2019 ජුලි 27 වන සෙනසුරාදා

මහින්ද-මෛත්‍රී දෙන්නාම වේදිකාවේ ඉන්න ඕනෑ

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 113

එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක

► වතුර පොදක්වත් කාගෙන්වත් නොබී අපේක්ෂකයෙක් වෙන්නෙ කොහොමද?

► තේරීම් කාරක සභාව ජනපතිට මඩ ගහන නිෂ්ඵල එකක්

► ජවිපෙ ආණ්ඩුව රකිනවා

► ගොඩනැගෙන සන්ධානයේ තීරණ ගන්නේ පොහොට්ටුවයි

► මහින්ද මහත්තයා අපේක්ෂකයා ගැන හරි තීන්දුව ගනීවි

► රිෂාඩ්-හකීම් දෙන්නම අපට ඕනෑ නෑ

► වෙල්ගමට වඩා ජ්‍යෙෂ්ඨයෝ ශ්‍රීලනිපයේ ඉන්නවා

අපි මුල ඉඳන්ම දැක්කා පොහොට්ටුවයි ශ්‍රීලනිපයයි අතර එක්වීමේ සාකච්ඡාවක් යනවා. හැබැයි තවම එකතුවීමක් නැහැ. මොකක්ද මේ වැඩේ තේරුම?

කොහොම වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යූ.ඇන්.පී. එක එක්ක හරි යූ.ඇන්.පී. එකට සම්බන්ධ වෙනත් පක්ෂ එක්ක හරි එකතු වෙන්නේ නැහැ. එකතුවෙන්නේ වමේ ප්‍රගතිශීලී කණ්ඩායමත් එක්ක. ඒක ගොඩනැගෙන්නේ පොදුජන පක්ෂයත් ශ්‍රීලනිපය ඇතුළු වමේ දේශපාලන මතධාරීන් එක්ක.

ඔබ කියන හැටියට යූ.ඇන්.පී. එකෙන් හොඳ අපේක්ෂකයෙක් දැම්මොත් මොකද කරන්නේ?

මොන අපේක්ෂකයා දැම්මත් අපි යන්නේ නැහැ. 

හරි දැන් සාකච්ඡාවලට මොකද වුණේ?

මේ සාකච්ඡා යන්නේ අපේ පක්ෂ දෙක මූලික ප්‍රතිපත්ති සමග එකඟතාවකට එන්න. ඒ නිසා ඒ සාකච්ඡා ඉදිරියට යයි. ඒක හදිසි වුණා කියලවත් පරක්කු වුණා කියලවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. 

එහෙම ස්ථීරතාවයක් නැතිව ඇයි ඔබ ඇතුළු කණ්ඩායමක් පොදුජන පක්ෂයේ වේදිකාවට ගොඩවෙන්න හදන්නේ?

කොහොමටත් අපි ඒකාබද්ධ රැස්වීම්වලට සහභාගී වෙනවා. ඒක ඇතුළේ හැම පක්ෂයක්ම තිබෙනවා. අපි ශ්‍රීලනිපය වෙනුවෙන් සහභාගී වෙනවා. 

ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර කියන්නේ පොදුජන පෙරමුණු අපේක්ෂකයා තීරණය කරන්න ඕනෙ තමන්ගේ පක්ෂයෙන් කියලා. ඒක හරිද?

ඒක මහලේකම්ගේ පෞද්ගලික අදහසක්. ඒක වැරදි අදහසක්. අපි මතක තියාගන්න ඕන මේ ගොඩනැගෙන සන්ධානයේ ප්‍රධාන පක්ෂය අපි නෙමෙයි කියලා. ඉස්සර එහෙම වෙන්න පුළුවන්. දැන් පොදුජන පක්ෂය. ඒ නිසා ඒ තීරණය ගන්න ඕන ඒ පක්ෂය.

ඔය සන්ධානය හැදුණාට ගොඩක් අය පක්ෂයෙන් ඉවත්වෙලා පොහොට්ටුවට එකතු වුණා. එහෙම වුණොත් ශ්‍රීලනිපයක් ඉතුරු වෙන්නේ නැහැ නේද?

එහෙම වෙන්නේ නැහැ. මහින්ද මහත්තයාත්, බැසිල් රාජපක්ෂත් දන්නවා ඒ වේදිකාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්න ඕන කියලා. අනිවාර්යයෙන්ම ඊළඟ ජනාධිපතිවරණය ජයගන්න නම් මේ පක්ෂ දෙක ප්‍රමුඛ වමේ බලවේගයක් හැදෙන්න ඕන. 

