින් තම ඡන්ද ව්‍යාපාරය සඳහා ඉල්ලාගෙන තිබිණි.

දැන් මෙම සටන් පාඨය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සටන් පාඨය බවට පත්ව තිබේ. එය ඔවුන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා යොදා ගැනීමට නියමිතය.

සන්ඩේ ටයිම්ස් 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00