2019 ජුලි 13 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 84

අමෙරිකානු ආරක්ෂක සමාගම් ලංකාවට දැල එලයි

දැනටමත් අමෙරිකාව සමඟ අත්සන් කර ඇති ඇක්සා (ACSA) සහ අත්සන් කිරීමට නියමිත බව කියන සෝෆා (SOFA) ගිවිසුම් සම්බන්ධ කතාබහ පසුබිමේ පවතිද්දී අමෙරිකාවේ ආරක්ෂක සමාගම් විසින් ඒවායේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයන් සෙවීම ආරම්භ කර තිබේ.

අමෙරිකානු ආණ්ඩුවට සහ ඊට අනුබද්ධ වෙනත් රජයන් සහ පෞද්ගලික හා වාණිජමය සේවාපේක්ෂකයන් වෙනුවෙන් ගෝලීය වශයෙන් රුකවරණය, ආරක්ෂාව සහ උපකාර ලබාදෙන අමෙරිකානු ආයතනයක් වන සැලිපෝර්ට් මගින් නිකුත් කර ඇති ලියැවිල්ලක් මගින් පූර්ණ කාලීන සහ පැය ගණනට සේවය කරන රුකියා සඳහා ඉල්ලුම්පත් කැඳවා තිබේ. මේ ලියැවිල්ල ඔවුන් යොමුකර ඇත්තේ ශ්‍රී ලංකාවේ පිළිගත් ආරක්ෂක සේවා සමාගම් වෙතටය.

එම ලියැවිල්ලේ සඳහන් වෙනත් කරැණුවලට අමතරව තමන්ගේ සමාගම ඉදිකිරීම් පරිශ්‍රවල ආරක්ෂක අවශ්‍යතාවලට රුකවරණය සැපයීම සඳහා වෘත්තීයමය පුහුණුවක් ලබාදෙන සමාගමක් බව ප්‍රකාශ කරයි. ගොඩනැගිලි උපකරණ, දැව භාණ්ඩ ඇතුළු වෙනත් උපාංග ආරක්ෂා කිරීමේ වගකීම දරණ සමාගමක් බවත් කියයි. විසි හතර පැය පුරාම ක්‍රියාත්මක වන ඉදිකිරීම් ව්‍යාපෘති පරිශ්‍රවලට මිනිසුන් සහ වාහන ඇතුළුවන සහ පිටවන සියලු දොරටු පාලනය කිරීම ක්‍රියාත්මක කිරීමට නිපුණත්වයක් දක්වන බවද එහි සඳහන්ය.

මෙම සමාගම Caliburn International, Cleared American Guard (CAG) නම් ආයතනයේ අනුබද්ධ සමාගමක් වන මිකායල් බේකර් ග්ලෝබල් සර්විසස් බවද එහි සඳහන්ය.

ඔවුන්ගේ වෘත්තීමය හැකියාවන් වශයෙන්ද කාරණා ගණනාවක් එම ලියැවිල්ලේ අඩංගු කර තිබේ. ඉදිකිරීම් පරිශ්‍රවලට පුපුරණ ද්‍රව්‍ය, අවි ආයුධ, ඉලෙක්ට්‍රොනික් උපාංග වැනි අවසර නොලත් ද්‍රව්‍ය රුගෙන ඒම වැළැක්වීම, ඒ උපකරණ අදාළ පරිශ්‍රවල නොමැති බවට තහවුරැ කිරීමේ නිරන්තර පරීක්ෂාව, ආරක්ෂිත ගබඩා කලාප ඇතිකර ඉදිකිරීම්වලට අවශ්‍ය සියලු ද්‍රව්‍ය, භාණ්ඩ සහ උපකරණ ගබඩා කිරීමට පහසුකම් සැලසීම ඔවුන්ගේ සේවා අතර වන බවද සඳහන්ය.

මේ සඳහා සුදුසුකම් වශයෙන් මුලින්ම සඳහන් වන්නේ අයැදුම්කරැ අමෙරිකානු පුරවැසියකු විය යුතු බවයි. ඔහුට හෝ ඇයට ඉහළම තත්ත්වයකින් යුත් ආරක්ෂක සහතිකයක්ද තිබිය යුතුය. සියලු පහසුකම් සපුරණ අයට කිසිදු භේදයකින් තොරව ඉහළ වැටුපක් ලැබිය හැකි බවත් ඔවුන්ට පැය 8ක් එකදිගට සිටගෙන සිටිය හැකි විය යුතු අතර රාත්තල් 25කට වඩා බර ඉසිලිය හැකි විය යුතු බවත් සඳහන්ය.

සන්ඩේ ටයිම්ස්

මහ බැංකු පනත් සංශෝධනය: ජනපතිගෙන් යෝජනා

මහ බැංකු මූල්‍ය පනත සඳහා හඳුන්වා දීමට යෝජිත සංශෝධන ආර්ථික විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් නැවත සමීක්ෂණයට ලක් කෙරෙනු ඇත. අදාළ සංශෝධන සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අවධානය යොමු කිරීමෙන් පසුව මේ තීන්දුව ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට යොමු කළ පත්‍රිකාවක් මගින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මහ බැංකු මූල්‍ය පනතට හඳුන්වා දෙන සංශෝධන නීති කෙටුම්පත් අංශයට යොමු කිරීමට පෙර එය පුළුල් විද්වත් කතිකාවකට සහ උපදේශක ක්‍රියාවලියකට යොමු කළ යුතු බවය. ජාතික ආර්ථික සභාව මගින් කැඳවනු ලබන විද්වත් කමිටුවක් ලවා යෝජිත සංශෝධන අධ්‍යයනය කිරීමෙන් පසුව ඒ ගැන අමාත්‍ය මණ්ඩලයට වාර්තාවක් ලබා දිය යුතු යැයි තමා යෝජනා කරන බවද එහි සඳහන්ය.

කෙසේ වුවද ජනාධිපතිවරයාගේ පත්‍රිකාවෙන් නිරීක්ෂණයට ලක් කර ඇති තවත් කරැණක් වන්නේ යෝජිත සංශෝධන සම්පාදකයන් ආණ්ඩුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර පැවතිය යුතු අන්‍යොන්‍ය සහයෝගීතාවේ අගය වටහා ගැනීමට අසමත්ව ඇති බවයි. ඒ වෙනුවට මහ බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳ ඉතා පටු දැක්මකට ඔවුන් අවතීර්ණ වී ඇති බවද එහි සඳහන්ය.

මේ අතර මහ බැංකුවේ මූල්‍ය පනත හදිසියේ වෙනස් කරන්නට යාමේ උත්සාහය තමන්ට ප්‍රශ්නයක් බවත් ඒ ගැන තමන් විරෝධය පළ කරන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ සංශෝධනවලින් මූලික වශයෙන් අරමුණු කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය වඩාත් ශක්තිමත් කරමින් නම්‍යශීලී උද්ධමන ඉලක්ක යාන්ත්‍රණයක් සකසා ගැනීම බව සඳහන් විය.

- ඩේලි එෆ්.ටී.