එහෙම එකතු වුණා කියලා කොහොමද දිනන්නේ?

ඊළඟ ජනාධිපතිවරණයේදී ඡන්ද තිබෙනවා එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහසක්. ඒකෙන් සියයට 75ක් ඡන්ද වැටුණොත්.... ඒ කියන්නේ එක්කෝටි විසිපන් ලක්ෂයක් වගේ. ඒකෙන් තිබෙනවා සිංහල බෞද්ධ ඡන්ද 84 ලක්ෂයක් විතර. දෙමළ ඡන්ද තිබෙනවා 15 ලක්ෂයක් විතර. මුස්ලිම් ඡන්ද තිබෙනවා 12 ලක්ෂයක් විතර. ඉතුරු ටික කතෝලික ඡන්ද. ඒ එන අපේක්ෂකයා සිංහල බෞද්ධ ඡන්දවලින් දිනන්න නම් ඒ ඡන්දවලින් 68%ක් ගන්න ඕන. කවදාවත් එහෙම ගන්න බැහැ. ඒක හැමෝම දන්න දෙයක්. එහෙම සියලු ජාතීන්ගෙන් ඡන්ද ගන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යයි. ඒ නිසා මේ වේදිකාවේ මහින්ද රාජපක්ෂ වගේම මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් ඉන්න ඕන අනිවාර්යයෙන්ම. මේකට හේතුව තමයි පහුගිය පළාත් පාලන මැතිවරණයේදී නැගෙනහිර ගොඩක් තැන් දිනුවේ අත ලකුණ.

ඉතින් ඔච්චර දේවල් දන්න එකේ ඇයි ඔබලා පහුගිය දවසක ගිහිල්ලා ජනාධිපතිට කිව්වේ නැවත තරග කරන්න කියලා?

මම දකින්නේ ඒක වරදක් නැහැ. අපි එහෙම කිව්වට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර කෙනෙක් කැමැත්තක් නැහැ පක්ෂයෙන් අපේක්ෂකයෙක් දාන්න. එහෙම කැමති අය ඇති. 

එහෙනම් ඒ කළේ පොදුජන පක්ෂය පොඩ්ඩක් කොනිත්තන්නද?

නෑ... නෑ... එහෙම දෙයක් නෙමෙයි. අපේක්ෂකයෝ කිහිප දෙනෙකුගේ නම් තිබෙනවා. ඒ නම් කියන්න මම කැමති නැහැ. මම ඊට පස්සේ මහින්ද මහත්තයාගෙන් පෞද්ගලිකව ඉල්ලා සිටියා අපේක්ෂකයා තෝරන්න කලින් ජනාධිපතිව හමුවෙලා සාකච්ඡා කරන්න කියලා. එතුමා ඒක පිළිගත්තා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර අය ඉන්නවා සජිත් ආවොත් ඒකට සපෝට් කරන්න. තව දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා දැනටම යූ.එන්.පී.යට ගිහිල්ලා වගේ ඉන්න. ඒ අය විශ්වාසභංගය වෙලාවේ ඡන්දය දෙන්නේ නැතිව මගහැරියා. 

දැන් මේ වෙනකොට පොදුජන පක්ෂයෙන් තමන්ගේ අපේක්ෂකයා ලබන 11 වැනිදා ප්‍රකාශ කරන බව කියලා තිබෙනවා. ඒ අපේක්ෂකයා තෝරා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහභාගීත්වයක් තිබෙනවාද?

කලින් කීවවගේ මම මහින්ද මහත්තයාට කිව්වා ඊට කලින් ජනාධිපතිතුමා හමුවෙන්න කියලා. ඒ හමුවීම සිදුවෙනවා. ඊට පස්සේ තීන්දුව ගනියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන්නේ නැද්ද?

එහෙම ඉදිරිපත් වීමක් නැහැ.

ඔබ කියනවා පොහොට්ටුවේ අපෙක්ෂකයාට විරුද්ධ පිරිසක් ශ්‍රීලනිපයේ ඉන්නවා කියලා. ඒ වගේම පොහොට්ටුව කියනවා ඇතැම් අපේක්ෂකයන්ට විරැද්ධ අය ඉන්න බව. කුමාර වෙල්ගම මහත්තයා එහෙම විරැද්ධ කෙනෙක්. අපි දැක්කා ඔහු ශ්‍රීලනිපයේ කාර්යාලයට එනවා. දැන් ශ්‍රීලනිපය ඇතුළේ ගොඩනැගෙන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයාට විරුද්ධ කල්ලියක්ද?

පොදුජන පක්ෂයේ හැදෙන නායකයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ඇතුළු සියයට 99ක් කැමතියි. ඉතා සුළු පිරිසක් විරුද්ධ වෙන්න පුළුවන්. ඒ අය යූ.ඇන්.පී.යට යන්නත් පුළුවන්. 

ඇත්තද වෙල්ගම මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගන්න හදනවා කියන්නේ?

නැහැ. එයාට වඩා ජ්‍යෙෂ්ඨ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මම, නිමල් සිරිපාල සමකාලීන දේශපාලනඥයෝ. අපි එකට පාර්ලිමේන්තුව නියෝජනය කළේ. 

මට කියන්න ඔබ කියන ශ්‍රීලනිපය අත්හැරලා එජාපයට යන්න ඉන්න පිරිස කවුද?

මට එහෙම ප්‍රසිද්ධියේ කියන්න බැහැ. තුන් හතර දෙනෙක් ඉන්නවා.

ඇයි ඔවුන් එහෙම යන්න හදන්නේ හේතුවක් ඇතිනේ?

ඔව්. සමහර විට රාජපක්ෂවරුන්ට ඇති විරෝධතාවය නිසා වෙන්න ඇති. ඒ වගේම එජාපයේ ඇතැම් අය සමඟ තිබෙන සම්බන්ධය නිසා වෙන්නත් පුළුවන්. මමත් ශ්‍රීලනිපයේ මහලේකම් වෙලා ඉන්නකොට තමයි එජාපයට ගියේ.

හැබැයි මේ වෙනකොට ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෝ කිහිප දෙනෙක්ම ඉන්නේ එජාපයේ වාඩිවෙලා?

විජිත් විජයමුණි, පියසේන ගමගේ කියන්නේ යූ.ඇන්.පී. කාරයෝ නෙමෙයි. හොඳ ශ්‍රී ලංකා කාරයෝ. නමුත් ඔවුන්ට යන්න හේතු ඇති. ප්‍රධාන වශයෙන් ඔවුන්ට මේ පැත්තේ ඉන්නවාට වඩා පාරක් පෙනුණා එජාපයට පැත්තෙන් ඉස්සරහාට යන්න. එහෙම පෙනෙන තුන් හතර දෙනෙක් ඉන්නවා. ඒ අය මෙහෙම නිලතලවලත් ඉන්නවා. 

ඇත්තද ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාව ජනාධිපති අපේක්ෂකයෙක් කරලා දිනවන්න උත්සාහ කරනවා කියන්නේ?

එහෙම රටේ කතාබහක් ගියා. ඔය කතාව ගියේ සජිත් ප්‍රේමදාසට අගමැතිකම දෙන්න කතා කළා කියලා. හැබැයි ඒක දෙන්න කතා කළේ එකපාරයි. නමුත් එතුමා කියන්නේ දහසය වතාවක් කතා කළා කියලා. ඒක ඔය ප්‍රේමදාසලාගේ ගතියක්. විශේෂයෙන් ඔය ජනපතිවරයා සතුව තිබුණ සංස්කෘතික අරමුදල සජිත් ප්‍රේමදාසට දුන්නා. සජිත් ඒකෙන් තමයි පන්සල්වලට සල්ලි දිදී යන්නේ. එයා ඒ හරහා ප්‍රතිරූපය ගොඩනගා ගන්න හදන්නේ. ඒක ජනාධිපතිවරයා ඔහුට කරපු එක පැත්තකින් උදව්වක් හැටියටත් පෙනෙනවා. හැබැයි මම හිතන්නේ නැහැ සජිත් ජනාධිපති අපේක්ෂකයෙක් වුණයි කියලා මෛත්‍රීපාල මහත්තයා උදව් කරයි කියලා. මෛත්‍රී කියන්නේ වමේ හිටිය මනුස්සයෙක්. ඔහුට එවැනි තීන්දුවක් ගන්න බැහැ.

අපිට කියන්න පොදුජන පක්ෂයේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂද?

නැහැ... නැහැ... තව නම් කිහිපයක් ඇවිල්ලා තිබෙනවා. ඒ නම් ටික තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගාව. එතුමා සියලු පක්ෂ නායකයොත් එක්ක කතා කරලා තීන්දුව ගනියි. 

මහින්ද මහත්තයාත් පසුගිය දවස්වල කිව්වා ගෝඨාභය ගැන තවම තීරණයක් අරන් නැහැ කියලා. ඒ කියන්නේ ගෝඨාභයට මහින්ද මහත්තයාත් කැමැති නැද්ද?

නැහැ එහෙම ප්‍රශ්නයක් නැහැ. රටේ ජනතාවගේ ඉල්ලීම මොකක්ද කියලත් පේනවානේ... ඒ නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. 

ඇත්තද මේ අපේක්ෂක ප්‍රශ්න හින්දා රාජපක්ෂ පවුල ඇත්ගේ විරසකයක් තියෙනවා කියන්නේ?

විවිධ සංවාද ඇති. ප්‍රශ්නත් ඇති. හැබැයි මම හිතන්නේ නැහැ කවදාවත් රාජපක්ෂ පවුල ඈත්වෙයි කියලා. ඒ අය හොඳට ඉන්නවා. කොහොම කළත් සියලුදෙනාම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ තීන්දුවට එකඟයි. 

සමහර අය කියනවා බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අතර හිත හොඳකම් නැහැ කියලා. ඒක ඇත්තද?

යම් යම් ප්‍රශ්න තියෙන්න ඇති. නමුත් දැන් ඒවා නැහැ. ඒ පවුලේ අය එකතු වෙලා ඒ ප්‍රශ්න විසඳගෙන ඇති. 

ඔබට අනුව ඔබ හිතන්නේ කවුද ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කියලා?

රටේ ජනතාව දන්න ඉල්ලන අපේක්ෂකයෙක් ඔය අතර ඉන්නවා. ඒ කවුද කියලා මමත් දන්නවා. ඔයත් දන්නවා. ඒ නිසා මට පෞද්ගලික අදහස් ඉදිරිපත් කරන්න බැහැ.

ඔබලා කවුරු දැම්මත් එජාපයෙන් සජිත් දැම්මොත් ඔබේ අපේක්ෂකයා පරාදයි කියලා එජාපයේ අය කියනවා. ඇත්තටම එහෙම වෙයිද?

එතුමා කිසිම කෙනෙක්ගෙන් ඇල්වතුර පොදක් බොන්නේ නැහැ. පන්සලකින්වත් තේ එකක් බොන්නේ නැහැ. තාත්තාවත් එහෙම හැසිරුණේ නැහැ. තාත්තා වෙලේ බැහැලා නෙළුම් කොළේ බත් කාපු මනුස්සයෙක්. දේශපාලනඥයකුගේ දකින්න නැති විකෘතියක් තමයි එතුමාට තියෙන්නේ. එතුමා ඉන්නේ භීතියකින්. ඒ නිසා ඔහු අපිට තර්ජනයක් නැහැ. අනික එජාපයෙන් සජිත්ව ඉල්ලුවාට අලුත හදන පෙරමුණට සජිත්ගේ නම දැම්මාට පස්සේ එතැනින් නම ෆේල් කරනවා. ඒ නිසා එන්නේ රනිල් හරි කරු හරි.

නව එජාප පෙරමුණේ ඉන්නවා පක්ෂ ගොඩක්. රිෂාඩ්, රවුෆ් හකීම්, චම්පික වගේ අය. එතකොට ඒ අයගේ සහාය අවශ්‍ය නැද්ද පොදුජන පක්ෂයට?

රිෂාඩ් කියන්නේ රටම විතරක් නෙමෙයි තමන්ගේ මුස්ලිම් මිනිස්සුත් රවටපු මනුස්සයෙක්. මිනිහත් එක්ක ඉන්න පස්දෙනාගෙන් එක්කෙනයි මිනිහත් එක්ක ඉන්නේ. අනිත් ඔක්කොම මිනිහාට විරුද්ධයි. ඒ වගේම රවුෆ් හකීම්ටත් එහෙම ජන පදනමක් නැහැ. ඒ අය මේ පාස්කු ප්‍රහාරය හරහා මුස්ලිම් ජනතාවගේ විමුක්තිකාමීන් හැටියට පෙන්වන්න හදනවා. ඒ වුණාට මුස්ලිම් ජනතාවගේ එහෙම පිළිගැනීමක් නැහැ. ඔවුන් හදන්නේ ජාතිවාදය වපුරලා ඒ හරහා තමන්ගේ වාසිය ලබාගැනීම. ඒ නිසා අපිට ඔය දෙන්නාගේ සහය අවශ්‍ය නැහැ. ඒ වගේම චම්පික රණවක ගැනත් කියන්න ඕන. චම්පික හිතාගෙන හිටියා බෞද්ධ නායකයෙක් කියලා එයා බෞද්ධයෝ පිළිගන්නේ නැහැ එයා බෞද්ධ නායකයෙක් කියලා. ඔය පක්ෂයේ කබීර්ලා වගේ මිනිස්සු ඇමැතිකම් අත්හැරියේ රිෂාඩ් වගේ මිනිහෙක් බේරාගන්න. ඒ අය ඔය තැනට තල්ලු කළේ රනිල් වික්‍රමසිංහ. රිෂාඩ් සහ හකීම් සුළු ජාතික ඡන්ද ඉතාමත් අයුතු විදිහට ප්‍රයෝජනයට ගන්න දෙන්නෙක්.

ජනතා විමුක්ති පෙරමුණ මේ වෙනකොට ඔවුනුත් අලුත් අපේක්ෂකයෙක් ගේන්න තීරණය කරලා තියෙන්නේ. ඔවුනුත් එක පැත්තකින් බලපෑමක් එල්ල කරන්න පුළුවන් නේද ඔබලාගේ අපේක්ෂකයාට?

ජනතා විමුක්ති පෙරමුණ මම නියෝජනය කළේ පටන් ගත්ත කාලේ. ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ ධනවාදයත් එක්ක යන්නේ. විශ්වාසභංගය ගෙනැල්ලා පේනවානේ ආණ්ඩුව රුක්ක හැටි. ඒ නිසා ජනතාවට විශ්වාසයක් නැහැ ජනතා විමුක්ති පෙරමුණ ගැන.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විශේෂ කාරක සභාවේ පරීක්ෂණ ගැන ජනාධිපතිවරයා ඉන්නේ අකමැත්තෙන්. ඇයි එහෙම වෙන්නේ?

ඒක සම්පූර්ණයෙන්ම මිලේනියම් සිටි පාවාදීම හා සමාන දෙයක්. ඒ බුද්ධි අංශ නිලධාරීන්ගේ මූණවල් සමාජයට හෙළිකරලා ඔවුන්ව සමාජයට නිරාවරණය කරනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්. ඒ වගේම මේ අය උත්සාහ කරනවා මේ හරහා මහ බැංකුව සම්බන්ධයෙන් සිදුකරපු ජනාධිපති කොමිසම මඟින් එජාපයේ නායකයන්ගේ දූෂිත බව හෙළිවුණා වගේ මේ කාරක සභාව හරහා ජනාධිපතිවරයාට මඩ ගහන්න. ඒක සම්පූර්ණයෙන්ම නිෂ්ඵල වැඩක්. 

එතකොට හිටපු ආරක්ෂක ලේකම්වරයායි, පොලිස්පතිවරයායි විතරද මේකට වගකියන්න ඕන?

ඔය කමිටුවට පහුගිය දවසක ආවා හිටපු පොලිස්පති ඉලංගකෝන් මහත්තයා ප්‍රකාශයක් දෙන්න. එතැනදී ඔහුගෙන් අහනවා ප්‍රශ්නයක් යම් ආකාරයක මෙවැනි තොරතුරක් ලැබුණොත් ඒ ගැන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ආරක්ෂක ලේකම්වරයාගෙන් හරි ආරක්ෂක ඇමැතිවරයාගෙන් හරි උපදෙස් ගන්නවාද කියලා. එතකොට එතුමා ගත් කටටම කියනවා එහෙම දෙයක් නැහැ. පොලිස්පතිවරයාට නිසියාකාරව බලතල ලැබිලා තියෙන්නේ ඒ අනුව ක්‍රියාකරනවා කියලා. දැන් පැහැදිලියි නේද මේකේ වැරැද්ද කාගේද කියලා. මේක මේ පොලිස්පතිවරයා අගමැතිවරයා ඇතුළු කණ්ඩායම දැනන් හිටියා. එය මෙච්චර ලොකු දෙයක් වෙන්නේ නැතිවෙයි කියලා සද්ද නැතුව හිටියා. ඒ හරහා දේශපාලන වාසි ගන්න.

 ගයාන් ගාල්ලගේ
සේයරැව I සුමුදු හේවාපතිරණ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00